කළු ජාතිකයන්ගේ තාත්තා (මාඩිබා) අවසන් ගමන් යයි
ලොවක් ආදරය කළ මිනිසෙක් |
ඔවුහු ඔහුට තාත්තා (මාඩිබා) යැයි ඇමතූහ. ඒ ඇමතුමට වයස් බේදයක් වූයේ නැත. දකුණු අප්‍රිකාවේ උපත ලද සියලුම කළු ජාතිකයන්ට ඔහු 'තාත්තා' වූයේ ය. තාත්තා හෙවත් පීතෘවරයා යනු උපතකට හිමිකම් කියන්නායි. සැබවින් ම ඔහු නොවන්නට දකුණූ අප්‍රිකාවේ කළු ජාතිකයන්ට අදටද ජීවත් වන්නට සිදු වනු ඇත්තේ ජීවත් වීමට හෝ හිමිකම් නැත්තවුන් සේ ය. නෙල්සන් මැන්ඩෙලා. ඔහු සදාකල් අමරණීය නාමයක් ඉතිරි කරමින් මියගිය සුළුතරය අතරට මීට හෝරා කිහිපයකට පෙර එක් වූයේය.
මැන්ඩෙලාගේ ජීවිතය අපූරුය. කොටින් ම එය අපට අනුව සාමාන්‍ය ජීවිතයක් වන්නේ වයස අවුරුදු අසූවටත් පසුය. ඒ දක්වා ගෙවුණූ කාලයෙන් බොහොමයක් ඔහු ගත කළේ එක්කෝ යටි බිම් ගත දේශපාලනඥයකු ලෙසින් ය. නැතහොත් අඳුරු සිර කුටියකය.
නැතහොත් විදේශයක හෝ තම රටේම වනාන්තරයක සටන් පුහුණූ වෙමින් ය. අපට නම් ඒ අරුම ජීවිතයක් මය. සැබෑවකි. නෙල්සන් මැන්ඩෙලා ලෙසින් උපත ලද ඒ පුද්ගලයාට උරුම වූයේ අරුම ජීවිතයක්මය. ඔහු වයස අවුරුදු හැත්තෑ හයේ දී තමා උපන් බිමේ නායකයා වන්නේ ය. මිය යන තෙක්ම දේශයේ ගෞරවනීය පුරවැසියා වූයේ ය.
ඔහු උපත ලබන අවදිය වන විටත් දකුණු අප්‍රිකාව අඳුරු මහාද්වීයේ අඳුරු කෙළවරම ලෙසින් විය. සුදු ජාතිකයෝ එහි තනි භුක්තිය වින්ද ද ජනගහණයෙන් බහුතරය කළු ජාතිකයෝ වූහ. කුඩා මැන්ඩෙලා වයස අවුරුදු නවයේ දී පියා මියයන්නේය. දකුණු අප්‍රිකාවට අාවේනික ගෝත්‍රයක නායකයකු ඔහු හදාවඩා ගන්නේ එකල වඩාත්ම වටිනා සම්පත වන අධ්‍යාපනය ඔහුට ලබා දෙමිනි.
මේ වටිනා සම්පතට මැන්ඩෙලා ඉතා ආශා කරන්නේ ය. ඔහු එය කෙළවර කරන්නේ ජොහැන්නස්බර්ග් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ද ලබා ගනිමිනි. එහෙත් ඒ වන විට තරුණ මැන්ඩෙලාට වර්ණ බේදවාදය දරුණූවට රිදවා අවසන් ය. තමාගේ පමණක් නොව ජාතියේම තුවාළ සුව කිරීමට ඔහු දේශපාලන සටන් බිමට ප්‍රවිශ්ට වන්නේ ය. ඒ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණ ලීගයට එක් වෙමිනි.
මේ තරුණ ව්‍යාපාරය දිනෙන් දින ජනප්‍රියවත්ම එය මර්දනය කිරීමේ අවශ්‍යතාවක් එවකට දකුණු අප්‍රිකාව පාලනය කළ සුදු ජාතිකයන්ට ඇති විය. දේශපාලන සටන් බිම ලෙයින් තෙත් වන්නේ ඒ සමගය. 1956 දිනක මැන්ඩෙලා ඇතුලු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
හැට නවදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගියහ. ඒ සැවොම කළු ජාතිකයන් විම අහඹූවක් වූයේ නැත. දේශපාලනයේ දී අවියද අතට හුරු විය යුතු බව මැන්ඩෙලා තීරණය කරන්නේ එහි දීය. එතැන් සිට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ තරුණයෝ අවි පුහුණූ ලැබීමඇරඹූහ.
1962 දී මොරොක්කෝවේ අවි පුහුණූව ලැබ සිය රට පැමිණි මැන්ඩෙලා පොලිස් අත්අඩංගුවට පත් වූයේ ය. වසර දෙකක නඩු විභාගයකින් පසු 1964දී ඒ ඓතිහාසික තීන්දුව සමග ඔහු ජීවිතාන්තය තෙක් සිරයට නියම වන්නේ ය. තීන්දුවට හිස නැමූවද ඔහු පැය හතරක් පුරා තම ජාතිය ඇමතූවේ ය.
එහිදී තමා සිරගතවීමට හේතුව ඔවුනට පැහැදිලි කර දෙන මැන්ඩෙලා කිසිදාක වර්ණ බේද වාදය තුරන් කිරීමේ සටන අතනොහැරිය යුතු බව පවසා සිටියේ ය. එතැන් සිට වසර දහඅටක් ඔහු රොබින් දිවයිනේ අඳුරු සිරකුටියක තම ජීවිතය ගෙවා දමන්නේ ය. ඔහු ගත කළ සම්පූර්ණ සිර ගත ජීවිතය අවුරුදු විසිහතක් විය.
1990 දී සිර ගත ජීවිතය අවසන් කරන මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසි දකුණු අප්‍රිකාවේ ජනාධීපති අපේක්ෂකයකු ලෙසින් තරග වැදුනේය. 1994 අප්‍රේල් විසිහත්වැනිදා පැවති ඒ ඓතිහාසික ඡන්ද විමසීමේ දී කිසිදා ලොව මෙතෙක් දක්නට නොලැබුණු උනන්දුවකින් යුතුව දකුණු අප්‍රිකානුවෝ ඡන්දය භාවිතා කළහ.
ගුවන් ඡායාරූපවලින් දිස්වුණූ සර්පයන් මෙන් වක ගැසී ගිය ඡන්ද දායක පෝලිම් ඓතිහාසික වටිනාකමකින් යුක්ත විය. මුහුදු වෙරළට, හෝටලයකට, අවන් හලකට, උද්‍යානයකට යාමට කිසිදා කළු ජාතිකයන්ට අවසර ලැබුණේ නැත.
ඔවුහු ඒ වන විටත් වහල්ලුම වූහ. මැන්ඩෙලා ඔවුන් මිනිසුන් බවට පත් කොට මිනිස් අයිතිවාසිකම් ලබා දුන්නේ ය. 'මාඩිබා' හෙවත් තාත්තා යන නමින් ඔවුහු ඔහු ඇමතූහ. මිය යනතුරුම එය වෙනස් වූයේ නැත.
මැන්ඩෙලා ජාතික වීරයකු මෙන් ම අපූර්ව ප්‍රේමවන්තයකු ද වූයේ ය. තම ප්‍රථම බිරිය වන විනී මැන්ඩෙලාගෙන් දික්කසාද වූ ඔහු වයස අවුරුදු අසූවේදී දෙවැනි වරටද විවාහ වන්නේය. මුණූපුරු මිණිපිරියන් විසි හත් දෙනෙකුගේ සීයා වූයේය.
මිය යන විට ඔහු අනූ හය වැනි විය ගෙවමින් සිටියේය. ඔහු ගෙවූ ඒ අවුරුදු අනූ හයම ඔහුට, දකුණු අප්‍රිකාවට පමණක් නොව පොදුවේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම වැඩදායී වූ යුගයක් ම වූයේ ය.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි