Tuesday, February 18, 2014

ළමා වැඩසටහන්වලට මුල් තැන දෙන ජාතික රූපවාහිනිය

ළමා වැඩසටහන්වලට මුල් තැන දෙන ජාතික රූපවාහිනිය

රූපවාහිනී මාධ්‍යය ශ්‍රී ලංකාවේ ස්ථාපිතවී වසර 30 කට අධිකය. මේ මාධ්‍ය විවිධ කාර්යයන් උදෙසා මෙම අවුරුදු 30 ක කාලය තුළ ප්‍රයෝජනයට ගත් බව අප දන්නා කරුණකි. විශේෂයෙන් විධිමත් නොවිධිමත් අධ්‍යාපන කාර්යයන් සම්බන්ධයෙන් එය විශාල සේවයක් කර ඇති අතර, එය තවත් දියුණු කළ හැකි බව ද අප දන්නා කරුණකි. ඒ අතර සමස්ත ළමා පරපුරට මෙමගින් අනුපමේය සේවයක් කළ හැකි බව ද පිළිගත යුත්තකි.
ළමා සාහිත්‍ය කෘති මගින් ළමා සිතට සිදුවන කාර්යය, දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍ය තුළින් ‍ළමා ලෝකය කේන්ද්‍ර ගත කරමින් තවදුරටත් ඉදිරියට ගෙන යාමට රූපවාහිනී ළමා වැඩසටහන් නිසා අපට අවස්ථාවක් ලැබී තිබේ. දැනට අපට දැන ගැනීමට ලැබී ඇති අධ්‍යයන තොරතුරු හා වෙනත් කරුණු අනුව රූපවාහිනී මාධ්‍ය පිළිබඳව ළමයින් තුළ ඇත්තේ විශාල ඇල්මකි.
මෙම ඇල්ම නිසා ම රූපවාහිනී ක්ෂේත්‍රය තුළ ළමුනටම යොමු වූ වෙනම වැඩසටහන් මාලාවක් ද ළමා වැඩසටහන් නිෂ්පාදන රටාවක් මත ගොඩ නැඟී තිබේ. මේ ඔස්සේ ළමයින්ගේ සාහිත්‍ය රුචිකත්වය හා ඒ කෙරෙහි දක්වන සහජ කෞෂල්‍යය දියුණු කර ගැනීමට ළමයිනට යෝග්‍ය පරිසරයක් ඇති කරගත හැකි ය.
රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ආරම්භවීමත් සමඟම මෙරට ජන ජීවිතයේ නොයෙකුත් වෙනස්කම් වලට හා පෙරළිවලට මූලික හේතුවක් විය. එදිනෙදා දෛනික ජීවිතයේ සිදුවීම් රූපවාහිනිය නිසා වෙනස් කරන්නට එසේත් නැත්නම් එයට හුරුවන්නට අපට සිදුවන බව නොරහසකි. මේ තත්ත්වය අනෙකුත් මාධ්‍යවලට මෙන් ම මෙරට සාහිත්‍ය ලෝකයට ද බලපෑවේය. රූපවාහිනිය ආරම්භ වීමට පෙරාතුව තැන තැන පල්වෙමින් පැවති සමහර මාධ්‍යන් මේ නිසා ලහි ලහියේ පිබිදී එන්නට පටන් ගැනිණි.
1979 වසරේ දී අප්‍රේල් මස ලංකාවේ මුලින් ම රූපවාහිනි සේවයක් ආරම්භ වුවද එහි ළමයින් වෙනුවෙන් වෙන්කර තිබූ විකාශන කාලය ඉතා අල්ප විය. 1982 ඇරැඹි ජාතික රූපවාහිනිය එයට වඩා වැඩි අවධානයක් ළමා පරපුර වෙත යොමු කොට ළමා වැඩසටහන් සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලදී. මෙය රූපවාහිනිය දියුණු වූ රටවල ද අනුගමනය කර ඇති අන්තර්ජාතික වැඩපිළිවෙළකි. සංවිධානාත්මක පසුබිමකින් යුක්තව ළමා මනසට ගෝචර වන සුදුසු වැඩසටහන් ඉදිරිපත් කිරීමට මේ ඒකකය දැඩි පරිශ්‍රමයක් දරා ඇත.
ජාතික රූපවාහිනිය මෙරට ආරම්භ වීමත් සමඟ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ජාතික රූපවාහිනියේ සුක්කානම මෙරට පරිණත විශිෂ්ටතම සිවිල් සේවකයන් තිදෙනාගෙන් එක් අයෙකු වූ කෘතහස්ත රාජ්‍ය නිලධාරියකු වූ එම්.ජේ. පෙරේරා මහතා වෙත පැවරිණි.
පෙරේරා මහතා තමන්ගේ ආයතනයේ සියලුම ඒකකවලට මෙරට සිටි කෘතහස්ත කලාකරුවන්, සන්නිවේදකයන් සම්බන්ධ කරගත්තේ ය.
ඒ අනුව, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් තනතුරට එච්.එම්. ගුණසේකර ද නාට්‍ය ඒකක ප්‍රධානී ලෙස ධම්ම ජාගොඩ ද වාර්තා හා විචිත්‍රාංග ඒකකයේ ප්‍රධානී ලෙස මඩවල එස්. රත්නායකයන් ද ළමා ඒකක ප්‍රධානී ලෙස ආචාර්ය සාලමන් ෆොන්සේකා ද පත්කර ගනු ලැබිණි.
1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාවේ ළමා වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරිණි. දෛනික විකාශ කාලයෙන් ඉතා වැදගත් කාල පරාසයක් ළමා වැඩසටහන් සඳහා ලබා දෙන ලදී.
ආචාර්ය සාලමන් ‍ෙෆාන්සේකා යටතේ ඉතා ශූර නිෂ්පාදක මඩුල්ලක් මඟින් කළ, මුතුහර, ගායනා, ළමා හුරුව, ළමා රඟමඩල, සැඳෑ රඟමඩල, රංගන වැනි සැලකිය යුතු දේශීය ළමා වැඩසටහන් රැසක් එකල කැපී පෙනිණි. ආචාර්ය ලලිතා සිරිබද්දන, සිසිර කොතලාවල, ශ්‍රීමතී ලියනගේ, ටී.ඇම්. සරත්චන්ද්‍රතිලක, රොහාන් වැලිවිට යන නිෂ්පාදක නිෂ්පාදිකාවන් අතින් ඒවා නිර්මාණය විණි. කලකට පසුව අනෝමා වත්තලදෙණියගේ සංකල්පනාවක් අනුව ළමා පුවත් වැඩසටහන ද එක් විය.
ජාතික වගකීම උසුලමින්, ජාතියේ අනාගත නායකත්වයට සරිලන සංස්කෘතික පසුබිම, දැනුම, ආකල්ප වර්ධනය හා කුසලතා පූර්ණ පරපුරක් එළිදැක්වීමට කැප වුණු ජාතික රූපවාහිනියේ ප්‍රධාන වැඩසටහනක් වන ‘මුතුහර’ ආරම්භ කර දැනට වසර 30 ක් ඉක්ම ගොසිනි.
ප්‍රථම මුතුහර වැඩසටහන මැදිරි අංක 1 හි 1982 මාර්තු 29 වන දින පටිගත කෙරුණු අතර, 1982 අප්‍රේල් 28 වන දින එය විකාශය විය. එදා සිට අද දක්වා ලංකාව පුරා ළමා සමාජ ලෙස ව්‍යාප්ත වෙමින්, අග්නි දිග ආසියාව සතු විශාලම ළමා සමාජ ජාලය ලෙස වැඩි දියුණුවී තිබේ. අද එය ඕස්ට්‍රේලියාව වැනි රටවල ද ක්‍රියාත්මකවේ. නුදුරු අනාගතයේදී එංගලන්තය හා ජපානය රටවල ද මුතුහර ළමා සමාජ ක්‍රියාත්මක වීමට නියමිත ය.
රට පුරා විසිර ඇති මෙම ළමා සමාජවල දරුවන්ගේ ගායන, වාදන, නර්තන, රචනා, චිත්‍ර, නිර්මාණ වැනි බොහෝ කලා කුසලතාවන්ගේ එළිදැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. දැනට ළමා ඒකකය තුළ ක්‍රියාත්මක කෙරෙන නව නායකත්වය යටතේ මේ ළමා සමාජවල සිටින දරුවන්ගේ අනෙකුත් කුසලතාවන් සැලකිල්ලට ගෙන, රූපවාහිනී කැමරාකරණය, සංස්කරණය හා වෙබ් අඩවි නිර්මාණය වැනි දක්ෂතා ද එළිදැක්වීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
ගීත සාහිත්‍යයක ඇරඹුම සටහන් කරමින් ආරම්භ කළ සිසිර කොතලාවලගේ ‘ගායනා’ වැඩසටහන ද ‘මොරගිරි ගමන’ ළමා ටෙලිනාට්‍යය ද මේ අතර කැපී පෙනේ. කැමරාවක් උපයෝගි කරගෙන බාහිරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කළ ප්‍රථම ටෙලිනාට්‍යය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
රූපවාහිනි සංස්ථාව මගින් ළමා පරපුරට දෙනු ලබන නිර්මාණ අතරින් සෞන්දර්යාත්මක වැඩසටහන් බෙහෙවින් ජනප්‍රිය වී ඇත. එයින් නාට්‍ය, සංගීතය, නැටුම් සහ ක්‍රියාකාරකම් අඩංගු විශේෂාංග ළමා ප්‍රේක්ෂකයාට පිරිනමනු ලැබේ. රූපවාහිනී ළමා නාට්‍ය ඒකකය මගින් නාට්‍ය ඉදිරිපත් කිරීමේ දී ළමයින් විසින් ඉදිරිපත් කරන නාට්‍යවලට මෙන් ම ළමයා උදෙසා නිරූපණය කෙරෙන නාට්‍ය කෙරෙහි ද එක සමාන අවධානයක් යොමු කරයි.
“ගී මුතු අප නිෂ්පාදනය කරන ප්‍රශස්ත වැඩසටහනක්. මේ වැඩසටහනින් අනාගත ගායකයා හෝ ගායිකාව රටට හඳුන්වා දීම වාණි‍ජ පරමාර්ථවලින් තොරව සිදුවන්නක්. මේ සඳහා ළමුන්/ මවුපියන් සංගීත ගුරුවරුන් දක්වන උනන්දුව ඉතා ඉහළයි. ඒ වගේ ම ඔවුන් ජාතික නාළිකාව පිළිබඳ දක්වන විශ්වාසයත්, ජාතික නාළිකාව තුළින් තම දරුවන්ගේ කල එළි මංගල්‍යය සිදුවීමත් භාග්‍යයක් කොට සලකනවා. එක් වරකට ළමුන් 12000 කට අධික සංඛ්‍යාවක් ඉල්ලුම්පත් එවීමෙන් මේ බැව් පැහැදිලි වෙන බව ගී මුතු වැඩසටහන් අධ්‍යක්ෂ සුරනිමල ජිනේන්ද්‍රසිංහ පවසයි.
‘අපේ පැය’ අපේ නවතම ළමා වැඩසටහන් වලින් එකක් මෙහි විශේෂත්වය වන්නේ මවුපිය/ දූ දරු සියල්ලන්ම එකම වේදිකාවට ගෙන එමින් කිසියම් ආකල්පමය වෙනසක් ඔවුන් තුළ ඇති කිරීමයි. අභියෝග ජයගැනීම, සාමූහිකත්වය, නායකත්වය මෙහෙයවීම වැනි, අනාගත මිනිසා නිර්මාණය කිරීමට අවශ්‍ය සාධක මේ වැඩසටහන් තුළින් අප මතු කරනවා. ‘අපේ පැය’ අධ්‍යක්ෂ ලක්ෂ්මන් මුතුතන්තිරිගේ අදහසයි ඒ.
‘පැහැසරණිය’ වැඩසටහන තුළින් මෙරට පාසල් දුවා දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ජාතික තලයට ගෙන ඒමේ විධිමත් සැලැස්ම ඉටු වී තිබෙනවා. ඒ වගේ ම ජාතික නාළිකාවට ස්ථිර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ වැඩසටහන තුළින් එක් වී තිබෙනවා. ‘පැහැසරණිය’ අධ්‍යක්ෂ ගාමිණී අබේවික්‍රම පවසන්නේ එවැන්නකි. ‘මුතුහර’ දැනටමත් අග්නිදිග ආසියාවේ ජනමාධ්‍යයන් හා සබැඳි විශාලම ළමා සමාජ ජාලයයි. මේ වැඩසටහන තුළින් මෙරට ජනමාධ්‍යයට එකතු කරන ශිල්පීන් බොහෝයි. ඈත ගම් දනව් වල දූ දරුවනට ජාතික තලයට එන්නට අවශ්‍ය මාර්ගය එළි පෙහෙලි වී තිබෙනවා.
“මුතුහර” අධ්‍යක්ෂ ‍උදාන්ත කමල් ගුණතිලක මහතා පවසයි.
පත්මසිරි ප්‍රනාන්දු ආරම්භ කළ ‘පරිගණක පාරාදීසය’ වැඩසටහන මෙරට සියලුම නාළිකා අතර ළමුන් සඳහා වෙබ් අඩවියක් ඇති එකම වැඩසටහනයි.
ජාතික අධ්‍යාපන ආයතනය හා සම්බන්ධව, ඔවුන්ගේ විෂය නිර්දේශයන්ට අනුකූලව නිෂ්පාදනය කරන ‘පෙර පාසල්’ විෂය සම්බන්ධ ‘හුරුබුහුටි’ අධ්‍යක්ෂණය කරන්නේ නාලනී ධර්මරත්නයි. 2013 වසරේ සුමති සම්මානයෙන් පිදුම් ලැබූ ‘මං ආසයි මට කියන්න’ දැනට වැඩසටහන් 64 ක් විකාශය කොට ඇත. මෙම වැඩසටහන් මාලාවේ පළමු අදියරේ දී අප අවට පරිසරය අසුරින් දරුවන් තුළ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ගහ කොළ, සතා සිවුපාවුන් හා මිනිස් සිරුරේ ඉන්ද්‍රිය පද්ධතිය, තාක්ෂණය වැනි දෑ ඉතා සරලව නාට්‍යානුසාරීව ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී දේශීය ජනවහරේ එන ජනශ්‍රැති, ප්‍රස්ථා පිරුළු හා ඓතිහාසික තොරතුරු පදනම් කරගනිමින් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහන වඩාත් සංවර්ධනය කර ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
සාම්ප්‍රදායික ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් බැහැරව නිර්මාණාත්මක, එමෙන් ම එය ළමා මනසට වඩා හොඳින් ගෝචර වන අන්දමින් ප්‍රවෘත්ති වාර්තාකරණය සිදු කරනු ලබයි. විශේෂයෙන්ම ගවේෂණාත්මක ප්‍රවෘත්ති තුළින් ප්‍රවෘත්තියක පවත්නා තොරතුරු පිළිබඳ අවබෝධය ලබා දීමට කටයුතු කෙරේ. ළමුන්ගේ සහභාගිත්වයෙන් වාර්තාකරණය සිදු කෙරෙන අතර එය ප්‍රවෘත්ති සඟරාවක් ලෙස ඉදිරිපත් කිරීමට අදහස් කරන බව නිෂ්පාදිකා මාලතී වීරසිංහ පවසයි.
මැලේසියාවේ A.B. U. ආයතනය සමඟ කලාපීය ළමා නාට්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉටු කරන ලද සමසාමූහික ළමා නාට්‍යය නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා ඒකකය ඉදිරිපත් කළ ‘රත්තී’ ළමා ටෙලි නාට්‍යය 2008 ජර්මනියේ ප්‍රි ජුනෙස් අන්තර් ජාතික ළමා චිත්‍රපට උලෙළේ අවසාන වටය සඳහා තෝරා ගැනිණි. මෙය වසර 18 කට පසුව ළමා ඒකකය ලද අන්තර්ජාතික ජයග්‍රහණයකි. ‘රත්ති’ ආසියාවේ හොඳම ටෙලි නාට්‍ය හතර අතරට ද එම උලෙළේ දී එක් විය.
අප වෙත ලැබුණු ලෝකයේ වෙනත් රටවල ළමා නාට්‍ය ‘ටිකිරි ටිකිරි ටිකිරි කතා’ නමින් සිංහලට උප ශීර්ෂ නංවා ශිරාන් රත්නායක විසින් මෙරට ළමා පරපුරට දායාද කරනු ලැබීය‍.
2008 වර්ෂයේ පැවති සුමති සම්මාන උලෙළේ හොඳම කාලීන වැඩසටහන් 3 අතරට ළමා ඒකකයේ නිෂ්පාදනයක් එක් විය. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සඳහා නිෂ්පාදනය කළ ‘උදා වූ වසන්තය’ වාර්තා රංග මාලාවේ ‘පි‍බිදෙන කැකුළක්’ වැඩසටහන වූ මෙය පර්සි ජයමාන්න මහතාගේ තිර රචනයකි. මෙම වාර්තා රංගනය 2006 වසරේ විශිෂ්ටතම ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ජනමාධ්‍යවේදියා ලෙස සම්මාන දිනා ගන්නට මෙම ලියුම්කරු සමත් විය.
මෙතෙක් රූපවාහිනී ළමා වැඩසටහන් ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවයට ඇගයීමක් වශයෙන් ළමා ඒකකයේ නිෂ්පාදක සුරනිමල ජිනේන්ද්‍රසිංහ උදාන්ත කමල් ගුණතිලක, නාලනී ධර්මරත්න සහ මේ ලියුම්කරු සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන ඔවුන් වෙත පිරිනැමුණේ බොරැල්ල ළමා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය මගිනි. රූපවාහිනී නාළිකාවන් වෙනුවෙන් ලබාදෙන ප්‍රශස්ත ඇගයීම් සම්මානය ද ඔවුන් මෙවර පිරිනැමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ය. එය ද රත්තී ලැබූ අන්තර්ජාතික ජයග්‍රහණය වෙනුවෙනි.
2010 වසරේ 15 වන සුමති සම්මාන උලෙළේ හොඳම ළමා වැඩසටහන ‘අපේ පැය’ සහ 2010 වසරේ මත්ද්‍රව්‍ය හා දුම්කොළ භාවිතය අවම කිරීමේ හොඳම රූපවාහිනී නිෂ්පාදනය ලෙසත් සම්මාන දිනා ගැනීමට ලක්ෂ්මන් මුතුතන්තිරිගේ සමත් විය.
සම්මාන
සතියේ සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.00 සිට ළමා ප.ව. 6.00 දක්වා ‘මිණි පහන් වැට’ ශීර්ෂය යටතේ ළමා වැටසටහන් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි. ඉරිදා දිනවල ප.ව. 4.00 ට ළමා පුවත් හා ප.ව. 6.00 ට මුතුහර විකාශය වන අතර, සෑම පෝය දිනකම ප.ව. 3.30 ට සවනක් රැස් හා ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා ‘දහම් බිම’ ළමා ආගමික වැඩසටහනක් විකාශය වේ.
මේ සියලු ළමා වැඩසටහන් මෙරට ජාතික සම්මාන උලෙ‍ළවලදී සම්මානයට පාත්‍රව ඇති අතර 2013 වර්ෂය වෙනුවෙන් සුමති සම්මාන උලෙළේදී ‘මං ආසයි මට කියන්න’ වෙනුවෙන් ජානක සුජීව ජයකොඩි මහතා ද, රාජ්‍ය සම්මාන උලෙළේදී වාල් කෛයිල් කනක්කු (ජීවිතය ගණන්) වෙනුවෙන් හොඳම දමිළ ළමා වැඩසටහන වෙනුවෙන් ශිරාන් රත්නායක මහතා ද සම්මානයට පාත්‍ර විය.
එදා මෙදා තුර ළමා ඒකකයට මග පෙන්වූවෝ ද මේ මොහොතේ මතක් කිරීම සුදුසුවේ යැයි සිතමි.
අනාගත විශ්ව මිනිසා තැනීමේ කාර්යයට සහය ලබා දෙන්නට අප ද සූදානම් ය. 1982 වසරේ ළමා ඒකකය පිහිටවීමේ දී ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා ඉතා ශූර නිෂ්පාදක මඬුල්ලකගේ සහය ලබා ගත්තේ ය.
“හොදම දේ ළමයින්ටයි” යන වී.අයි. ලෙනින්ගේ ශ්‍රේෂ්ඨ කියමන සිත්හි දරා ගෙන ජින් පියා‍ජියෝ ගේ අර්ථ දැක්වීමකට අනුව ‘දරුවන් කුඩා වැඩිහිටියන් බවට පත් නොකර’ ශ්‍රී ලාංකීය දරුවනට අතිශය වැදගත් වන දේශීය වැඩසටහන් නිපදවීමේ කාර්යයේ නිරතව සිටිමු.
http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=af14021622

1 comments:

godak santhosayi mehema lipiyak kiyawanna labima gana.

aththatama api podi kale t.v. eke yana cartoon balanna mona wade thibunath enawa.
muthuhara program ekath godak honda program ekak.

eth mage nam adahasa dan rupa wahiniye lama wada satahanath rallata gahagena yana ekak kiyala.

essara lama wadasatahan wala apita ganna godak dewal thibuna. godak adarshamath wada satahan thibuna. eth essara thibunu mattama, therena vidiyata quality ekanam aduyi.

lamayinta kavi gayana vitharakma nemeyi, ape kama, gama gana, essara kale "rasara" wage program apahu athikaranawanam godak hondayi kiyalayi mage nam adahasa.

monawa unath rupawahiniye program mama agayanawa.

wish you all the best ....!!!!!

akilashanaka@gmail.com

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි