ජේසු උපන්නේය සතුනි…….. ජේසු උපන්නේය ඔහෝ!
මහද පස්වනක් ප‍්‍රීතියෙන් තටු ගසා නත්තල වෙත පියාඹන සැටියෙකි. නත්තලේ මතකයන්, ප‍්‍රීතියෙන් පියාඹා බෙත්ලෙහෙමේ ගවලෙන ළඟ නතර වෙයි. රජ තුන් කට්ටුව, ඔවුන්ට පාර කියූ තරු එළිය, ඔවුන් ගෙනා තෑගි භෝග, ගොපල්ලන් මේ සියලූ දෑ ගැන සිහියට නැඟෙයි. ඊළඟට උදාවෙන නත්තල වෙනුවෙන් සිදුවිය යුතු මානසික මෙන්ම භෞතික වෙනස්කම් ගැනද සිහිවෙයි. සිතට අවංකව පැවසුවොත් දෙවැන්න ගැන, ඒ කියන්නෙ භෞතික වෙනස ගැන තමයි අපි වැඩිපුරම හිතන්නෙ.
නත්තලෙ ගවලෙන,නත්තල් ගස, සුබ පැතුම්, තෑගි බෝග, නත්තල් සීයා..,එපමණකින් නොනැවතී නත්තල් කැරොල්, නත්තල් නාට්‍ය යනාදී මේ හැම අංගයක්ම උපරිම ලෙස අප වෙත ළඟා කර ගැනීමටයි අපේ උත්සාහය. ඒ අතරවාරෙදි අතීතය සිහිපත් කරන, සංකේත කරන මේවා බිහිවුණේ කොහොමද? කවදාද? කොහේද යන්න ගැනත් අප සැලකිලිමත් වීම ස්වභාවයකි. ගවලෙන.. ඕනෑම දිළිඳු ගෙයක වුණත් එහි වෙසෙන්නේ කතෝලිකයෙකු නම්,ගවලෙනක් ඉදි නොවී තිබෙන්නේ නැත. ඈත අතීතයේ පටන් ඇතැම් නිවෙස්වල හා දේවස්ථානවල ගවලෙන් ඉදිවූ බවට සාක්ෂි තිබේ. එසේ වුවද නව ආරකින් ‘ගවලෙන’ නත්තලෙහි ස්ථාවරත්වයට පත්වූයේ 1223 දී බව කියැවේ. ඉතාලියේ අසීසි නුවර විසූ සාන්ත ෆ‍්‍රැන්සිස් මුනිතුමා එම ගවලෙනේ නිර්මාතෘ බව සිසිල් ජෝයි පෙරේරා පියනම විසින් රචිත ‘නත්තල් සිරිත් විරිත්’ කෘතියෙහි ද සඳහන්ය. එහි විශේෂත්වය වූයේ සැබෑ මිනිසුන් ගවලෙනෙහි චරිත නිරූපනයන් සඳහා යොදා ගැනීමය. රෝමයේ ‘පියට්සා වෙනෙට්සියා’ චතුරස‍්‍රයට නුදුරින් පිහිටි කොස්මස්දමියානු බැසිලිකාවේ ප‍්‍රදර්ශනය කෙරෙන ගවලෙන හත් වැනි සියවසට අයත්ය. අද පවා මේ ගවලෙන එහි දැකිය හැකි බව කියැවේ.
ගවලෙන ළඟින්ම සැරසෙන අනෙක් නත්තල් සංකේතය වන්නේ නත්තල් ගසය. නත්තල් ගසෙහි අතීතයද බොහෝ දිගු එකකි. නත්තල් ගසේ අතීතය 16 වැනි සියවස තෙක් ඇදී යයි. එහි මාරම්භක දේශය වනුයේ ජර්මනිය බව කියැවේ. නගර මධ්‍යයේ හෝ දේවස්ථානයක කේන්ද්‍රීය ස්ථානය නත්තල් ගස ඉදිවූ බව පොත පතෙහි සඳහන්ය. කෙසේ වුවද එහි උපත ගැන කියැවෙන කතා කීපයකි. අතීතයේ ඇතැම් ජන කොටස් ශාක ගැන තැබුවේ අපමණ භක්තියකි. එය තුකොටගෙන හොලි සහ අයිව් ශාක නිවෙසට ගෙනැවිත් සැරසූ බව කියැවේ. මේ සිරිත පසු කලෙක නත්තල් ගස දක්වා වර්ධනය වූ බව ඇතැමෙකුගේ අදහසය.
ජර්මනියේ මෙලෙස භක්තියට පාත‍්‍රවූයේ ඕක් ගසයි. නත්තලට පෙර දින ඕක් ගස් කඳක් නිවෙසට ගෙනෙනු ලබන්නේ පිරිමින් විසිනි. එය ගිනි දල්වා එය වටකොට සිටිමින් නත්තල් ගී ගැයීමේ සිරිතක් ජර්මනියේ පැවැති බවත් පසු කලෙක නත්තල් ගසේ විකාශයට එය බලපෑ බවත් තවත් සමහරෙකුගේ අදහසය ශීත සෘතුවේදී පැළවී, දළු ලෑම පිණිස චෙරි,පෙයාර්ස් ආදී අතු ගෙනැවිත් වතුරේ දමා නිවෙස්වල තබා ගැනීම එකල තිබූ තවත් සිරිතක්. ශීත සෘතුවට පෙර මෙලෙස ගෙනෙනු ලබන අතු, දළුලන විට නත්තල් සමයේදී නිවැසියන් විසින් ඒවා සරසනු ලැබිණි. රෝස මලින්, ඇපල් හා වර්ණ කඩදාසිවලින් සැරසුණු ලැබූ මේ අතු ඉති පසු කලෙක නත්තල් ගසට ආදර්ශයක් සැපයූ බවටද මතයක් තිබේ. නත්තල් ගසේ උපත පිළිබඳ කතාව එතැනින් හමාර නොවේ. ඇතැමුන් එහි නිර්මාතෘ ලෙස සලකන්නේ සාන්ත බොනිෆස් තුමාවය. ඉංග්‍රිසි ජාතික ධර්මදුතවරයකු වූ එතුමා ක‍්‍රි.ව. 719 දී ජර්මනියට පැමිණ තිබේ.එකල එක් නත්තලක පෙර දින රාත‍්‍රියකදී මිථ්‍යා විස්වාස හේතු කොටගෙන බිලිපූජා කරනු ලැබූ ඕක් ගසක් එතුමන් විසින් කපා දැමූ බව පැවසේ. එසැණින් එතැන මතුව ඇත්තේ ඉතා සුන්දර දිගු ලොම් සහිත හිම වැනි සුදු වර්ණයෙන්වූ ගසකි. එම ගස නව ඇදහිල්ලේ සංකේතය ලෙස බොනිෆස්තුමා විසින් හඳුන්වා දෙනු ලැබූ බව කියැවේ. නත්තල් ගස එතුමාගේ මේ ක‍්‍රියා කලාපය හේතු කොටගෙන ඇතිවූවක් බව ඇතැමෙකු පවසන්නේ මේ කතා ප‍්‍රවෘත්තියට අනුවය. නත්තල් ගසේ උපත ගැන කතා එතැනින් හමාර නොවේ. මාර්ටින් ලූතර් එහි නිර්මාතෘ ලෙස සලකන පිරිසක්ද සිටිති.
නත්තල ආසන්න, සීත රැයක තරු එළිය ගස් අතු අතරින් රිංගා එන අයුරු දුටු ලූතර් ඉන් අමන්දානන්දයට පත්විය.එහි ප‍්‍රතිඵලය වූයේ ඔහු ඉන් අත්තක් කඩා එය නිවසට ගෙන ඒමයි. තරු එළිය වෙනුවට ගෙතුළ තිබූ අතු කැබැල්ල ඔහු එළිය කිරීමට යොදාගෙන තිබුණේ ඉටිපන්දම් එළියකි. ඉන්පසු එය සැරසූ ඔහු කුඩා ළමුන්ගේ අවධානය ඊට යොමු කළ බව කියැවේ. පසු කලෙක එහි දරුවන් වෙනුවෙන් තෑගි බෝග එල්ලීමට ජනයා හුරුවූහ. නැත්නම් නත්තල් ගස පාමුල එම තෑගි තිබිණි. එහිදී සංකේතවත් වූයේ බෙදා හදා ගැනීමය. නත්තල් ප‍්‍රීතිය නැති බැරි උදවිය සමග මෙන්ම ළමුන් අතරේ බෙදා දෙන සංකේතය නත්තල් ගස බවට පත්වූයේ එලෙස යැයි ද ඇතැම්හු අදහති.
තෑගි බෝග ගැන කතා කිරීමේදී නිතෑතින්ම ඊළඟට මතකයට නැගෙන්නේ නත්තල් සීයාය. ඔහුගේ උපත සිදුවූයේ තුර්කියේ පටාරා නගරයේය. ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරමින්, විශේෂයෙන්ම දරුවන්ටද අසරණ පිරිස් වෙතද සිය කරුණාව උපරිම අයුරින් බෙදා දුන් සාන්ත නිකුලස්තුමා නත්තල් සීයාගේ නිර්මාතෘ වෙයි. තරුණ වියේදී තේවාචාර්යවරයකුව සිටියදී එතුමාගේ මව්පියන් මිය ගිය බව කියැවේ. ඔවුන්ගේ අභාවයෙන් පසු ඔවුන්ට හිමි විශාල ධනස්කන්ධය එතුමාට හිමිවූ අතර එතුමා ඒවා වැය කළේ දරුවන් හා අසරණ පිරිස් වෙනුවෙනි.
නත්තල් දිනයේදී එතුමා නිවෙස්වල දුම් කවුළුව හරහා දරු පැටවුන්ට තෑගි බෝග යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙකල ව්‍යාපාරික ප‍්‍රජාව අප වෙත මවන නත්තල් සීයා මෙන් සැබෑ නත්තල් සීයා හෙවත් ශාන්ත නිකුලස් තුමා තරබාරු අයකුනම් නොවන බවද කියැවේ. වර්තමානයේ අප ඉදිරියේ පෙනී සිටින නත්තල් සීයාගේ හැඩරුව මුලින්ම මවා ඇත්තේ ඇමරිකාවයි. ඒ දහ නව වැනි සියවසේ මුල් භාගයේදීය. දුම් පයිප්පයක් අතින් රැගෙන සිටින විනෝදාත්මක චරිතයක් ලෙස මුලින් බිහිවූ මේ නත්තල් සීයා, අද සිටිනා ස්වරූපයට පරිවර්තනය වූයේ 1870 දීය. ඒ නාට්ස් නම් වූ කාටුන් ශිල්පියා අතිනි.
එක් අතකින් නත්තල, සාමයේ හා සතුටෙහි හෘදයාංගම සුබ පතා ගැනීමක් බඳුය. ඒ සුබ පැතුම් සංකේතවත් අයුරින් ඉටු කිරීමට විය යුතුය. නත්තල් සුබ පැතුම් පත බිහිවූයේ. නත්තල් සුබ පැතුම් පතෙහි අතී තය 1845 තෙක් දිව යන්නකි. එවැන්නක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ එංගලන්තයේ ජෝන් හෝස්ලි නමැති අයටය. ඔහු විසින් චිත‍්‍රයට නගනු ලැබූ මේ සුබ පැතුම් මුද්‍රණය කර ඇත්තේ හෙන්රි කෝල් නමැත්තා විසිනි. ඔහු වික්ටෝරියා හා ඇල්බට් කෞතුකාගාරයේ ප‍්‍රථම අධ්‍යක්ෂකවරයාව සිට ඇත. කෙසේ වුවද මේ සුබ පැතුම් මුද්‍රණය වූයේ 1846 දීය.
එහි වාණිජමය අපේක්ෂාවක්ද තිබූ බව හැඟෙන්නේ සිලිම බැගින් ඒවා අලෙවි කර ඇති බැවිනි.එම සුබ පැතුම් පතේ සිතුවම් කර තිබී ඇත්තේ ඉතා ප‍්‍රීතියෙන් නත්තල සමරණ පවුලකි. ‘ඔබට සුබ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක් වේවා’ යනුවෙන් සඳහන් කර තිබී ඇති අතර මිදි වැලක් වැනි වැලකින් චිත‍්‍රය රාමුවී ඇත. එමෙන්ම එහි මැද කොටස දෙපැත්තේ දයාවේ ක‍්‍රියාවන්ද චිත‍්‍රයට නගා ඇති බව සිසිල් ජෝයි පෙරේරා පියතුමා විසින් රචිත ‘නතතල් සිරිත් විරිත්’ කෘතියේ සඳහන් වෙයි.
http://www.slcatholics.org/%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B3/
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි