“මේක පුදුම රටක්නෙ. ළමයෙක් ගෙයින් එළියට යවන්නත් බයයි”
“ළමයින්ගෙ පස්සෙන් ම යන්න කාට ද පුළුවන් නෙ?”
මේ දෙබස මට ඇසුණේ බස් රියක ගමන් කරමින් සිටිය දී ය. පුවත්පතකින් දුටු පුවතක් මවුවරුන් දෙදෙනකුගේ බියට හේතු වී තිබිණ.
ඔවුන්ගේ කැලඹීමට හේතු වී තිබුණේ මෑත දී හඳුනාගත් HIV ආසාදිතයන් අතර පාසල් සිසුන් පිරිසක් ද සිටින බවට පළවූ පුවත්පත් වාර්තාවකි.
දැනුවත් කිරීම
“ප්‍රජනන සෞඛ්‍යය” සම්බන්ධ ව යොවුන් සිසුන් දැනුවත් කිරීමේ යෝජනාව මීට වසර කිහිපයකට පෙර පරාජය වුණා. එහි ප්‍රතිඵල තමයි ඒඩ්ස් හැටියට ලැබී තිබෙන්නෙ.” HIV නිවාරණ ඒකකයේ වෛද්‍යවරයෙක් මෑත දී ප්‍රකාශ කළේය.
HIV ආසාදනය වීමේ අනතුර පිළිබඳ කලබලයට පත් වූ වැඩිහිටියන්ගේ අදහස් අනුව හැඟී යන්නේ මෙය සදාචාරය පිරිහීමේ ගැටලුවක් හැටියට ය. එහි කිසියම් සත්‍යයක් තිබිය හැකි ය. එහෙත් මෙහි තවත් පැත්තක් තිබේ. එනම් වැඩිහිටියන් තරුණ දූ පුතුන්ගේ සදාචාරය පිළිබඳ ව දක්වන ආකල්පය දෝෂ සහිත බව ය; එය තරුණ දරුවන් විපතට පත් වීමේ හේතුවක් බවට ද පත් විය හැකි බව ය. මේ ඒ පිළිබඳ ව වෛද්‍යවරයකු දක්වන අදහස් ය මේ.
“අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වැඩසටහනක් සංවිධානය කිරීම සඳහා අප සමඟ සාකච්ඡා කළ විදුහල්පතිවරයකු කියා සිටියේ මේ සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගත යුතු බව යි. නමුත් ඔවුන් කැමැති වුණේ නෑ.”
කුරුණෑගල මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී හැටියට කලක් සේවය කළ වෛද්‍ය එම්. බණ්ඩාර මහතා එසේ සඳහන් කරයි. තරුණ සිසුන්ගේ සදාචාරය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ සිත්වල ඇති වැරැදි ආකල්ප එයින් පෙනේ.
ලිංගාශ්‍රිත රෝග බහුල ව ව්‍යාප්ත වන කලාපයක් හැටියට සැලකෙන කුරුණෑගල නගරයෙහි උපකාරක පන්ති සඳහා සති අන්තයෙහි සිසුන් දස දහසකට අධික පිරිසක් පැමිණෙති. ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ කුරුණෑගල මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය විශේෂ සැලකිල්ලක් දැක්වීමෙහි ප්‍රතිඵල ලෙස, තරුණ පිරිස් විශාල වශයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සඳහා සහභාගි වී ඇත.
පසුගාමී ආකල්ප
ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය තරුණ හා වැඩිහිටි පිරිස්වලට ලබා දීම සඳහා අවශ්‍ය සූදානම රජයේ සෞඛ්‍ය කාර්යාංශවලට ඇතත්, ගුරුවරුන්ගේත් දෙමාපියන්ගේත් පසුගාමී ආකල්ප මීට බාධාවක් ව පවතින බව වෛද්‍ය එම්. බණ්ඩාර මහතාගේ අදහස යි.
ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය විෂයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සතු ව වගකීම් රැසක් පවතී. එම වගකීම් ඉටුකිරීම සඳහා ගුරුවරුන්, දෙමාපියන්, ආගමික සංස්ථාව සහ දේශපාලන සංස්ථාව සහයෝගය ලබා දිය යුතු ය.
9, 10 ශ්‍රේණිවලට නියමිත සෞඛ්‍ය පොත්වල ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමෙන් කරුණු ඇතුළත් කර ඇත. එහෙත් විෂය උගන්වන ගුරුවරු බොහෝ විට මේ කරුණු මඟ හරිති. නො එසේ නම් උඩින් පල්ලෙන් කරුණු පහදා දෙති. පාසල් සිසුන් ඉදිරිපිට අපහසුතාවට පත්වීමට තුඩු දෙන සංස්කෘතික පසුබිමක් ද පවතී. අනෙක් වැදගත් කරුණ වන්නේ එවැනි පාඩමක දී සිසුන් අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබා දීමේ ඥානයක් සහ විෂයාවබෝධයක් ගුරුවරුන්ට නොතිබීම ය.
ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය සහ පේශි පද්ධතිය පිළිබඳ සිසුන් දැනුවත් කරන ගුරුවරයා ප්‍රජනන පද්ධතිය පිළිබඳ නිවැරැදි ව කරුණු කීමට උකටලී වීමේ ප්‍රතිඵලය වනුයේ දරුවන්ට තම ප්‍රජනන පද්ධතිය පිළිබඳ ව විද්‍යාත්මක අවබෝධයක් නො ලැබීම ය. මේ නිසා, යොවුන් වියෙහි කායික වර්ධනයේ දී තම කයෙහි ඇතිවන වෙනස්කම් පිළිබඳ ගොඩ වෙදුන් සහ පුවත්පත්වලින් පතුරුවන වැරදි මත යෞවන යෞවනියන්ගේ මනස් තලයෙහි පැලපදියම් වේ. කායික හා මානසික වශයෙන් පරිවර්තනීය අවධියක පසු වන තමන්ට ඇති වන ගැටලු වැඩිහිටියන්ට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද ඔවුනට නොමැත. HIV ආසාදනය වීමෙන් වැළැක්වීම පිළිබඳ හරි අවබෝධයක් ඔවුනට නොලැබෙන්නේ එවැනි පසුබිමක ය.
ප්‍රජනන සෞඛ්‍යය
යොවුන් සිසුන් හට ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා ගෙන ආ යෝජනාවක් පළාත් සභා දෙකකින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මීට වසර කිහිපයකට පෙර ය. දේශපාලන සංස්ථාව සහ ආගමික සංස්ථාව ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයට එරෙහි වන්නේ යෞවන යෞවනියන්ගේ සදාචාර පරිහානියට එය බලපානු ඇති බවට හුඹස් බියක් මවා පාමිනි. එහෙත් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය හා HIV ආසාදනය සමාජ අනතුරක් වීම දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් ඔවුහු මුනිවත රකිති. තරුණ සිසුන් ආගම දහමට යොමු කිරීමෙන් පිළියම් යෙදිය හැකි බවට විශ්වාස කරති.
HIV ආසාදනය වන ආකාරය, HIV ආසාදනය වළක්වා ගන්නේ කෙසේ ද යන්න, HIV ආසාදනය වී ඇති බව තහවුරු කර ගන්නා ආකාරය යනාදිය පිළිබඳ නිවැරැදි විද්‍යාත්මක අවබෝධයක් තරුණ සිසුන්ට ලබාදීම ශික්ෂා පද කට පඩාම් කරවීමට වඩා ප්‍රතිඵලදායක ය.
මීට වසර කිහිපයකට පෙර වෛද්‍ය ශ්‍රියානි බස්නායක සහ වෛද්‍ය ප්‍රියා ද සිල්වා විසින් සංස්කරණය කරන ලද “නව යොවුන් වියට ප්‍රජනන සෞඛ්‍යය - ප්‍රශ්න 100 සහ පිළිතුරු” පොත් පිංච යොවුන් පරපුර අතට පත් කළ යුතු අගනා කෘතියකි.
ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් යෞවන යෞවනියන්ට බලපාන ගැටලු පිළිබඳ මෙහි වැඩි අවධානය යොමු කර ඇත. මේ කෘතිය පාසල් සිසුන්ට සෞඛ්‍ය විෂයය උගන්වන ගුරුවරුන් අතට නොපමාව පත් කළ යුත්තකි.
අරලගංවිල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී බණ්ඩාර සෙනෙවිරත්න මහතාගේ අදහස වනුයේ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් ඉක්මන් තීන්දුවක් නොගතහොත් වත්මන් තරුණ පරපුර බරපතළ සමාජ ව්‍යසනයකට ගොදුරු විය හැකි බව ය.
තම ජීවිතයෙහි අවසාන කාලයෙහි “අනාගත ශික්ෂණය” මැයෙන් අගනා කෘතියක් සම්පාදනය කළ මාර්ටින් වික්‍රමසිංහ සූරිහු යති දෘෂ්ටියෙන් දරුවන් හික්මවන්නට යෑම කුහකයින් බෝ කිරීමේ මඟක් වන බවත් දරුවන්ගේ විවිධ වයස් මට්ටම්වලට ගැළපෙන කෘති සම්පාදනය කළ යුතු බවත් අවධාරණය කරයි.
යොවුන් විය
සුරංගනා කතා කියවූ දරුවන් යොවුන් වියට එළැඹෙන විට, ආදරය, විවාහය, පිළිබඳ සරල වින්දනාත්මක කතා ද එම වයස ඉක්මවන අයට ලිංගිකත්වය පිළිබඳ (වික්‍රමසිංහ ලිංගිකත්වය වදන පාවිච්චි නොකරයි) හරි අවබෝධයක් ලැබෙන කතා ද ඇතුළත් සාහිත්‍යයක් නිර්මාණය කළ යුතු බව මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කළේ 70 දශකයේ මැද භාගයෙහි දී ය. උදේ සිට රෑ වන තුරු කටින් පොතින් පතින් හා රේඩියෝවෙන් මෙතරම් බණ කියන රටක් ලෝකයේ කොහේවත් නැති බව ද, වික්‍රමසිංහ මහතා සිහිපත් කරනුයේ නාරද හිමියන් හා කළුකොඳයාවේ හිමියන් නවකතා කියවීමෙන් දරුවන් වළක්වා ගන්නැයි බණට එක් කිරීම හේතුවෙනි.
මාර්ටින් වික්‍රමසිංහ 1975 දී කළ අනතුරු ඇඟවීම අධ්‍යාපන බලධාරීන් වටහා ගත්තේ නම්, ඒ අනුව, දරුවන්ට කියවීමට උචිත සාහිත්‍යයක් නිර්මාණය කළේ නම්, 2015 දීHIV ආසාදනය වුණු යොවුන් දරුවන් පිළිබඳ අසන්නට නො ලැබෙනු ඇත.
යෞවන යෞවනියන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීමට වඩා ඔවුන් භාවනාවට යොමු කිරීම වැදගත් කොට සලකන ගුරුවරු, දෙමාපියෝ, පූජකවරු සහ දේශපාලකයෝ එදාට වඩා අද බහුල වෙත්.
තිඹිරියාගම බණ්ඩාර
thimbiri@gmail.com
http://silumina.lk/2015/07/19