Sunday, February 9, 2014

පාසලේ දී දරුවන්ගේ ආරක්ෂාව: වැඩි වගකීම ගුරුවරුන්ටයි

පාසලේ දී දරුවන්ගේ ආරක්ෂාව: වැඩි වගකීම ගුරුවරුන්ටයි

පසුගිය දා ක්‍රීඩා පුහුණුවක දී හෙල්ල විදීමේ ක්‍රීඩාව පුහුණු වන විට හෙල්ල දරුවකුගේ මුහුණ පසාරු කරගෙන මරණීය තුවාල විය. මේ දරුවා බේරා ගත්තේ දොස්තරවරු, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ දක්ෂතාව හා ඇපකැපවීම නිසාය.
එහෙත් අප අවධානය යෙදිය යුත්තේ මෙවැනි අනතුරු වළක්වා ගැනීමටයි. දරුවන්ගේ අනතුරු ගැන, අනාරක්ෂිත ක්‍රියාකාරකම් ගැන, ආපදා සහිත තැන් ගැන පෙර දැනුවත් වීමේ වගකීම පාසල් ගුරුවරු සතු විය යුතු ය.
එක්තරා බාලදක්ෂ ගුරුවරයකු ගඟේ පිහිනීමට ඉගැන්වීමට ගියේය. බාලදක්ෂයන් සමඟ ගිය එහි දී පිහිනුම් උපදේශකවරයකු, ආරක්ෂක උපකරණ කිසිවක් තබා ඔහුවත් පිහිනන්නට හරි හැටි නොදැන සිටියේය. එදා දරුවකු ගඟට බිළි විය. මේ අපරීක්ෂකාරී කටයුතු අනුව නිතරම විදුහල්පතිවරයා පාසලේ සෑම දෙයක දීම අවසාන වගකීමට බැඳී සිටින නිසා විමසීමෙන් කටයුතු කළ යුතු වේ.
රිටි පැනීමක දී රිට දෙකට කැඩී දරුවකුගේ උදරයට හානි සිදුවූ අවස්ථාවක් මා අසා ඇත. රිටි පැනීමට වෙනම ප්‍රමිතියකින් සැකසූ ක්‍රීඩා භාණ්ඩ ගෙන්වන තැනකින් ම එය ලබා ගැනීම සුදුසු බවට උපදෙස් දෙන්නේ සමහර ළමයින් උණ ගස් වැනි රිටි භාවිතාවෙන් වැළැක්වීමට ය.
යගුලිය, කවපෙත්ත දැමීම වැනි මලල ක්‍රීඩා ඒ ස්ථානයේ ම මිස පිට්ටනිය පුරාම පුහුණු කරවීම අරහෙන් මෙහෙන් දුවන දරුවන් පිට්ටනියේ සිටින නිසා වෙනම දින වෙන් කිරීම වඩා සුදුසු වෙයි.
මේ පාසල් වාරය ක්‍රීඩා උත්සව තිබෙන බැවින් පාසල්වල ළමයින්ගේ වැටීම්, සීරීම්, කැඩුම් බිඳුම් ඇතිවිය හැක. ප්‍රථමාධාර, වෛද්‍ය උපදෙස්, පමණක් නොව මේ දිනවල මවුපියන්ගේ ද සහාය ද ලබාගැනීම සුදුසුය. අනෙක් අතට පිට්ටනියේ ක්‍රීඩා පුහුණු වන විට පාසල් ගුරුභවතුන්ගේ අධීක්ෂණය අත්‍යවශ්‍යය. සමහර විට බාහිර උපදේශකවරුන් සිටියත් පාසල්වල ගුරුවරුන් ද පිට්ටනියේ රැඳී සිටීම අනිවාර්යය.
අනෙක් අතට අද සෑම ගුරුවරයකුටම ක්‍රීඩා, ශාරීරික අධ්‍යාපනය ගැන දැනුවත් වීම අවම වෙයි. එදා සාමාන්‍ය ගුරු පුහුණුවේ දී නේවාසික දෑවුරුද්ද තුළ මලල ක්‍රීඩා, එල්ලේ, ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු, දැල් පන්දු වැනි පාසල් පද්ධතියේ ක්‍රීඩා ගැන නීති රීති, පුහුණු ක්‍රම, මූලික දක්ෂතා ගැන පමණක් නොව ප්‍රායෝගික පරීක්ෂණයේ දී සරඹ පන්තියක් ද කළ යුතු විය. එහි දී ආරම්භක, නමනීය, රිත්මයානුකූල, සමබර මූලික ක්‍රීඩා දක්ෂතා ඇතුළත් විනාඩි විස්සක පමණ පාඩමක් කොට ලකුණු උපයා ගත යුතු වෙයි. මේ නිසා ඕනෑම ගම්බද පාසලක එදා මේ කටයුතු කළ හැකි ගුරුවර ගුරුවරියන් සිටි අතර ශාරීරික අධ්‍යාපනයේ අරමුණු සපුරා යන පරිදි ඉගැන්විය හැකි විය.
මේ වකවානුව තුළ ක්‍රීඩා උත්සවය පවත්වන විට ගම හරහා දිවීමේ තරගයට සහභාගි වන ශිෂ්‍යයන් අනිවාර්යයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතුය. එහෙත් ළඟම ඇති රජයේ රෝහලේ හෝ පෞද්ගලික වෛද්‍යවරයකු මඟින් පවත්නා රෝග, දීර්ඝ කාලීන ප්‍රතිකාර ගන්නා රෝග, උස, බර, පපුවේ හතිය ආදිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කළ යුතුය.
පාසල්වල විවිධ ශ්‍රමදාන, පැවැත්වෙයි. ශ්‍රමදාන හොඳ වුවද, දරුවන්ගේ ආකල්පවල, චර්යාමය වෙනසක් වුවද, දරුවන්ගේ වයසට ශක්තියට ඔරොත්තු දෙන වැඩවල යෙදවිය යුතුය. ගස් නැඟීම, වහල මතට නැඟීම, වැනි ලොකු උදවිය කරන වැඩවලට දරුවන් යෙදවීම අනුචිතය. විශේෂයෙන් එබඳු ශ්‍රමදානවලට දරුවන් යොමු කිරීමේ දී ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ මිස වෙනත් අය සමඟ නොයැවිය යුතු වේ. මගේ ශිෂ්‍ය ගුරු අවදියේ පාසලේ සිටි එක් ගුරුවරයකු මතකයට නැඟේ. ඕනෑම ශ්‍රමදානයකදී, පාසලේ ළිඳ ඉසීම, වහලේ පොල් අතු බැඳීම, වැට සකස් කිරීම ආදී කටයුතුවල දී වෙනත් කිසිම ගුරුවරයකුට යන්නට නොදී ඔහු ඒ ළමයින් සමඟ ඉතාමත් ආරක්ෂාකාරී ලෙස, ළමයින්ට කැත්ත, උදැල්ල, මිටිය, කියත පුහුණු කළ ආකාරය සිහිපත් වෙයි. එදා අපේ මධ්‍ය විද්‍යාල වල තිබූ ‘කර්මාන්ත ශාලාව’ නම් වූ වඩු වැඩ කාමරයත් ඒ ගුරුවරයාත් නිසාත් පාසලේ කැඩුණු ඩෙස්ක් පුටු, කළු ලෑලි සංඛ්‍යාව අඩු විය. ඒවා වහ වහාම පිළිසකර කරන්නේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට නොව ළමයින්ට අද කියන ‘වැඩ ලෝකයට” අනුගත කිරීමටය.
ශ්‍රමදාන දිනවල දී පාසල පුරාම ශිෂ්‍යයන් සිටින නිසා අවධානය යොදන්න. වරක් ගිනිගත් වළකට වැටුණු දරුවකු බේරාගන්නට එතැන සිටි ගුරුවරයා වළට පැන බේරා ගත්තේ ඔහුට ද සුළු පිළිස්සුම් තුවාල ඇතිවය. ඒ නිසා “දරුවන් කොතනක ද ගුරුවරයා ද එතැන විය යුතුය”, “දරුවන් කුමක් කරන්නේද ගුරුවරයා ද ඒ සමඟ නිරත විය යුතුය”, “දරුවන් ක්‍රීඩා කරන්නේ ද ගුරුවරයා ද ක්‍රීඩා කළ යුතුය” යන ගුරු විදුහල්පති යූ.පී.පී. ද සිල්වා මහතාගේ දර්ශනය අද වඩාත් ප්‍රත්‍යක්ෂ වෙයි.
විදුලිය ගැන ද පරෙස්සම් විය යුතු වේ. විශේෂයෙන් පාසලේ උත්සව දිනයන්හි දී අරහෙන් මෙහෙන් රැහැන් ඇදීම සිදු වෙයි. දන්නා විදුලිකාර්මිකයකු ලවා මේ කාර්යයන් සිදු කර ගන්නට හැකිය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මවුපියන් අතර එබඳු කාර්මිකයෝ ද සිටිති. පාසලේ කනිෂ්ඨ සේවකයකුට විදුලිය, ජලනළ අලුත්වැඩියාව ගැන පුහුණුවක් ලබාදීම ද මීට ප්‍රතිකර්මයක් විය හැකිය. විශේෂයෙන් ප්‍රධාන විදුලි රැහැන් පද්ධතිය හා පාසල්වල මහල් ගොඩනැඟිලි අතර පරතරය ගැන ද අවධානය යොමු කළ යුතුය.
විද්‍යාගාරයේ එදා මෙන් අද ප්‍රායෝගික වැඩ අවම වෙයි. විද්‍යාගාරයේ නාමකරණය නොකළ රසායන ද්‍රව්‍ය වහාම නාමකරණය කළ යුතු අතර ගුරුවරයා හෝ විද්‍යාගාර සේවක මහතා ලවා ඒ කාර්යයන් කර ගත යුතු ‍ෙව්. මොනම හේතුවක් නිසාවත් විද්‍යාගාරයේ ගුරුවරයකු හෝ විද්‍යාගාර සේවකයකු නොමැතිව ළමයින්ට එහි කාලය ගතකරන්නට ඉඩ දිය යුතු නොවේ.
ගුරුවරුන් දඬුවම් කරනුයේ ළමයින්ගේ වැරැදි සකස් කර ගැනීමටය. එහෙත් හුනුකෑල්ල, බෝල්පොයින්ට් පෑන, අඩි රූල, කොස්ස, පතපොත, මීටර් රූල දඬුවම් කිරීමේ මෙවලම් නොවේ. වේවැල් පහරින් හදා ගන්නා ලද ළමයින් ඕනෑ තරම් පාසල්වලින් බිහිවී ඇත. වරද දුටු තැන නිවැරැදි කිරීම ගුරු කාර්යයක් බැවින් එය දරුවාට හානියක් නො වන පරිදි කළ හැකි ය. අත් පා කඩන, කන් පලන, අමානුෂික දඬුවම් කොහොමත් අනුමත කරන්නට නොහැකිය.
මේ වාරයේ අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙතකි. දරුවන් බැහැර කැඳවාගෙන යාමේදී චක්‍රලේඛ නීතිරීති කෙසේ වුවද දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානය යෙදිය යුතු වේ. අධ්‍යාපන ගමන් පාසලකට අවශ්‍යය. එයින් ලබා ගන්නා විපුල ප්‍රයෝජන ඇත. එහෙත් හිතුවක්කාර සමහර ළමයින් දින කිහිපයක චාරිකාවලදී නාන්නට ගොස් වැව්වල ගිලී මිය ගිය අවස්ථා ඇත. ඒ නිසා ගුරුවරුන් ලෙස අධ්‍යාපන ගමනකදී ළමයින් ගැන විමසිලිමත් විය යුතුය. අධ්‍යාපන ගමන් වලදී වරින් වර තම පාසල සමඟ දුරකථන සබඳතා පැවැත්වීම සංවිධායක ගුරු භවතාගේ කාර්යයකි.
පසුගිය දිනෙක කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක දරුවකු ක්‍රිකට් පිටිය තලන රෝල හා තාප්පය අතර සිරවී මියගිය සිද්ධියත්, ගාල්ල ප්‍රධාන විදුහලක සිසුවකු පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා සිය නිවාසය සැරසීමට පුවක් ගසක් කැපීමට ගොස් ඇද වැටී අවාසනාවන්ත ලෙස මිය යාමත් විශේෂ සිදුවීම් ලෙස සඳහන් කළ හැක.
පාසල්වල දී සිදුවන විවිධ ආපදාවලින් පසුව නැවත සිදු නොවන පරිදි කටයුතු කිරීම ද අවශ්‍ය ම දෙයකි. වරක් ප්‍රධාන බාලිකා විදුහලක ශිෂ්‍යාවක් උඩුමහලින් බිමට පැන සියදිවි හානි කර ගත්තාය. ඉන්පසු වහාම මේ විදුහලේ සෑම කපොල්ලකම දැල් ගසා ආවරණය කැරිණි. ඇත්තටම එය එසේ කළ යුතු දෙයකි. එහෙත් එක්තරා පාසලක වැට මායිමේ රාජ්‍ය නොවන සංවිධානයක් ගලින් බැඳ ඇති තාප්පයේ ඉහළට අඩි දෙකක් පමණ උස කෙළවර ත්‍රි‍කෝණාකාර හැඩයට උල්කරන ලද යකඩ කූරු සවි කර තිබීමෙන් යකඩ කූරු ඇනී තුන්වතාවක්ම දරුවන් රෝහල් ගත කර ඇත. එහෙත් තවමත් ඒ තාප්පයේ යකඩ උල් ඉවත් කර නැත.
පාසල් පරිශ්‍රයේ අනතුරුදායක අබලන් ගොඩනැඟිලි, භාවිතයට නොගන්නා වැසිකිලි කැසිකිලි, පරණ ළිං ආදියෙන් තොර පරිශ්‍රයක් තිබිය යුතුය. ඇතැම් විට ඉදිකිරීම් කාර්යයන්හිදී දරුවන්ගේ ආරක්ෂාව ඇතිවන පරිදි වැඩ බිම් බලා ගත යුතු වේ. වරක් එක් බාලිකා පාසලක ගුරු සාකච්ඡාවක් පැවැත්වෙද්දී ඉදිකැරෙමින් පැවැති කණුවක් වැටීමෙන් බාලිකාවක් මිය ගියාය.
අප මෙතෙක් කතා කළේ පාසල්වල දරුවන්ගේ අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් බේරා ගන්නා අයුරුය. එහෙත් මේ අනපේක්ෂිත අවස්ථා නිසා පාසල්වල විෂය බාහිර කටයුතු ක්‍රීඩා, අධ්‍යාපන ගමන්, උත්සව නොකළ යුතු යැයි කිව නොහැකිය. ඒවා මැනැවින් සංවිධානය කොට වගකීම් බෙදා හදාගෙන අවධානයෙන්, අධීක්ෂණයෙන්, නිසි නිරීක්ෂණයෙන් යුතුව කටයුතු කිරීමේ වගකීම ගුරු, සිසු, මවුපිය තුන් පිරිසගේ ම සමස්ත ක්‍රියා පටිපාටියක් බව සඳහන් කරමි. ආපදාවලින් තොර, ඉගෙනුම් පරිසරයක් ඇතිවී හොඳ මතු පරපුරකට පදනම පාසල් වලින් බිහි කරමු. මේ සඳහා විදුහල්පතිවරු හා ගුරුවරු සිය දැඩි අවධානය යොමු කළ යුතු බව සඳහන් කළ යුතුය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි