කිරි උරා බොන වයසේ සිට ම දරුවන් පාසල් යෑවිය හැකි නම් දෙමව්පියෝ ඊට පසු බට නොවෙති. මෙරටේ අධ්‍යාපන ක්‍රමය එතරම් ම තරගකාරීය. මෙවන් තරගකාරී අධ්‍යාපන රටාවක් සහිත වෙනත් රටක් ලොව අන් කවර තැනක හෝ තිබිය නොහේ. යන්තම් වයස අවුරුදු තුන සම්පූර්ණ වීමටත් පෙරාතුව ඇතැම් විට අවුරුදු දෙකහමාරක් තරම් නොදරු වියේ දීම දරුවන් පෙර පාසල්වලට යොමු කිරීමේ ක්‍රමය විසින් දෙමව්පිය තුරුලේ උණුසුම් වීමේ අයිතිය ඔවුන්ගෙන් පැහැර ගනු ලැබේ. ඉන් අනතුරුව පළමු ශ්‍රේණියේ සිට ම පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය තෙක් මහා දුක්‌ඛ දෝමනස්‌සයන්ට මුහුණ දීමට දරුවන්ට සිදුවෙයි. වයස අවුරුදු දෙකහමාරේ දී පෙර පාසල් යවා පළමු ශේ්‍රණියේ සිට ම ශිෂ්‍යත්වයට හුරු කරන දරුවාට බාහිර ක්‍රියාකාරකම් සඳහා ඉඩහසර නැත. තිබුණ ද ඒ ඉතා අල්ප වශයෙනි. මේ හිසරදකාරී අධ්‍යාපන රටාව කෙරෙහි විරෝධය දක්‌වන දෙමව්පියන් සිටිය ද සිය දරුවන් ද සමගින් ඒ ඔස්‌සේ ගමන් කිරීම හැර අන් විකල්පයක් ඔවුන්ට ද නැත. දරුවන්ට ද වෙනත් විකල්පයක් නැත. අවුරුදු දෙකහමාරේ සිට ම අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් දෙමව්පියනගේ පමණක් නොව රටේ අපේක්‍ෂා ඉටු වේද යන්න ගැටලුවක් බව ගම්‍ය වන්නේ බස්‌නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ පසුගිය දා එළිදුටු යථාර්ථය කෙරෙහි අවධානය යොමු කරන විට ය.
බස්‌නාහිර පළාතේ 6 වන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්‌වා පාසල් සිසුන්ගේa සාක්‌ෂරතාව ඉතා දුර්වල සිසුන් සංඛ්‍යාව 6626 ක් බව පුවත්පත්වල පළ විය (දිවයින, අප්‍රේල් 30 පුවත්පත). එම සංඛ්‍යා ලේඛන පහත දැක්‌වෙන පරිදිය.
අප රටෙහි 1945 සිට නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර 2015 වන විට පාසල් ගුරුවරුන් සංඛ්‍යාව දෙලක්‌ෂ විසිදාහකි. සාක්‌ෂර වියුක්‌තියක් නිදහස් අධ්‍යාපනය ඇති රටක ඇතිවන්නේ කෙසේද යන්න ගැන බොහෝ අය විමතිය පළ කරති. වැඩිම දෙනා මේ සඳහා දොස් පවරනුයේ ගුරුවරුන්ටය. මේ පිළිබඳව පර්යේෂණ සිදු කර තිබේ. වර්තමානයෙහි මිනිසාගේ බුද්ධිය පිළිබඳව කරන ලද පර්යේෂණ අතර ඉතා ඉහළින් පිළිගැනෙන හා ලොව පුරා අධ්‍යාපනඥයින් භාවිතා කරනුයේ මහාචාර්ය හෙවාඩ් ගාඩිනර් මහතා ඉදිරිපත් කර ඇති බහුවිධ බුද්ධි න්‍යායයි. මෙම න්‍යාය ලොව පුරා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියටත් පෙළපොත් ලිවීමටත් මෙන්ම ගුරු අත්පොත් සඳහාත් භාවිතා කෙරේ. මහාචාර්ය හොවාඩ් ගාඩිනර් මහතා ඉගෙනීමට බලපාන බහුවිධ බුද්ධි වර්ග 8 ක් දක්‌වා ඇත. මේ අතරින් සාක්‌ෂර වියුක්‌තිය පිළිබඳව අපට කථා කිරීමට සිදුවන්නේ එතුමා දැක්‌වූ භාෂාමය බුද්ධිය ඇසුරිනි. භාෂාමය බුද්ධිය සෑම අයෙකුටම පරිණාමය සම`ගම ඇති වූවකි. මිනිසා බිහි වීමේ දී ම භාෂා බුද්ධිය ද පරිණාමය වේ. එය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් එහි විශේෂ තත්ත්ව දෙකකි. ඉන් එකක් වන්නේ සමහර පුද්ගලයින් එහි උපරිම තත්වයෙන් පරිණාමය වීමයි. ඒ අනුව කෙනෙකුට භාෂා ගණනාවක් භාවිතයට ගත හැකි වේ. එහෙත් මෙබඳු අය ඉතා දුර්ලභ වේ. ශ්‍රී ලංකාව තුළින් නිදසුන් ගන්නේ නම් බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ට, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා වැනි අයට භාෂා 10 කට වඩා ලිවීමේ හා කියවීමේ හා කථන හැකියාව පැවතුණි. එහි මධ්‍යම මට්‌ටමක් ද ඇත. භාෂා බුද්ධියේ මධ්‍යම මට්‌ටමේ සිටින අයට භාෂා දෙක තුනක්‌වත් පරිහරණය කළ හැකිය. එහි සාමාන්‍ය මට්‌ටම තමන්ගේ මවු භාෂාව භාවිතයට හැකිවීමයි. එමෙන්ම මෙහි සෘණාත්මක භාෂා බුද්ධිය වනුයේ තමන්ගේ මවු භාෂාව කථා කිරීමට හැකියාව ඇතත් ලිවීමට හැකියාව නොමැති වීමයි. මෙම තත්ත්වය භාෂා බුද්ධියෙහි ස්‌වරූපයයි. එහෙත් භාෂා බුද්ධියේ සෘණාත්මක ස්‌වරූපයෙහි භාෂා බුද්ධියක තිබිය යුතු චතුර්විධ භාෂා කුසලතා නොමැති අයෙකු වන්නේ නම් ගොලු අයෙකු විය යුතුය. එහෙත් ගොලු අයට ද ලේඛන හැකියාව පුරුදු කළ හැකිය.
භාෂාව පිළිබඳ බුද්ධියෙහි දක්‌නට ලැබෙන තවත් දුර්වල තත්ත්වයක් වන්නේ සමහර ළමයින් තුළ දක්‌නට ලැබෙන ඩිස්‌ලෙක්‌ෂියා (Dyslectshia) නම් වූ රෝගී තත්ත්වයයි. මෙම රෝගය නිසා භාෂා / වචන උච්චාරණයට වෙලාවක් ගත කිරීම, වචනයට අනුමාන වෙනත් වචනයක් කීම ආදිය සිදු කරයි. මෙම දුබලතාව භාෂාව ලිවීමේ දී ද දැකිය හැකිය. අකුරු නොහැඳිනීම, අක්‌ෂර වින්‍යාසය නොදැනීම ආදිය නිසාම අකුරු ලිවීමේ නොහැකියාව ඇති වේ. අකුරු හරිහැටි මොළයෙහි සංජානනය නොවීම හෙවත් අකුරේ හැඩය මොළයෙහි තැන්පත් නොවීම හා එම අකුරේ උච්චාරණය තැන්පත් නොවීම මෙහි ප්‍රධාන ගැටලුව වේ. මේ නිසා අකුරු ලිවීමේ දී අකුරු පටලවා ලියයි. නැතහොත් අකුරු කෑලි හෝ භාග අකුරු ලිවීම සිදු කරයි. සමාන අකුරු පටලවා ලිවීම හා කියවීම නිතර දක්‌නට ලැබේ. ''න'', ''ත'', ''ක'', ''බ'', ''ඛ'' වැනි අකුරේ හැඩය හෝ ශබ්ද නොදැනීම නිසා එසේ ලියයි.
භාෂාව හැරුණු විට ගණිතය සම්බන්ධයෙන් ද මෙම ගැටලුව පවතී. මෙහි දී ගණිත අංක හඳුනා ගැනීමට නොහැකිය. අංක නිවැරදිව සංජානනය කළනොහැකිය. එම අංක පටලවා ගනී. යමක් ලියන විට හා කියවන විට දී මොළය එහි අර්ථය වටහා ගනී. මෙම තත්ත්වය ඇති සිසුන්ගේ භාෂා භාවිතයේ පවතින ගැටලු පහත දැක්‌වේ.
අර්ථය අවබෝධ නොවීම
කියවීම ඉතා දුර්වල වීම
ශබ්දය හා කථනය වෙන් කර ගත නොහැකි වීම
අකුරු හා වචන අතහැර කියවීම.
අකුරු වචනවලට ගළපා ගැනීමට නොහැකි වීම
අමතක වීම හා අවධානය නොමැතිකම
අකුරු හැඩය මොළයෙහි තැන්පත් නොවීම
අකුරු හැඩය විකෘති කර ලිවීම
අකුරු කනපිටට ලිවීම
අකුරු අත්හැර ලිවීම
අකුරු නොලියා ඒවා ඇඳීම
අකුරුවල කෑලි වශයෙන් ලිවීම
අකුරු එක මත එක ලිවීම
අකුරු භාග ලිවීම
අකුරු පේලියට නොලිවීම
මොළයේ රෝගී තත්ත්වයන් නිසා ළමයින් භාෂාමය දුර්වලතා දැක්‌වුව ද ඔවුහු අනෙකුත් කාර්යයන්හි දුර්වල නොවෙති. එමෙන්ම මෙම රෝගී තත්ත්වය ජීවිතය පුරාම දක්‌නට නොලැබෙන අතර මොළයේ වර්ධනයේ ආබාධිත තත්ත්වයක් නිසා තාවකාලිකව සිදුවන ක්‍රියාවලීන් පමණි. මොවුන් ගැන අවධානයෙන් සිට මෙම හැකියාව වර්ධනය වූ පසු අකුරු හා ගණිත ඉගැන්වීම සිදු කළ හැකිය. එබැවින් මේ ගැන බිය විය යුතු නොවේ. අවධානයෙන් සිට ඔවුන් යථා තත්වයට පත් කළ හැකිය.
ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගී තත්ත්වය හැරුණු විට නූතන පර්යේෂණ මගින් පෙන්වා ඇත්තේ බුද්ධි වර්ධනයේ විවිධත්වය අනුව හැඩ තල හඳුනා ගැනීම, රටා හඳුනා ගැනීම ආදිය සම්බන්ධව දුබලතා දක්‌වන සමහර සිසුන්ට ද ඉහත රෝගය නැති වුවත් අකුරු හා අංක හඳුනා ගැනීමේ ගැටලු පවතින බවයි. එවැනි අයට ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගී ළමයින්ටත් වඩා වේගයෙන් අකුරු ඉගෙනීම ඉක්‌මන් වේ. මෙම සිසුන් ද ඉහත කී රෝගී ලක්‌ෂණ පෙන්නුම් කළ ද ඒවා ඉතා ඉක්‌මනින්ම පහවී යයි. එහිදී මව හා පියා මේ ගැන අවධානයෙන් සිට ප්‍රතිකර්ම යෙදීම සිදු කළ යුතු වේ.
සාමාන්‍ය සෑම ළමයකුම සාමාන්‍ය විභව ශක්‌තීන්ගෙන් යුක්‌තය. එහෙත් බුද්ධි වර්ධනයේ විවිධ ඌනතා නිසා යම් යම් හැකියා දැක්‌වීම ප්‍රමාද විය හැකිය. ඒ ගැන වඩා අවධානයකින් සිටිය යුත්තේ මවුපියන්ය. පුහුණු ගුරුවරුන්ට ද මේ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.
ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගය නැතත් සියලුම ළමයි එක හා සමාන බුද්ධි වර්ධනයෙන් යුක්‌ත නොවෙති. ඔවුන්ගේ බුද්ධි වර්ධනයේ විවිධතා දක්‌නට ඇත. මේ නිසා ඩික්‌ස්‌ලෙක්‌ෂියා රෝගය නැතත් එහි දැක්‌වෙන සමහර ලක්‌ෂණ සිසුන්ට ද තිබිය හැකිය. එනම් අකුරුවල හැඩය තේරුම් ගත නොහැකි වීම, හැඩය විකෘති කර ලිවීම, අකුරු කනපිටට ලිවීම, අකුරු අත්හැර කියවීම හා ලිවීම, අකුරු එක මත එක ලිවීම, අකුරු පේලියට නොලියවීම, අකුරුවල ශබ්ද අමතක වීම ආදී ලක්‌ෂණ බුද්ධි වර්ධනය අනුව වෙනස්‌ව පිහිටිය හැකිය. මේ තත්ත්වය යටතේ සෑහෙන ළමයින් පිරිසක් මෙම ලක්‌ෂණවලින් යුක්‌ත විය හැකිය. මෙය රෝගයක් නොවේ. බුද්ධි වර්ධනයේ තාවකාලික දුබලතාවකි. මේ තත්ත්වය ගුරුවරුන් මෙන්ම දෙමාපියන් ද තේරුම් ගත යුතුය. ලංකාවේ පවතින ගුරු අධ්‍යාපනයෙහි ප්‍රමිතියක් නොමැති නිසා සමහර ගුරු අධ්‍යාපන පාඨමාලා තුළ මේවා ගැන අවබෝධයක් ලබා දෙන්නේ නැත. මේ නිසා බොහෝ ගුරුවරුන්ට මේ ගැන අවබෝධයක් නොලැබීම කණගාටුදායකය. දියුණු රටවල මෙන් විශ්වවිද්‍යාලවලින් පමණක් නියත ප්‍රමිතියකින් ගුරුවරුන් පුහුණු කිරීම වැදගත් බව අධ්‍යාපන බලධාරීන් තේරුම් ගෙන නැත.
පොදුවේ සාක්‌ෂර වියුක්‌තිය පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කර තිබේ. ඒ අනුව සාක්‌ෂර වියුක්‌තිකභාවයට / අකුරු බැරිවීමට හේතු රැසක් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ. එම කරුණු පොදුවේ ගත් කල පහත සඳහන් කළ හැකිය.
ගුරුවරුන් සම්බන්ධ සාධක
ශිෂ්‍යයින් සම්බන්ධ සාධක
පවුල සම්බන්ධ සාධක
දෙමාපියන්ගේ පහළ අධ්‍යාපන මට්‌ටම
ශිෂ්‍යයාගේ සමාජ පරිසරය
නාගරික පැල්පත්වාසී තත්ත්වයන්
ග්‍රාමීය නූගත් බව
පටු සමාජීය අත්දැකීම් පැවතීම
විදුහල්පතිවරුන් සම්බන්ධ සාධක
පියාගේ හා මවගේ ආකල්ප
ළමයින්ට ඉගෙනීමට නොහැකි යෑයි සිතීම වේ.
බස්‌නාහිර පළාත තුළ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්‌වා අකුරු නොහැකි සිසුන් බිහි වීමට ඉහත සඳහන් සියලු සාධක බලපා ඇත. එහෙත් මෙයින් ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුතු සාධකය වන්නේ ගුරුවරයා හා ඉගැන්වීම පිළිබඳ සාධකය. මේ නිසා සාක්‌ෂර වියුක්‌තිය නැති කිරීම සඳහා විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරුන් ද මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර ඔවුන්ට දෙමාපියන්ගේ අවධානය ද යොමු කළ යුතු වේ. දෙමාපියන්ගේ අධ්‍යාපන මට්‌ටම හා ආකල්ප මෙන්ම සමාජ පරිසරය ද ඉතා පහළ මට්‌ටමක පවතින විට ඔවුන්ට මේ කරුණු විග්‍රහ කර දීම ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද ඉතා අපහසුය. ලංකාවේ පවතින වාතාවරණය අනුව දේශපාලනඥයින් මෙයට මැදිහත් විය යුතුය. ඔවුන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා වෙනත් උපකාර කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් ද අනුග්‍රහ වශයෙන් ද පෙළඹවීම වශයෙන් ද දෙමාපියන්ට විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ට ද සිදු කළ යුතු වේ.
ලොව කර ඇති පර්යේෂණ අනුව සාක්‌ෂර ඌනතාවෙහි සමාජීය ප්‍රතිඵල ඉතා හානිදායක වේ. බස්‌නාහිර පළාතේ සාක්‌ෂර වියුක්‌තිකයන් 6626 ක් ඇත්නම් පළාත් නමයෙහිම මෙපමණ ගණනක් ඇතැයි උපකල්පනය කළහොත් 59000 ක් පමණ පාසල් පද්ධතිය තුළ සාක්‌ෂර වියුක්‌තිකයන් ඇතැයි සිතිය හැකිය. මොවුන් පාසලෙන් අදාළ මූලික සහතික හෝ නිපුණතා නොමැති අය ලෙසය. ඔවුන්ට බොහෝ දේ තේරුම් ගත නොහැකි වන්නේ කියවීමට නොහැකි නිසාය. වත්මන් දියුණු ලෝකයෙහි ඔවුහු ගැටලු සහිත පුද්ගලයින් බවට පත්වෙති. අවසන් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය කුසලතා ලබා ගැනීමට මෙන්ම වැඩිහිටි අධ්‍යාපන වැඩසටහන්වලට දායක වීමට ද ඔවුන්ට අවස්‌ථාවක් නොලැබෙන බැවින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමට නිසි පරිදි අවස්‌ථා නොලැබේ. එබැවින් ඔවුන් සමාජ විරෝධීන් බවට පත්වීම නොවැළැක්‌විය හැකිය. බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩිම සංඛ්‍යාව ඔවුන් විය හැකිය. සමාජයේ ගැටලු නිර්මාණය කරන්නේ ද ඔවුන්ය. එබැවින් සාක්‌ෂර ඌනතාවට විද්‍යාත්මක පිළියම් යෙදිය යුතුය. එසේ නොවන්නේ නම් සමාජය විනාශ කිරීමට එය ඉවහල් වේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය දේශපාලකයන් මේවාට පිළියම් යෙදීම සඳහා පාසල් පද්ධතියට උපකාර කළ යුතුය. පාසලටම සියල්ල භාරගත නොහැකිය. සමෝධානික ප්‍රයත්නයකින් මෙම ගැටලුව විසඳා ගත යුතුව තිබේ.
මහාචාර්ය ඒ. ආනන්ද ජයවර්ධන
අධ්‍යාපන පීඨය , කොළඹ විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2015/06/08/gurusitha01.html
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි