Tuesday, February 25, 2014

Facebook යන හැටි කියා දෙන්න ගුරුවරුන්ගේ සහාය

යන හැටි කියා දෙන්න ගුරුවරුන්ගේ සහාය

පාසල් සිසුන් ෆේස්බුක් හා අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව ශිෂ්‍යයන්ට නිසි දැනුමක් ලබාදීමට හා ඇතිවන ගැටලු තත්ත්වයන් පාලනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ තීරණය ගෙන ඇත්තේ පසුගියදා ෆේස්බුක් පරිහරණය සම්බන්ධයෙන් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පාසල් සිසුවියන්ගේ මරණ දෙකක් වාර්තා වීමත් සමඟය.
මේ අතර ෆේස්බුක් සම්බන්ධයෙන් වාරණයක් පැනවීම හෝ පාලනය කිරීමක් කළ නොහැකි බවත් කළ හැක්කේ එය සංයමයෙන් යුක්තව භාවිතයට ගැනීම සඳහා දරුවන් හැඩගැස්වීම බවත් පරිගණක විශේෂඥයෝ කියා සිටිති. වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව ද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති) ගෞරී මොරගොඩ මහත්මිය පැවසුවාය.
‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ (SLCERT) සමඟ එක්ව ලබන මස මුල සිට පළාත් මට්ටමින් ගුරුවරු 20 දෙනා බැගින් තෝරා ගෙන අන්තර්ජාල භාවිතය, ෆේස්බුක් ආරක්ෂාකාරී ලෙස භාවිතය, ඒවායේ පවතින අනාරක්ෂිත භාවය ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් එම ගුරු පිරිසට ලබාදීමට නියමිතය.
මේ මූලික දැනුවත් කිරීම්වලින් අනතුරුව ඒ ගුරුවරු මඟින් අනිකුත් පාසල් ගුරුවරු හා ශිෂ්‍යයන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
මීට අමතරව සෑම පාසලකම පාසල් විනය කමිටුව හා පාසල්වල ඇති තොරතුරු තාක්ෂණ සංගමය (ICT) එක්ව අන්තර්ජාල පරිහරණය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළකට අවශ්‍ය චක්‍රලේඛයක් ද ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් ප්‍රධානීන් වෙත යැවීමට ද නියමිතය.

http://www.silumina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි