Monday, December 9, 2013

ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ කොහොමද? විභාග කොමසාරිස් ජනරාල්

සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ට

පැය තුනක ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්නේ කොහොමද?

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර
* දන්න සියලු දෙයින් පිටු පුරවන්න එපා.
* ලිවීමට පෙර ප්‍රශ්නය හොඳින් කියවන්න.
* උපදෙස් හොඳින් කියවන්න.
* වැඩිපුර ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න එපා.
* ප්‍රශ්නවලට කාලය බෙදාගෙන පිළිතුරු සපයන්න.
* පිළිතුරු සංවිධානය කරගෙන ලියන්න.
* ලැබෙන ලකුණු ප්‍රමාණය හිතේ තබා ගන්න.
* උපරිම ලකුණු කරා යා හැකි ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
* අවසානයේ ලියූ සියල්ල නැවත කියවන්න.
අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට ඇත්තේ තව දින දෙකයි. මේ වන විට ඔබ විභාගයට හොඳටම සූදානම්ව ඇති. ඔබේ සූදානම ඉතා හොඳින් විභාග පැය කිහිපයට ලබා දුන්නොත් ජයග්‍රාහි ඉලක්කයක් කරා යන්නට ඔබත් හැකිවේවි.
“මම හොඳට විභාගයට පාඩම් කළා. ඒත් ෆේල්... ‘මම හොඳට විභාගයට පිළිතුරු ලිව්වා. ඒත් A සාමාර්ථයක් නැහැ... ‘පන්තියේ මම හැමදාම පළමුවෙනියා. ඒත් මට පහළින් සිටින අයගේ ප්‍රතිඵල මටත් වඩා හොඳයි.’ මේ විභාගයෙන් පස්සෙ අපට නිතර අසන්නට ලැබෙන සිසුන්ගේ මැසිවිලියි. කොහොමද මෙහෙම වෙන්නේ? දක්ෂ ළමයෙක්ගේ, විභාගයට හොඳට පිළිතුරු ලියූ ළමයෙකුගේ ලකුණු අඩුවෙන්නේ කොහොමද?
ඔබ කොතරම් දක්ෂ වුවත්, හොඳට පාඩම් කළත් වඩා වැදගත් වන්නේ විභාග පැය දෙකට හෝ තුනට ඔබ මුහුණ දෙන ආකාරයයි. ඒ පැය කිහිපය තුළ ඔබගේ හැසිරීම, පිළිතුරු ලිවීම, කියවීම මෙන්ම අවබෝධයෙන් යුතුව මනා සංයමයකින් පිළිතුරු දෙන ආකාරය මතයි ඔබේ ප්‍රතිඵල හොඳ වන්නේ.
මේ වන විට ඔබ විභාගයට හොඳින් සූදානම්ව ඇති. පෙරහුරු ප්‍රශ්න පත්‍ර හරහා මනා පුහුණුවක් ද ලබා තිබෙන්නට පුළුවන. එසේ නම් ඔබගේ ඒ මහන්සිය නිරපරාදේ නොහැර උපරිම ආකාරයෙන් විභාග පැය කිහිපය තුළ ගතකර ගන්නා ආකාරය විභාගයට යන ඔබට කියා දෙන්නේ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතාය.
“අපි නිතර අසන දකින දෙයක් තමයි හොඳ දැනුමක් තිබෙන, හොඳ දක්ෂතාවයක් තිබෙන දරුවන් විභාගයෙන් අසමත් වීම. කොතරම් පාඩම් කර ලියුවත් ලකුණු අඩුයැයි කියන පැමිණිලි නිතර විභාග දෙපාර්තමේන්තුවට ගලා එනවා. සමහර දරුවන්ට වාර විභාගයට හොඳට ලකුණු තිබෙනවා. සමහරු පන්ති කාමරයේ පළමුවැනියා, එසේත් නැතිනම් දෙවැනියා. නමුත් මේ අය විභාගයේදි අසමත්. නැතිනම් තමන්ට වඩා පහළින් සිටි ළමයි විභාගයේදි තමන්ට වඩා ඉහළින් ලකුණු ගෙන තිබෙනවා. මෙය වත්මන් ළමයින් අතර තිබෙන කාලීන ප්‍රශ්නයක්.”
“මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන පැය තුන තුළ ඔබ ගත කරන ආකාරයයි. පැය තුන තුළ අහන ප්‍රශ්නවලට ඔබ ඒ ආකාරයෙන් පිළිතුරු සැපයුවා නම් මෙවන් ගැටලුකාරි තත්ත්වයක් ඇති නොවන්න ඉඩ තිබුණා. බොහෝ දක්ෂ දරුවන් කරන වරදක් නම් තමන් දන්නා දේ ඒ ආකාරයෙන් පිළිතුරු පත්‍රයට ඇතුළත් කිරීමයි. තමන් දන්නා සියලු දේ වලින් පිටු පිරවීමට යාම දක්ෂ සමහරුන්ගේ ලක්ෂණයකි. ප්‍රශ්නයට අදාළව අසා තිබෙන දෙයට පමණක් පිළිතුරු සැපයුවා නම් එය ප්‍රමාණවත්. පිටුවකින් පිළිතුරු සැපයිය යුතු දේට පිටු පහක් පුරා ලිවීමෙන් ඔබගේ කාලයත් ලකුණුත් නිරපරාදේ අහිමි වී යනවා. ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට ප්‍රථම එය විස්තර කිරීමටද, කෙටි සටහන් ලිවීමටද, කෙටියෙන් සඳහන් කිරීමටද, නිවැරැදි පිළිතුරු ලිවීමට ද යන්න ඇති උපදෙස් කියවිය යුතුය. ඕනෑම ප්‍රශ්නයක අගින් අසා ඇති කළ යුතු දේ කුමක්ද යන්න පිළිබඳ බොහෝ දක්ෂ සිසුන්ට ඇත්තේ අඩු අවධානයකි. පිළිතුරු ලිවිය යුතු ආකාරය ප්‍රශ්නයේ සඳහන්. ඒ උපදෙස්වලට අනුකූලවයි පිළිතුරු ලබා දිය යුත්තේ.
ප්‍රශ්න පත්‍රයක මුලින්ම දී ඇති උපදෙස් ද ඔබ කියවිය යුතුමයි. සමහර ප්‍රශ්න අනිවාර්යයෙන්ම කළ යුතුයි. සමහරක් විට ප්‍රශ්න තෝරා ගැනීමට සිදුවෙනවා. එය හරියට දැන ගැනීමට උපදෙස් කියවිය යුතුමයි. බොහෝ අය කරන වරදක් වන්නේ උපදෙස් නොකියවා ප්‍රශ්න පත්‍රය ගෙන ලියාගෙන ලියාගෙන යාමයි.
මේ නිසා කාලය නාස්තිවන අතර ලිවිය හැකි ප්‍රශ්න වලටද සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වෙයි. වැඩිපුර ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ඔබ ලබා දුන්නද උත්තර පත්‍ර පරීක්ෂාවේදි ඒ පිළිතුරු සියල්ලම අපි නොබලන අතර කරන්නේ අගින් අනවශ්‍ය ප්‍රශ්න කපා දැමීමයි. අති සාර්ථකම පිළිතුරු ලියූ ප්‍රශ්නයක් තිබුණද වැඩිපුර ලිවීමෙන් වන්නේ ඒවා කපා ඉවත්වීම පමණි. දක්ෂ දරුවන් බොහෝ විට විභාගය අසමත් වන්නේ මේ නිසායි.”
සමහර ශිෂ්‍යයන් එතරම් දක්ෂ නොවුණත් දී ඇති උපදෙස් හොඳින් කියවා අනවශ්‍ය වැල්වටාරම් නොයොදා දන්නා ආකාරයෙන් පිළිතුරු ලියයි. බොහෝවිට මේ අයට දක්ෂ අයට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිවිය හැක.
‍‍බො‍හෝ අයගේ චෝදනාවක් වන්නේ ප්‍රමාණවත් කාලයක් පිළිතුරු සැපයීම සඳහා නොමැති බවයි. එසේ වීමට ප්‍රධාන හේතුව අනවශ්‍ය ලෙස කාලය වැය කිරීම හා කාල කළමනාකරණය කර නොගැනීමයි. ඔබ තුළ කොතරම් දැනුම තිබුණත්, පෙළපොත කටපාඩම් කරගෙන සිටියත්, අමතර දැනුම ලබාගෙන තිබුණත් ඒ සියල්ල දන්නා පමණින් නොලිවිය යුතුයි. කරුණු ගොනුකර පිළිතුර ලබාදීමට පුරුදු විය යුතුයි.
පෙළපොතේ දැනුම මෙන්ම අනිකුත් බාහිර දේ ඇස‍ුරෙන් ප්‍රශ්න ඇසීමේ අයිතිය විභාග දොපර්තමේන්තුව සතුයි. පාසල් පෙළ පොතට හා විෂය නිර්දේශයට අනුකූලවයි ප්‍රධාන වශයෙන් ප්‍රශ්න සැකසෙන්නේ. ඔබ තුළ ප්‍රශ්නයට අදාළව බාහිර දැනුම ඇත්නම් එය පිළිතුරට ඇතුළත් කළාට වරදක් නැත.
පසුගිය වසරේ එම ප්‍රශ්න පත්‍රයටම ඇසූ ප්‍රශ්න මේ වතාවේ නොඑන බව ‍බො‍හෝ සිසුන් අනුමාන කළත් ඒ ප්‍රශ්න මෙවරද පැමිණී‍ෙම් ඉඩකඩ ඇත.
උත්තර පත්‍ර බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ ළමයි ප්‍රශ්නයකට පිළිතුරු ඉතා හොඳින් දැනගෙන සිටියත් ප්‍රශ්නයෙන් අහන දේ ඔළුවට නොගෙන දන්නා සියලු දේම පිළිතුරට ගොනු කිරීමයි. ප්‍රශ්නය හරියාකාරව තේරුම් ගෙන සැලසුම් කර පිළිතුරු ලිවීමේ හැකියාව බොහෝ අයට අඩුයි. මේ අඩුපාඩුව සකසා ගන්නට නම් පෙර පුහුණුව අත්‍යවශ්‍යයයි. මෙය දක්ෂ ළමයි අතරේ තිබෙන දුර්වලතාවකි. පිළිතුර වුවත් සංවිධානය කර සැකසිය යුතුය. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. ප්‍රශ්නයෙන් අසන දේ හරියට තේරුම් ගත යුතුයි. දැක්ක පමණින් ලියන්න එපා. පිළිතුරට අවශ්‍ය දේ පමණක් සංවිධානය කර ලියන්න. දන්නා සෑම දේම දන්නවා යැයි දැනෙන්නට ලියන්නට එපා. සමහර සිසුන්ගේ පිළිතුරු දෙස බලන විට ඉතා හොඳින් පෙනෙන දෙයක් වන්නේ ඔවුහු විෂය කරුණු ඉතා හොඳින් දන්නා බවයි. නමුත් ඒවා ප්‍රශ්නයට අදාළ ලෙස පිළිතුරු දෙන්නට හැකිවී නැත. ලකුණු අඩු වන්නට ප්‍රධාන හේතුව එයයි.
‍ප්‍රශ්නයේ එක වචනයකින් බොහෝ වෙනස්කම් සිදුවිය හැක. සැකෙවින් ලියන්න, විස්තරාත්මකව ලියන්න, වෙනස දක්වන්න යැයි ඇසිය හැක. වෙනස දක්වන්න යැයි තිබූ විට විස්තරාත්මකව ලියුවහොත් ලකුණු ගිලිහී යා හැක. ලිවිය යුත්තේ වෙනස්කම් මිස පාඩම නොවේ. නිශ්චිතව වෙනස දැක්විය යුතුය.
බහුතරයක් විභාගයෙන් අසමත් වන්නේ ගණිත විෂය අසමත් වීම නිසාය. ගණිතය පිළිබඳ මූලික සංකල්ප පිළිබඳ දැනුම හැම දෙනා තුළම තිබිය යුතුය. ගණිතය ප්‍රශ්න පත්‍රයේ අපි මූලික ගණිත සංකල්පත් මැන බලනවා. ගණිත පත්‍රය අපි ඉදිරිපත් කරන්නේ බොහෝ ළමයින්ට පහසුවක් වන ආකාරයටයි. මූලික සංකල්ප දන්නා අයටත් සමත් වීමට හැකි පරිදියි ගණිතය සකස් වී තිබෙන්නේ. අදක්ෂ ළමයකු වුවද II පත්‍රයට සුළු ලකුණක් ගෙන සමත්වන ආකාරයටයි ගණිතය පත්‍රය සකස් වී තිබෙන්නේ. යමකු ගණිතය අසමත් වනවා කියන්නේ මූලික සංකල්ප පිළිබඳවත් ඔහු තුළ දැනුමක් නොමැති බවයි.
ළමයින්ගේ මාධ්‍ය භාෂා දැනුම අඩුවීම නිසාද අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. සිංහල මාධ්‍ය භාෂවෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන දරුවකුට සිංහල ලිවීමේ කියවීමේ හැකියාව හොඳින් තිබිය යුතුය. අපැහැදිලි අත් අකුරුද ලකුණු නොලැබී යාමට ප්‍රධාන හේතුවක්. අපැහැදිලි අත්අකුරු අමාරුවෙන් පරීක්ෂකවරු කියවුවත් මෙයත් ලකුණු ගිලිහී යාමට හේතුවක් සපයයි.
සමහර දක්ෂ ළමයි විභාග අසමත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නිසි උපදෙස් පිළිනොපැදීමයි. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුත්තේ කළු හා නිල් පෑන්වලින් පමණි.
අපි ප්‍රශ්න පත්‍රයට කාලය ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍රයට හොඳින් කියවා, උපදෙස් හොඳින් කියවා, පිළිතුරු සැපයීමටයි. ළමයි කරන ලොකුම දුර්වලතා වන්නේ කාලය මදි වේයැයි සිතා ප්‍රශ්න පත්‍රය නොකියවීමයි. ප්‍රශ්න 10 න් 6 ක් ‍‍තෝරා ගන්නට ඇත්නම් ප්‍රශ්න 10 ම කියවිය යුතුය. එසේ කියවීමෙනුයි ප්‍රශ්න 6 ක් ‍‍තෝරාගත යුත්තේ. නමුත් බොහෝ දෙනා කියවීම ප්‍රතික්ෂේප කරන්නේ කාලය ප්‍රමාණවත් නොවේය යන හැඟීමෙනි. සමහර ළමයි කල්තබා සූදානම් වනවා, තමන් පිළිතුරු සපයන ප්‍රශ්න කොටස් මොනවාද යන්න ගැන. එය නොවෙයි කළ යුත්තේ. සමහරවිට වෙනත් ඒකක වලින් ඊට වඩා පහසු ප්‍රශ්න තිබිය හැකි නිසා ප්‍රශ්න හොඳින් කියවා තමන්ට ලිවිය හැකි පහසු ප්‍රශ්න තෝරාගත යුතුය. වැඩිම ලකුණු සංඛ්‍යාවකට යාහැකි ප්‍රශ්න තෝරා ගෙන පිළිතුරු සැපයීම වැදගත්.
විභාග අපේක්ෂකයන් තරයේ සිහිතබා ගත යුතු කරුණු
* අනිකුත් විභාග අපේක්ෂකයන්ට අවහිරයක් ඇති නොවන සේ විනීතව හැසිරිය යුතුයි.* උත්තර ලිවීමට පටන්ගෙන පැය භාගයක් ගතවූවාට පසු කිසිදු විභාග අපේක්ෂකයකු විභාග ශාලාවට ඇතුළත් කරගනු නොලැබේ.
* නියමිත කාලයෙන් තුනෙන් දෙකක් ගතවනතුරු ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින අපේක්ෂකයකුට විභාග ශාලාවෙන් පිටවීම තහනම්ය.
* තම‍ාගේ විභාග අංකය දරන ආසනයේ හැර වෙන කිසිම තැනක වාඩි නොවිය යුතුය.
* විභාග ශාලාව ඇතුළත හෝ ඉන් පිටත හෝ සිටින කිසිවකු සමඟ කතාබස් කිරීම, පණිවිඩ හුවමාරු කිරීම හෝ වෙනත් කිසිම ආකාරයේ ගනුදෙනුවක් කිරීම තහනම්ය.
* තම අනන්‍යතාව තහවුරු කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත හෝ බලපත්‍ර ගමන් බලපත්‍රය වලංගුය.
* විභාග අපේක්ෂකයන් ප්‍රවේශ පත්‍රයේ තම අස්සන ඒ සඳහා සුදුසුකම් ඇති පුද්ගලයකු ලවා සහතික කළ යුතුය.
* උත්තර පත්‍රවල තම නම නොලිවිය යුතුය.
* තමන්ට ලබාදී ඇති ප්‍රශ්න පත්‍රයට අදාළව සපයන ලද පිළිතුරු පත්‍ර සියල්ල පිටු අංක අනුව ගොනුකර එක් පිළිතුරු පත්‍රයක් වශයෙන් භාරදිය යුතුය.
* කටුවැඩ සඳහා භාවිතා කරන කඩදාසි ඇතුළු භාවිතා කරන සියලු කඩදාසියක් ම උත්තර පත්‍රයට ඇමිණිය යුතුය.
‍* විභාග ශාලාවේදී ලියන ලද කිසිම දෙයක් පිටතට ගෙනයාම තහනම් ය.
* ගණිත ප්‍රශ්න වලදි ගණන් වරදවා හදා හෝ ගණන් කිසිසේත් නොසාදා හෝ නිවැරැදි පිළිතුරු දැක්වීමත්, චිත්‍ර කලාවේදි තමන්ගේ චිත්‍රය තවත් අපේක්ෂකයකුගේ චිත්‍රයකට අල්ප මාත්‍රයක් හෝ ස්වරූපයෙන් හෝ ක්‍රියාකාරිත්වයෙන් හෝ සමානව හෝ බොහෝ සෙයින් ආසන්නව තිබීමත් වංචා සහගත ක්‍රියාවක් සේ සලකනු ලැබීමට හේතුවිය හැක. ‍‍
* තමන් වෙත සපයන ලිපි ද්‍රව්‍ය හැර පහත සඳහන් දේ විභාග ශාලාවට ගෙනයාම සපුරා තහනම්ය.
පොත්පත්, සටහන්, කඩදාසි කැබලි, අත්බෑග්, මුදල් පසුබ්මි, පෙට්ටි, ගණක යන්ත්‍ර සහිත ඔරලෝසු, සෙලියුලර් දුරකතන හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ, පාර්සල්, ෆයිල් කවර, කාඩ්බෝඩ්, පෑඩ්, නැමූ ප්‍රවෘත්ති පත්‍ර, මකන දියර.
සමහර ළමයින් ලෙහෙසි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට වැඩි කාලයක් ගත කරයි. මෙය පොදුවේ දැකිය හැකි දුර්වලතාවක්. මේ ආකාරයෙන් තමන්ට වැඩි කාලයක් ප්‍රශ්න කිහිපයකට වෙන් කිරීමෙන් ප්‍රශ්න සඳහා වෙන් කිරීමට ඇති කාලය ප්‍රමාණවත් නොවේ. කොතරම් ලෙහෙසි ප්‍රශ්නයකට වුවත් අනවශ්‍ය කාලයක් වෙන්කර කොතරම් හොඳට පිළිතුරු සැපයුවත් ලැබෙන්නේ ප්‍රශ්නයට හිමි ලකුණු ප්‍රමාණය පමණි.
එමනිසා හොඳම දේ කාල කළමනාකරණය කර එක් එක් ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ගැනීමයි. ප්‍රශ්නයකට වැඩිපුර කාලයක් ගැනීමෙන් හිමිවන අමතර වාසියක් නැත. ඔහු කළ යුත්තේ ප්‍රශ්නවලට වැඩිපුර කාලයක් ගෙන පිළිතුරු ලිවීම නොව ප්‍රශ්නයන් අ‍තනොහැර හැම ප්‍රශ්නයකටම දන්නා ආකාරයෙන් පිළිතුරු සැපයීමයි.
තවත් ශිෂ්‍යයන් උපක්‍රමශීලීව ලකුණු ලබා ගැනීමේ තරගයක නියැළෙයි. අවශ්‍ය දේ පැහැදිලිවම ගෙන ලියා, කාලය කළමනාකරණය කරමින් පිළිතුරු සැපයීමයි. මේ ක්‍රමය ඉතා හොඳයි. ඔබ පිළිතුරු ලිවීමේදී ලැබෙන ලකුණු ප්‍රමාණය කල්පනා කළ යුතුය. දන්න දේ සියල්ල ලියනවාට වඩා උපරිම ලකුණු උපයාගත හැකි පරිදි අවශ්‍ය දේ අවශ්‍ය පමණට ලිවිය යුතුය. ලකුණු ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතුය.
සමහර ළමයින් පිළිතුරු කොළ 10 - 15 ක් පිරෙව්වත් ඊට අඩු, කොළ ප්‍රමාණයක පිළිතුරු ලියූ ළමයාගේ ලකුණු ඉහළ මට්ටමක තිබිය හැක. පිළිතුරු දීමේදි සැලකිල්ලට ගන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ලකුණු ලබාදීමේ පටිපාටියයි. ලකුණු දීමේ පටිපාටියට අනුකූලව අවශ්‍ය පිළිතුර තිබීම ප්‍රමාණවත්. වැඩිපුර ලිවීම තුළ අපහසුතාවයට පත්වන්නේ පරීක්ෂකවරුන්ය.
ප්‍රශ්නයකට පිළිතුරු දීමේදි සැලැස්මක් තිබිය යුතුය. මුලින් ලියන ප්‍රශ්න මොනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. වේලාව ඉතුරුවී තිබේ නම් ඔබ ලියූ පිළිතුරු නැවත කියවන්න. එසේ කියවීමෙන් පමණයි ඔබ ලියූ වැරැදි හසුකර ගත හැකි වන්නේ. මේ නිසා අනවශ්‍ය දේ ලියා කාලය අපතේ නොයවන්න. ඔබ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු ලියා ඇත්නම් නැවත කියවීමට ද ඔබට කාලය ඉතුරු වනු ඇත. ඉහළම ලකුණකට යමකු යාමට නම් නැවත වරක් ලියූ දේ කියවීමට ද කාලයක් ඉතිරි කරගන්න.
පසුගිය ප්‍රශ්න පත්‍රවලට කාල කළමනාකරණය කරමින් පිළිතුරු ලියා හුරුවී ඇත්නම් ඔබට විභාගය එතරම් අමාරු වන්නේ නැත. ඔබ විභාග පැවැත්වෙන මොහොතේදි අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතුය. භය නොවිය යුතුය. කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට යායුතුය. තමන්ගෙ අංකය සහිත ඩෙස්ක් එකේ වාඩි විය යුතුය.
පෑන් පැන්සල්, ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන් ගෙනයා යුතුයි. ප්‍රමාද වී යාමෙන් අනවශ්‍ය ලෙස කලබල ඇතිවෙන නිසා පැය 1/2 කට පෙර විභාග ශාලාවට යන්න. නිවුණු මනසකින් ප්‍රශ්න පත්‍රය අතට ගන්න. කලබල වීමෙන් විෂය කරුණු හරිහැටි ආවර්ජනය කර ගැනීමට ද නොහැකි වෙයි. තමන්ට වෙනත් දෙයක් සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් නිරීක්ෂකවරුන්ට එය පවසා නිරාකරණය කරගත හැකිය.
විභාග ප්‍රශ්න පිළිතුරු කොපි කරන්න යන්න එපා. කොපි කිරීමට අනවශ්‍ය කාලයක් වැයවෙයි. එසේම ජීවිත කාලයටම විභාග තහංචි පැනවෙයි. බොහෝ සිසුන් අනුමාන කරනවා තමන් පෙර දිනවල පාඩම් කළ දේ තම මතකයෙන් ගිලිහී ගොස් ඇති බව. නමුත් ඔබ එසේ සිතිය යුතු නැත. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයද්දි ‍ඔබේ ඒ මතකය නිරායාසයෙන්ම ගලා එයි. ඒ සඳහා වූ නිදහස් පරිසරය අප විසින් සකස් කර තිබෙනවා. ප්‍රශ්නයක් අවධාරණයෙන් කියවූ විට පිළිතුරු ද නිරායාසයෙන් ගලා එයි.
ඔබ ප්‍රශ්න පත්‍රයත් සමඟ ගතකරන පැය 3 ක කාලය අනුවයි ඔබේ සමත් වීම / අසමත් වීම තීරණය වන්නේ. ඒ සඳහා පෙරහුරුව අවශ්‍යයයි. හෙට දිනයේ විභාගයට යන ඔබ මා මේ කියූ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. එවිට ඔබ සිතූ පරිදි ජයග්‍රාහි ඉලක්කයක් කරා පා නඟන්නට ද ඔබට හැකිවනු නියතයි.
ඔබට ජය!

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි