Saturday, May 7, 2016

ඈත විශ්වයේ සිට පැමිණි නානාදුන සංඥාව

ඈත විශ්වයේ සිට පෘථිවියට පැමිණෙන විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව නිරතුරුවම සොයා බලන විද්‍යාඥයන්ට නොබෝදා සැක උපදවන සංඥාවක සලකුණක් පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවිය.
පසුගිය අප්‍රියෙල් 15 වන දින අ‍ෙමරිකාවේ ඔහියෝ ප්‍රාන්ත රාජ්‍ය සරසවියේ රේඩියෝ දුරේක්ෂ නිරීක්ෂණා ගාරයේ සහ උතුරු අමෙරිකා තාරකා භෞතික නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් එක්ව කරන ලද පර්යේෂණවලට අනුව මේ ආගන්තුක සංඥාව වර්ණ ඡායාරූපයක් බවට පත් කර ඇත. මේ වර්ණ ඡායාරූපයට අනුව වෝව්(Wow) නමැති හඬක් එක්වරක් පමණක් නිකුත් කර ඇතත් ඉන්පසු එම හඬ නැවත් වරක් එලෙසට අසන්නට ලැබී නැත.
එහෙත් වර්ෂ 1977 දී සෙටී ව්‍යාපෘතියේ (Search for Extra Terrestrial Intelligence ) (SETI) විද්‍යාඥයන්ට ඔහියෝ ප්‍රාන්ත සරසවියේ පුළුල් පරාස රේඩියෝ දුරේක්ෂය (Very Long Array Radio Observatory) ආධාරයෙන් ධනු තාරකා රාශිය(Sagittarius Constellation) තුළින් පැමිණි අති ප්‍රබල සංඥාවක් හඳුනා ගන්නට ලැබුණත්, එයට විනාඩි 72 ක් වැනි කාලයක් සවන් දීමට හැකි වුණත් ඉන්පසු නැවත එවන් හඬක් අසන්නට ලැබී නැත.
පුදුම සහගත සිදුවීම වන්නේ මේ සංඥාව ප්‍රථම මුද්‍රණ පිට පතේ පමණක් සටහන් වී තිබීමය. මේ හා සම්බන්ධව විවිධ අදහස් මතුකරන විද්‍යාඥයන්ගෙන් ඇතැම් දෙනා පවසන්නේ මේ නොහඳුනන සංඥාව පිටසක්වළ ජීවීන් විසින් නිකුත් කළ එකක් බවයි.
එහෙත් ෆ්ලොරීඩාවේ ශාන්ත පීටර්ස්බර්ග් විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇන්ටෝනියෝ පාරිස්ගේ අදහස වන්නේ වල්ගා තරුවක් ගමන් කිරීමේදී නිකුත්වූ හඬක් මිස පිටසක්වළ ජීවීන්ගෙන් නිකුත් වූ හඬක් නොවන බවයි.
M 13 තරු පොකුර
මේ සඳහා වල්ගා තරු දෙකක් නිදසුනක් ලෙස ගෙන එම අදහස තහවුරු කිරීමට මේ විද්‍යාඥයන් උත්සාහ කර ඇත. ඒ සඳහා 266p/ක්රිස්ටෙන්සෙන් (266P/Christensen)සහ P/2008 Y2(ගිබ්ස්) (P/2008 Y2 (Gibbs) යන වල්ගා තරු දෙක නිදසුනක් ලෙස ගෙන ඇත.
වර්ෂ 1977 දී මේ වල්ගා තරු දෙකෙන් එකක් හිරුට සමීපව ගමන් කරනවිට මෙවැනි අද්භූත හඬක් නිකුත් කළත් කිසිම පර්යේෂකයකු මේ වනතෙක් වැඩිදුර තොරතුරු සොයා බලා නැත.
වල්ගා තරු හිරුට කිසියම් දුරකින් අවකාශයේ ගමන් කරන විට හිරුගෙන් නිකුත්වන ප්‍රබල සූර්ය සුළං ධාරාව (Solar Wind) හේතුවෙන් එම වල්ගා තරු වලින් හයිඩ්‍රජන් වායුව විශාල ප්‍රමාණයක් අවකාශයට මුදා හරියි.
1974 යැවූ ඇරිසිබෝ සංඥාව
මෙවන් අවස්ථාවකදී හයිඩ්‍රජන් වායු ධාරාවෙන් නිකුත් කරන නාදයේ තරංග ආයාමය කලින් කී ආකාරයේ වොව් (Wow) ශබ්ද තරංගය හා සමාන වනු ඇතැයි එම පර්යේෂකයන් පෙන්වා දෙයි.
ඒ අනුව ඈත අවකාශයේ සිට පැමිණියා යයි කියන මේ ආගන්තුක ශබ්ද තරංගය පිටසක්වළ ජීවින්ගේ නොව වල්ගා තරුවලින් නිකුත්වූ ශබ්ද තරංගයක් බැව් පර්යේෂකයෝ තහවුරු කරති.
266P/ ක්රිස්ටෙන්සෙන් නම් වල්ගා තරුව (Comet 266P/ Christensen) වසර 1977 දී හඳුනා ගන්නා විට අවකාශයේ පිහිටි කලාපයට නැවත වරක් වසර 2017 ජනවාරි 25 වන දින පැමිණීමට නියමිතය.
එසේම P/2008 Y2 ගිබ්ස් වල්ගා තරුව (P/2008 Y2 (Gibs) ද වසර 1977 දී හඳුනා ගන්නා විට අවකාශයේ පිහිටි කලාපයට වසර 2018 ජනවාරි 07 වන දින නැවතත් පිවිසීමට නියමිතය. මේ බැව් වඩාත් හොඳින් තහවුරු කිරීම සඳහා නිරීක්ෂකයන් බලාපොරොත්තු වන්නේ කලින් වතාවේ ආකාරයට වොව් ශබ්දය මෙම වල්ගා තරුවලින් නිකුත් කරයිද යන්න සොයා බැලීමටය.
වත්මන් තත්වය කෙසේ වෙතත් වර්ෂ1974 නොවැම්බර් මස 16 වැනි දින පුවටෝරිකෝහි පිහිටි මීටර් 305 ක මුහුණතක් ඇති ඇරිසිබෝ රේඩියෝ දුරේක්ෂය (Aricibo Radio Telescope) මගින් හර්කියුලිස් තාරකා රාශියේ පිහිටි M 13 නම් ගෝලාකාර තරු පොකුර වෙතට ස්පන්දන 1679 කින් යුත් විද්යුත් සංඥාවක් යවනු ලැබීය.
තත්පර 169 කදී මෙගා හර්ට්ස් 2380 සංඛ්‍යාතයක් නිපදවමින් ගමන් කළ මේ විද්‍යුත් සංඥාවේ ක්‍රියාකාරී බලය මෙගා වොට් ට්‍රිලියන 3 ක් විය. මෙහි ඇති විශේෂත්වය නම් මිනිසා විසින් මෙතෙක් නිපදවන ලද ක්‍රියාකාරී බලයෙන් වැඩිම රේඩියෝ සංඥාව මෙය වීමය.
මේ පණිවිඩය ආලෝක වර්ෂ 25,100 ක දුරක් ගෙවා M13 නම් තරු පොකුර වෙතට ලඟා වීමට නියමිතය. එවිට මේ තරු පොකුරට අයත් ග්‍රහලොවක ජීවීන් සිටීනම් මේ පණිවිඩය ග්‍රහණය කර ගතහොත් හා මේ පණිවිඩය ඔවුන්ට තෙරුම් ගැනීමට හැකිවුවහොත් ඔවුන්ගෙන් ආකාර දෙකක පණිවිඩයක් විද්‍යාඥයන් බලා පොරොත්තුවෙයි. එසේ නම් නොබෝදා ලැබුණු මේ ආගන්තුක ශබ්දය එම පණිවිඩයට ලත් පිළිතුරක්ද? නැතහොත් වල්ගා තරුවකින් නිකුත්වූ ශබ්දයක්ද?
http://www.silumina.lk/2016/05/08/_art.asp?fn=af1605082

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි