ඔහුගේ බිරිය ගල් පඩිපෙළ බඳියි
ඒ අනුරාධපුර අගනුවර කරගෙන පළමු වරට මුළු ලංකාවම එක්සේසත් කොට දුටුගැමුණු රජු (ක්‍රි. පූ. 161 - 137) රජ කරන අවධියයි. රජරට රජ කළ ද්‍රවිඩ එළාර රජු පරදවා රටේ විසිර තිබූ කුඩා රාජධානි එක්කොට පළමු වරට ලංකාව එක්සේසත් කළේ මාගම රජ පරපුරෙන් ආ දුටුගැමුණු රජුය. ඔහුගේ බිසව ජනප්‍රවාද අනුව කොත්මලේ කොටඟේපිටියේ වීසුරු ගෙදර රන්මැණිකාය. කැකිරාව කොස්ගම කන්ද ලෙන් ලිපියක ගැමුණු රජුගේ බිසවක් වූ “කතී” ගැන කියැවෙයි. පියංගල ලෙන් ලිපියක් අනුව “රජ්තා” රජුගේ තවත් බිසවකි. “උතුරු - නැඟෙනහිර සිංහල බෞද්ධ උරුමය” ග්‍රන්ථයේ පූජ්‍ය එල්ලාවල මේධානන්ද මාහිමි ලෙන් ලිපිවල එන ගැමුණු රජුගේ තවත් බිසෝවරුන් කීපදෙනෙකු ගැන තොරතුරු දෙයි. ජනප්‍රවාද අනුව රජුගේ මරණයට හේතුව ද නාග කන්‍යාවකට රජුගේ සිත බැඳී යෑමයි.
මහාවංශය - පාලි රසවාහිණී - සද්ධර්මාලංකාරය ගැමුණු රජුට සිටි යෝධයින් දහදෙනෙකු ගැන තොරතුරු කියයි. ඉන් හතර දෙනෙකු ගැන කියවෙන ලෙන් ලිපි හමු වී ඇත. වංශකථාවල නොසඳහන් රජුගේ යෝධයින් තුන්දෙනෙකු ගැන සාහිත්‍යය ග්‍රන්ථවල තොරතුරු එයි. ජනප්‍රවාදවල එන බුලතා යෝධයා ගැමුණු රජුගේ තවත් එක් යෝධයෙකි. බුලතා වාසය කළේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරි පට්ටිය ගමේය. ගැමුණු රජුට බුලත් වැඩීම ඔහුට පැවරුණු රාජකාරිය බැවින් ඒ රාජකාරි පදවියේ නමින් ඔහු බුලතා නමින් ප්‍රසිද්ධ විය. ඔහුගේ බිරිය ද ඔහු මෙන් ම ශක්තිමත් එකියක වූවාය. ඇගේ නම අප්‍රකටය.
ගැමුණු රජු එළාර සමඟ සටනට යද්දී මහියංගණයේ මහවැලි ගඟබඩ දෙමළ බළකොටු බිඳ බුදු හිමිගේ කේශධාතු තැන්පත් කොට සමන් දෙවි මුලින් ම කරවූ මහියංගණ දාගැබ විශාල කොට බැඳවීම ආරම්භ කළේය. ඒ සඳහා කාලයක් නැවතී වෙහෙසීමට සිදු විය. මේ කාලයේ කිරිපට්ටිය ගමේ සිට දිනපතා රජුට බුලත්විට සැපයීමේ රාජකාරිය සඳහා බුලතා දිනපතා මහියංගණයට යෑමට සිදු විය. (මේ අඩවිය එදා මැණික් බහුල වූ බැවින් මිණිබේ නමින් ප්‍රසිද්ධ විය. එහි අර්ථය මැණික් බහුල වීම යනුයි. අද එය “මිණිපේ” ලෙස ව්‍යවහාර වෙයි. මැණික්වලට අදත් ප්‍රසිද්ධ රත්නඇල්ල දියඇල්ල පිහිටියේ හසළක කඩ මණ්ඩිය නුදුරුවයි.) බුලත් වැඩීමේ රාජකාරි නිමකළ පසු බුලතා ඉඩ ලද විට විවේකයේ දී තුන් පැත්තකින් කඳුවලින් යට වූ අනෙත් පැත්තෙන් ස්වභාවික ගල් තලාවකින් වට වූ බිමක තනිව සොරබොර තැනුවේය. සොරබොර එදා වැදි අඩවියේ බළකොටුව විය. අදත් දඹාන පිහිටියේ මේ අසලයි.
රජුට රහස රැක ගනිමින් සොරබොර වැව ඔහු තනිව ඉදිකළේ අවසාන මොහොතේ රජු විස්මයට පත්කිරීමේ අදහසිනි. කඳුවලින් වට වූ වතුර ස්වභාවිකව ගලා ආ වගුරු බිමේ එක්රැස් වූ ජලය ගබඩා කිරීමට ගල්පොත්ත දිගේ ගල් බැම්මක් හා පිහිටි ගලේම සොරොව්ව කැපුවේය. මේ සඳහා කළුගල් මෙළෙක් කරන ඖෂධ වර්ග කලින් යොදා අවශ්‍ය පරිදි ගල සකස් කරගත් බව පෙනී යයි. ඒ මේ වැව සෑදීමට ඔහුට කාලයක් ගත විය.
යෝධ වෙරවීරිය ඇති බුලතාගේ බිරිය දිනපතා බුලතාට දිවා ආහාරය රැගෙන මහියංගණයට යෑමට පුරුදුව සිටියාය. කිරිපට්ටිය ගමේ සිට මහියංගණයට යාමට දහඅට වංගුව පාර එදා භාවිත වූයේ නැත. උඩදුම්බර හෙවත් පැරැණි නමින් මාඬුගොඩ ගම්මානයේ සිට මහවෙල දක්වා ගමන් කොට මහවෙල අම්බලම ළඟින් ශීඝ්‍ර බෑවුමක් දිගේ හැතැම්මක් පමණ පහළට බැසි විට හඳගනාව හමුවෙයි. හඳගනාව සිට මහියංගණයට කෙටි දුරයි. දිනපතා මේ මහවෙල සිට හඳගනාව දක්වා ශීඝ්‍ර බෑවුමේ පහළ බහින උඩට නඟින බුලතාගේ බිරිය දැවැන්ත ගල් කුට්ටි බෑවුම දිගේ තනිවම ගෙනවුත් තබා පියගැටපෙළ බැඳීම පටන් ගත්තාය. බුලතා සොරබොර වැව බඳින විට ඔහුගේ බිරිය ගල් පඩිපෙළ බැඳීම දිගටම කළාය.
දුටුගැමුණු රජු මහියංගණ දාගැබ් වැඩ නිමා කොට කොත පලඳවන උත්සවය දා ඒ රාජකීය උත්සවයෙන් පසු බුලතාගේ ආරාධනාවෙන් දුටුගැමුණු රජු ඔහු තනිව කරවූ සොරබොර වැව බැලීමට ගියේය. වැව දුටු රජු පුදුමයට පත් විය. ආගමික සිද්ධස්ථාන මිස ගැමුණු රජු වාරි කර්මාන්ත කරවූයේ නැත. නළලට අත ගසා ගත් රජු වැවේ ඈත මෑත බලා “හරබර වැවක්” යනුවෙන් කීවේය. රජුගේ මුවින් පිටවූ “හරබර” නම අනුව බුලතා ඉදිකළ වැව සොරබොර නම් විය. ඉන්පසු රජු ඔහුට කිරිපට්ටිය ගම සහිත ගම්වරයක් තෑගි කළේය. මේ උත්සවයෙන් පසු බුලතාගේ ආරාධනාවෙන් දුටුගැමුණු රජු බුලතාගේ බිරිය කරවූ පඩිපෙළ බැලීමට පැමිණියේය. ඇගේ හපන්කම් දැක රජු මවිත විය. බුලතා මෙන් ම ඔහුගේ බිරිය දළ බෑවුම දිගේ යෝධ ගල් තබා සකස් කළ ගල් පඩිපෙළ ගැන රජු බෙහෙවින් සතුටුව ඇයට ද තෑගි බෝග සම්මාන පිදුවේය.
තනි ගලින් කළ සොරොව්වක් හා ගල් බැම්මක් සහිත සොරබොර වැව මහියංගණයේ සිට සැතපුම් පහක් පමණ ඈතින් පිහිටා ඇත. සොරබොර වාරි තාක්ෂණයේ විශිෂ්ට නිර්මාණයකි. මෑතක් වනතුරු සොරබොර දහස් ගණනක් කිඹුලන්ගේ කෙම්බිමක් විය. එහෙත් අද එහි එකම කිඹුලෙකුවත් නැත. උඩදුම්බර නගරයේ සිට මහවෙල දක්වා ගිය විට මහවෙල විදුහල අසළ මහවෙල අම්බලම හමුවෙයි. එතැනින් පහළට පියගැටපෙළ හඳගනාව දක්වා විහිදෙයි. ගල් පඩිපෙළ බසින විට නිවාස කිහිපයකින් යුතු කුඩා පැරැණි ගම්මානයක් විය. ශීඝ්‍ර - ඍජු ප්‍රපාතය - දරුණු සුළඟ ඇඟ කිලිපොළවයි. මිණිපේ දහඅට වංගුව පාර බහුලව භාවිත කිරීම නිසා අද භාවිතය ඉතා අඩු වී ඇත. එහෙත් සොරබොර වැවත් ගල් පඩිපෙළත් දකින විට බුලතා යෝධයා හා ඔහුගේ බිරිය අදත් අපේ සිහියට නැඟෙයි.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි