Tuesday, July 14, 2015

පාසල් විද්‍යාගාරයේ පිපිරීමක්


හලාවත ආරච්චිකට්ටුව දෙමටපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ විද්‍යා විෂයට අදාළ පරීක්ෂණයක් සිදු කිරීමේදී සිදු වූ හදිසි පිපිරීමක් හේතුවෙන් ඉකුත් 07 දා විද්‍යාලය තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති විය.
සිද්ධිය හේතුවෙන් විද්‍යා ගුරුවරයා හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 07 දෙනෙකු සුළු තුවාල ලබා හලාවත මූලික ‍රෝහලට ඇතුළත් කෙරිණි.
ප්‍රථමයෙන් රෝහලේ ප්‍රාථමික ඒකකයේ ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ගුරුවරයා හා ශිෂ්‍ය ශිෂ්‍යා­‍ෙවා් අක්ෂි වාට්ටුවට ඇතුළත් කරනු ලැබූහ.
ඒ ඔවුන්ගේ ඇස්වලට වීදුරු කැබලි හෝ අදාළ රසායනික ද්‍රව්‍ය ඇතුළුවී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහාය.
මෙම සිද්ධියට මුහුණ දුන්නේ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන සිසුන්ය. එදින විද්‍යාලයේ විද්‍යා විෂය භාර ගුරුවරයා විෂයට අදාළ පරීක්ෂණය සිදු කිරීම සඳහා පන්ති කාමරයක් සූදානම් කර තිබුණි. විද්‍යාලයේ විද්‍යාගාරයේ එම පරීක්ෂණය සිදු කිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් නොමැතිවීම ඊට හේතුවයි.
වේලාව උදෑසන 10.30 යි. 4 වන කාල පරිච්ඡේදය සඳහාය. 11 වසර සිසුන් 15 දෙනෙකු අදාළ පන්ති කාමරය වෙත යොමු වූයේ විද්‍යා විෂයට අදාළ පරීක්ෂණය සිදු කිරීමටය. විෂය භාර ගුරුතුමා පැමිණියේය. බීකරයක් හා පරීක්ෂණ නළයක් සූදානම් කර තිබුණෙ එම පරීක්ෂණය සිදු කිරීමටය. පොටෑසියම් පර්මැංගනේට් සහ සල්ෆියුරික් ඇසිඩ් පරීක්ෂණයට භාජන වූ රසායනික ද්‍රව්‍යයන්ය. පරීක්ෂණ ආරම්භ කෙරිණි.
සිසුන් ගුරුවරයා වෙත ක්‍රමයෙන් සමීප වූයේ එහිදී සිදුවන විපර්යාසයන් හොඳින් නිරීක්ෂණය කිරීමටය. සියල්ලන්ගේ ම දෑස් යොමු වී තිබුණේ පරීක්ෂණ නළය හා බීකරය වෙතය. රසායනික ද්‍රව්‍ය දෙක මිශ්‍රකර ගතවූයේ සුළු වේලාවකි. පිපුරුම් ශබ්දයක් සමඟ දුමාරයක් ඇතිවිය. සසු සිසුවියෝ තැති ගැම්මත් සමඟ ඒ මේ අත දුවන්නට වූහ. සියල්ලෝම පන්තිය අසළ තිබූ ජල කරාමය වෙත දිවගියහ. ඒ ඇස්වල ඇති වූ දැවිල්ලත් සමඟ සෝදා ගැනීමටය. වීදුරු භාජනවල වීදුරු කටු ශරීරයේ වැදීමෙන් ඇතැම් සිසුන්ගේ ලේ වහනය විය. සුදු ඇඳුම් රසායනික ද්‍රව්‍ය වැදීමෙන් අවපැහැ ගැන්විණි. විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරු සිද්ධියට මුහුණ පෑ සිසු සිසුවියන් හලාවත මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගත්හ.
සිද්ධිය වී ටික වේලාවකින් ආරංචිය ලද දෙමාපියෝ පාසල වෙත දිව ආහ. සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ දෙමවුපියෝ හලාවත රෝහල වෙත ගියහ. විද්‍යාලය ඇතුළත පැය කීපයක් දැඩි නොසන්සුන්තාවක් පැවතිණි.
සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන විද්‍යාලයේ විදුහල්පති සමන් තෙලිසිංහ මහතා පවසන්නේ මෙයට ලක්වූ දරුවන් බේරා ගැනීමට කටයුතු කළ බවයි.
“මම හිටියේ කාර්යාලයේ 10.45 ට පමණ පිපුරුම් ශබ්දයක් ඇහුණා. ඒ එක්කම දුමාරයක් ද ඇතිවුණා. මම සිද්ධිය වූ පන්ති කාමරය වෙත දිව ගියා. ළමයින්ගේ ඇඳුම්වල කෙමිකල් වැදිලා තිබුණා. ඒ අය දුවගෙන ගොස් ටැප් එකෙන් මුහුණ සේදුවා. මේ සිද්ධියට මුහුණ දීලා තිබුණේ ළමයි හත්දෙනෙක්. විද්‍යා ගුරුවරයාගේ කමිසය පුරා රසායනික ද්‍රව්‍ය තිබුණා. මම ඉක්මනින් ගුරුවරුන්ට කථා කරලා වාහනයක් ගෙනල්ල හලාවත මූලික රෝහලට ගෙනිච්චා. එහිදී ප්‍රාථමික අංශයෙන් ප්‍රතිකාර ලබා ඇස්වලට වීදුරු කටු ගිහින් යැයි සැකයට රෝහලේ අක්ෂි වාට්ටුවට ඇතුළත් කළා. ඉන් ළමයි පස්දෙනෙක් හා ගුරුවරයා ප්‍රතිකාර ලබා සවස් වෙනකොට රෝහලෙන් පිටව ගියා. ළමයි දෙන්නෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන්න වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබුණා.” විදුහල්පතිවරයා කියයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණය සිදුකළ විද්‍යා විෂය භාර ගුරුවරයා තොරතුරු ලබා ගැනීමට සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
නමුත් මෙවැනි සිද්ධීන් හෙළි නොකිරීමෙන් සිදුවන්නේ මෙවැනි විපර්යාසයන් සිදුවන හේතුව සැඟවීමයි. විශේෂයෙන් පාසල් දරුවන් මුහුණ දුන් ප්‍රශ්නයක් නිසා එය සෙසු ගුරුවරුන් මෙන් ම පාසල් දරුවන් ද දැනුම්වත් විය යුතුයි. මේ සිද්ධිය පිළිබඳව අප අදාළ සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ දෙමවුපියන්ගෙන් විස්තර විමසූ විට ඔවුන් කීවේ මීට පසු පර්යේෂණාගාරවල මෙවැනි පරීක්ෂණවල නිරතවීමට සැලකිලිමත් විය යුතු බවයි.
මීට අමතරව මේ පරීක්ෂණය කිරීමේදී නියමිත ක්‍රමවිධි අදාළ ගුරුවරයා විසින් අනුගමනය නොකර ඇති බවට ද මත පළවී ඇත.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි