Saturday, February 15, 2014

කොටියා මෙල්ල කළ හැටි

කොටියා මෙල්ල කළ හැටි

එක් කාලයක එක් පළාතක ඉතා අලංකාර ගම්මාන දෙකක් තිබුණා. ඒ ගම්මාන දෙක අතර විශාල වනාන්තරයක් තිබුණු අතර ගම් දෙක යා කරන අඩිපාර තිබුණේ මේ වනාන්තරය හරහා. එක් ගමක ඉඳන් අනිත් ගමට යන්න මේ ගම්මුන්ට තිබුණු එකම පාරත් මේ වනාන්තරය හරහා තිබෙන පාරමයි. වනාන්තරේ හිටියා මහා භයානක කොටියෙක්. ඌ හැමදාම මේ අඩි පාරේ යන මිනිසුන් මරාගෙන කනවා. ඉතින් ගම්මුන්ට මේ ගම්වලට යන්න වෙන පාරක් නැති නිසා කරන්න දෙයකුත් නෑ. කවුරු හෝ කෙනෙක් මේ අඩිපාරේ යනවා නම් බයේ තමයි යන්නේ.
“අපි මේ ප්‍රශ්නය විසඳා ගන්නේ කොහොමද?” කියා දිනක් ගම්මු කතා වුණා. කිහිප දෙනෙක් රටේ රජතුමාටත් පැමිණිලි කළා. මේ වෙනකොට රජතුමා තමන්ට අනුශාසනා කරන උපදේශකයෙකුත් සොයමිනුයි සිටියේ. කොටියා ගැන තොරතුරු දැනගත් රජතුමා කෙසේ හෝ පණ පිටින් කොටියා ගෙන අවුත් බාරදෙන කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙන බවත් කවුරු හෝ කොටියා මැරුවහොත් මරණ දඬුවම ලැබෙන බවත් රටවැසියන්ට අණ කළා. වස්තු තණ්හාව නිසා කොටියා අල්ලාගන්නට ගිය බොහෝ දෙනෙක් මැරුම් කෑවා. කොටියා නම් කෙසේවත් අල්ලා ගන්න බැරි වුණා. ගම්මුන්ටත් එහා මෙහා යන්නට නොහැකි වුණා.
මේ අතර එයින් එක් ගමක ඉතා කාරුණික, අහිංසක තරුණයෙක් සිටියා. එයා සතුන්ට හරිම ආදරෙයි. හැම සතෙකුටම මෛත්‍රී කළා. නිතර නිතර මෛත්‍රිය වැඩුවා. කවදාවත් මදුරුවෙකුවත් මැරුවේ නැහැ. ඔහු කල්පනා කළා මිනිසුන්ට කොටියා අසුවුණොත් කොටියා මරා දමයි කියා. එහෙම සිතන කොට ලොකු දුකකුත් ඇති වුණා. හෙතෙම කල්පනා කළා කොහොම හරි කොටියා අල්ලා රජුට බාරදී ගම්මුන් බේර ගන්න ඕනේ කියා. ඔහු ගියේ වස්තු තණ්හාවට නොවේ. මිනිසුන්ටත් සතුන්ටත් ඇති ආදරය නිසා. මේ තරුණයා හොඳ මන්දකුත් සාදා තනිවම මහ වනයට ගියා. ඔහුට කොටියා හමුවුණා. කොටියා ගොරවගන ළංවෙද්දී තරුණයා මෛත්‍රී කළා. කොටියා ටිකක් දුරින් නැවතී ආපසු හැරෙන්න හදද්දී මන්ද දමා ඌ අල්ලා ගත්තා. මේ තරුණයාට කොටියා කීකරු වුණා. රජතුමා ළඟට ගෙන ගියා. එතැනදී “අනේ රජතුමනි මේ අසරණ සතා මරන්න එපා” කියා උගේ හිස අත ගෑවා. බලා සිටි මිනිසුන් පුදුම වුණා.
රජතුමා කොටියා ඈත කැලෑවකට ගෙන ගොස් මුදා හරින්නට රාජ පුරුෂයින්ට නියම කළා. ඒ බුද්ධිමත් තරුණයා කෙරෙහි පැහැදුණු රජතුමා ඇතෙක් බර වස්තුවද දී තමන්ගේ අනුශාසක තනතුරට ද පත් කරගත්තා.

http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=au140216

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි