Friday, May 27, 2016

රටට වද දෙන සරසවි නවක වද

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා නිවාරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාල සංගම සමඟ ඒකාබද්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂඥ උපදේශන සංවාදයක් සංවිධානය කර තිබිණ. නවක වදය නමින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන ක්‍රියාදාමයන් ඉන් පරිබාහිරව සිදුවන්නේ නම් ඒවා බරපතළ අපරාධ වේ. ඒ සඳහා නීතිය මගින් දඬුවම් ලැබිය යුතු වේ.
1998 අංක 20 දරණ නවක වද නිවාරණ පනත තිබියදීත් එය නොසලකා හැරීමේ හා ඊට සංවේදී නොවීමේ සංස්කෘතියක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දක්නට ඇත. ඒ හේතුවෙන් වින්දිතයන් නිහඬව විඳ දරාගැනීමේ සිට සිය දිවි නසා ගැනීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබේ.

නවක වදයෙන් ආබාධිත වෙයි

1975 සිට මේ දක්වා වසර 40 කාලයක් තුළ නවක වදය හේතුවෙන් සිසුන් 9දෙනෙකු මරණයට පත්ව ඇත. වත්මන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා‍ගේ ප්‍රකාශයට අනුව සරසවියට ඇතුළත්වන සිසුන්ගෙන් 5%ක් නවක වදය හේතුවෙන් ආබාධිත වේ. විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ගෙන් 5%ක පමණ ප්‍රතිශතයකගේ මානසික මට්ටම නවක වදය හේතුවෙන් පහළ වැටේ යැයි අනාවරණය වී ඇත. වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට තේරිපත්වූ සිසුන් අතරින් කොටසක් නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල සිහිනය අතහැර දමයි. විශ්වවිද්‍යාල යේ නවක වදයට ලක්වන සිසුන් පීඩාවට පත් වෙද්දී නවක වදය ක්‍රියාත්මක කරවන සිසුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට නීතිය ක්‍රියාත්මක කරන්න් උත්සුක වෙමින් සිටී. නීතිය නොසලකා හැරීම බරපතළ වරදකි. එහෙත් විශ්වවිද්‍යාල සිසුන්හට නීතියෙන් සහනයක් සැලැසී තිබූණා යැයි කීම වරදක් නොවේ. එහෙත් ඒ සහනය මේ වසරේ සිට නොලැබි යන බව තහවුරුවන්නේ 1998 අංක 20 දරන නවක වදහා වෙනත් සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ අංක 2.1, 2.2, 2.3 වගන්ති යටතේ නවක වදය ක්‍රියාවට නැඟූවන් අත්අඩංගුවට ගැනීමෙන් තහවුරු වේ
සංඛ්‍යා ලේඛන සියල්ල අද අපි අමතක කර දමමු. අය වැයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කරනු ලබන වැය ශීර්ෂය ද අමතක කර දමමු. ජීවත් වීමට තබා බෝඩින් ගාස්තු ගෙවා දැමීමට වත් ප්‍රමාණවත් නොවූ විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර ද නොසලකා හරිමු. ක්‍රමවත් නොවු, විධිමත් නොවූ දේශීය ආර්ථිකයට පලදායී ශ්‍රම දායකත්වයක් බිහි කිරීමට හෝ ජාත්‍යන්තතරයට පිවිසීමට හැකියාව සහිත උගත් බුද්ධිමත් ශික්ෂණයකින් යුතු ශ්‍රමිකයන් බිහි නොකරන නවීකරණය නොවූ අධ්‍යාපන පාඨමාලා සහිත උසස් අධ්‍යාපනයේ අඩු ලුහුඬු සියල්ලද අමතක කර දමමු. ජීවත් වීමට හා ඉගෙනුමට අවශ්‍ය මුදල් සොයා ගැනීම අරබයා කුඩා රැකියාවන්හි නිරත වන තරුණ පිරිස ද අද අපි අමතක කර දමමු. එවිට අපට කතා බහ කිරීමට ඉතිරිවන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආරම්භයේ සිට ම පැවත ආ මේ වන විට විලාසිතාවක් හෝ වෙන යමක් නොවූ “ නවක වදය“ යන මාතෘකාව පමණි.

කායික මානසික හිංසනය

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ ආරම්භය තරම් ඈතට නවක වදය යන නවමු නොවූ නවමු මාතෘකාව දිව යයි. අතීතයේ එහි අරමුණ වූයේ සමාජානුයෝජන ක්‍රීයාවලියක් ලෙස පවත්වා ගනිමින් එකිනෙකා හඳුනා ගනිමින් සහෝදරත්වය වර්ධනය කර ගැනීම යි. විශ්ව විද්‍යාල උප සංස්කෘතියක් නිර්මාණය කිරීමයි. විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළු වූ වැඩි දෙනෙක් නවක වදයට මුහුණ දෙනු ලැබුවෝය. එය අතීතයෙදී ද කායික මෙන්ම මානසිකව ද සිසුහු අත්වින්දහ. නවකයෝ අද මෙන්ම අතීතයේ දී ද මාස තුනක් තිස්සේ ‍ජ්‍යෙෂ්ඨයන් අතින් හිංසනයට ලක් වූහ. එය ඇතැම් විට ප්‍රිතිය ද වේදනාවද ගෙන ආවේය. එහෙත් නවක වදයට ගොදුරුවූ සියල්ලෝ ම ඉදිරි වසර කිහිපය තුළ විශ්ව විද්‍යාලයට ඇතුළු වන පිරිස් නවක වදයට ලක් නොකළහ. එහෙත් නවක වදයට බියෙන් විශ්ව විද්‍යාලයට සුදුසු කම් ලබා තිබියදී ඒ අවස්ථාව අත්හැර දැමූ පිරිස් ද, එම නවක වදය හේතුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවූ පිරීස් ද අපට නොඅඩුව අතිතයේ දී හමු විණි. එහෙත් අනාගතයේ දී එසේ නොවිය යුතුය.
ශ්‍රී ලංකාව අධ්‍යාපනයට මුල්තැනක් දෙන රටකි. අප දරුවන් ක්‍රමවත් අධ්‍යාපනයක් සඳහා අවුරුදු හයේ සිට යොමු කරවමු. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ලෝකයේ සමත්වීමට අපහසුම විභාග අතරින් එකක් වන අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන්නේ සියයට දෙකක් තරම් වූ කුඩා පිරිසකි. ඔවුහු දුක් ගැහැට විඳ නිදිවරා පාඩම් කොට සරසවියට පැමිණෙති. නවක වදය ඔවුන්ගේ දෑසට කඳුළු එක් කරයි නම් එය නොසලකා හැරිය යුතු තත්වයක් නොවේ.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන පිරිසෙන් බහුතරය නිර්ධන පාන්තික හෝ පහළ මධ්‍යම පාන්තික දරුවෝය. ඒ දරුවන් එපමණ දුරක් ගෙන ඒම සඳහා මාපියන් කොපමණ කැපකිරීම් කර ඇද්ද? ඔවුන් මවුපියන් සතු වගකීම ඉටු කරමින් තම වර්තමානය කැපකර අනාගත අරමුණු ඇතිව තම දරුවෝ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරති. ඒ දරුවන් සුරක්ෂිතව රටේ ආර්ථික සමාජ සංස්කෘතික දියුණුව අරබයා නිර්මාණය කර ගැනීම විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම රටේ බල පවත්නා රජයේ වගකිමයි.
සරසවියට පැමිණෙන සෑම දරුවෙකු හටම නිරායාසයෙන් ලැබු පරිචයක් තිබේ. විශ්ව විද්‍යාලයෙන් එය වර්ධනය කරගනී. ඔවුන් දහසක් අපහසුතා මැද උපාධියක් ලබා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. එය අපේ රටේ ජයග්‍රහණයකි.

සරසවි දේශපාලන හස්තය

නවක වදය විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයට අලුත් නොවේ. දේශපාලනයද එසේමය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතිය රසවත් කෑමක් ලෙස සලකා බෙදා හදා ගැනීමට උත්සහ දරයි. ඒ අතරින් ද ඇතැම් දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියා කාරිත්වය සම්පුර්ණයෙන්ම තමන්ට නතු කර ගැනීමට ගන්නා උත්සාහයක් ද පෙනී යයි. මේ හේතුවෙන් ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පවා ලේ හලන ව්‍යාපාරයක් බවට පත් කරමින් විශ්වවිද්‍යාලය තුළ මැර සංස්කෘතියක් නිර්මාණය කර තිබේ.
මහා ශිෂ්‍ය සංගමය හා ශිෂ්‍ය සංගම් මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් අතීතයේ ද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක විය. එම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි රට තුළ වු යම් පිළිගැනීමක් හෝ ආකල්පයක් හේතු කොට ගෙන විනයකින් යුතුව හා වගකීමෙන් යුතුව විධිමත් ආකාරයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශපාලන කටයුතු මෙහෙය විණි. මැත අතීතයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්තන හේතුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම රැඩිකල් රාජ්‍ය විරෝධි ව්‍යාපාරයන් ද වර්තමාන ලංකාවේ සැලකිය යුතු දේශපාලන පක්ෂයක් නොවූ, ජාතික තලයේ පිළිගැනිමක් නැති දේශපාලන පක්ෂයක් වූ පෙරටුගාමී පක්ෂය අතට තල්ලු වී ගියේය. මේ වන විට ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලනය මෙහෙයවන්නේ පෙරටුගාමී පක්ෂයයි. විශ්වවිද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීමේ අයිතිය තිබේ. එමගින් රටට අවශ්‍ය උගත් නායකයන් බිහිවනු ඇත.
එහෙත් ගැටලුව ඇත්තේ එතැන නොවේ. සිසුන් වර්තමාන සමාජය ලෝක තත්ත්වයේ සිදුවූ ආර්ථික, නවීකරණ, මතවාදි වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කර තිබිමයි. ඒ ලෝක ප්‍රවණතා සමඟ වර්තමානයේ අප රට තුළ ද ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නිදහස ස්ථාපිත විය. ඒ හේතුවෙන් වර්තමාන සමාජය දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් තුළ පවත්නා අධිපති වාදි මතවාද ඉවසන්නේ නැත.

දුප්පත් පවුල්වල දරුවෝ

1990 දශකය වන තුරුම විශ්ව විද්‍යාලයට ඇතුල් වන තරුණයෝ කායික හා මානසික පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු වූහ. නවක වදය එහෙයින් මහා වියවුලක් වූයේ නැත. වර්තමාන තරුණයා එවන් දරාගැනිමේ හැකියාවකින් තොරය. මක්නිසාද යත් වත්මන් පවුල් සංථාව තුළ රටෙහි බලපවත්නා ආර්ථික සමාජමය හා සංස්කෘතික හේතුන් ප්‍රමුඛ වේ. පවුලේ බොහෝ විට ඇත්තේ එක් දරුවකු හෝ දෙදෙනෙකි. අතීතයේ මෙන් දරුවන් කිහිපදෙනෙක් එකට ගැටෙමින් නොවැඩෙති. මේ හේතුවෙන් දුප්පත් පවුල්වල දරුවෝ පවා පීඩනය දරා ගැනීම, ගැටලුවලට මුහුණ දීම, උත්සහ වත්වීම සම්බන්ධයෙන් ඉතා අවම ශක්‍යතාවන් පෙන්නුම් කරති.
අතීතයේ මෙන් නොව වර්තමානයේ අධ්‍යාපනය දැනුම කුසලතා හා ආකල්පයන ක්ෂේත්‍රයන් හි එකතුවයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් නිදහසේ අධ්‍යාපනය ලැබීම විනා තමන්ට හිමිවි ඇති ජීවිතයේ අගනාම කාලයේ පීඩනයට එරෙහි වන්නේ ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණියේ උප සංස්කෘති හෝ සම්ප්‍රදායන් බිහිකිරීමට පවත්වාගෙන යාමට නොවන බැවිනි. උප සංස්කාති හෝ සම්ප්‍රදායන් ගතිකය බලෙන් පවත්වාගෙන යාමේ හැකියාවක් නැත. සමානාත්මතාව සහෝදරත්වය තහවුරු කරගැනීමට සෑබෑ අවශ්‍යතාවක් පවතී නම් “නවක නවීකරණය“ නමින් තවදුරටත් පවත්වාගෙන යන නවක වදය මගින් යෞවන පිරිස් කායික, මානසික, වද හිංසා කෙරෙහි යොමු කරවීම කිසිසේත් ම අවශ්‍ය නොවේ. මෙම වද හිංසා පැමිණවීම මගින් සැබෑ ලෙස ම සිදු කෙරෙනුයේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නවක සිසුවාට ස්වාධිනව නැඟී සිටිය හැකි ශක්තිය විනාශකර දමමින් පටු දේශපාලන අරමුණු කරා යොමු කරවා ගැනීමයි. පසුව මේ සිසුහු පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට අන්තවාදී සටන් අරගල ආදියේ ඉදිරියට දමා ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පිරිස් පලායති.
වර්තමානයේ කනගාටුදායකම තත්ත්වය වී ඇත්තේ දේශපාලනයේ හය හතර නොදන්නා පාසැල් සිසුන් පවා මේ තත්ත්වයන්ට ගොදුරු වීමයි. මෙය දේශපාලන ක්‍රියාකාරකමක මුල් පියවර වන බව නොදැන සහයෝගීතාව, සමානාත්මතාව, සහෝදරත්වය වැනි සොඳුරු වදන් වලින් බැඳ පාසැල් පද්ධතිය තුළ ද නවක වදය ක්‍රියාත්මක වෙමින් පවතී. එම තත්ත්වය දුර දිග යාමට නොදී මැඬපවත්වා ගැනීමට අධ්‍යාපන කේෂත්‍රයේ බලධාරින් අවධානය යොමු කළ යුතුවේ.
එසේ කළ යුත්තේ පාසැල් දරුවන් වේවා, විශ්ව විද්‍යාල සිසුන් වේවා ඔවුන්ට නවක වදය වෙනුවෙන් හෝ දේශපාලනය වෙනුවෙන් හෝ වෙනත් කවර හෝ අනවශ්‍ය කාරණාවක් වෙනුවෙන් හෝ මිඩංගු කිරීමට ඇත්තේ තම තරුණ දිවියේ අගනාම කොටසින් බැවිනි. තම දිවියේ අගනා ම කාලය අපතේ නොයවා මේ යෞවනයන් කළ යුත්තේ තම මූලික අභිමතාර්ථය සිහියේ තබාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. ඒ මක් නිසාද යත් රටක දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑම් කරනුයේ එම රටේ ජනතාවගේ උසස් අධ්‍යාපන මට්ටම බැවිනි.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි