Monday, December 9, 2013

“මේ ළමයින් බස් නැතුව ‘හෝල්ට්’ එකේ හිටියා. මම කාර් එකේ එක්කගෙන ආවා.”

සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ට

විභාගයට පෙර දින විවේකීව ගත කළ යුතුයි

විශ්‍රාමලත් විදුහල්පති ඩී. සී. ද සිල්වා
තව දින දෙකකින් පමණ ඇරැඹෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන දරුවන්ට වැදගත් වන කරුණු කිහිපයක් ඇතුළත් කරන්නට අදහස් කරමි. මේ වන විට අදාළ විෂයයන් ගැන අධ්‍යයනය කොට විභාගයට පිළිතුරු සැපයීමට සූදානම්ව සිටින ඔබ විසින් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු වන්නේ මා මේ විභාගයෙන් ජය ගනිමි යන්නය. විෂය කරුණු හදාරා හොඳින් ඒ ගැන අවබෝධයක් ලබාගෙන ඇත්නම් ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම අසීරු කාරණයක් නොවේ. මේ ඒ සඳහා ඔබට කැරෙන මඟ පෙන්වීමකි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඔබට ඉදිරි පියවර තුනක් ඇත. විභාගයට පෙර සූදානම, විභාගයට උත්තර ලිවීම, විභාගයෙන් පසු වැඩ සැලසුම යනු ඒ අදියර තුනයි.
පෙර සූදානමේ දී ඔබ විභාගයට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර ගත යුතු ය. වඩාම වැදගත් වන්නේ ප්‍රවේශ පත්‍රය යි. ප්‍රවේශපත්‍ර පාසලට ලැබුණු වහාම ඒවා ශිෂ්‍යයන් අතට පත් කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමයි. එය ලබා ගැනීමේදී ඇතැම් පාසල් මගින් පැනැවෙන යම් තහංචි ගැන අසන්නට ලැබේ. නමුත් එය සාධාරණ නොවේ. ප්‍රවේශ පත්‍රය ලැබූ වහාම එහි නම නිවැරැදි ද, ඉල්ලුම් කළ විෂයයන් නිවැරැදි ද, විභාග මධ්‍යස්ථානය, කාලසටහන ගැන අධ්‍යයනය කිරීම අනිවාර්යය. ශිෂ්‍ය සංඛ්‍යාව අධික පාසල්වල විදුහල්පති අස්සන් කොට, නියෝජ්‍ය විදුහල්පති අංශ ප්‍රධාන, පංතිභාර ගුරුතුමා මඟින් ශිෂ්‍යයාට ලබා දිය යුතුය. වඩාත්ම නිවැරැදි වන්නේ එසේ නිකුත් කළ ප්‍රවේශ පත්‍රය විදුහල්පති ඉදිරියේ අස්සන් කොට ඉන්පසු විදුහල්පති අස්සන තබා නිල මුද්‍රාව තැබීමය. කොපමණ වැඩ අධික වුවත්, ශිෂ්‍ය සංඛ්‍යාව අධික වුවත් මේ කාර්යය විදුහල්පතිවරුන් අතින් සිදු කිරීම වැදගත් බව පෙන්වා දිය හැක.
ප්‍රවේශ පත්‍රයේ නම, වැරැදි නම් අදාළ කොටුවේ ඉංග්‍රීසි අකුරෙන් නැවත ලියා ශාලාධිපති මඟින් නිවැරැදි කර ගන්න. විශේෂයෙන් වෛකල්පිත විෂය අංක බලන්න. බොහෝවිට ඒ විෂය වැරැදී ඇත්තේ ඔබ විසින් අයදුම්පත් යැවීමේදී කළ වැරදීමක් බව පෙනෙනු ඇත. එය නිවැරැදි කිරීමට විභාග දෙපාර්තමේන්තුවටම යන්න.
විභාගයට පෙර දින විවේකීව ගත කරන්න. හොඳට පැය හත අටක් නිදා ගන්න. ඇතැම් ළමයින් මහ රෑ නිදි වරා විභාග ශාලවේ අපහසුවෙන් සිටිනු දක්නට ලැබේ. මවුපියන් සමඟ ආගමික වතාවත් කර අධ්‍යාත්මික ශක්තියක් ලබා ගන්න.
විභාග දින කල්වේලා ඇතුව විභාග මධ්‍යස්ථානයට යන්න. පැය භාගයකට කලින් මධ්‍යස්ථානයට යාමට උනන්දු වන්න. වාහන තදබදය, පාරවල් වැසීම, හදිසි හේතු මත වාහන ප්‍රමාදවීම සිදුවිය හැකි බැවින් ත්‍රිරෝද රථයක් මඟින් වෙනත් අතුරු පාරකින් විභාග ශාලාවට යාමට මුදලක් අත තබා ගන්න.
වරක් මා විභාග ශාලාධිපතිව කටයුතු කරමින් සිටියදි ප්‍රශ්න පත්‍රය ලබාදී විනාඩි හත අටකට පසු ළමයින් හතර දෙනකු සමඟ මහත්මයකු පැමිණියේ ය.
“මේ ළමයින් බස් නැතුව ‘හෝල්ට්’ එකේ හිටියා. මම කාර් එකේ එක්කගෙන ආවා.”
මම වහාම ළමයින් විභාගයට යොමු කළෙමි.
“මහත්මයා කවුද?”
ඔහු හැඳුනුම්පත පෙන්වීය. දිසා විනිසුරු වරයෙකි.
“මම උසාවි යන ගමන් මේ ළමයින් ගෙනාවෙ විභාගයක තියෙන වටිනාකම මම දන්නා නිසයි.”
සමහර රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි අය මෙබඳු අවස්ථාවලදී උදවුවීම ඔවුනගේ කාරුණික බව පෙන්නුම් කිරීමක් නොවන්නේ ද?
නිවැරැදි විභාග ශාලාව තෝරා ගන්න. විභාග අංකය ඉතා වැදගත් ය. ඔබේ විභාග අංකය ‍ඉලක්කම් තුන හතරක් නොව අටක් බැවින් එය නිවැරැදිව පිළිතුරු පත්වල සටහන් කරන්නට උනන්දු වන්න.
විභාගයට පැමිණීමේදී පාසල් නිල ඇඳුමින් සැරැසෙන්න. පාසල් නිල ඇඳුමෙන් සැරසීම අනිවාර්ය නොවූවද පාසලේ ගෞරවය, පෞද්ගලිකව ම ශිෂ්‍ය භාවය සඳහා පාසල් නිල ඇඳුමට ඇති සදාචාරාත්මක සැලකීම ඔබ ලබා ගත යුතුය.
වරක් විභාග ශාලාවක ශිෂ්‍යාවක් නිතර වම් අතෙන් ඇස් වැහෙන සේ වැටෙන කෙස් ගස් ඉවත් කරමින් අපහසුවෙන් ලියනු දුටු නිරීක්ෂකවරිය ඇයගේ කොණ්ඩය මුහුණට නොවැටෙන සේ කටුවලින් රැඳවූවාය.
උත්තර ලියා අවසානයේ නිරීක්ෂකවරියට ස්තූති කිරීමට දැරිය පැමිණියාය.
“ඇයි දුවේ අම්මට උදේ වඳිද්දි දැක්කෙ නැද්ද කොණ්ඩය මුහුණට එන බව.”
“මිස් අපේ අම්මා නැතිවෙලා.”
මා මේ කතාව ඉදිරිපත් කළේ ඔබේ විභාග ශාලාවේ නිරීක්ෂණ කටයුතු කරන්නේ ගුරුවර ගුරුවරියන් නිසා ඔවුන් විභාගයට පැමිණෙන දරු දැරියන්ට උපරිම සේවයක්, දරු සෙනෙහසින්, සාධාරණ ලෙස කරන නිසාය.
විභාගයට අසුන් ගැනීමට පෙර සැහැල්ලු ආහාරයක් ගෙන, මනස සකස් කර ගන්න. සමහර විට පැය තුනක ප්‍රශ්න පත්‍රයක දී “කුසගිනි” දැනෙනු ඇත. ඒ නිසා විභාගයට පෙර කෙටි ආහාරයක් ගත යුතුය.
ඔබට ‘බහුවරණ’ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීමට සිදුවනු ඇත. පිළිතුරු කඩදාසියේ විභාග අංකය ලියන්න. බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එක එල්ලේ ම දැනුම විමසන ප්‍රශ්න, ඊට ටිකක් ගැඹුරින් අ‍වබෝධය මනින, ඊටත් ටිකක් ගැඹුරින් භාවිතය සොයන ප්‍රශ්න ඔබ ප්‍රශ්න පත්‍රය කියවන විට ම නිවැරැදි පිළිතුර වරණ වල තිබේ නම් වහාම ‘x’ යොදන්න. මෙහිදී ප්‍රශ්න අංකය බලමින් ‘x’ යොදන්න. සමහර දරුවන් 12 ප්‍රශ්නයට 13 කොටුවේ ‘x’ යොදයි. එතැන් සිට දිගට ම වැරැදේ. නිවැරැදි දැනුම ඇතත් මේ සුළු අතපසුවීම් ගැන කල්පනාකාරී විය යුතුය. ප්‍රශ්න පත්‍රය පළමුවර කියවීමේදී පිළිතුරු ලියූ පසු දැන් ඉතිරි වූ ප්‍රශ්න වලට ‘x’ යොදන්න බොහෝවිට මෙසේ ඉතිරි වන්නේ එක එල්ලේම නොව විෂය කරුණු දෙකක් තුනක් අතර සහ සම්බන්ධතාවක් ඇති තරමක් දුෂ්කර ප්‍රශ්නය. එහෙත් ඔබගේ අධ්‍යයන කාලපරාසය අනුව, නිර්දේශ පත්‍රය අනුව අදාළ ප්‍රශ්නවන බැවින් අමාරු ප්‍රශ්නවලට ද කල්පනා කොට උත්තර සපයන්න.
බහුවරණ පත්‍රයට පැන්සලෙන් ‘x’ යොදා අවසාන විනාඩි පහ තුළ තීන්තෙන් සලකුණු කළා ට වරදක් නැත.
ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පැය තුනක කාලයක් පිළිතුරු ලිවීම පරෙස්සමෙන් කළ යුතුය.
ඔබට දෙන විභාග කඩදාසි සෑම එකකම විභාග අංකය ලියන්න. ප්‍රස්ථාර කඩදාසි ආදි විශේෂ කඩදාසිවල ද අංකය ලියන්න.
ප්‍රශ්න පත්‍රය ලැබුණු වහාම ඔබට වඩා පහසු ප්‍රශ්න තෝරා ගන්න. ප්‍රශ්න පහකට ලිවිය යුතු නම් පහට ම ලියන්න. එවිට සියයෙන් ලකුණු ලැබේ. තුනකට හතරකට පමණක් ලිවීම සුදුසු නැත. බොහෝ විට එසේ වන්නේ පහසු ප්‍රශ්නයකට වැඩි කාලයක් ගත කිරීම නිසාය.
ඔබ තෝරා ගත් ප්‍රශ්නවලට ඉදිරියෙන් ගත කරන කාලය සටහන් කර ගන්න. ඔර්ලෝසුව බලමින් ඒ කාලය තුළ ලියන්න.
ව්‍යුහගත කිරීමෙන් අදහස් කරන්නේ ඔබේ පිළිතුරට අවශ්‍යම දේ ලියවා ගැනීමයි. මේ ප්‍රශ්න පත්‍රයේ ද එක එල්ලේම දැනුම විමසයි. නම් කරන්න මොනවාද? යනාදී ප්‍රශ්න තිබිය හැකිය. මේ ලබාගත් දැනුම, අවබෝධය හා විමසා බැලීමේ ප්‍රශ්න ද ඇතුළත් ය. ඊටත් වඩා ගැඹුරින් ඒ දැනුම අවබෝධය භාවිතයට ගත් ප්‍රශ්න ද ඇතුළත් ය. පැහැදිලි කරන්න, පෙළගස්වන්න, නම් කරන්න, හඳුනාගන්න, හේතු දක්වන්න, යනාදි වශයෙන් ප්‍රශ්නයේ අහන දේට පැහැදිලි ලෙස උත්තර සපයන්න.
පිළිතුරු ලිවීමේ දී රූප සටහන්, පැහැදිලිව ම අඳින්න. අත් අකුරු කියවීමට හැකි පරිදි ලියන්න. අත් අකුරු පැහැදිලිව ලිවීම ඉතා වැදගත්ය.
පිළිතුරු ලිවීමේ දි සෑම කඩදාසියකම ඉහළ කෙළවරේ පැන්සලෙන් පිටු අංකය ලියන්න. පළමුව ප්‍රශ්න අංකය ද ඉන් පසු පිටු අංකය ද ලියා උත්තර ලියන කඩදාසි යටින් තබා ගන්න. මොනම හේතුවක් නිසා හෝ උත්තර ලියන කඩදාසි මේසය පුරා “වපුරා” නොගන්න.
වරක් උත්තර පත්‍ර අමුණන දැරියක් අපහසුවට පත් වී ‘ක්ලාන්ත වූයේ’ ලියූ කඩදාසියක් අවසානයේ දී නොතිබූ බැවිනි. එය ඇයගේ පුටුව යට වැටී තිබී හමු විය. සමහර ළමයින් පිළිතුරු ලියන විට ලියූ කඩදාසි ‘ඩෙස්ක්’ ඇතුළට දමති. කලබලයේ උත්තර පත්‍ර අමුණද්දී මඟ හැරීමට ඉඩ තිබේ.
අවසාන විනාඩි දහය තුළ පිළිතුරු ලිවීම නතර කරන්න. දැන් ඔබ ලියූ උත්තර ප්‍රශ්න පත්‍රයේ අංක අනුව විළිවෙළට ගැට ගසන්න. උත්තර පත්‍ර බලා ලකුණු ඇතුළත් කිරීමේදී එසේ අමුණා තිබීම පහසු වනු ඇත.
එදිනෙකා නිම වන විෂය ගැන කතා නොකිරීම වඩා වැදගත්ය. අද විභාගය අවසන් වූ පසු හෙට පැවැත්වෙන විෂයය ගැන සොයන්න. බලන්න. පාඩම් කරන්න.
සම්පූර්ණ විභාගය අවසන් වූ දාට ඔබට පුදුම සතුටක්, සහනයක්, සුවයක් දැනේ. ඔබ එදින විභාග කාර්ය මණ්ඩලයට ආචාර කරන්න. ඔබත් සමඟ දින ගණනක් ගත කළ ඒ ගුරුවරුන් ද ඔබේ පාසලේ ගුරුවරුන් ලෙස සලකා සමුගන්න.
විභාග මධ්‍යස්ථානයේ දේපළ ආරක්ෂා කරන්න. විභාගය පැවැත්වුණේ ඔබේ පාසලේ වුවද වෙනත් පාසලක වුවද ‘මම’ ‘මගේ’ ‘මා සතු’ නොව ‘අපි’ ‘අපේ’ ‘අප සතු’ යන පුළුල් ආකල්පය ඇති කරගන්න.
විභාගය නිම වූ පසු ‘ගෙදර’ යා යුතුය. විභගය නිමාවූ සතුටට විනෝදය සඳහා ගමන් බිමන් නොයන්න. බොහෝ ළමයින් විපතට පත් වන්නේ මේ විභාගය අවසා‍නයේදී යන ‘අවිචාර’ ගමන් නිසාය.
ප්‍රතිඵල ඔබට විශ්වාස නම් ඔබ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරාවට සූදානම් වන්න. පොත්පත් සපයා ගන්න. උසස් පෙළ විෂය නිර්දේශය රැස් කර ගන්න.
එසේ නොමැති නම් ප්‍රතිඵල එනතුරු කෙටිකාලීන වෘත්තීය පාඨමාලාවකට යන්න. පරිගණක පාඨමාලාවක් මඟින් අදාළ දැනුම ලබා ගන්න.
අවසන් වශයෙන් සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්ව උසස් පෙළ හදාරා සරසවියට යාමට දූ පුතුන්ට වාසනාව උදාවේවා!යි පතමු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි