Monday, July 20, 2015

විනාඩි දෙකයි. ටක් ගාලා.

හිත රවටා හීන පෙන්වන වචන අලෙවිය

විනාඩි දෙකයි. ටක් ගාලා. රසම රසයෙන්. මෙවැනි වචනයක් ජනතා ආකර්ෂණය දිනා ගන්නේ නිතැතින්. බොහෝ දරුවන් විතරක් නෙවෙයි අම්මලාත් විනාඩි දෙකෙන් හදන කෑම වලට ගොඩක් කැමැතියි. මොකක් හරි දීලා දරුවන් ගේ කුස පුරවනවාට වඩා දරුවන්ට පෝෂණයෙන් යුක්ත කෑම දීමට අම්මලා වග බලාගතයුතුයි. පලා ටිකක් අලුත් මාළු දරුවන්ගේ කෑම වේලට එකතු කරගන්න එක හොඳයි. නැතිනම් ටක් ගාන්න ගිහිල්ලා ගොඩක් කෑවට හැදෙන ලෙඩ ටික නම් ටිකක් එහෙම නෙවෙයි.

දවටනයට හා වෙළෙඳ ප්‍රචාරණයට රැව‍ටිලා ගොඩක් දේවලට දැන් හිත යන්නේ දරුවන්ගේ විතරක් නෙවෙයි. අම්මලාගෙත් හිත ඇදිලා යන එක අරුමයක් නම් නෙවෙයි. අලුත්ම පලතුරු ගහෙන් කැඩුවා වගේ කියලා අඹ බීම එකක් පෙන්නුවත් ඔබ හිතනවා ද එයට රස කාරක යොදලා නැහැ කියලා. දරුවන් මෙන්ම අම්මලා මුළාවේ දමන අලෙවි ප්‍රවර්ධනය සියලු දෙනාම අන්ධ කරන්න ගත කරන්නේ එක තප්පරයක් විතරයි. උපතින්ම අන්ධවීමත් සැබැවින්ම අන්ධවීමත් ප්‍රශ්නයක් නැත. එහෙත් දෑස් ඇරගෙන අඳුරේ අතපත ගෑම ඊට වඩා භයානකයි.

ඇයි දන්නව ද පුතාගේ අම්මා පුතාට මේවා දෙන්නේ පුතාට ආදරේ නිසා. පුතාට ඉක්මනින් ලොකුවෙන්න පෝෂ්‍ය පදාර්ථයෙන් යුතු ආහාර දෙන්න ඕනේ. නැණවත් මවක් හැම විට පාවිච්චි කරන්නේ මේ වගේ ආහාර. අපේ අම්මලාට මේ වගේ වචන කනට මී පැණි වත්කරනවා වගේ. ඇත්තටම නැණවත් අම්මලාගේ තේරිම මේක නම් ,මාත් නැණවත් අම්මා කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න ඔහොම හිතලා අමුම අමුම මෝඩ වැඩ කරනවා. ගෙදර තියෙන තැඹිලි, පලතුරු කඩේට යවලා. කඩේ තියෙන පාන් පිටි ගොඩවල් දරුවා ගෙනත් දෙනව සැකයක් නැතුව.

ඊට පස්සෙ මෙහෙම කියනවා. අනේ අපේ පුතා හරිම චබී. අයි ඩොන්ට් නෝ. වට්ටු ඩූ, මේ වගේ කතා හොඳයි ඉතින් කොණ්ඩේ බැදපු චීන්නුන්ට. දැන් ඇල්ලු වගේ මාළු ඔබේ මේසයට, ඉතින් කට්ටියම රැවටිලා හරිම ‍‍ෆ්‍රෙෂ් මෙයා කියලා ගන්නවා. අර රසකාරක නාවපු මාළු කෑල්ලක් මොන ෆ්‍රෙෂ් ද මෙයා. කෑවට පස්සේ හොයා ගන්න බැරි ලෙඩ ගොඩයි. අලෙවිකරණයෙන් මිලදී ගත් මනුෂ්‍ය ජීවිත රූප පෙට්‍ටිය විසින් පෙන්වන කෑම ජාති ඔක්කොම බඩට දා ගන්නේ කිසිම බයක් නැතුව.

තේ හදනවා. තේ බෙදනවා. ගමේ ගෙඩේ අය තේ බෙදනවා දැක්කම අපේ අයත් ගන්නෙම ඒ තේ. රැවටෙන රැවටිල්ල වචනවලින් විග්‍රහ කරන්න අපහසුයි. නියම කහට කිව්වම තවත් අය රැවටෙන ආකාරය කියලා වැඩක් නැහැ. අලෙවිකරණයෙන් නියම කරන දෙය තමයි අපි කොයි කාගේත් ආහාරය වෙන්නේ. ඇයි එකක්. ඉල්ලන්නකෝ දෙකක්. ඉතින් අපේ අය එකට දෙකක් දෙයි කියලා ඒක ගන්නවා. අන්තිමේ දී අතේ තියෙන මුදල් නිකරුණේ නාස්ති වෙනවා. මේ නාස්තිවීම සිදුවන්නේ අපිට නොදැනුවත්වමයි. මේ නොදැනුවත් බව නොදැනීම අරුමයක්.‍
අක්කායි නංගියි ද නැහැ අම්මායි දුවයි. මේ සබන් ගෑවහම තමයි මෙහෙම වෙන්නේ. රූපපෙට්ටිය හඳුන්වා දෙන අරුමෝසම් හැම දෙයක්ම කරන්න යන්නේ රූපය සහ වචනවල තියෙන ලස්සන නිසා. මේ ලස්සන මුදලට විකිණෙන්නේ උඩ යන සරුංගලයක් වගේ. සුළඟක් වගේ ඇවිත් ඇගේ හැපී ඇස් ඇරුන දාට සිදුවෙන අවදි වීම පුදුමයි. මේ අවදිවීම සිදුවෙන තෙක් බොහෝදෙනා හීන දකින්න පුරුදු වෙලාවත් ද? ඇත්තටම මේ තරමටම සිත රැවටිලිකාර ද? මගේ පුතාට මම දෙන්නේම මේවා. විටමින් ගුණ සපිරි නිසා පොඩිත්තෝ හරිම ආසයි. මේ ආසව තරුණ අම්මා කෙනෙක් කිව්වහම අද හැම අම්මාම පිළිගන්න තරම් නියතයක්. මේ නියතය නිසා අද බොහෝදෙනා අතරමං කියලා කියන්න පුළුවන්.

භාණ්ඩයක් නිෂ්පාදනයේ සිට අලෙවිය තෙක් ක්‍රියාවලිය හැසුරුවන්නේ යම් කිසි වචන පරිචයකට හසුවෙමින්. ‍ඒ වගේම මුල් නිෂ්පාදනයේ සිටම එය අලෙවි කරගැනීම යම් ක්‍රියාපිළිවෙතක් දරන්න සිදුවීම අවධාරණාත්මකව කිව යුතුයි. එහෙත් අද නම් අලෙවිකරණය සිදුවෙන්නේ වචන හරඹයකින්. මේ වචන හරඹය කිසියම් ක්‍රියාවලියකට බද්ධවෙලා සිදු වුවත්, අවසානයේදී සිදුවන්නේ භාණ්ඩ අලෙවියක්. අලෙවියේ දී භාණ්ඩයේ ඇති ගුණත්වය හා සවරූපය වචනවලින් විග්‍රහ කළයුතු ‍වෙනව. නැතිනම් භාණ්ඩයට නිසි අලෙවියක් ලබාගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදකයා පමණක් නොවෙයි අලෙවිකරුවාත් අපහසුවට ලක්වීම සුලබයි. එහෙත් අලෙවිය රැව‍‍ටීමක් නොවන්නේ කියන ගුණත්වය භාණ්ඩයේ තිබීමෙන් පමණි. මුදල ගැන මෙන්ම මුදලට අලෙවි වෙන දේ පිළිබඳවත් මඳක් සිතුවොත් පාරිභෝගිකයා රැවටෙන්නේ නැත.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි