Tuesday, February 18, 2014

රෑට හීතලයි; දවල්ට රස්නෙයි.

මේ වසරේ අපිටත් එල්නීනෝ එනවා

ලෝක කාලගුණ විද්‍යා සංගමය අනතුරු අඟවයි

ජල හිගයක් එන ලකුණු නියගයකට සුදානම් වෙන්
ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හා හිටපු කාලගුණ අධ්‍යක්ෂ
කේ. ආර්. අභයසිංහ
රෑට හීතලයි; දවල්ට රස්නෙයි. මේ දිනවල බොහෝ අය පවසන කතාවකි. මෙලෙස සිදුවන්නේ කාලගුණ වෙනසක් අපේ රටේ සිදුවන නිසා ද? ඒ සමඟම ඉදිරියට නියඟයක් එයි ද? ජල හිඟයක් එයි ද? අපි මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ. ආර්. අභයසිංහ සමඟ සාකච්ඡා කළෙමු. මේ ඒ සාකච්ඡාව ඇසුරෙන් ලියු ලිපියකි.
මේ දිනවල ශ්‍රී ලංකාවට සුළං එන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙනි. එම මාර්ගයේ සුළං ගලා එන්නේ වැඩිපුර ගොඩබිම ආශ්‍රිතවය. මේ සුළංවල ජල වාෂ්ප නැත. ඒවායේ සාපේක්ෂ ආර්ද්‍රතාව සියයට 60 කට අඩුය.
මේ නිසා මේ සුළංවල ස්වභාවය අනුව රාත්‍රියේදී අපේ ගතට සීතලක් ඇතිවේ. ඊට අමතරව මේ දිනවල රාත්‍රියෙහි සීතල ඇතිවීමටත් මල් තුහින ඇතිවීමටත් මීදුම ඇතිවීමටත් තවත් සංකීර්ණ හේතු ගණනාවක් අපේ වායුගෝලය තුළ සිදුවෙයි.
මේ කාලයේ පහළ වායුගෝලයේ වියළි බව අධිකය. මේ නිසා තවත් අලුත් සංසිද්ධියක් හටගනී. මේ දිනවල අප ජීවත් වන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයෙන් අඩු පරිසරයකය. ඒ අනුව අපේ ශරීරයෙන් පිටවන දහදිය ඉතා ඉක්මනින් පහසුවෙන් වායුගෝලයට උරාගනී.
පරිසරයේ මෙම භෞතික ලක්ෂණය ශරීරයට සිසිලසක් ඇති කිරීමට හේතු වී තිබේ. අපට මේ දිනවල රාත්‍රියට අධික සීතලක් දැනීමට තවත් හේතුවක් ඇත. අපේ රෝම කූප අසලින් නිකුත් වන දහදිය වාෂ්ප වී පරිසරයට නිකුත් වීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය හෙවත් වාෂ්පකරණයේ ගුප්ත තාපය අපේ ශරීරයෙන්ම ලබාගන්නා බැවින් අපට දැනෙන සීතල තවත් වැඩි වේ.
මේ දිනවල අහසේ වලාකුළු නොමැත. දවල්ට මේ නිසා රස්නයක් ඇති වේ. නමුත් රාත්‍රිය සිසිල්ය. මේ තත්ත්වය තව සති 2 ක් පමණ පැවැතීමට ඉඩ තිබේ.
මේ දිනවල අහස වලාකුළින් තොර නිසා භූ තලයෙන් නිකුත් කරන දිගු තරංග තාප විකිරණ කිරණ බාධාවක් නැතිව ඉහළ වායු ගෝලයට යයි. ඒ නිසා රාත්‍රියෙහි භූ විකිරණ නම් සංසිද්ධිය නිසා පෘථිවිය හා ඒ අවට වායු ගෝලය සිසිල් වේ.
මෙසේ අඩුවන උෂ්ණත්වයත් වායු ගෝලයේ සිසිල් බවත් නිසා මේ දිනවල රාත්‍රියේ හා අලුයම කාලයේ අපේ ගතට සීතල බවක් ඇති වේ. මේ කාලයේ ඇතිවන මල් තුහින හා මීදුම ඇතිවන්නේ ද අලුයම වන විට පෘථිවිය අසල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා පහළ බසින නිසාය.
මේ උෂ්ණත්වය අඩුවීම නිසා අපේ පෘථිවිය හා ඒ අසල පරිවර්ති ගෝලයේ පහළ මට්ටම්වල උෂ්ණත්වය තුෂාරාංකය වඩා අඩු වේ. මේ නිසා සන්තෘප්ත බවට පත්වන වායු මට්ටම්වල කුඩා ජල බිංදු ඇති වේ. මෙම ක්‍රියාව දිගටම නොකඩවා සිදුවූ විට ජල බිංදුවල ඝනත්වය වැඩි වී පෘථිවිය අසල වලාකුළක් වැනි ස්තරයක් නිර්මාණය වේ. මීදුම ලෙස අප හඳුන්වන්නේ මේ සුදු ස්තරයයි. කඳුකර ප්‍රදේශවල මෙන්ම පහතරට පවා මේ දිනවල අලුයම මීදුම බහුල වී තිබේ.
මේ සීතල නිසා නුවරඑළිය වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රදේශවල මල් තුහින ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. ඒ මල් තුහින නුවරඑළියේ ‍ගෝල්‍ෆ් පිටිය වැනි ස්ථානවල දැඩි සුන්දරත්වයක් ඇති කළත් එය කඳුකර ප්‍රදේශවල තේ හා එළවළු වගාවලට විශාල හානියකි.
මේ මල් තුහින නිසා තේ ගස්වල පුංචි අයිස් ස්තරයක් තැන්පත් වේ. ඒ සමඟම නුවරඑළියේ, බණ්ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවල තේ පැළවලත් එළවළු කොළවලත් මල් තුහීන තැන්පත් වීම නිසා ප්‍රශ්න රැසක් ඇති වේ.
මේ එළවළුවලත් තේ ගස්වල දලුවලත් ඇතිවන මල් තුහීන ඉර නගින විට ජලය බවට පත්වී ජල වාෂ්ප බවට පත්වෙයි. මේ සඳහා අවශ්‍ය තාපය ලබාගන්නේ අදාළ ගසෙන්ය. තේ වැනි පඳුරුවල පත්‍ර ගණනාවක් මේ තත්ත්වයට ලක්වෙන නිසා සම්පූර්ණ පැළයම මේ අවස්ථාවේ මැල වී යයි.
මේ අනුව මල් තුහීන නිසා අමුතු ලස්සනක් ඇතිවුවත් එය විශාල ව්‍යසනයක පූර්ව ලක්ෂණයක් බව පෙනී යයි. මේ මල් තුහීන ඇති කාලයේදී අපේ ආර්ථික ප්‍රගතියට ද බලවත් හානි පැමිණෙන බව කිව යුතුමය.
මේ අතර ඉදිරි මාස 6 - 7 ඇතුළත අපේ රටටම බලපාන පරිදි ලොවටම දරුණු එල්නීනෝ තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංගමය පවසයි.
ඒ අනුව එහි විද්‍යාඥයන් මෙන්ම නාසා ආයතනයේ විද්‍යාඥයන් කළ පර්යේෂණ අනුව දැනටම ෆැසිපික් සාගරයේ සුළං ප්‍රවාහවල වෙනසක් සිදුවෙමින් පවතී.
විද්‍යාඥයන් පවසන පරිදි මේ එල්නීනෝ තත්ත්වයේ වෙනස්වීම නිසා අපේ රටට ඉදිරි නිරතදිග මෝසම් සමයේ ලැබෙන වැස්ස අඩුවීමට ඉඩකඩ තිබේ.
කෙසේ වුවත් මේ වසරේ එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් එය ඉතාමත් දරුණු වීමට ඉඩ ඇති බවට ද ලොව ප්‍රබල කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
මේ පිළිබඳව අප කළ යුත්තේ අවධානයෙන් සිටීමයි. කෙසේ වුවත් දැනටමත් ජල හිඟයක් ඇතිවී ඇති බැවින් ජලය අරපරිස්සමෙන් පාවිච්චි කිරීම ඉතා උචිතය. මේ පිළිබඳව දැනටමත් ජාතික ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය නැණවත් අයුරින් කටයුතු කරමින් සිටීම සතුටුදායකය. ඒ පිළිබඳවත් කවුරුත් දැඩි අවධානයෙන් පසු විය යුතු ය.
http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=af1402161

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි