මනකල් හදවිල් තලය
ගුවන් විදුලි ළමා පිටිය යුග ගණනක් තිස්සේ බාල ළමාවරුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද රසඥතාව ඉහළ තලයකට ගෙන ඒමට සමත්වූ වැඩ සටහනකි. “සුරතල් නංගියෙ අපේ අම්මා” ළමා ගීතය සිරි අයියාගේ ළමා පිටියේ සිරි අයියා නමින් පෙනී සිටි නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකුවූ යූ.ඒ.එස්. පෙරේරා විසින් රචිත ළමා පිටියෙන් බිහිවූ ගීතයකි. එදවස සැඳෑ කල දොරකඩ පඩිපෙළේ හිඳ අම්මා මෙය හඩනඟා ගායනා කළ හැටි තවමත් මතකයේ දෝංකාර නැඟෙන්නාසේ ය.
සිරි අයියා කොළඹ යුගයේ කවියෙකි. “සුරතල් නංගියෙ අපෙ අම්මා” දෙබස්මය ගීතයේ අම්මගේ හොඳ මෙන් ම තාත්තගේ හොඳද එකිනෙකා පරදවමින් ළමා ගායක යුවළ දැක්වීමෙන් අනතුරුව සිරි අයියාගේ ගැඹුරු කටහඬ වාදය අවසන් කරමින් මතුවෙයි. “අම්ම හොඳයි කීවත් වැරදී - තාත්තා හොඳයි කීවත් වැරදී - එබැවින් නංගියෙ මල්ලියේ පවසමු දෙන්නම හොඳය කියා” යන්න සිරි අයියාගේ ඔවදන විය.
සිරි අයියාගේ ළමා පිටියෙන් පසුව අපේ ළමා ලෝකයේ රජවූයේ කරු අයියා ය. කරුණාරත්න අබේසේකර සිරි අයියාගේ ළමා පිටියෙන් කලා ලොවට පිවිසි මෙරට රස වින්දනය කෙරෙහි මහත් ආනුභාවක් පෑ කලාකරුවෙකි.
මා ගීත රචකයෙක් බවට පත් කිරීමට ද කරු අයියාගෙන් නොමද පිටුබලයක් ලැබුණි.
කරුණාරත්න අෙබ්සේකර
|
කරු අයියා මෙහෙයවූ ඉරිදා “සරස්වතී මණ්ඩපය” හා සඳුදා “මිණි කිකිණි” වැඩ සටහන් ඇසීමට බාලයන් වූ අපි එදවස සවස 5 වන විට ගුවන්විදුලිය වටා රොක්වූයෙමු. මෙම වැඩසටහන් දෙකම සජීවී වැඩ සටහන් ය. මෙම වැඩ සටහන් ඇසීමට සැදී පැහැදෙන්නේ ළමා උපන්දින සුබ පැතුම් තේමා ගීතය වන “ආයුබෝවන් වාසනාවන් - වාසනාවන් - ආයුබෝවන් - ප්‍රිතිමත් සුබ උපන් දිනයක් වේවා ආසිරි වාදයෙන් දිගුකල් වැජඹේවා” ගීතයට සවන්දීමෙනි.
කරු අයියා පබඳන ලද මෙම ගීතයේ තනුව ඩී.ඩී. ඩැනී අයියාගේ ය. මෙම ගීතය ගායනයට ළමා පිටියේ විශාල ළමා ගායක පිරිසක් සහභාගිවී ඇත. එස්. ලියනගේ, නොයෙලින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ, පැට්‍රික් ප්‍රනාන්දු, මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට), සුදර්මා සිල්වා, මානෙල් ඉන්ද්‍රානි උපසේන, චන්ද්‍රානි ගුණවර්ධන, එම්.ඒ. සුමනා ආදිහු මේ අතර මතකයට නැඟෙයි.
කරු අයියාගේ ළමා පිටියේ “සරස්වතී මණ්ඩපය” හා ”මිණි කිකිණි” වැඩ සටහන් තුළින් නිර්මාණය වූ “අපෙ අම්මා කොළඹ ගිහිල්ලා, දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ, ලේනගේ පිටමැද ඉරිතුන ඇන්දේ, හිනැහේවී බෝනික්කා, අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි, ආච්චියේ බොලන්නේ පාත්වෙලා වරෙන්නේ” ආදී ගීත ඇතුළත් මධුර ගීතාවලිය අදත් අපට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි.
කරු අයියා අපට පූර්වාදර්ශයක් වූ ගීත රචකයෙකි. ශබ්දය හා අර්ථය මනාව සංවිධානය කර ගනිමින් ළමා පරිකල්පනයට ගැළපෙන අයුරින් ඔහු පද හසුරුවා ගනී. මෙම දක්‍ෂතාව වටහා ගැනීමට ඩී.ඩී. ඩැනීගේ තනුවකට අනුව එස්. ලියනගේ ගායනා කරන පහත සඳහන් ගීතය ප්‍රමාණවත් ය.
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා - මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
යාළුවො දෙන්නෙක් තවමත් පහලයි
හරි ඉහලයි පන්තිය මාගේ
භූගෝලය ඉතිහාසය ගණිතය ලේසියි
මට රට කජු වාගේ
ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමාවතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට කියවන්නට
එය හරිම අගේ
පෙර’පර දෙ දිගම රසවත් පත පොත
ඉඩ ලැබුණම මම කියවනවා
මා ලොකු වු පසු කවි ගී රචනා ලියලා
පොඩි අය සනසනවා
පාසල් වියේ දී ම කරු අයියාගේ ළමා පිටියට සහභාගි වීමේ වරය මට ලැබුණි. පාසල් කථිකෝදය සමිතියට ගීත ලියා තිබූ මට කරු අයියාගේ ළමා පිටියට ආරාධනා කිරීමෙන් ලැබුණේ නොනිම් සතුටකි.
ගීත දෙකක් ලියාගෙන පැමිණෙන ලෙස කරු අයියා මට දැනුම් දුණි. මවිසින් පබදන ලද ගීත දෙකක් රැගෙන සඳුදාවක් ගුවන් විදුලි කාර්යාලයට ගිය මම ගුවන් විදුලි ඉදිරිපස ආලින්දයට වී ඔහු එනතුරු රැඳී සිටියෙමි.
මේ අතර ඇතුල් ගැබෙහි සිට ඉදිරිපස දොරටුව වෙත පැමිණි සංගීතඥයකුට (ළමා පිටියට සම්බන්ධ) මා ලියූ ගීත පෙන්වීමට සිතක් පහළ වූයෙන් එම ගීත ඔහු වෙත වෙත ඉදිරිපත් කළෙමි.
මා දිරිමත් කරනු වෙනුවට ඔහු එසැණ කියා සිටියේ ”මේවා කවිනෙ” යනුවෙනි. දිවා අහර කිසට ගිය කරු අයියා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මම ඉහත කී සංගීතඥයාගේ කියමනෙන් මහත්සේ අධෛර්යයට පත්වීමි.
කරු අයියා එන්නට කලින් ගුවන් විදුලියෙන් පිටවී යෑමට තීරණය කළ ද, මා ඉදිරියේ කරු අයියාගේ රූපකාය මතුවීමත් සමඟ එය වැළකිණි. කොළ පැහැති ට්‍රෑම්ප් හැරල්ඩ් රථයෙන් බැසගත් කරු අයියා ගීත ගෙනාවාදැයි මගෙන් විමසී ය.
ඔහු වෙත ආලින්දයේ දී ම ඉදිරිපත් කළ ගීත අතට ගෙන 10 වන මැදිරිය දෙසට පියනැඟී ය. මම ද ඔහු අනුව ම පිය නැඟුවෙමි. ඔහුගේ හිස පිස හමා ආ යාර්ඩිලි හෙයාර් ක්‍රීම් සුවඳ හා දල්වාගත් වැනිලා සුරුට්ටුවේ සුවඳ ද ගුවන් විදුලි කොරිඩෝවේ ගමන් කරන විට තවමත් දැනෙන්නා සේ ය.
දහවෙනි මැදිරියේ විසල් පියානෝව වාදනය කරමින් සංගීතඥ තිලකසිරි ප්‍රනාන්දු මහතා එදින ගුවන්ගත කිරීමට නියමිත ”මිණි කිකිණි” වැඩ සටහනට තනුවක් නිර්මාණය කරමින් සිටිනු දුටුවෙමි.
මවිසින් පබඳ කළ ගීතයක් පියානෝව මත තැබූ කරු අයියා "මේ තියෙන්නේ හොඳ ගීතයක් තිලක් මෙයට තනුවක් දමමු යැයි ” යෝජනා කළේ ය. එසේ වුව ද එම ගීතය තිබිය දී එසැණ ගීතයක් ලියමුදැයි කරු අයියා යළි මට යෝජනා කළේ ය. පියනෝව මත තබාගෙන එසැණ ගීතය මම ලීවෙමි. "කොට්ටෝරුවො ඇයි හොරේ - මොනවද ඔබ නැති වුණෙ ” පද වැලට තිලකසිරි ප්‍රනාන්දු මහතා කදිම තනුවක් නිර්මාණය කළේ ය. එය ගායනා කළේ ලාලනී සෝමසිරි ගායිකාවයි. කොට්ටෝරුවො ගීතය මගේ මෙන් ම ලාලනීගේ ද පළමු ගුවන් විදුලි ගීතය විය.
මිණි කිකිණි වැඩ සටහන සජීවි ලෙස විසීරණය කරන ලද වැඩසටහනකි. පුහුණුව අවසන් වූ සැණින් මා ගුවන් විදුලි කාර්යාලය පිහිටි ටොරින්ටන් සිට එදවස මා පදිංචිව සිටි පාමංකඩ නිවස බලා එක හුස්මට දිවගියේ මගේ පළමු ගීතය මාපියන්ද සමඟ එක්ව අසනු රිසියෙනි. මගෙන් කවියක් දැයි ඇසූ සංගීතවේදියා පසු කලෙක ගීත ලියා ගැනීමට මා වෙත පැමිණියේ ය.
ගුවන් විදුලි සංස්ථාව හා බැඳුණු ජීවන අත්දැකීම් රාශියක් මා ලබා ඇත. මිහිරි අත්දැකීම් මෙන්ම අතිශය කටුක අත්දැකීම් ද ගුවන් විදුලිය නිසා මා අත්වින්දෙමි. එදවස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රැකියාව අහිමි විී අම්පාර ප්‍රදේශයේ සේවය කරද්දී ගුවන් විදුලි වැඩ සටහන් සඳහා පැමිණි බවට කළ චෝදනාව මත ය.
ගුවන් විදුලි ළමා පිටියට කොට කලිසමකින් සැරසී පැමිණි මට ගුවන් විදුලියේ සභාපති තනතුර දැරීමට සිදුවේයැයි හීනෙකින්වත් නොසිතුවෙමි. කෙසේ වුව ද ගුවන් විදුලි ළමා පිටියෙන් බිහිවී ගුවන් විදුලි සභාපති තනතුර හෙබවීමේ එකම තැනැත්තා වීමේ භාග්‍ය මම ලදිමි.
ළමා පිටිය අවසන් වී නිවෙස් බලා යෑමට පෙර ගුවන් විදුලිය ඉදිරිපිට ක්‍රීඩා පිටියේ හොකී තරග නැරඹුවේ මහත් වූ අභිරුචියෙනි. ගුවන් විදුලි කෙටි තාප්පය මත හිඳගෙන හොකී තරග නැරඹුවන් අතර අජන්තා රණසිංහ, පාලිත පෙරේරා සහ ඩී.ඩී. ඩැනී වැනි මට වඩා ජ්‍යෙෂ්ඨ පිරිස් ද වෙති. එදවස කාන්තා හොකී පිටිය කාලයාගේ ඇවෑමෙන් රූපවාහිනිය ඉදි වූ බිම බවට පත්විය. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට මා පත්වීම ද දෛවයේ ප්‍රදානයක් කොට සලකමි.
ගුවන් විදුලි ළමා පිටියෙන් බිහි වූ මාහට ලෝකයේ පළමු ළමා ගුවන් විදුලිය බිහිකිරීමට ලැබීම ද භාග්‍යයක් කොට සලකමි.
විදුල ළමා ගුවන් විදුලි සේවය 2006.03.28 දින ආරම්භ කෙරුණි. මෙය වත්මන් ජනාධිපතිතුමන් අතින් අරලියගහ මැදුරේ දී උත්සවශ්‍රීයෙන් ඇරඹුණි. මෙම ඓතිහාසික අවස්ථාවේ දී ”රාජධානි තරගය” යනුවෙන් නම් කළ ධාවන පෙරහරක ළමා ධාවකයන් විසින් රාජධානි හරහා රැගෙන ආ සංදේශයක් ද ඉදිරිපත් කෙරුණි. විදුල ළමා ගුවන් විදුලිය ජාත්‍යන්තර මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ ද අවධානයට පත්වූවකි. දවස පුරා විකාශය වන අධ්‍යාපනික, උපදේශාත්මක හා දරුවන්ගේ මෙන් ම ගරුදෙගුරුන්ගේ ද විනෝදාස්වාදය උසස් තලයකට ගෙන යෑමේ අරමුණෙන් සැලසුම්ගත වැඩ සටහන් මෙයට ඇතුළත් විය.
කරු අයියාට අමතරව එදවස සාර්ථක ළමා පිටිය වැඩ සටහන් ඉදිරිපත් කළ මාධ්‍යවේදීහු කීපදෙනෙක්ම වෙති. එච්. එම්. ගුණසේකර, නන්ද ජයමාන්න, ප්‍රභා පෙරේරා, තිලක සුදර්මන් ද සිල්වා, සරත් විමලවීර චිත්‍රානන්ද අබේසේකර, මඩවල එස්. රත්නායක ආදීහු මේ අතර ගුවන් විදුලි ඉතිහාසයට එක්වී සිටිති. සතියේ දින පහ පුරාම මොවුන්ගේ වැඩසටහන් ප්‍රචාරය විණි.
ගුවන් විදුලි ළමා වැඩ සටහන් තේමා ගීතය වශයෙන් කාලාන්තරයක් තිස්සේ භාවිත වු "මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් - රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්” පරම්පරා කීපයක ළමයින් පුබුදු කළ ගීතය ළමා පිටියෙන් ම බිහිවූ මවිසින් පබැඳීම වෙසෙසින් ස්මෘතියට නැඟෙන්නකි. මෙයින් කිසියම් ආත්ම තෘප්තියක් ද මම අත්විඳිමි.
අමරදේවයන්ගේ තනුවකට අනුව අමරදේව මහතා ප්‍රමුඛ ගුවන් විදුලි ළමා ගායක ගායිකා පිරිසක් මෙය ගයති.
"මනකල් හද විල් තලයේ” ගීතය පළමුව නිර්මාණය වුයේ එදවස ගුවන් විදුලි ළමා වැඩ සටහන් නිෂ්පාදකවරයකු වූ සුනෙත් ගෝකුල මහතාගේ ආරාධනාවකට අනුව ඔහු විසින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි ළමා වැඩ සටහනක් සඳහා ය.
ගුවන් විදුලි ළමා පිටිය අනාදිමත් කාලයක සිට මෙරට ජන විඥානය කෙරෙහි අනුභාව පා තිබේ. එය ඉදිරියටත් ළමා පරපුරක යහගුණ හා රසවින්දනය වැඩීමට හේතුවේවායි ප්‍රාර්ථනා කරමි.
සුනිල් සරත් පෙරේරා
sunilsarathp@yahoo.com