Thursday, July 2, 2015

වෙඩිලුණු ----- බඩට

රසයෙන් ගුණයෙන් අනූන ආහාර තම නි‍ෙවසේ දී සකසා ගනු වෙනුවට දැන් ඇත්තේ කඩ කෑම සංස්කෘතියක් බව අපි දනිමු. එහෙත්, අප අසන්නේ මිලෙන් නම් රට කෑමත් පරදන මේ ආහාරවල ඇත්තේ සැබෑ දේශීය රසයක් ද යන්නයි. සත්‍යනම් මේ කෑමවල ඇති ලුණු මිරිසේවත් අපේ රසයක් නැති බවයි. ඇත්තේ වෙළෙඳ නාමයෙන් බොහෝ දෙනා හඳුනන රස කාරක රසයකි.
විදේශයෙන් ගෙන්වන මිනිස් සිරුරට අහිතකර, රසකාරක සේ පෙනෙන විසකාරක ඇතැම් ගෙදරක දරුවන්ට දෙන පරිප්පු හොද්ද පවා මේ වනවිට ආක්‍රමණය කර හමාරය. ප්‍රකට වෙළෙඳ නාම දෙක තුනක මුහුණුවර පෙන්වුවද මේ රසකාරක අතරින් ප්‍රමුඛ වන්නේ MSG යන අකුරු තුනෙන් කියැවෙන මොනෝසෝඩියම් ග්ලූටමේට් (Monosodium Glutamate) රසායනිකය යි. චීන රසකාරකයක් ලෙස හැඳින්වූවද ජපන් සූපයක රසය දෙන එය ජපානයේ ikeda kikunae විසින් 1908 දී සොයාගත් රසකාරකයකි.
ජර්මානු සගයන් හා බෙදාගත් මේ ලාභදායි සොයාගැනීම පසුව යුරෝපාකරයේ පැතිරිණි. ලුණු මිශ්‍ර ආම්ලික රසයක් ගෙන දෙනු MSG ලොව පුරා පැතිර ගියද එය මිනිස් සිරුරට හිතකර ද්‍රව්‍යයක් නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අධික තරබාරුව, දියවැඩියාව, හෘදයාබාධ, හන්දිපත් රුදාව, අධික හිසරදය, පාචනය වැනි රෝග රැසක් මෙමඟින් ඇතිවන බව ඔවුහු පවසති. ඒ හැර ගොතය, නොසන්සුන් බව, නිදිමත හා නින්ද නොයෑම වැනි තත්ත්වයන්ද මෙහි අතුරුඵල විය හැකිය. ග්ලුටමික් අම්ලයේ සෝඩියම් ලවණ හෙවත් MSG හැරුණුකොට සිරුරට අහිතකර නයිට්ට්‍රේට ආදී විවිධ ලවණ වර්ග අඩංගු රසකාරක රැසකි.
මොනොඇමෝනියම් ග්ලූටමේටා ඩයිසෝඩියම් රයිබොනියුක්ලිංයාටයිඩ් නිදසුන් කිහිපයකි. මේවා නිසා අක්මාව, වකුගඩු, හෘදය ආදී අවයව ආශ්‍රිත රෝගාබාධ රැසක් ඇතිවීමේ අවදානමක් පවතින බව විධිමත් පර්යේෂණ මඟින් ඔප්පු වී ඇත.
විද්‍යාත්මක වර්ගීකරණයේ දී ඉංග්‍රීසි අක්ෂරයක් සහිතව ඉලක්කම් තුනකින් මෙම කෘත්‍රිම රසකාරක සංකේතවත් කෙරේ. රසායනික නාම සඳහන් කළ විට පාරිභෝගිකයන් විසින් මේවා හඳුනාගැනෙන නිසා කූට නිෂ්පාදකයන් දැන් භාවිත කරන්නේ මේ වර්ගීකරණ අංකය යි. එමඟින් තමන් විශාල රැවටීමකට ලක් කරන බව පාරිභෝගිකයන් දන්නේ නැත.
ඈත ගම් දනව්වල පවා සොසේජස් ආදී පෙර සැකසූ මස් හා මාළු නිෂ්පාදන සෝයා නිෂ්පාදන, ක්ෂණික නූඩ්ල්ස් හා වියළි සුප් කැට, කුඩු ආදිය ද අද සුලබය. මේවා සමහරක් MSG අඩංගු නොවන බව ආකර්ෂණීය ලෙස දක්වා ඇත. එහෙත් දවටනය පිටුපස ඉතා කුඩාවට අංකවලින් නිරූපණය වන්නේ මේ රසකාරකයන් ය. නිදසුන් ලෙස E – 620 න් ග්ලුටමික් අම්ලය ද E – 621 න් MSG ද දැක්වේ. E – 627 හා E – 631 ළදරු හා ළමා ආහාර සඳහා යෙදීම තහනම්ය. එහෙත් මේ අංකවලින් කියැවෙන රසකාරක අඩංගු ආහාර සමහරක් ඔබේ නි‍ෙවසේ මේ මොහොතේද තිබිය හැකිය.
මෙහිදී අපට හෙළිකරගත හැකි ඉතා කනගාටුදායක තත්ත්වය වන්නේ මේ රසායනික යොදන්නේ අපට ඉතා හුරුපුරුදු ආහාරවලට වීමයි. ඒ අතරින් පරිප්පු, ලුණු මිරිස්, පොල් සම්බෝල හා මාළු හොද්ද ඉදිරියෙන්ම සිටී. වෙළෙඳුන් මේ රසය විකුණන්නේ චිකන් රසයට මුවාවෙමිනි. නිතර දකින අසන මේ දේවල් විශ්වාස කිරීමට ප්‍රේක්ෂකයෝ පෙළඹේ. මේ නිසා කුකුළු හෝ වෙනයම් සත්ත්ව මාංශයක ස්වභාවික රස (අපුල) යටපත් කර ආහාරයට ගතහැකි රසයක් බවට පත්කර ගැනීමට ලාංකිකයන් කුළුබඩු බෙහෙවින් යොදන බව නොදැනුවත්වම අමතක වී නොරටක රසයට යට වේ.
කඩේ හන්දියේ විකිණීමට තිබෙන වඩේ, මුරුක්කු, වැනි ආහාරවල ද සේවරි ස්නැක්ස් නමින් අලංකාර පැකට්ටුවල විකිණෙන බයිට් වර්ගවල ද ලුණු හා MSG නොඅඩුව ඇත. අමෙරිකානු නිදන්ගත රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ නිර්ණායක අනුව දරුවන්ට දෙන දෛනික ලුණු ප්‍රමාණය මිලි ග්‍රෑම් 280 කට නොවැඩි විය යුතුය. නමුත් ඉහත කී කෙටි කෑම සමහරක එක වේලක් පමණක් අඩංගු ලුණු ප්‍රමාණය මිලිග්‍රෑම් 630කට වැඩිය. ඇතැම් ආහාරයක අහිතකර රසකාරක පමණක් නොව සිරුරට අහිතකර වර්ණක ද තිබිය හැකිය.
මෙවන් තත්ත්වයක් යටතේ අපරටේ ලොකු, කුඩා භේදයක් නොමැතිව අධික ස්ථුලතාවය, දියවැඩියාව හිසරදය වැනි රෝග බහුලවීමට MSG බල නොපාන්නේයැයි කිව හැකි ද? පාසල් සිසුන් විශාල සංඛ්‍යාවක් හිසරදයෙන් පෙළෙන බව පසුගිය කාලයේ රෝහල් වාර්තාවල දැක්වුණි. සමාජයේ හැම තරාතිරමකම ඇති නොසන්සුන්බව, ආවේගශීලී බව වැනි ගැටලුවලටත් ආහාරවල බලපෑමක් තිබිය හැකිය.
අවන්හල්වලින් මිලට ගන්නා ආහාර බොහොමයක MSG ඇත. ඒවා පිළියෙළ කිරීමේදී ඍජුවම යොදන MSG වලට අමතරව එක් කරන සෝස් ආදියේද ව්‍යංජන, සුප් හෝ වෙනත් අමතර ආහාරවලද MSG අඩංගුය.
ක්ෂණික නූඩ්ල්ස් තුළ ඊයම් තිබිය යුතු ප්‍රමාණයට වඩා හත් ගුණයක් ඇති බව සොයාගෙන ඇත. මෙම රසකාරක දීර්ඝ කාලයක් භාවිත කිරීම මඟින් ශරීරයේ ස්නායු පද්ධතියට ද හානි සිදුවේ.
මහා පරිමාණ වෙළෙඳපොළ උපක්‍රමයක් බවට පත් වූ කල්තබා ගන්නා ආහාරවලට අප හුරුවීම අප විසින් අපටම සිදුකරගත් අපරාධයකි. අද වනවිට දින 45ක පරමායුෂ සහිත කුකුළෙකු දින 145ක් පමණ ශීතකරණයක් තුළ තැබීමෙන් අනතුරුව මුළුතැන්ගෙය ඔස්සේ අපේ උදරගත වන තරමට තත්ත්වය දුරදිග ගොස් ඇත. කොතෙක් ශීත කළ ද දීර්ඝ කාලයක් පුරා ශීතකරණවල ගබඩා කර තිබෙන මස් වර්ගවල හානිකර බැක්ටීරියා වර්ධනය නතර කරන්නට බැරි බව ප්‍රකට රහසකි.
එමෙන්ම ආහාර කල්තබා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මඟින් ද අප බලවත් සේ රෝගාතුරවන බව සාවද්‍ය ‍නොවේ. උදාහරණයක් ලෙස මස් නිෂ්පාදන කල් තබා ගැනීමට යොදා ගැනෙන ඇතැම් ද්‍රව්‍ය ආහාර මාර්ගයේ එන්සයිම හා මුසුවූ පසු සෝඩියම් නයිට්‍රයිට් බවට පත්වීම දැක්විය හැකිය. සෝඩියම් නයිට්‍රයිට් යනු සරල බසින් පවසන්නේ නම් වෙඩි ලුණු ය. ඔබගේ උදරයේ ඉරණම පිළිබඳ ඔබටම වටහාගත හැකි වේ.
ක්ෂණික නූඩ්ල්ස්වල භයානක ඊයම් සහ MSG අඩංගු බැවින් ඉන්දියානු නෙස්ට්ලේ සමාගමට එරෙහිව වාරණයක් ද නිකුත් කර ඇත.
කවර හෝ හේතුවක් නිසා හෝ ඔබ නිතර මේ ආහාර ලබාගන්නේ නම් ඔබට හා දරුවන්ට කෙබඳු ඉරණමක් අත්වනු ඇත්දැයි ඔබම මඳක් සිතා බලන්න.

උමේෂා සිරිවර්ධන


http://www.dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි