Tuesday, February 25, 2014

ෆේස් බුක් මිනී මරනවා ද?

ෆේස් බුක් මිනී මරනවා ද?

තම තොරතුරු සහ ඡායාරූප ෆේස් බුක් මගින් මිතුරු මිතුරියන් ද දැන ගැනීමට සහ දැක ගැනීමට සැලැස්වීම ආරම්භයේ දී හුදෙකලාව නැති කර ගැනීමට සහ සමාජ සම්බන්ධතා පැවැත්වීමට රුකුලක් වුව ද ක්‍රමයෙන් එය විලාසිතාවක් විය. තමා කියවන පොත, අඳින ඇඳුම පමණක් නොව කන ආහාර පවා ඡායාරූප ගත කර ෆේස් බුක් පිටුවට යොමු කරන අයද සිටින බව පුදුමයට කරුණක් නොවන්නේ ය.
ශ්‍රී ලංකාවේ ෆේස් බුක් භාවිතය එසේ වන විට නොවැළැක්විය හැකි ලෙස අපරාධ ද ඒ සමගින්ම වාර්තා වීම ඇරඹෙන්නේ ය. මීට පෙර කොළඹින් බැහැර ප්‍රදේශයක එක් දරු මවක් සිය දිවි හානි කර ගන්නේ ෆේස් බුක් හේතුවෙන් ගොඩ නැඟුණු අනියම් සම්බන්ධයක් සැමියාට හසු වී ඒ සමග ඇති වූ ගැටුම් හේතුවෙනි. මීළඟ බිල්ල වූයේ කුරුණෑගල වෙනුෂා ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ෆේස් බුක් ප්‍රකාශයත් සමග සමාජ ජාලය අප සමාජය භාවිත කරන අන්දම නැවත කියවිය යුතුව ඇතැයි සිතේ. සැබවින් ම ෆේස් බුක් ඔය කියන තරම් භයානක වන්නේ ද? පිළිතුර ලෙස කිව යුතු වන්නේ නැත කියා ය.
ගැටලුව ඇත්තේ එය භාවිත කරන අන්දම සම්බන්ධයෙනි. අප වෙසෙන්නේ ඌණ සංවර්ධිත සමාජයක ය. බටහිර රටවල් තරමට අපේ ආර්ථීකය හෝ සමාජය සංවර්ධන වී නැත. එබැවින් අප සැමදා කළේ බටහිරින් ඇරැඹී ලෝකය පුරා ව්‍යාප්ත වන බොහෝ දේ ඌණ ලෙස භාවිතා කිරීම පමණක්මය. ඒවායේ හර පද්ධතීන් හෝ අපේ ම සංවර්ධනය සඳහා යොදා ගත හැකි යහ ලක්ෂණ හෝ අප භාවිතා කරන්නේ අවමයෙනි. නැතහොත් භාවිතා කරන්නේ ම නැත.
විනාඩි කිහිපයක් ෆේසු බුක් හි සැරිසැරීමෙන් ලබා ගත හැකි දැනුම විශාලය. ඒ අතර ඇතැමුන්ගේ චරිත ලක්ෂණ ද ‍හොඳින් තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ ය. වැඩි දෙනෙක් තම ෆේස් බුක් පිටුව භාවිතා කරන්නේ තමාවම උඩ දමා ගැනීමට ය. පිටුවේ මුලටම යොදන තම ඡායාරූපය හැබෑ ස්වරූපයට වඩා හාත්පසින් ම සුන්දර ය.
ඇතැමුන් ෆේස් බුක් පිටුවට එක් නමකුත් භාවිතයට එක් නමකුත් යොදා ගන්නේ ඇතැම් දේ හෙළිදරව් වීම වැළැක්වීමටය. ඇතැමුන්ට ෆේස් බුක් ගිණුම් රාශියකි. ඒ විවිධ නම්වලිනි. අරමුණූ විවිධ ය. සමාජයේ අප්‍රසිද්ධ මෙන්ම ප්‍රසිද්ධ බොහෝ දෙනා ෆේස් බුක් පිටුවේ අමුණන ඡායාරූප පෙන්වා දෙන්නේ ඔවුන්ගේ බොළඳකම් ය. නැතහොත් ඔවුන් පෙළන හුදෙකලාවයි. ප්‍රශංසාව පමණක් ඇසීමට දක්වන ලැදියාවයි‍.
මේ අතර නිර්භය අදහස් දැක්වීම් පමණක් නොව ඉතාම නිර්මාණාත්මක නායක පාලක විවේචනද ෆේස් බුක් හි නැතුවා නොවේ. එය එක් අතකින් අතීතයේ අපේ ගැමියන් ගොයම් කපා පාගා ගත් පසු කමතේ ඉදිරිපත් කළ කෝලම් සිහි ගන්වන්නේ ය. එදා ඔවුහු විවේචනය කළ නොහැකි දේ හාස්‍යයට ලක් කිරීමෙන් විනෝද වූහ. අද ද ෆේස් බුක් එදා කමත මෙන් ක්‍රියා කරනු එහි පිටු අතර සැරසරමින් රස විඳිමින් වටහා ගත හැකි ය.
කුරුණෑගල වෙනුෂා සිදුවිම ගැනද යමක් කිව යුතු ය. පාසල් දරුවන් අද ෆේස් බුක් ගිණූම් පවත්වාගෙන යනු අරුමයක් නොවේ ය. පරිගණකය අද ගෘහස්ථ භාණ්ඩයකි. එහෙත් පාසල් දරුවන් පරිගණකය විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ දී මවුපියන්ගේ අවධානය නම් අත්‍යවශ්‍ය ය.
අපේ ඉතා බහුතරයක් වැඩිහිටියන් අන්තර්ජාල සම්බන්ධය සහිත පරිගණයක් ඉදිරියේ හුදෙකලා වූ ගමන් ලිංගික දර්ශන සොයන බව රහසක් නොවේ. වැඩිහිටියන් ගේ චර්යාව එසේ නම් කුතුහලයෙන් පිරුණු ළමුන් ගැන කුමක් නම් කිය යුතු ද? අනික් අතට ෆේස් බුක් ගිණූමක් පැවතීම පාසල් වියේ දරුවන්ට එක් අතකින් කිසියම් සුදුසුකමක් සම්පූර්ණ කිරීමක් වැනිය. මම ෆේස් බුක් ඉන්නවා යැයි ආඩම්බරයෙන් පැවසීමට හැකිය. ‍ඒ සමගම කිව යුත්තේ අපේ බොහෝ වැඩිහි‍ටියන් ද තවමත් ඒ මට්ටමේ සිටින බවය.
දරුවෝ ඉක්මනින් ම අන්තර්ජාලයේ ආකර්ෂණීය දේ ග්‍රහණය කර ගන්නෝ ය. එය දරුවන්ගේ හැටි ය. ඔවුන්ට දරුවන් යැයි කියන්නේ ඒ නිසාය. දරුවන් සිටින්නේ වැඩිහිටියන්ගේ මග පෙන්වීම යටතේ ය. ඔවුන්ට හරි වැරැද්ද කියා දීම වැඩිහිටියන්ගේ වගකිම ය. යුතුකමය.
ආකර්ෂණීය දේ පමණක් නොව එතුළ ඇති හර පද්ධතීන් ද ග්‍රහණය කර ගනිමින් අන්තර්ජාලය භාවිත කිරීමට දරුවන් යොමු කිරීම වැඩිහිටියන් විසින් කළ යුතු ය. එහෙත් ගැටලුව ඇත්තේ අන්තර්ජාලය නිසි පරිදි භාවිතා කිරීමට අද වැඩිහිටියන් පවා දැනුම්වත් ද යන්නයි.
කුරුණෑගල වෙනූෂා ද ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන ගියා ය. ඒ සම්බන්ධව විදුහල්පතිට යම් යම් දේ ආරංචි විය. කණට වැටුණු දේ හරි වැරැද්ද සොයා බැලීමකින් තොරව දරුණූ වචන යොදමින් ඔහු වෙනූෂාට බැණ වැදුණේ ය. වෙනූෂා අවසන් වශයෙන් ලියා තිබූ දේඅනුව විදුහල්පති ඇයට බැණ වැදිමට භාවිතා කළ වචන ඉතා බැරෑරුම් ය.
පාසල් දරුවකුට නොව පොදුවේ කාන්තාවකට කළ හැකි උපරිම අපහාසය එහි අඩංගු ය. විදුහල්පති නියම වැඩිහිටියකු ලෙස ක්‍රියා කළේ නම් ඔහු කළ යුතුව තිබුණේ කණට වැටුණු දේ සත්‍ය දැයි තමා ම සොයා බැලීමය. නැතහොත් ‍වෙනූෂා ගේ ෆේස් බුක් ගිණූමට පිවිස ඇත්ත නැත්ත දැන ගැනීමය.
එහෙත් ඔහු එසේ කළේ නැත. ඇතැම් විට විදුහල්පති අපේ බොහෝ වැඩිහිටියන් මෙන් ෆේස් බුක් පරිහරණය කිරීමට නොදන්නවා විය හැකිය. එසේ නම් එය වෙනූෂා ගේ නොව විදුහල්පතිගේ දැනුමේ අඩුවක් ය. එහි දී විදුහල්පති සිටින්නේ වෙනූෂාටත් පහළින් ය.
වෙනූෂාගේ විදුහල්පති පමණක් නොව කණගාටුවට මෙන් අපේ බොහෝ විදුහල්පතිලා, ගුරුවරු මෙන්ම වැඩිහිටියෝ ද තාක්ෂණික දැනුම අතින් සිටින්නේ අපේ තරුණ පරම්පරාවට බොහෝ පිටුපසින් ය. එවැනි වැඩිහිටියන් සමග ගැටීමට වඩා සිය දිවි නසා ගැනීම හොඳ යැයි කෙනනෙකුට සිතෙන්නට වුව ද පුළුවන. කළ යුත්තේ වෙනූෂා වැනි දරුවන්ට හෝ ෆේස් බුක් සමාජ ජාලයට බැණ වැදීම නොව වැඩිහිටියන් තම අඩුව පුරවා ගැනීම ය.

“ෆේස් බුක් බලන්න නම් දරුවන්ට ඉඩ දෙන්න එපා”

හිමිදිරිය හෝරා කිහිපයකින් ඉක්මවා ගොස් තිබුණද හාත්පස පරිසරය තවමත් සිසිලසය. අතුරු සිදුරු නොමැතිව එක දිගට ඒ‍ මේ අත දුවන වාහන පෙළ අතුරින් අලුත්ගම නගරය කරා ඇදෙන බස් රථය පිටිගල බස් නැවතුමේ නතර විය.
බස් රථයට ගොඩවන්නට ‍ෙපාදිකන මඟීන් අතුරින් දිනේෂාත් බස් රථයට ගොඩවූවාය. අලුත්ගම නගරය දක්වා වේගයෙන් ඉදිරියට ඇදෙන බස් රථය කවුළුවෙන් ඇය පිටත බලා සිටියාය. දැඩි වියළි සුළඟින් සහ දුහුවිල්ලෙන් ඇගේ වත දැවටී තිබිණි.
උසස් පෙළ සඳහා දෙවන වරටත් පෙනී සිටිය යුතු හෙයින් විභාග අයදුම් පතක් රැගෙන ඒමට ඇය පාසල දක්වා පියනැඟුවාය. උසස් පෙළ විභාගයට තව එතරම් කාලයක් ඉතිරි වී නැත. ඕ ජීව විද්‍යා අංශයෙන් පළමු වර විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලයට යෑමට ප්‍රමාණවත් ලකුණු නොලැබූ හෙයින් දෙවැනි වරටත් ඇය උසස් පෙළට සූදානම් වූවාය. පොකුණුවලකඩ පාර කන්නන්ගර කෝරලගේ දිනේෂා තිලක්ෂි පිටිගල මන්නගොඩ උපන්නාය. ඇය ගාල්ල ජනප්‍රිය පාසලක උගැනුම ලැබුවාය. වෛද්‍යවරියක වීම ඇගේ සිහිනය විය.
දිනේෂා නිහඬය. ඉගැනුමට දක්ෂය. ඒ වගේම හරිම අහිංසකය. ඒ හෙයින් ගුරුවර ගුරුවරියෝ ද පාසලේ මිතුරියෝ ද ඇයව ප්‍රිය කළහ. උසස් පෙළ පළමු වරට ලිවීමෙන් අනතුරුව හුදකලාව නිවසේ ගෙවන ජීවිතය දිනේෂාට නීරස විය.
භද්‍ර යෞවනයේ සිටි නිසාම තම ජංගම දුරකථනයෙන් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට යාමට සිතුවාය. ඇයට ඒ හරහා මිතුරු මිතුරියන් රැසක් හමුවිය. ඒ අතුරින් කෙදිනක හෝ දැක නැති තරුණයකුට ඇගේ සිත ඇදී ගියේය. ඇය රහසින් ඔහුට පෙම් ක‍ළාය. එය ඇගේ කුළුඳුල් ප්‍රේමය විය. එම තරුණයා ද ඇගේ කතාබහට ප්‍රිය කළේය. දෙදෙනාගේම ප්‍රේමය කාලයත් සමඟ දලු ලා වැඩෙන්නට විය.
දිනක් ඔහු ඇයට ආරාධනයක් කළේය. ඒ ඇගේ රුව තවමත් නොදුටු ඔහුට එය දැක ගැනීමට සලස්වන ලෙසය. වෙබ් අඩවිය හරහා දුටු ඔහුගේ රුව ඉතාමත් කඩවසම්ය. ඒ රුවට ඇය දැඩි සේ ප්‍රිය කළාය. පෙම්වතාගේ ඇවිටිල්ල නිසාම ඇය රුවැති තරුණියකගේ රුවක් ෆේස් බුක් හරහා ඔහුට දැකගැනීමට සැලැස්සුවේ ඒ පිළිබඳ දුර දිග නොසිතමිනි.
ඇය මුවැත්තියක මෙන් ඔහුගේ ආදරය, උණුසුම සෙව්වාය. ජීවිතේ නොලැබුණු අඩුව ඇය ඔහුගෙන් බලාපොරොත්තු වූවාය. කුඩා කල පටන් මවත් සහෝදරියන් දෙදෙනාත් සමඟ ගෙවූ ජීවිතය බොහෝ දුක්කම්කටොලු වලින් යුතු වුවද ඇය ‍මවට කිසිවක් ඉල්ලා කිසිදු දින ඇවිටිලි නොකළාය.
ෆේස් බුක් හරහා දුටු ඔහු‍ෙග් රුව හැබැහින් දැකීමට ඇය ප්‍රිය කළාය. එහෙත් මවට නොකියා හොර රහසේ ඔහු මුණගැසීමට ඇය කිසිදු දිනක නොසිතුවාය. ‍ෙම් අතර ෆේස් බුක් හරහා දුටු සුරූපිනිය හැබැහින් දැකීමට ඔහුට ද ඕනෑ විය. ඔහුගේ සිතේ ඇය කෙරේ උපන් ප්‍රේමය ෆේස් බුක් රුව දැකීමෙන් තව තවත් දලු ලා වැඩිණි. ඇගේ සැබෑ රුව දැකගැනීමට ඔහු නොඉවසිල්ලෙන් පසුවිය.
ඇය හමුවිය යුතු බව ඔහු කිහිප විටක් පැවැසූ නමුත් ඒ සෑම අවස්ථාවක්ම ඇය මඟහැරියාය. එහෙත් එදින නම් ඔහු පැමිණීම ඇයට කෙසේවත් නතර කරන්නට නොහැකි විය. දිනය පසුගිය 19 වැනිදාය. ඇය දෙවැනි වර උසස් පෙළ සඳහා අයදුම්පතක් රැ‍ගෙන ඒමට පිටිගලින් ගාල්ල බලා පාසලට යන බව ඔහුට පැවසුවාය. ෆේස් බුක් හරහා සය මසක් පෙම් කළ පෙම්වතිය දැකැගැනීමට ඔහු දුරු කතර ගෙවාගෙන අලුත්ගම නගරයට පැමිණියේය.
ඇය කෙරේ උපන් ප්‍රේමය ඇය අභිමුවෙහි කියා පෑමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය. එය සඳ ඉල්ලා හඬා වැටෙන තරම් නිෂ්ඵල අපේක්ෂාවක් යැයි ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. මේ හමුවීම නොපැහැදිලි අඳුරු සේයාවක් සේ බොඳවී යන සිහිනයක් වෙතැයි ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. ඇය අවිහිංසකය. ඔහු ඒ බව හොඳින් දැන සිටියාය.
ඇය කිසිවිටෙකත් තමා නොරවටන බව දැන සිටි ඔහු ඇය එන පෙරමඟ බලා සිටියේය. හෝරාවෙන් හෝරාව ගෙවී ගියද ඇය පැමිණියේ නැත. වියළි සුළඟින් සහ දූවිල්ලෙන් පරිසරය කෙඩෙත්තු වී ගොස්ය. ඔහුගේ දෑස් විඩාබර වී ගොස්ය. ඇය අයදුම්පත රැගෙන ඔහුට නොකියාම නැවත පිටිගල බලා පිටත් වූවාය. ඇය දහස්වර සිතින් හැඬුවාය. ඔහු මුණගැසීමට ඇගේ සිතත් නොඉවසිල්ලෙන් බලා සිටි මුත් ඇය ඒ අවස්ථාව මඟහැර ගියාය.
බටහිර අහසේ සැඳෑ හිරු බැසයමින් තිබිණි. එහෙත් ඔහු තවමත් අපේක්ෂා සහගතව ඇය එනතුරු බලා සිටියේය. තම පුතු තවමත් නිවසට නොපැමිණියේ මන්දැයි ඔහුගේ දෙමාපියෝ මඟ බලමින් සිටියහ. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දුන් දෙමාපියන්ට ඔහු පැවසුවේ දිනේෂා හමුවී මිස තමා නිවසට නොපැමිණෙන බවයි. එයින් කලබලයට පත් ඔහුගේ දෙමාපියෝ තම පුතු සමඟ ඇය සොයා ගියෝය.
ඔවුන්ගේ හදිසි පැමිණීම නිසා පියා සිටින ‍ප්‍රදේශයෙන් වහාම පියා කැඳවීමට දිනේෂාගේ මව උත්සුක වූවාය. පියා පැමිණීමෙන් පසුව එතෙක් වේලා නිවසේ කාමරයක් තුළ දොර අගුල් දාගෙන සිටි ඇය පිටතට ගෙන්වාගත් පියා තරුණයාටත් තම දියණියටත් පැවසුවේ දෙදෙනාගේ කැමැත්ත ඇත්නම් ඔවුන්ගේ ආශිර්වාදය ඔවුන්ට ලැබෙන බවය. එහෙත් ෆේස් බුක් හරහා දුටු ඒ සුරූපිණියගේ රුවට වඩා වෙනස් වූ දිනේෂා ගේ රුවට තරුණයා අකමැති නොවූවේය. එහෙත් ඔහුගේ දෙමාපියන් අතර යම් කතාබහක් ඇතිවූ නිසා දිනේෂාට කිසිසේත් එය දරාගත නොහැකි විය.
හිතේ තදකර උන් වේදනාව ඇය නිවසේ කිසිවෙකු‍ත් නොමැති වනතුරු ඉවසා සිටියාය. ඇය ඉකිබිඳ හැඬුවාය. තම මව ඇය සිතින් මතක් කර ගත්තාය. ඇය බොඳ වූ කඳුළු අතුරින් බිත්තියේ එල්ලා ඇති වෛද්‍යවරියක‍ෙග් රුව දෙස බැලුවාය. ඇය පෑනක් ගෙන සිතේ තදකරගෙන සිටි වේදනාව ලීවාය.
ඇය මවගෙන් සහ පියාගෙන් දහස් වරක් සමාව ගත්තාය. තමා කළ වරද නිවැරැදි කර ගැනීමට ඉඩ නොලැබුණ බව ඇය ලියා තැබුවාය. ෆේස් බුක් හරහා තරුණියන්ගේ රූපය දැකීම දැකීමට සැලැස්වීමෙන් වන අකටයුතුකම් නිසා ඇය ඇගේ රුව ඒ හරහා දකින්නට නොසැලැස්සූ බව කීමට ඇයට ඉඩ ලැබුණේ නැත.
“දුව ෆේස් බුක් එකේ තියෙන ගෑනු ළමයින්ගේ රූප අරගෙන කරන වැරැදි වැඩවලට බයේ එයාගේ රූපේ දාල නැත්තේ. ඒ වෙලාවේ ඒ දරුවා වරදක් කළා යන හැඟීමෙන් පිරිමි ළමයාගේ දෙමාපියෝ කතා කිරීම නිසා සමහර විට ඒ දරුවාට ලැජ්ජ හිතෙන්න ඇති. අම්මයි තාත්තයි ඒ නිසා අපහසුතාවයකට පත්වුණා කියලා දුව දුකෙන් ඉන්න ඇති. මම කිව්වේ ඔය දෙන්නට දෙන්න කැමැති නම් තීරණයක් ගන්න කියලයි. ඇගේ පියා කේ.කේ. සුමතිරත්න පැවැසීය.
එහෙත් මේ සිදුවීම් පෙළත් එක්ක ඇය කාටත් හොරා ජීවිතයේ අවසන් තීන්දුවට එළැඹී සිටියාය. මවගේ සාරියක් ගෙන ඇය ගෙල වැළලා ගත්තාය. මුවැත්තියක මෙන් අහිංසක ඇය මෙවැනි තීරයකට එළඹුණේ ඇයි? තම කුළුඳුල් ප්‍රේමයට ඇය දැඩිව අවංක වූවාය. ඇ‍ෙග් ජීවිතය තරම් ඇය ඔහුට පෙම් බැන්දාය.
ඇගේ නිසල දේහය ඔහු එනතුරු තබා ගෙල වැළලාගත් සාරි පොටේ ගැටය ලිහා දමන්න යැයි ඇය ලියා තැබුවාය. ඇගේ මවගේ සිහින සියල්ල බොඳ කරමින් ඇය මෙළොව හැර ගියාය. තමා නිසා දෙමාපියන්ට වූ වරද නිවැරැදි කිරීමට ඇය ගත් තීරණය කිසිවෙකුටත් අනුමත කළ නොහැකිය.
දරුවන් කරනු ලබන ඕනෑම වරදකට සමාව දීමට ‍මවුපියන් මැළිවන්නේ නැත. එහෙත් තමන් උස් මහත් කර සමාජයේ ඉහළ තැනකට ඔසවා තැබීමට වෙහෙසන අම්මාවරුන්ට දුකක් නොදීමට දූ දරුවන් වග බලාගත යුතුය.
“ජංගම දුරකථන හරහා මෙවැනි දේවල්වලට යොමුවෙන්න දරුවන්ට ඉඩ දෙන්න එපා. කිසිම අම්මා කෙනෙකුට මෙවැනි දුකක් වෙන්න එපා”. ඒ දිනේෂාගේ මවගේ ඉල්ලීම විය.
කෙසේ වෙතත් දරුවන්ට ජංගම දුරකථන භාවිතය අත්‍යවශ්‍ය කරුණකදී හැර මෙවැනි සමාජ වෙබ් අඩවි හරහා පිවිසීමට කිසිසේත් සුදුසු නොවන බව එච්.ඩබ්ලිව්.උදයකාන්ත පිටිගල පොලිස් ස්ථානාධිපති වරයා ද අප සමඟ පැවසු‍ෙව්ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි