Sunday, February 16, 2014

"මහින්දයියා"


"මහින්දයියා" ක්‌ෂේත්‍ර රැසක විශිෂ්ට කුසලතා ප්‍රකට කළ නිහඬ මිනිසෙකි. ඔහු ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පිටුපස හඹා නොගිය එසේ හඹා නොයැමට අප හුරුපුරුදු කළ අපේ ගුරුවරයෙකි. කවියෙකි. ගීත රචකයෙකි. නොම්මර එකේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. රූ රටා සැලසුම් ශිල්පියෙකි. පත්තර කර්තෘවරයෙකි. මේ සියල්ලමත්, තවත් බොහෝ දේ ත් සමග ගුවන්විදුලියේ මාස්‌ටර් කල්ලියේ සාමාජිකයෙකි.

මහින්ද උත්සාහ කළේ අත ගසන හැම වැඩක්‌ම අලුත් තාලයකට, වෙනස්‌ ආකාරයකට කිරීමට ය. ගුවන් විදුලියේ ළමා රංග පීඨය වැඩසටහනට ඔහුගෙන් එක්‌වුණු ප්‍රභාවම ඊට නිදසුන් දෙයි. ළමා රංග පීඨය ඔහුට පැවැරුණු විට ඒ කාලයේ ගුවන්විදුලි නාට්‍ය ක්‌ෂේත්‍රයේ සිටි ප්‍රවීණයන්ගේ උසස්‌ නිර්මාණ ඊට සම්බන්ධ කරගත්තා පමණක්‌ නොව, බොහෝ නවක රචකයන්ටද පෙරමඟ විවර කළේය. කරුණාතිලක හඳුවල, කිතුල්ගල කල්‍යාණි අමරසිංහ, කපිල කුමාර කාලිංග වැනි නවක රචකයෝ ඒ අතර වූහ. මම ද ඒ ගණයේ කෙනෙක්‌මි.

ළමා රංග පීඨයෙන් පන්නරය ලද නළු නිළියෝද බොහෝය. ඒ අතරින් සිහියට එන නම් කීපයක්‌ පමණක්‌ සඳහන් කිරීම පිළිබඳව කමා කරනු මැනවි. පරාක්‍රම පෙරේරා, රෝහණ සිරිවර්ධන, මාලක මිහිර බණ්‌ඩාර, කැලුම් විඡේසූරිය, සුනන්දා සරත් සේකර (දැන් හෙට්‌ටිආරච්චි), ගීතා කාන්ති සහ ඇගේ තනියට ආ නංගියා රත්නා ලාලනී, අසෝක අතාවුදහෙට්‌ටි, ලලිත් සිරිවර්ධන, කමල් දේශප්‍රිය, කරුණාතිලක හඳුවල, පුංචි නිරංජලා හෙවත් නිරංජලා ප්‍රියන්ති පෙරේරා ඒ අතර වූහ.

"මහින්දයියා" සමග අපට රැළේ වැටෙන්නට ඉඩකඩ සැලසුණේ හැත්තෑ දෙකේ නැතිනම් හැත්තෑ තුනේ පමණ සිටය. ඒ කාලයේ අප වරු ගණන් හැන්දැවල් නාස්‌ති කළේ ගුවන්විදුලි ළමා නාට්‍ය සම්ප්‍රදායේ වෙනසක්‌ කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්වීමටය. මේ සාකච්ඡා කෙතරම් දුරදිග ගියාද කිවහොත් සමහර අපේම මිතුරෝ මහින්දටත්, හඳුවලටත්, මටත් මූලික සාකච්ඡා කියමින් විහිළු කළෝය. ඇත්තෙන්ම ඒ කාලයේ හැටියට මේ මූලික සාකච්ඡාවට සෑහෙන මුදලක්‌ ද වියදම් විය. හඳුවල මේ සියලු වියදම් තම දිනපොතේ ලිව්වා මට මතකය.


ඒ කාලයේ ගුවන්විදුලි ළමා නාට්‍ය සීමාවී තිබුණේ තාත්වික සහ ශෛලිගත සම්ප්‍රදායනට පමණකි. අපට අවශ්‍ය වූයේ මේ මානයන් වඩාත් පුළුල් කරලීමටය. ලෝකයේ ළමා පරපුර ජයගත් බහුතර චරිත තාත්වික හෝ ශෛලිගත හෝ චරිත නොවීය. යථාර්ථවාදී චරිත නොවී ය. ටින් ටින් චිත්‍ර කතා මාලාවේ කැප්ටන් හැඩොක්‌, ප්‍රොෆෙසර් කැල්කියුලස්‌, තොම්සන් සහ තොම්ප්සන් වැනි චරිතද, වෝල්ට්‌ ඩිස්‌නිගේ මිකී මවුස්‌, ඩොනල්ඩ් ඩක්‌ වැනි චරිතද අපේ චර්යාවන්ට ඉහළින් දිවෙන ෆැන්ටසි චරිත ය.

අපට ඕනෑ කළේ මේ 
ෆැන්ටසිය ලංකාවේ ගුවන්විදුලියට ගෙන ඒමටය...·

මහින්දයියා විවිධ පුස්‌තකාල ඇසුරු කරමින් ලෝකයේ ජනප්‍රියත්වයට පත් ළමා ටෙලි නාටක හා චිත්‍රපට පිළිබඳ තොරතුරු සොයා අපට කීවේය. ඒ කාලයේ මේවා නැරැඹීමේ වාසනාවක්‌ හෝ පහසුකමක්‌ අපට නොවිණි (දැන් රූපවාහිනියෙන් "වන්ඩර්ෆුල් වර්ල්ඩ් ඔ
ෆ් වෝල්ට්‌ ඩිස්‌නි" නරඹන විට ඒ කාලයේ මහින්දයියා සොයා ගෙන ආ තොරතුරු මට සිහිපත් වෙයි.)

අවසානයේ අත්හදා බැලීමක්‌ ලෙස 
ෆැන්ටසි චරිත එක දෙකක්‌ ඇති ළමා නාට්‍යයන් අපි කළෙමු. යථාර්ථය සහ මායාව එක්‌තැන් කෙරුණු කෘතියක්‌ මහින්දයියා සොයා ගෙනැවිත්, කොටස්‌ වශයෙන් ප්‍රචාරය වන ෆැන්ටසි නාට්‍යයක්‌ ලියන ලෙස කීවේ ඉන් පසුවය. මමත් හඳුවලත් එය ලිවීමු. කාර්ලෝ කොලොඩි නම් ඉතාලි ජාතිකයාගේ "පිනෝකියෝ" කථාව ඇසුරෙන් සකස්‌ කළ එය අප නම් කළේ "රූකඩ පැංචා" යනුවෙනි.

අපේ මූලික සාකච්ඡා ප්‍රතිඵලදායී විය. රූකඩ පැංචා අතිශය සාර්ථක හා ජනප්‍රිය විය. මේ සම්ප්‍රදායම ඉදිරියට ගෙන යමින් ස්‌වතන්ත්‍ර නිර්මාණයන් කිරීම අපේ ඊළඟ පියවර විය. ඒ සඳහා මම "ජිල්ජෝන් සහ ලන්දේසි දූපත" ලීවෙමි.

පසුව එය ලිවීම සඳහා හඳුවල ද හවුල් විය. ඒ කාලයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ සරත් අමුණුගම මහතා ලන්දේසි දූපත අප හමුවේ හැඳින්වූයේ "ඔයගොල්ලන්ගේ කාටූන් නාට්‍යය" යනුවෙනි.

අමුණුගම මහතාගේ ඒ හැඳින්වීම තුළ ගැඹුරු අරුතක්‌ විය. 
ෆැන්ටසි චරිත, ගුවන් විදුලියට ගෙනැවිත්, ශ්‍රව්‍ය මාධ්‍යයකින් කාටුන් පෙන්වීමට අප සමත් වී ඇත.

මේ ව්‍යායාමයට මහින්දයියාගෙන් ලැබුණු දායකත්වය සහ මඟපෙන්වීම අතිවිශිෂ්ටය. එමෙන්ම මේ නාට්‍ය ගුවන්විදුලිය සඳහා නිෂ්පාදනය කිරීමේදී ඒවාට ඔහුගෙන් එක්‌වූ ශ්‍රව්‍යමය සත්කාරය ඉතා ඉහළ තලයක විය.

අදටත් මඟතොට හමුවන මිනිස්‌සු අපෙන් ජිල්ජෝන්ලා, වැන්දබෝනලා ගැන මෙන්ම ලන්දේසි දූපත ගැනත් විමසති. නමුත් ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ පර්යේෂණ කරන්නවුන්ට මෙන් ම ඒ පිළිබඳ විමර්ශන ලියන්නවුනට තාමත් මේ ව්‍යායාමය "මිස්‌" වී තිබේ. එපමණක්‌ නොවේ. ඔවුනට මහින්ද අල්ගම ද "මිස්‌" වී තිබේ.

මහින්දගෙන් ගුවන්විදුලියට වූ සේවාවන්ගෙන් එකක්‌ පමණි මේ. නො ලියපු සහ මා ද නොදන්නා සේවාවන් තව බොහෝය. ඉදිරියටත් ඒ සේවාවන් ඉටුකරලීමට මහින්ද සූදානම්ය. කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පරිසරය ඔහුට සකස්‌ කරදීම පමණකි.

හයිකු සම්ප්‍රදාය පදනම් කරමින් බණ්‌ඩාර කේ. විඡේතුංග කෙටි කවි කීපයක්‌ රචනා කළ විට මහින්ද, බණ්‌ඩාරේව ඇසුරු කරමින් හයිකු කවි හැදෑරුවා මට මතකය. හයිකු සම්ප්‍රදාය ගුවන්විදුලියට ඉතා ගැළපෙන බව මහින්දගේ මතය විය. කෙටි ගුවන් කාලයක්‌ තුළ වචන ස්‌වල්පයක්‌ මගින් ගැඹුරු පණිවුඩයක්‌ හෝ අරුතක්‌ හෝ ඉදිරිපත් කිරීමට හයිකු සම්ප්‍රදාය මගින් හැකිය.

මහින්ද ලියූ හයිකු සම්ප්‍රදායේ කවියක්‌ දෙකක්‌ මට සිහිපත් වේ.

"රේල් පාර උඩ ටොනික්‌ මූඩියක්‌...

ඔබයි සිග්නල් කණුව...·"

මේ කවිය ඔහු ලීවේ කොටුවේ ඩොමීනියන් හෝටලයේ දී බ්‍රිස්‌ටල් පැකට්‌ටුවක ඇතුළේ ඇති ඇළුමිනියම් කොළයේ යට පැත්තේ ය.

"බීමත් වූ දිනෙක

පොල් රුප්පාව අතරින්

පෑයූ සඳෙහි

හරි අඩක්‌

වේයන් කා

තිබිණි·"

ඒත් මහින්දගේ කවකි.

බීම සම්බන්ධයෙන්ද , මහින්දයියා සම්බන්ධයෙන්ද බොහෝ රස කථා තිබේ. ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ දුම්රියපළ පාරේය. මධුවිත ඇසුරු කළ පසු බස්‌රථවල හිටගෙන යැමට ඔහු කැමැති වූයේ නැත. ඒ නිසා කොතැන බිව්වත් ඔහු මුලින් ම කළේ පිටකොටුවට යැමය. එවිට නුගේගොඩ පැත්තට යන බසයක ඉඳගෙන යැමට හැකිය. මෙසේ පිටකොටු යැම ඔහු හැඳින්වූයේ "උප්පත්තියට" යැම යනුවෙනි.

"සමහර දවස්‌වල නුගේගොඩින් බීපු වෙලාවටත්, පුරුද්දට උප්පත්තියට යනවා.... ගිහින් ආපහු නුගේගොඩට එනවා" දිනක්‌ මහින්දයියා කීය.

මහින්දගේ චර්යාවන් නිරූපණය කරමින් ඒවා හාස්‍යයට ලක්‌ කරමින් මම ගීයක්‌ පට බැඳ ඇත්තෙමි. "නුගේගොඩින් දුම්රිය පළ පාරේ..." ආදී වශයෙන් පටන් ගන්නා ඒ ගීතයේ ඔහුව හඳුන්වන්නේ "අල්ගම මල්ලී" යනුවෙනි.

මිත්‍ර සමාගමට රොද බැඳුණු විට මේ ගීතය ගයන ලෙස ඉල්ලා සිටින්නේත්, ඒ ගීතය වැඩියෙන්ම රස විඳින්නේත් මහින්ද ය.

ඔහු ඒ තරම් ම අපූරු සුන්දර මිනිසෙකි.

නමුත් ඔහු අකැමැති එක්‌ දෙයකි. මහින්ද යන්නට අමතරව ඔහුගේ උප්පැන්නයේ තවත් නමකි. ඒ නමද ඇතුළුව ඔහුගේ සම්පූර්ණ නම කියනවාට නම් ඔහු අකැමැතිය.

සමන් අතාවුදහෙට්‌ටි

1995 නොවැම්බර් 19 "ඉරිදා දිවයින" 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි