Monday, December 28, 2015

නෙට්බෝල් කනිෂ්ඨයන්ගෙන් කලකට පසු විශිෂ්ට ජයක්


ඉන්දියාවට එරෙහිව ගෝල 102 - 10 ක් ලෙස ජය ගනිමින් විශිෂ්ට ලෙස නව වැනි ආසියානු නෙට්බෝල් කනිෂ්ඨ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම වසර දහතුනකට පසු ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් කිරුළ දිනා ගැනීමට මෙවර සමත් විය.
හොංකොංහි පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 12 ක් එක්විය. ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග කළ අතර, චීන තායිපේ සහ ඉන්දියාව එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් විය. ශ්‍රී ලංකාව චීන තායිපේට එරෙහිවද 93 - 32 ක් ලෙස ජය ගනිමින් කුසලාන කාණ්ඩයට ඇතුළත් වූයේ අපරාජිතවය.
කුසලාන කාණ්ඩයට ශ්‍රී ලංකාව සමඟ මලයාසියාව, සිංගප්පූරුව සහ හොංකොං කණ්ඩායම් එක්විය. එහිදී මලයාසියාව 64 - 48 ක්, සිංගප්පූරුව 69 - 56 ක් සහ හොංකොං 72 - 42 ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාව 53 - 48 ක් ලෙස පරාජය කරමින් ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් කිරුළ වසර 13 කට පසු නැවත ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
1998 හර්ෂණි විජයලත්ගේ නායකත්වයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව මේ කිරුළ දිනා ගත් අතර අවසන් වරට 2003 දී ශෂිකා සමරසිංහගේ නායකත්වය යටතේ මේ කිරුළ දිනා ගෙන තිබුණි. ගයනි දිසානායකගේ නායකත්වය යටතේ මෙවර ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් කිරුළ ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකිවිය.
මෙවර තරගාවලියට සත්කාරක හොංකොං, පාකිස්තානය, තායිලන්තය, සිංගප්පුරව, භූතානය, අබුඩාබි, ශ්‍රී ලංකාව, චීන තායිපේ, ඉන්දියාව, මලයාසියාව, ජපානය සහ මාලදිවයින යන රටවල් එක්විය. ශ්‍රී ලංකාව අපරාජිතව තරගාවලිය නිම කරද්දී, මලයාසියාව තරග දෙකක් පරාජය වූ අතර ඒ තරග දෙකම ශ්‍රී ලංකාව හමුවේ පරාජය වීමද විශේෂත්වයකි.
මේ ජයග්‍රහණයත් සමඟින් ලබන වසරේ පැවැත්වෙන කනිෂ්ඨ ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි