බින්දුගේ සතුට
බිංදුලා ගෙදර රිලවෙක් ඇති කරන නිසා ළමයි එයාට “රිලවා” කියා විහිළු කරනවා. බිංදුගෙ තාත්තගෙ රස්සාව පාරේ රිලවා නටවලා සල්ලි හොයන එක. තාත්ත හම්බකරන සල්ලිවලින් අරක්කු බොන නිසා එයාල හරිම දුප්පත්.
බිංදුලාගේ රිලවා රාජු. තාත්තා රාජු කැලෙන් අල්ලගෙන ඇවිත් තියෙන්නෙ බිංදු ගොඩාක් පොඩි දවස්වලදියි. බිංදු රාජුට ගොඩාක් ආදරෙයි.
එක දවසක් රාජු අසනීප වුණා. කන්නෙ නැතුව, සෙල්ලම් කරන්නෙ නැතුව මුල්ලකට වෙලා නිදියගෙන හිටපු රාජුට තාත්ත දන්න වෙදකම් කළත් දවස් දෙකකට පස්සෙ රාජු මැරුණා. රාජු මැරුණ එක බිංදුවට ලොකු දුකක් වුණා. එයා ගොඩාක් ඇඬුවා. හරිහැටි කෑමක් බීමක් නැතුව රාජු ගැන කල්පනා කර කර දුක්වෙන බිංදු ගැන තාත්තටත් ගොඩාක් දුකයි.
“පුතාට මං තව රිලා පැටියෙක් ගෙනත් දෙන්නම්කො.” තාත්ත කීවා.
පහුවෙනිදා ඉස්කෝලෙ නිවාඩු දවසක් තාත්ත උදෙන්ම බැද්දට යන්න ලෑස්ති වුණේ එයා අටවපු උගුලට රිලා පැටියෙක් අහුවෙලාද බලන්න. බිංදුත් ඒ ගමනට එකතු වුණේ එයාට ඉක්මනටම යාළුවෙක් හම්බ වෙන එක ගැන ගොඩාක් සතුටින්.
කැලෑව ළංවෙද්දි කැලෑව ඇතුළේ රිලවුන්ගේ කෑ ගැහිල්ල අහල තාත්තගෙ මුහුණ සතුටින් පිරෙනවා බිංදු දැක්කා.
“ඇයි තාත්තෙ උන් කෑ ගහන්නෙ?”
“එකෙක් උගුලට අහුවෙලා ඇති. අනිත් එවුන් ඌව බේරගන්න බලනව ඇති. ඒකයි කෑගහන්නෙ.” ඒක අහපු බිංදුට තවත් සතුටුයි.
එයාලා උගුල ළඟට ගියා. පැටියෙක් උගුලට අහුවෙලා කෑ ගහනවා. අනිත් රිලවු කෑ ගහ ගහ ඌව බේරගන්න දඟලනවා. ගෙනියපු අහස් කූරු දාලා උගුල වෙට් හිටපු ලොකු රිලවු ඈතට එළවපු තාත්ත පුංචි පැටියව උගුලෙන් අතට ගත්තා. පුංචි පැටියා හයියෙන් කෑගහගහ බේරෙන්න දඟලන හැටි දැකල නම් බිංදුගෙ හිතට ඇති වුණේ දුකක්.
බිංදුල පැටියත් අරන් එන පස්සෙන්ම ගහින් ගහට පැන පැන රිලා රංචුවත් ආවා. කැලෑවෙ මායිමේදී රංචුවම නැවතුණත් එක රිලවෙක් නම් කෑ ගහගහ බිංදුල පස්සෙම ගහින් ගහට පැන පැන ආවා.
“ඒ පැටියගෙ අම්මා. ඒකයි කෑගහ ගහ පස්සෙන් ම එන්නේ” තාත්ත කිවුවා.
“පව් තාත්තෙ.”
“පව් වෙන්නෙ කොහොමද? අපි මූට හොඳට කන්න දෙනව, බලා ගන්නව, ඉතිං මොන පවුද?” එහෙම කියපු තාත්ත ආයිමත් අහස් කූරක් දාලා රිලා අම්මා එළවල දැම්මා.
ගෙදරටම ආවත් පැටියගෙ කෑගැහිල්ල නැවතිල නෑ. පැටියගෙ කකුලක් උගුලට තුවාල වෙලා. තාත්තා තුවාලෙට බෙහෙත් දාලා පැටියට කිරි ටිකක් පොවන්න බැලුවත් ඌ කිරි බිව්වෙ වත් කෑගැහිල්ල නතර කළෙවත් නැහැ.
“තාම අම්ම හොයනවා. බඩගිනි වෙනකොට කන්න බොන්න පටන් ගනියි. මූව පුරුදු කරල ගත්තම දෙවියනේ කියලා කීයක් හරි වැඩිපුර හොයා ගන්න පුළුවනි.” පැටිය රාජු හිටපු කූඩුවට දාලා වහන ගමන් තාත්ත කීවා.
බිංදුගෙ හිතට නම් කිසිම සතුටක් නැහැ. පැටියව අරගෙන එද්දි පස්සෙන් කෑ ගහ ගහ ආව රිලවිගෙ මුහුණ බිංදුට මැවි මැවී පෙනුණා. ගමේ කෙලවර කැලෑවෙන් විටින් විට ඇහෙන රිලා අම්මගෙ කෑ ගැහීමත් පුංචි පැටිය විටින් විට අම්මට කතා කරල කෑ ගහන සද්දෙත් නිසා බිංදුගෙ හිතට දැනුනෙ ලොකු දුකක්.
පහුවෙනිද උදේ බිංදු ඇහැඇරුනේ තාත්ත කෑගහන සද්දෙට. පැටියා හොයාගෙන ඇවිත් වත්තෙ කොස්ගහ උඩ ඉඳගෙන රිලව් කෑ ගහනවා. තාත්තා උං එළවන්න ගල් ගහනවා. කලින් දවසෙම බඩගින්නෙ හිටපු පැටියට නම් හයියෙන් කෑ ගහන්න වත් බෑ. අම්මගෙ හඬට පැටිය හිමීට කෙඳිරි ගානවා.
“මං කඩේට යනව අහස් කූරු ගේන්න. අහස් කූරු නැතිව මූ එළවන්න බෑ” කියාගෙන කඩේට යන තාත්තා දිහා බිංදු ටික වේලාවක් බලාගෙන හිටියා. ගෙට දුව ගිය බිංදු පැටියව කූඩුවෙන් ගෙනත් කොස් ගහ පාමුල තියල ටිකක් දුරට ගිහින් බලාගෙන හිටියා. පැටිය ගහ උඩට නගින්න බැලුවත් ඌට නගින්න බෑ. රිලව් ඉක්මනටම ගහෙන් බැහැල ඇවිත් පැටියවත් අරගෙන ගහ මුදුනට ගියා. බඩගින්නෙ හිටපු පැටිය අම්මගෙන් කිරි බොනව දැකපු බිංදුට දැනුණු සතුට කියල නිම කරන්න බැරි තරම්.
තාත්ත ළඟට ඇවිත් බිදුගෙ අතින් අල්ලගන්න කම්ම බිංදු හිටියෙ ගහ උඩ බලාගෙන. උඩ බලපු තාත්තට බිංදු පැටිය අතඇරල කියල තේරුනා.
“මොකක්ද යකෝ මේ කරපු වැඩේ?” පරුෂ වචනෙන් බණිමින් තමන්ට තඩිබාන තාත්තගෙන් බේරෙන්න බිංදු ගොඩක් උත්සාහ ගත්තා.
බැරිමතැන එක පාරටම තාත්තගෙ අතින් මිදුණු බිංදු දුවන්න පටන් ගත්තා.
බිංදු දුවලා ගිහින් කැලේ හැංගුණා. කැලේ හැංගිලා හිටි බිංදු හොයාගෙන තාත්තා ආවා.
“හොඳටම බඩගිනියි. කමු පුතේ.”
“තාත්ත මාත් එක්කල තරහද?”
“නෑ මගෙ පුතේ.. පුතා කළේ හොඳ වැඩක්නේ. අපි හෙට උදේම බැද්දට ගිහින් පැටිය බලල එමුකො..” බිංදුගෙ හිස අතගාමින් තාත්ත කීවා.
කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය ‘කලා’,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලි ඇල, බදුල්ල.
http://www.silumina.lk/2014/02/09/_art.asp?fn=au140209
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි