Monday, December 9, 2013

මගේ ධාරණ ශක්තිය වැඩි වේවා යි පතන්න

සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ට

මගේ ධාරණ ශක්තිය වැඩි වේවා යි පතන්න

අනිසි බිය-චකිතය ඉවත් කැර ගන්න

අතුරුගිරියේ සීවලී අසපුවේ අනුශාසක පදලංගල ධම්මදේව හිමි
සා/ පෙළ විභාගයට ඇත්තේ තව දින දෙකයි. මේ දින දෙක තුළත් ඔබ කළ යුත්තේ පෙර සේම පාඩම්වල ඇලී ගැලී සිටීම නොව පාඩම් කටයුතුවලින් මිදී ශාරීරිකව හා මානසිකව විවේකීව ගත කිරීමයි.
දරුවනි ඔබ බලාපොරොත්තු වන ජයග්‍රාහී ඉලක්ක‍ය කරා ගමන් කරවන්නට මේ උපදෙස් ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි.
විභාගයට මුහුණ දෙන දුවේ පුතේ’ අම්මේ තාත්තේ ඔබට අද කතා කරන්නේ සීවලී අසපුවේ අනුශාසක පදලංගල ධම්මදේව හිමියෝ ය.
සා. පෙළ විභාගයට තව තිබෙන්නේ දින දෙකයි. මේ වනවිට ලක්ෂ ගණනක දූලා පුතාලා මේ විභාගයට සූදානමින් සිටිනවා, හුඟක් දූලා පුතාලා මේ මොහොත වනවිට දැනුමින් සන්නද්ධයි. නමුත් ඒ දැනුම කළමනාකරණය කරගන්න, තමන් මෙපමණ කාලයක් උකහාගත් දැනුම් සම්භාරය නිසි ලෙස භාවිතාවට ගන්නට සමහරුන්ට නොහැකි වී තියෙනවා. බොහෝ දූලා පුතාලා විභාගයට අනිසි බියක් දක්වනවා.
තවත් පැත්තකින් මවුපියන් දරුවන්ට අවශ්‍ය බියක් පීඩනයක් මෙන් ම ‘ඒ’ ‘බී’ සාමාර්ථ ගැනීමේ පෙලඹවීමක් ඇති කර අවසන්. අපි දන්නවා සෑම දරුවෙක් ම එකහා සමාන දක්ෂතාවක් නැති බව. පසුගිය කාලයේ මේ සම්බන්ධව අප ලද අත්දැකීම් හරි අමිහිරියි. ශාරීරික වද හිංසා කරන බවට තර්ජනය කරමින් තමයි ඇතැම් මවුපියන් දරුවාව විභාගයට යවන්නේ. මේ හේතුව නිසා අවසානයේ තම දරුවන්ගේ වටිනා ජීවිතයත් විභාග ප්‍රතිඵල හේතුවෙන් අහිමි වෙයි. එම නිසා මේ අවස්ථාවේ මවුපියන් පවා අප දැනුම්වත් කළ යුතුයි.
ඔබේ දරුවන් හොඳින් උනන්දු කරවන්න. ඕනෑ දෙයකට එක්ව මුහුණ දෙන බව පවසා දිරි ගන්වන්න. තම ශක්තිය යොදවා විභාගයට ලියන්න කියා ආදරයෙන් තේරුම් කර දෙන්න. ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් ආදරයෙන් බාර ගමු යැයි දරුවන්ව දිරි ගන්වන්න.
මවුපිය වගකීම
මවුවරුනි, පියවරුනි, මේ සම්බන්ධයෙන් ඔබටත් විශාල වගකීමක් ඇත. ඔබේ දරුවාව පීඩනයකින් තොරව නිදහස් මානසිකත්වයකින් විභාගයට යවන්න‍. බොහෝ දරුවන් විභාගය අසාර්ථක කරගන්නේ මේ අනිසි බිය හා පීඩනය නිසායි.
මවුපියන් පමණක් නොව ගුරුවරුන් ද දරුවන්ට අධික පීඩනයක් ගෙන දී තිබීම කනගාටුදායක ය. විභාගය ආසන්න වනවිට එක් එක් ආයතනවලින් ධනාත්මක චින්තනය නමින් මනස හදන වැඩමුළු පවත්වනවා‍. සමහර දරුවන් විභාගයට ආසන්න දිනවල මේ ‘ධනාත්මක චින්තන’ වැඩමුළුවලට යනවා මනස හදාගන්න. මේවාට යෑමෙන් හොඳට සිටින ඔබේ දරුවා අනවශ්‍ය පරිදි මනස ව්‍යාකූල තත්ත්වයට පත්විය හැකියි. මේ වැඩමුළුවලින් දරුවන්ගේ චින්නන ශක්තිය විනාශ විය හැකියි.
එනිසා ඔබේ දරුවාව විභාගයට ආසන්න මොහොතේදී මෙන් ම කිසිම අවස්ථාවක දී මේ අනවශ්‍ය ආයතනවලට යවන්න එපා.
ඔ‍ෙබ් දරුවාට නිදහසේ සිතන්න, චින්තනය වර්ධනය කරගන්න නිවසේ යහපත් පරිසරයක් ඇති කරන්න. නව අදහස් හා නිර්මාණශීලී පුද්ගලයෙක් ගොඩ නැ‍ඟෙන්නේ පරිසරය තුළිනුයි. බොහෝ දරුවන් අනවශ්‍ය ආකාරයෙන් වෙහෙසට පත් කරවන්නේ මවුපියන් වන ඔබයි. කිසි විටෙකදී අනිකුත් දරුවන් හා ඔබේ දරුවා සන්සන්දනය කරන්න යන්න එපා. මේ හරහා ඔබේ දරුවාගේ සිතට වෛරය - ක්‍රෝධය එක් විය හැකියි. ඔ‍බේ දරුවාගේ හැකියාවන් නිදහසේ ඉදිරිපත් වන්නට ඉඩ හරින්න.
දැනුම ආකල්ප
අධ්‍යාපනය යනු විභාගය පමණක් නොවන බව තේරුම් ගන්න. එසේ ම දරුවාගේ ජීවිතයේ අවසන් ප්‍රතිඵලය යනු විභාගයම නොවෙයි. දැනුම, ආකල්ප හා කුසලතා හරහා අධ්‍යාපනය ලැබිය යුතු ය. අද විභාගය මුල් කරගෙන අධ්‍යාපනය ක්‍රියාත්මක වනවා මිස එමගින් ආකල්ප, කුසලතා හා දැනුම වර්ධනය නොවෙයි.
‍රටේ අතිදක්ෂ, නමක් රැන්දූ බොහෝ කීර්තිමත් පුද්ගලයන් බිහිවුණේ විභාගය නිසා නොවන බව මවුපියන් තේරුම් ගත යුතු ය. ඒ අය ඇතැම් විට විභාග සමත් ‍වූවන්ද නොවේ. අපේ පරිසරය නම් වූ සරසවිය තුළින් ලබාගත් අත්දැකීම් සමුදායෙන් තමයි ඔවුන් අතිදක්ෂ පුද්ගලයන් වුණේ. කිසිම ආයතනයකින් අද දරුවාගේ කුසලතා වර්ධනය වන්නැහැ. හැම තැනම විභාගය අරමුණු කරගෙන දරුවන්ට විශාල බරක් ගෙන දෙනවා මිස ජීවිතයට අවශ්‍ය කුසලතා හා ආකල්ප ගෙන නොදෙයි. යමකුට දැනුම අඩු වුණත් ඔහු තුළ කුසලතා හා ආකල්ප තිබේ නම් පෞද්ගලික ආයතනයක වුවත් හොඳ රැකියාවකට පිවිසිය හැකියි.
විභාගයට මුහුණ දෙන දරුවන් මෙය හොඳින් සිත තබා ගත යුතු ය. ඔබ විභාගයට හොඳින් මුහුණ දිය යුතුයි. ඒ සඳහා කැප කිරීමක් කළ යුතුය. ඔබ කුමන විභාගයක් සමත් වුණත් වැඩක් නැහැ, ඔබ රටට බරක් ගෙන දෙන පුද්ගලයෙක් නම්. ඔබට අලුත් දේ කරන්න, හිතන්න මෙන් ම නිවැරැදිව හිතන්න, සමාජයත් සමඟ ඇසුරු කරන්න ඔබ ඉගෙන ගත යුතු ය. එසේ නොවුනොත් ඔබට ඉදිරියක් නැහැ. දැනුම, කුසලතා හා ආකල්ප සමඟ සමබරව ඔබ ඉදිරියට යා යුතුයි.
තව දින දෙකයි
ඔබේ විභාගයට ඇත්තේ තව දින දෙකයි‍. පුතේ දුවේ දැන් පොතපතින් මිදී විවේකිව සිත නිදහසේ ගත කරන්න. උගත් පාඩම් මොහොතක් ආවර්ජණය කළාට කමක් නැහැ. නිදිවරාගෙන, මහ බරක් හිතේ තබාගෙන පාඩම්වල යෙදෙන්න එපා. එයින් කිසිම ප්‍රතිඵලයක් ඔබට නොලැබේ. ඔබ මේ දින දෙකේ හොඳින් නිදාගන්න. පාන්දර ඇහැරගෙන ඉන්න එපා. රාත්‍රි 10 ට පමණ නිදාගෙන පාන්දර 5 ට පමණ නැඟිටින්න. නිදාගන්නා විට ඔබ මුළු ලෝකයම අමතක කරන්න. දුරකථන ක්‍රියා විරහිත කරන්න. නැගිට ටික වේලාවක් පාඩම් කරන්න. රූපවාහිනියේ ඔබ කැමැති හොඳ වැඩසටහනක් නරඹන්න. සිංදුවක් අහන්න.
ඔබ කොතරම් පාඩම් කර දැනුම් සම්භාරයක් හිතේ තබාගත්තත් ඔබේ සිත වෙහෙසට පත්ව තිබේ නම් ඒ දැනුම නැවත ආවර්ජනය කළ නොහැකියි. මනසේ රැඳී උගත් දේ විභාගය ලියන මොහොතේදී ගලාගෙන ඒමට නම් විභාගයට ආසන්න මේ දින‍ දෙකේදී ඔබ ශාරීරිකව හා මානසිකව විවේකී සුවයෙන් ගත කළ යුතු ය.
එසේ නොවුනොත් ඔබ දැඩි ලෙස ආතතියට පත්විය හැකියි. බොහෝ දරුවන් ආතතියට පත්වන කරුණක් වන්නේ බොහෝ පාඩම් කර විභාගයට ගොස් පිළිතුරු ලිවීමට උත්සාහ කළ විට ඒවා ගලා නොඒමයි. සමහරුන්ට පිළිතුරු දිව අග තිබුණත් ලියන්නට ගලා නොඑයි. එසේ වන්නේ අනවශ්‍ය පීඩනය නිසා ය.
ආශිර්වාද පූජාව
සීවලී අසපුවේ මාගේ ප්‍රධානත්වයෙන් සෑම විභාගයකටම පෙර දින ආශිර්වාද පූජාවක් පැවැත්වෙයි. මෙවර අ.පො.ස. (සා.පෙළ) දරුවන් සඳහා අද (08) එම ආශිර්වාද පූජාව පැවැත්වෙනවා. අපි මේ පූජාව අවසානයේදී දරුවන් ළඟටම ගොස් ඔවුනට විභාගයට ලියන්නට පෑනක් හා පිරිත් නූලක් ලබා දෙනවා. අපි මේ පෑන හා පිරිත් නූල දරුවන්ගේ අතට ලබාදෙන විට සමහර දරුවන්ගේ අත් වෙවුලනවා.
විභාගයට දිනක් දෙකක් තියෙද්දීත් ඒ දරුවන්ගේ අත ඒ ආකාරයෙන් වෙවුලයි නම් මේ දරුවන්ගේ අතට ප්‍රශ්න පත්‍රය ලැබෙද්දී කොහොමද කියා අපට හිතාගත හැකියි. මේ දරුවන්ට එසේ වන්නේ ඔවුන්ගේ සිතේ පවතින දැඩි ආතතිය නිසා ය. අපි කියන්නේ මේ දරුවන්ට තිබෙන ආතතිය දුරු කිරීමේ වගකීම තියෙන්නේ මවුපියන්ට කියලයි.
ඔබ ඔ‍ෙ‍බ් ආගමට අනුකූලව ආගමික වතාවත්වල නියැළෙන්න. මේ දින දෙක තුළ ඔබ කුඩා කාලයකට සිත නිවෙන භාවනාවක නියැළෙන්න.
සරල භාවනාවක්
එය තමන්ට පහසු, හැකි භාවනාවක් විය යුතුයි. විශාල භාවනාවකට යන්න එපා. ඔබ හොඳින් මෙනෙහි කරන්න මා මේ කියන දෙය.
“මාගේ ධාරණ ශක්තිය වැඩි වේවා.‍ මෙපමණ කාලයක් මා ලබාගත් දැනුම හොඳින් මතක් වේවා. මාගේ අනාගත අභිවෘද්ධිය සඵල වේවා. ශාස්ත්‍රාභිවෘද්ධිය පහළ වේවා...” යනුවෙන් දිනකට දෙවරක් විනාඩි 10 ක් පමණ කරන්න. මෙය විශාල, බරපතළ භාවනාවක් නොවෙයි. උදේ පාන්දර, හවස මෙන් ම විභාගයට යන දිනයේ වුව ද ඔබට කළ හැකියි. පහසු ඉරියව්වකින්. පුටුවක වාඩි වී හෝ ඇද මත හිඳ ඔබ මුළු ලෝකයම අමතක කරන්න. කිසිම දෙයක් මනසට නොගෙන ඔබ ඔබේ අභිවෘද්ධිය මෛත්‍රි භාවනාවෙන් ඉල්ලන්න, ඉහත මා පැවසූ ආකාරයට. මෙය විභාගයට පමණක් නොව පාසල් යන දරුවන්ට ද යෝග්‍ය මානසික ශක්තිය ගොඩ නැඟෙන භාවනාවකි.
මේ ගාථාව ඔබ පාඩම් කරන්නට පෙ‍ර හත්වතාවක් පමණ හිතින් කියවන්න.
“ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ගෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං”
හොඳින් කියවන්න
විභාගයට ලියන්න මොහොතකට පෙර විනාඩි දෙක තුනක කාලයක් ගෙන මේ ගාථාව හත් වරක් පමණ සිතින් කියන්න. ඊළඟට ඔබ ප්‍රශ්න පත්‍රය අතට ගෙන හොඳින් කියවන්න. එය අවශ්‍යම දෙයකි. විනාඩි 5, 10 ක් ගෙන ප්‍රශ්න පත්‍රය ඉතා හොඳින් මුල සිට අගට කියවන්න. කිසිසේත් ඒ ගත කරන කාලය අපතේ ‍ගියා යැයි නොසිතන්න.
ඔබ බොහෝ විට කරන වරදක් වන්නේ ප්‍රශ්න පත්‍රය හොඳින් නොකියවා ඒකපාරටම ලියන්නට පටන් ගැනීමයි. මෙය ළමයින් කරන විශාල ‍වරදක්. ඔබ ප්‍රශ්න පත්‍රය විනාඩි 10 ක් පමණ හොඳින් කියවා ප්‍රශ්න හොඳින් තේරුම් ගන්න. ඊළඟට ඔබ පිළිතුරු සැපයීමට ඇති ප්‍රශ්න ප්‍රමාණය කොතරම් ද යන්න තේරුම් ගන්න. ඔබට විශ්වාසවන්තව ප්‍රශ්නය පළමුව තෝරාගන්න. ලකුණු උපරිමය කරා යා හැකි ප්‍රශ්න වලින් ලියන්න පටන් ගන්න. එසේ ක්‍රමානුකූලව කාල කළමනාකරණය කරමින් අනිකුත් ප්‍රශ්න වලටත් පිළිතුරු සපයන්න. කලබල වෙන්න එපා. හදිසි වෙන්න එපා. ඔබට පිළිතුරු ලිවීමට අපහසු ප්‍රශ්න අගට ඉතිරි කරගන්න. එවිට වැඩිපුර කාලයක් ගෙන ඒවාට පිළිතුරු සැපයිය හැකි ය.
ඔබ විභාග ශාලාවේදී කිසිම අනවශ්‍ය දෙයකට සිත යොමු නොකරන්න. එවිට වන්නේ ඔබගේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති වීමයි. ඔබ අවංකව විභාගය ලියන්න. මහා විශාල ප්‍රතිඵලයක් ඔබට නොලැබුණත් එය ඔබට සතුටු වීමට ප්‍රමාණවත්.
අන් අය දෙස බලන්නටත් යන්න එපා. ඔබේ විශ්වාසය තුළින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. හදවතට එකඟව ඔබ දන්න දේ ලියන්න. ඔබ මෙපමණ කාලයක් ලබාගත් දැනුම ඔස්සේ දන්න ටික හෝ තනිවම ලියන්න. ඔබ වරදක් කරන්න ගියොත් එය ඔබට සැමදාටම විඳවන්න සිදුවේවි.
විභාගයට ලියන පුතේ දුවේ ඔබ ඔබට අවංක වන්න. කලබලයෙන් තොරව නිදහසේ ලියන්න. යම් හෙයකින් ඔබේ ප්‍රතිඵලය අඩු වුවහොත් ඔබ ‍ඔබ දෙස හැරී මෙහෙම කියා ගන්න. “ඇයි මගේ ප්‍රතිඵල අඩු වුණේ කියා තමන්ම කල්පනා කරන්න” ගෙදරින් බැණුම් ඇහුවත් ඒවා බාර ගන්න. තමන්ට එසේ වන්නට හේතුව සොයන්න. ඔබ පාඩම් නොකළේ නම්, පාසලට ගොස් අධ්‍යාපනය හරියාකාරව නොකළා ද යන්න කල්පනා කරන්න. ඔබගේ දෙමවුපියන් ඔබ මේ තත්ත්වයට ගේන්න විශාල වියදමක් දරන බව කල්පනා කරන්න. එමනිසා ඔබට ද වගකීමක් ඇති බව මෙනෙහි කරන්න. පුතේ දුවේ ඔබ අම්මට තාත්තටත් අවංක වන්න. අවංක නොවීමේ ප්‍රතිඵල තමයි අපි රට තොට අහන්නේ දකින්නේ. ඔබ අවංකව විභාගය ලියන්න.
ඔබ විභාගයට නිදහස් මනසකින් යන්න. යාමට ප්‍රථම තම ආගම ධර්මය මෙනෙහි කරන්න. මවට පියාට ගරු කර හොඳ සන්තෝෂයෙන් නියමිත වේලාවට කලින් විභාග ශාලාවට යන්න. හෙට විභාගයට යන්නට නම් කලින් දවසේ වේලාසනින් කා බී නිදාගන්න. තමන්ට විභාග ශාලාවට ගෙන යාමට අවශ්‍ය දේ පමණක් රැගෙන යන්න. ඔබ වැරැදි දෙයක් කළොත් එය සදහටම ඔබේ ජීවිතයට බලපාන්න පුළුවන්. ජීවිත කාලයටම විභාග තහංචි පැනවෙන්න පුළුවන්. ප්‍රවේශ පත්‍රයේ අදාළ තැන්්වල අත්සන් කර තිබේ දැයි කලින් පරීක්ෂා කරන්න. සුළු සුළු දෙයින් ඔබට ලොකු වරදක් සිදුවිය හැක.
ඔබ හොඳ සිහිය පිහිටුවාගෙන විභාගයට සූදානම් වන්න. මේ දින දෙක ඒ සඳහා ප්‍රමාණවත්. එසේ හොඳ සිහියෙන් මුහුණ දෙන ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි.
මවු පියන්ටත් මා කාරණාවක් පැවැසිය යුතුයි. ඇඟ පත උස් මහත් වුණාට දරුවා තවම පුංචි එකෙක් කියා සිතන්න. මේ දින 2 ක වත් දරුවාගේ හිත සනසන්න. “ඔබ පසුගිය දවස් කිහිපය හොඳින් පාඩම් කළා. මේ දින දෙක අපිත් එක්ක සතුටින් ඉන්න” කියලා දරුවාට කියන්න. මම දැක තියෙනවා සමහර නිවෙස්වල මේ දින දෙක අම්මා තාත්තා ඉන්නේ මුහුණ එල්ලාගෙන. සමහර අය කතා ක‍රන්නෙ නැහැ. ළමයි දැක්කාම නයි පොළොංගු දැක්කා වගේ. මේ දින දෙක දරුවන්ට පාඩම් කරන්න යැයි කියමින් විශාල පීඩනයක් දෙන්න එපා. හෙමින් සීරුවේ දරුවා පාඩමට යොමු කරන්න. පළමු දේ ඔබේ දරුවා සතුටින් තියන්න. ඔබ අදක්ෂ යැයි කියන ඔබේ දරුවා සමහර විට හොඳ ප්‍රතිඵල ගෙන දේවි. ඔබේ දරුවා විභාගයට මුහුණ දී ගෙදර ආ විට විභාගය අමාරුද, ලේසි ද යන්න පිළිබඳව ඔබ ඇසුවොත් දරුවා දෙන පිළිතුරට මවුපියන් මුහුණ දිය යුත්තේ ඉතා බුද්ධිමත්ව ය. මේ කරුණ විශේෂයෙන් මවුපියන් අවධාරණයෙන් තේරුම් ගත යුතු ය. “ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයා කොහොම හරි ලිව්වනේ. අපි එන ප්‍රතිඵලයට භාරගමු” යැයි බුද්ධිමත්ව පිළිතුරු දෙන්න. දරුවාට ප්‍රතිඵල එන්නට පෙරත් අනවශ්‍ය ආකාරයෙන් බණින්න එපා.
අමුතු ලොවක්
සමහර මවුපියන් අද සිටින්නේ අමුතුම ලෝකයකය. ඒ ලෝකයේ සිටයි ඔවුන් තම දරුවන්ට පහත් වචනයෙන් බණින්නේ. විභාගය ලියා ගෙදර ආපසු එය නැවත දරුවන් ලවා නොකරවන්න. කළ දේ ගැන සිත සිතා නැවත පසුතැවිලි නොවන්න. හොඳ යහපත් මානසකින් ආදරයෙන් ඔබේ දරුවා විභාගයට යවන්න. එවිට ඔබේ දරුවා කිසිදු බියකින් සැකයකින් තොරව ජයග්‍රාහී මනසකින් විභාගයට මුහුණ දෙනවා නියත ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි