Tuesday, February 25, 2014

ගුවන් විදුලි ළමා පිටියේ විශ්ව කර්මයා - මහින්ද අල්ගම

සුසානයේ සුව විඳින්නට නික්ම ගිය ගුවන් විදුලි ළමා පිටියේ විශ්ව කර්මයා මහින්ද අල්ගම

දවසේ කෙළවර ගුවන් විදුලි සංස්ථාවේ සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ කොළඹ කනත්ත කරා ඇවිද ඒමේ පුරුද්දක් අපට තිබිණි. මේ හැත්තෑවේ දශකයේ මුල් කාලයයි. ගොම්මන් කළුවර කුර ගාමින් පැමිණෙන තුරු අපි කනත්ත පුරා කරක් ගසන්නෙමු. සොහොන් කොතින් කොතට යමින් ඒවායේ වාසගම් කියවන්නෙමු. තුරු සෙවණක, තණ පලසක අලසව වැතිර ඉන්නෙමු.
“යමුද අපි සුසාන සුවය විඳින්න?” ගුවන් විදුලි වැඩසටහනක් අවසානයේ මහින්දයියා (මහින්ද අල්ගම) විමසයි. හඳුවලයාත් (කරුණාතිලක හඳුවල), මමත් මනාපය පළ කරන්නෙමු. අප කොටුවේ ඩොමීනියන් හෝටලෙයන් මධු රස විඳින්නට යෑම සඳහා බොරැල්ලෙන් බසයක් අල්ලා ගන්නේ සුසාන සුවය විඳීමෙන් අනතුරුවය.
පසුගිය සඳුදා හැන්දෑවේ මහින්දයියාගේ දේහය පිටුපසින් කනත්තේ ප්‍රධාන පිවිසුම් මාර්ගය දිගේ ආදාහනාගාරය වෙත පෙරහරින් යන අතර මගේ මතකයට ආයේ ජීවිතයක බරක් පතලක් නැති ඒයුගයේ අප විඳි සුසාන සුවයයි.
හැත්තෑව දශකයේ මුලදී බාහිර නිෂ්පාදකවරයෙකු ලෙස ගුවන් විදුලියේ රස්සාවට පැමිණෙන අවදියේදීත්, ගේය කාව්‍ය රචකයෙකු ලෙසත්, පුවත් පත් කලාවේදියෙකු ලෙසත්, රූ රටා ශිල්පියෙකු ලෙසත් මහින්දයියා නමක් දිනා සිටියේය.
‘විකසිත පරසතු’ මහින්දයියාගේ සුවිශේෂී පුවත්පත් ව්‍යායාමයයි. එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙස සේවය කරමින් සිටි ඔහුට කර්තෘ පදවියේ වගකීම් බාරගන්නට සිදුවූයේ නොසිතූ අවස්ථාවකය. ඔහු ඒ වගකීම කරට ගත්තා පමණක් නොව වටරැක ප්‍රේමදාස සමඟ එක්ව, පත්තර පිටු සැකසුම් කලාවේ අමුතු අමුතු වෙනස්කම් ද සිදු කළේය.
පිටුව පුරා හරහට ඇදුණු එයිට් කොලම් ඡායාරූප, පිටුවේ උඩින් නොව යටින් යෙදූ හෙඩිම් ආදි බොහෝ හිතුවක්කාර වැඩ ‘විකසිත පරසතු’ පත්තරයේ තිබිණි. ඒ නිසා අන්තර්ගතයෙන් පමණක් නොව ආකෘතියෙන් ද අප ලැබූයේ ආකර්ෂණීය තෘප්තියකි. ගුවන් විදුලි ළමා නාට්‍ය නිෂ්පාදනය මහින්දයියාට බාර වූ අවස්ථාවේ ඔහුට අවශ්‍ය වූයේ ඒ අයුරින්ම පර්යේෂණාත්මක හා හිතුවක්කාර අත්හදා බැලීම් සිදු කිරීමටය. හැබැයි පත්තරයේදී සේම ඔහු ගුවන් විදුලියේදීද මේ අත්හදා බැලීම් කළේ ආවාට ගියාට නොවේ.
ගුවන් විදුලියේ කැන්ටිමේ තේ කෝප්ප හිස් කරද්දීත්, සුසාන සුවය විඳිද්දීත්, මගතොට යන එන විටදීත්, ඩොමීනියන් හෝටලයට වී මධු මිහිර විඳිද්දීත්, අපි මේ පිළිබඳ බොහෝ දෑ ගැඹුරින් සාකච්ඡා කළෙමු. තිලක සුධර්මන් ද සිල්වා, සුගතපාල ද සිල්වා වැනි ගුවන් විදුලි මාධ්‍ය කප්පිත්තන් ගේ අදහස් විමසීමු.
ඒ කාලයේ ගුවන් විදුලි ළමා නාට්‍ය සීමාවී තිබුණේ තාත්වික සහ ශෛලිගත සම්ප්‍රදායනට පමණකි. අපට අවශ්‍ය වූයේ මේ මානයන් වඩාත් පුළුල් කරලීමටය. ටින් ටින් චිත්‍ර කතා මාලාවේ කැප්ටන් හැඩොක්, ප්‍රොෆෙසර් කැල්කියුලස්, තොම්සන් සහ තොම්ප්සන් මෙන් ම වෝල්ට් ඩිස්නිගේ මිකී මවුස්, ඩොනල්ඩ් ඩක් වැනි ලෝකයේ ළමා පරපුර ජයගත් එකදු චරිතයක්වත් තාත්වික හෝ ශෛලිගත හෝ චරිත නොවීය. යථාර්ථවාදී චරිත නොවීය. ඒ සියල්ල යථාර්ථවාදයට ඉහළින් දිවෙන ෆැන්ටසි චරිතය.
අපට ඕනෑ කළේ මේ ‍ෆැන්ටසිය ගුවන් විදුලියට ගෙන ඒමටය!
මහින්දයියා විවිධ පුස්තකාල ඇසුරු කරමින් ලෝකයේ ජනප්‍රියත්වයට පත් ළමා ටෙලි නාටක හා චිත්‍රපට පිළිබඳ තොරතුරු සොයා අපට කීවේය. ඒ කාලයේ මේවා නැරඹීමේ වාසනාවක් හෝ පහසුකමක් අපට නොවිණි. (දැන් රූපවාහිනියෙන් “වන්ඩර්ෆුල් වර්ල්ඩ් ඔෆ් වෝල්ට් ඩිස්නි” නරඹනවිට ඒ කාලයේ මහින්දයියා සොයා ගෙන ආ තොරතුරු මට සිහිපත් වෙයි.)
අවසානයේ අත්හදා බැලීමක් ලෙස ෆැන්ටසි චරිත එක දෙකක් ඇති ළමා නාට්‍යයන් අපි නිර්මාණය කළෙමු. යථාර්ථය සහ මායාව එක්තැන් කෙරුණු කෘතියක් මහින්දයියා සොයා ගෙනවිත්, කොටස් වශයෙන් ප්‍රචාරය වන ෆැන්ටසි නාටකයන් ලියන ලෙස කීවේ ඉන් පසුවය. මමත් හඳුවලත් එය ලිවීමු. කාර්ලෝ කොලඩි නම් ඉතාලි ජාතිකයාගේ “පිනෝකියෝ” කථාව ඇසුරෙන් සකස් කළ එය අප නම් කළේ “රූකඩ පැංචා” යනුවෙනි.
රූකඩ පැංචා අතිශය සාර්ථක හා ජනප්‍රිය විය. මේ සම්ප්‍රදාය ම ඉදිරියට ගෙනයමින් ස්වතන්ත්‍ර නිර්මාණයන් කිරීම අපේ ඊළඟ පියවර විය. ඒ සඳහා මම “ජිල්ජෝන් සහ ලන්දේසි දූපත” ලීවෙමි. පසුව එය ලිවීම සඳහා හඳුවල ද හවුල් විය.
ඒ කාලයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ සරත් අමුණුගම මහතා ලන්දේසි දූපත අප හමුවේ හැඳින්වූයේ “ඔයගොල්ලන්ගේ කාටුන් නාට්‍යය” යනුවෙනි. අමුණුගම මහතාගේ ඒ හැඳින්වීම තුළ ගැඹුරු අරුතක් විය. ෆැන්ටසි චරිත, ගුවන් විදුලියට ගෙනැවිත්, ශ්‍රව්‍ය මාධ්‍යයකින් කාටුන් පෙන්වීමට අප කළ උත්සාහයේ සාර්ථකත්වය ද ඒ හැඳින්වීමේ ගැබ්ව තිබිණි.
මේ සාර්ථකත්වයට මහින්දයියාගෙන් ලැබුණු දායකත්වය සහ මඟ පෙන්වීම අති විශිෂ්ට විය. එමෙන්ම මේ නාට්‍ය ගුවන් විදුලිය සඳහා නිෂ්පාදනය කිරීමේදී ඒවාට ඔහ‍ුගෙන් එක්වූ ශ්‍රව්‍යමය සත්කාරය ඉතා ඉහළ තලයක විය. ගුවන් විදුලි වැඩසටහනක භාවයන් උද්දීපනය සඳහා සංගීතය උපයෝගී කර ගැනීමේදී ඔහු වෙතින් පළ වූ ප්‍රතිභාව දැවැන්තය. ගුවන් විදුලි මාධ්‍යය සම්බන්ධයෙන් ඔහු තුළ වූයේ පුළුල් ජාත්‍යන්තර දැක්මකි.
මහින්දයියා ගේය කාව්‍ය නිර්මාණ ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වය හෝ ගායක ගායිකාවන් හෝ සංගීතඥයන් හඹා ගිය පුද්ගලයෙකු නොවේ. ඔහු විසින් නිර්මිත ගේය කාව්‍ය රචනා බහුතරය ඉතා ‍ඉහළ තලයේ ඒවාය. ඔහු විෂය කරගත් අත්දැකීම් පමණක් නොව භාෂා විලාසය හා ප්‍රයෝගයන් ද සුවිශේෂීය.
මහවැලිය වෙනුවෙන් ඔහු ලියූ, අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහයන් ගයන මේ ගී පද බලන්න.
‘රිදී බුබුළු වැල් සිනා දිමුතු මල්
සැලී සැලී දිය රැළිති බිඳී
නිල් කඳු නිම්නේ තුරු සෙවණැල්ලේ
ලලනී මහවැලි ගලා බසී..’
නන්දා මාලනියන් වෙනුවෙන් ඔහු ලියූ මේ ගී පද කියවන්න.
‘වලාකුළු කන්දට මුවා වෙන
ඉන්ද්‍රචාපය ලෙසින් මනහර
නුවන් බඳවා සිතුම් අවුලා
නොයන් මා හැරදා..”

මහින්දයියාගේ අවසන් කටයුතු කෙරෙන අවස්ථාවේ සුසානය සිසාරා මේ ගීය අප සවන් වැකෙද්දී නන්දා මාලිනිය මා සමඟ පැවසූයේ ‘මහින්දගේ ගේය කාව්‍ය රචනා හඹා ගියේ ජනප්‍රියත්වය නෙවෙයි. විශිෂ්ටත්වයයි’ කියාය.
නන්දක්කා කියූ සේම ඔහු ලියූ ‘ජීවිතය නැවතිලා’ නම් වූ ගීය විශිෂ්ටත්වය කරා එළැඹි ගේය කාව්‍ය නිර්මාණයක් සේ මම දකිමි.
ඔබේ සිනා මල් වැරුණා
සුසුම් වැල් විමානේ
ජීවිතය නැවතිලා
ඔබ ලියූ අකුරු වැල්
මගේ හද සැමරුවේ
කාලයට දියවෙලා
අතීතේ සොහොන් කොත්
සිනාසේ වියරුවෙන්
හඳ එළිය ඇවිලිලා - ඇවිලිලා
සිනා මුව මඬුළු මත
උදාවූ සිහිනයේ
හස කැළුම් වියැකිලා
ජීවිතය ඇති තුරා
ඔබ මගේ යැයි කියූ
මුදු වදන් ගොළු වෙලා - ගොළුවෙලා”
මහින්දයියා මේ ගීය ලීවේ සිය ප්‍රථම ප්‍රේමය බිඳී යාමෙන් ඇති වූ සෝ ගිනි සිත පුරා දැල්වෙන අවදියකය. ගීයේ පද පෙළ සිතේ ඇඳුණේ අප සමඟ සුසාන සුවය විඳී සැඳෑවකය. පසුකලෙක ගුවන් විදුලි සාමීචියකදී ඒ බව මහින්දයියා පැවසූ බව සොයුරු මාධ්‍යවේදී චන්දන තිලකරත්න කීවේ මහින්දයියාගේ අවසන් කටයුතු සිදුවන අතරතුරකය.
හයිකු සම්ප්‍රදාය පදනම් කරමින් බණ්ඩාර කේ. විජේතුංග කෙටි කවි කීපයක් රචනා කළ විට මහින්ද, බණ්ඩාරේව ඇසුරු කරමින් හයිකු කවි හැදෑරුවා මට මතකය. හයිකු සම්ප්‍රදාය ගුවන් විදුලියට ඉතා ගැළපෙන බව මහින්දගේ මතය විය. කෙටි ගුවන් කාලයක් තුළ වචන ස්වල්පයක් මඟින් ගැඹුරු පණිවිඩයක් හෝ අරුතක් හෝ ඉදිරිපත් කිරීමට හයිකු සම්ප්‍රදාය මඟින් හැකිය.
මහින්ද ලියූ හයිකු සම්ප්‍රදායේ කවියක් දෙකක් මට සිහිපත් වේ.
“රේල් පාර උඩ ටොනික් මූඩියක්.”
ඔබයි සිග්නල් කණුව!
මතු දැක්වෙන කවිය ඔහු ලීවේ කොටුවේ ඩොමීනියන් හෝටලයේදී බ්‍රිස්ටල් පැකට්ටුවක ඇතුළේ ඇති ඇළුමිනියම් කොළයේ යට පැත්තේය!
“බීමත් වූ දිනෙක
පොල් රුප්පාව අතරින්
පෑයූ ස‍‍ඳෙහි
හරි අඩක් වේයන් කා
තිබිණි!”
මහින්දයියාට සමු දෙන්නට එදා කනත්තට පැමිණි පිරිස අතර ඔහුගෙන් මාධ්‍ය ගුරුහරුකම් ගත් ගෝලයේ බොහෝ වූහ. දියණියක සමඟ පැමිණි පියෙක් මට කිට්ටු වී මෙසේ කීය. ‘දුවගේ හැකියාවන් අපිට තේරුම් ගන්නත් උදව් කළේ අල්ගම මහත්තයා තමයි. දුව මේ තරම් දක්ෂයි කියලා අපිට පෙන්නලා දුන්නෙත් අල්ගම මහත්තයායි. ඒකයි අපි මල් කලඹකුත් අරගෙන එතුමාට ගෞරවය දක්වන්න ආවේ.’
‘මහින්ද මාමාට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි දුවේ, ඔයාගේ දක්ෂකම් තව තවත් වැඩි දියුණු කර ගන්න එක.’ මම කීවෙමි. දියණිය මට ‘ස්තුතියි මාමේ’ කියා කිව්වේ සිය දෑත් එක් කොට ආචාර කරමිනි. ඒ මහින්දයියා ළමා පිටියේ දරුවන්ට ගුණ යහපත්කම් කියා දී තිබූ ආකාරයයි.
ඔහු විනය සහ ශික්ෂණය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීය. මැදිරිය තුළ පමණක් නොව මාධ්‍ය භාවිතයේදී ද පිළිපැදිය යුතු විනය හා ශික්ෂණය සම්බන්ධයෙන් මහින්දයියා අනුගමනය කළේ දැඩි ප්‍රතිපත්තියකි. අප ළමා පිටියේ හැදුණේ වැඩුණේ ඒ බරපතළ නීති රීති අතරේය. මේ නීති රීති කැඩුණු විටෙක ඔහු ආවේස වෙයි. බැනුම් කප්පරකි. මැදිරියෙන් එළියට ඇද දමන අවස්ථාද නැතුවා නොවේ. මේ සියල්ලෙන් අපි ජීවිතය ඉගෙන ගතිමු. අවවාදයක්, දෝෂාරෝපණයක් හෝ අවලාදයක් නිසා ජීවිතය නැති කර ගන්නා සැටි නොව, හැඩ ගස්වා ගන්නා හැටි අපි මහින්දයියාගෙන් උගත්තෙමු.
මේ විනය හා ශික්ෂණය අද ද මාධ්‍ය භාවිතයේදී අපට ශක්තිය ලබා දෙයි. අද සමහර ගුවන් විදුලි නාළිකා අසද්දී අපට දුක හිතෙන්නේ කටහඬින් හා හැකියාවෙන් පමණක් දුර ගමනක් යන්නට බැරි බව බහුතරයක් අවබෝධ කර ගෙන නැති බැවිනි. කටහඬ සහ හැකියාව දිදුලවන්නේ විනය හා ශික්ෂණයයි. කටහඬ හා හැකියාව ඉහළට ඔසවා තබන්නේ ද විනය හා ශික්ෂණයයි.
මහින්දයියා ගුවන් විදුලි ළමා පිටියේ වෙනස්කම් මෙන්ම හාස්කම් ද කළ විශ්වකර්මයෙකි. ඔහු ළමු‍න් වෙනුවෙන් ගුවන් විදුලිය හරහා කළ සේවා අමිලය. ඔහුගේ වියොව නිසා ගුවන් විදුලි ළමා පරපුරට සිදු වූ අඩුව කිසිදා පිරවිය නොහැක්කකි.
“මහින්ද කරපු සේවාව ඒ මට්ටමින් කරන්න කෙනෙක් නැතිකොට මීට පස්සෙ ඉතින් ගුවන් විදුලි ළමා පරපුරට මොකද වෙන්නෙ?” මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපෙන් විමසූයේ එබැවිනි.
මහින්දයියා දැන් අප අතර නැත. ගොම්මන් කළුවර කුර ගාමින් සුසානය වසා ගනිද්දී අපි පවුලේ ඥාතීන්ට සමුදී, කනත්තෙන් පිටව යාමට සැරසුණෙමු.
එක් වර ම සිතු මත ඇ‍ඳෙන්නට වූයේ සුසාන සුවයේ අතීත මතක සමුදායයි.
සොහොන් කොතෙන් කොතට ඇවිද ගිය දිනෙක මටත්, හඳුවලයාටත්, මහින්දයියාටත් සුරංගනාවියක් හමුවිය. කොළඹ කනත්තේ හැම සුරංගනාවියක්ම ඉන්නේ කුරුසියට පිටු පාමිනි. ඒත් මේ සුරංගනාවිය එසේ නොවේ. ඇය ඉන්නේ කුරුසිය දෙස බලා, එය බදා ගෙනය. මුළු කනත්තේම ඒ ලීලාවෙන් ඉන්නේ සුරංගනාවියන් දෙදෙනෙක් පමණි. කෙනෙක් ඉතාලියේ මූර්තිමත් කොට ලංකාවට රැගෙන ආ සුරංගනාවියකි. අනෙකා ඉතාලි සුරංගනාවියගේ අනුකරණයකි.
අප පෙම් බැන්දේ ඉතාලි සුරංගනාවියටය.
මහින්දයියා ‘ජීවිතය නැවතිලා’ ගීතයේ වදන් පෙළ ගැස්වූයේ ඒ සුරංගනාවිය පේන තෙක් මානයේ හිඳගෙනය.
අප තිදෙනා අතර ගිවිසුමක් විණි. ඒ, කොළඹ කනත්තට පැමිණෙන හැම අවස්ථාවකදීම ඒ සුරංගනාවිය හමුවිය යුතු බවටය. වසර 17 කට පෙර අපෙන් වියෝවන තුරු ම හඳුවලයාත් ඒ ගිවිසුම රැක්කේය. මහින්දයියා දැනට මසකට දෙකකට කලින් දුරකථනයෙන් මා අමතා, කනත්තට ගිය විටෙක සුරංගනාවිය හමු වූ බව කීවේය. ඇත්තෙන්ම කියනවා නම් අපි තිදෙනා හැම විටම ඒ ගිවිසුම රැක්කෙමු.
මහින්දයියාගේ අවසන් කටයුතු සිදු කළ දිනයේදීත් මම ගිවිසුමට අනුව සුරංගනාවිය හමුවීමි.
ඇගේ අවසරයද ඇතිව මහින්දයියාගේ දේහය අභියස මෙසේ පැවසීමි.
“මහින්දයියේ, මුතු පිණි දැල් සැලෙන උදා දිමුතු හිරු එළියේ අපට ඔබ සිහිවේවි. වලාකුළු කන්දට ඉන්ද්‍රචාපය මුවාවෙන දහවලේ ඔබේ සොඳුරු බව අපට දැනේවි. රුක්අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවෙදි ඔබ සුවඳ අප වටා රැ‍ඳේවි. පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මියයන මොහොතේදී ඔබේ වියොව අපට හැ‍ඟේවි.... අපේ සුරංගනාවිය චන්ද්‍ර මඬුලු යට ඉඳන් ඔබ වෙනුවෙන් හැමදාමත් ගී ගයාවි.”

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි