Saturday, February 15, 2014

මෙන්න අපට පාඩමක්

මෙන්න අපට පාඩමක්


දිනක් කාමරයේ සිටින ‍මම මකුළුවෙකු දැලක් වියන අයුරු දුටුවෙමි.
මකුළුවා සෙමින් සෙමින් උඩට ඇදෙයි. ඌ ගමන් කරන්නේ කුමක් මතදැයි මම විමසිලිමත් වීමි. ඇසට නොපෙනෙන ඉතා කුඩා සිහින් නූලක් ඌ පසු පසින් ඇදී එයි. මද දුරක් ගිය මකුළුවා ආපසු මේසය මතට වැටිණි. යළිත් ඌ ගමන මුල සිට ආරම්භ කළේ ය. අනතුරුව ඌ නැවත ගොස් ඇඳුම් අල්මාරියේ කෙළවරක රැදිණි. යළි එහාටත් මෙහාටත් ගමන් කරමින් ඒ නූලින් කටු සටහනක් කරන්නට විය. වරෙක එක මත එක යමින් ඌ කරන මේ වියමන අපූරු චිත්‍රයකි. විස්මිත නිර්මාණයකි. මේ මොහොතේ මට පුංචි කතන්දරයක් මතක් වේ. එය ද මකුළුවා හා බැඳුනකි.
ස්කොට්ලන්තයේ සිටි බෲසස් නමැති රජතුමා වරක් සතුරු සේනාවකට පරාද විය. එහිදී ඔහු තමන්ගේ ඉතිරි සේනාවේ හා මිනිසුන්ගේ ආරක්ෂාව පතා පසු බැස පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ගල් ගුහාවකට වී ගිමන් හරින්නට විය. දැලක් බදින්නට උත්සාහයක යෙදෙන මකුළුවෙකු ඔහුට දැකගත හැකි විය. මකුළුවා හය වතාවක් ම තමන්ගේ ඉලක්කයට යාගත නොහැකිව බිමට වැටුණි. එහෙත් උත්සාහය අත් නොහළ මකුළුවා හත් වැනි අවස්ථාවේදී දැල වියමනට අවස්ථාව සලසා ගත්තේ ය. මේ දුටු බෲසස් රජතුමා එඩිතර මකුළුවා ඔබ මගේ ගුරුවරයා යැයි ප්‍රසංසා කොට ඉන් උත්සාහය පිළිබඳව පණිවුඩය හිතේ තබාගෙන පැමිණ යළි සේනා සංවිධානය කොට තම රට අල්ලාගෙන සිටි සතුරන් පලවා හැරියේ ය.
මකුළුවා උත්සාහයේ අගය පිළිබඳ පණිවුඩය අපට ප්‍රකාශ කරයි. අනලස්ව කටයුතු කොට අරමුණ ජයගත යුතු බව මකුළුවා සිය ක්‍රියාවෙන් ම අපට පෙන්වා දෙයි.
මකුළුවා වියන දැල අපූරු විස්මිත නිමැවුමකි.
යූ. අහිංසා සඳමිණී,
6 ශ්‍රේණිය ‘ඩී’,‍
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ

http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=au140216

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි