Saturday, December 7, 2013

නෙල්සන්රොලිහ්ලාහ්ලා මැන‍්ඩෙලා අභාවප්‍රාප්ත වී තිබේ.

අප්‍රිකාවේ රිදී හඬ මිලින වෙයි

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාද විරෝධී අරගලයේ ප්‍රතිමූර්තිය හා 20 වැනි සියවසේ දේශපාලන ලෝකයේ දැවැන්ත චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව එරට ජනාධිපති ජේකොබ් සුමා එම රාත්‍රියේම ජාතිය අමතමින් ප්‍රකාශ කෙළේය.
මියෙන විට 95 වැනි වියේ පසුවූ මැන්ඩෙලා නොබෙල් සාම ත්‍යාග ලාභියකු සේම දකුණු අප්‍රිකාවේ පළමුවැනි කළු ජාතික ජනාධිපතිවරයා ද වූයේය. දශක තුනකට වැඩි කාලයක් සිය අරගලය වෙනුවෙන් සිරබත් කෑ ඔහු පෙණහලු ආසාදනයකින් දිගු කලක් තිස්සේ පෙ‍ෙළමින් සිටි අතර පෙරේදා ජොහැන්ස් බර්ග් හි පිහිටි සිය නිවසේදී පවුලේ ඥාතීන් අභිමුව අවසන් හුස්ම හෙළීය.
සංවේගයට පත් එරට ජනාධිපති ජේ්කොබ් සුමා රාත්‍රියේම සිය රටවැසියන්ට හා සෙසු ලෝකයට සජීවි රූපවාහිනී විකාශනයක් ඔස්සේ මේ කනගාටුදායක ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කෙළේය.
" අපේ ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයේ නිර්මාතෘ වන ආදරණීය නායක නෙල්සන්රොලිහ්ලාහ්ලා මැන‍්ඩෙලා අභාවප්‍රාප්ත වී තිබේ. අපේ රටට ශ්‍රේෂ්ඨ පුත්‍රයකු අහිමි වී ඇත. අපේ ජනතාවගේ පියා ඔවුනට අහිමි වී ඇතැ'යි ප්‍රකාශ කළ ජේකොබ් සුමා මැන්ඩෙලාගේ අවසන් කටයුතු රාජ්‍යගෞරව සහිතව සිදුකරන බවත් ඉන්පසුවත් පවතින පරිදි ජාතික ධජය අඩ කුඹු කැර තබන ලෙසත් රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
දිගුකලෙක පටන් ඔහුගේ මරණය අපේක්ෂා කෙරී තිබුණේ පෙණහලු ආසාදනයක් හේතුවෙන් රෝහල් ගතව සිටි සමයේ සිටය. ඔහු තෙමසක්ම දැඩි සත්කාර තත්ත්වයෙන් නිවසේද පසුවිය. එහෙත් ඔහුගේ අභාවය රටම කම්පනයට පත්කිරීමට හේතු වී තිබේ.
වර්ණ‍භේද වාද විරෝධී අරගලයේදී එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය ඔහු ත්‍රස්තවාදියකු ලෙසෙ හංවඩු ගසා තිබුණද පසුව ඔවුන්ද ඔහු‍ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙස පිළිගෙන තිබිණ.
27 වසරක් බන්ධනාගාර ගතව සිටි ඔහු ඉන් නිදහස ලද්දේ 1990 දීය. ඉන්පසු අප්‍රිකානු ජාතික කොංග්‍රසයට නායකත්වය දෙමින් සුළු තර සුදුජාතික පාලකයින් සමග සාකච්ඡා මාර්ගයට අවතීර්ණය වී 1994 පැවති බහුවාර්ගික මැතිවරණයෙන් ජයගෙන එරට පළමුවැනි කළු ජාතික ජනාධිපතිවරයා බවට පත්විය.
එක්වාරයක් පමණක් ජනාධිපති පදවිය හෙබවීමෙන් පසු දේශපාලනයෙන් ඉවත්ව ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයකට නායකත්වය දෙමින් 2004 දී මහජන කටයුතුවලින්ද විශ්‍රාම ලැබීය.
ලෝක නායකයින් සියල්ලන්ම පාහේ මේ වනවිටත් ඔහු, සාමයේ, සමගියේ , ප්‍රජාතන්ත්‍රවාදයේ හා බහුවාර්ගික සමාජ එකමුතුවේ ප්‍රතිමූර්තියක් ලෙස හඳුන්වමින් ඔහුගේ අභාවය ගැන සංවේගය පළ කැර ඇත.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි