Sunday, December 6, 2015

ගුරුතුමීගේ මතක සටහන් 01 අහන්න

උපුටා ගැනීම www.guruwariyakageimathakaya.blogspot.com/2015/10/06.html

සතියක්ම නිවාඩු උන්න නිසා වැඩ හුඟක් ගොඩ ගැහිලා...පුංචි පුංචි හැල හැප්පීම් ජිවිතේ නැතුවාම නෙවෙයිනෙ. එත් පොඩි උන් එක්ක ජිවිතේ හරි සැහැල්ලුයි.එක අකුරක් වත් අතපසු වෙයි කියන බයත් එක්ක හැල්මේ දුවන ගමන් මං එක දරුවෙක්ගෙ සටහන් පොත ගත්තේ දීපු වැඩක් කරලද බලන්න. ‍පොත මගෙ අතට දුන්නත් මගෙ මුණ දිහා බලන්නෙ නැතුව ඉන්න ‍පොඩි එකී හරි පරෙස්සම් වුනා. "කෝ පුතේ වැඩේ කරලා නෑනේ" මට දැනුණ දේ ඇත්තටම වෙලා තිබුණා. කරගෙන එන්න දීපු අභ්‍යාස වෙනුවට තිබුණෙ හිස් පිටු ටිකක් විතරයි. මට ඇත්තමට කේන්තියි.ඊටත් වඩා දුකයි. වෙන දෙයකට නෙවෙයි. මේ ‍පොත අයිති වුනේ පන්තියෙ දක්ෂතම දරුවට. මං කෝටුව ගත්තෙ දඩුවමක් දෙන්න ඕනි නිසාමයි. "අල්ලනවා අත" මං කෝටුව ගන්නකොටත් පොඩි එකී වැරැද්ද බාරගෙන අත දික් කරලත් ඉවරයි. එත් "දරුවෝ සත්තු නෙවී" කාලෙකට කලින් දීපු දඬුවමක් ගැන කියද්දී මගෙ හිතවතෙක් මට දොස් පවරපු හැටි පපුවේ කොණක ඉඳන් මහ හයියෙන් කෑ ගැහැහුවා. මම කෝටුව පහතට දැම්මා. දරුවා මගේ ළඟට ගත්තා. ඉණ වටේ අත දාලා මගෙ පපුවට තුරුල් කර ගනිද්දිත් පුංචි එකී ගැහෙනවා. "කියන්න ඇයි කරන්න බැරි වුනේ.... ම්...." දරුවගේ ඇස්වල කඳුළු. "අපේ අම්මට සනීප නෑ ටීචර්.... ‍ගෙදර උයන්නෙ මම" මම හිනා වුනා . "එක කොච්චර හොඳද පුතේ... මට වත් රසට උයන්ඩ බෑ... ඔයා හරි ෂෝක් නේ... ඉතිං උයලා ඉවරවෙලා රෑ වෙලා කරන්ඩ තිබ්බනේ" මට ඕනි වුනෙ කෙල්ලගෙ හිත කියවන්න. මටත් හංගන කතාවක් මහ හයියෙන් ගන්න හුස්ම අස්සෙ තියෙනවා කියලා මට දැනුනා. “පුතා” පුංචි එකී ඇස් දෙක බිමටම හරවාගෙන උන්නා.‍ ඇස් දෙකෙ කඳුළු නතර වෙලා තිබ්බෙ නෑ. “අපි මහන්සි වුනොත් නේද විභාගෙ හොඳට පාස් වෙන්න පුළුවන්. කම්මැලි වුනොත් අපි පරාදයි නේද” කිසිම උත්තරයක් මට දෙන්න පොඩි එකී සුදානම් නෑ. කතාකරන කඳුළු එක්ක විනාඩි කිහිපයක් ගෙවෙන්න ඇති. "............" "කමක් නැ මට ගහන්න ටීච" මං දිහාට කඳුළු පිහදාන ගමන්ම කෙල්ල අත දික්කළා. වැරැද්දක් වුනත් කෝටුවට බර දෙන්න මගෙ අත ඉස්සුනෙ නෑ. කොහේ හරි මට වැරදුන වග විතරක් හිතට දැනෙන්න ගත්තා. මං කෝටුව පන්තියෙන් එළියට විසිකරලා එළිමහනට ආවේ හිත ටිකක් හිස් කරගන්න හිතාගෙන. පුංචි එකීගෙ අඩි සද්දෙ මගෙ පස්සෙන් එනවා ඇහුණත් මං හැරිලා බැලුවෙ නෑ. " තාත්තා වැඩ ඉවර වෙලා එද්දී රෑ වුනා ටීචර්..... තාත්තට දවස් 2කින් පඩි දීලා නෑ... ගෙදර ලාම්පු තෙල් ඉවර වෙලා...අපිට කරන්ට් එක නෑ... පාඩම් කරන්න ආසයි.. එත්.. අපි හරි දුප්පත් ටීච" කාටවත් ඇහෙන්නෙ නැති හුස්මටත් හොරෙන් කෙල්ල කියනවා මං අහගෙන.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි