Tuesday, December 29, 2015

අන් අය දිනාගන්න හරි හැටි හිටගන්න


මොකද්ද ළමයො ඔය හිටගෙන ඉන්න හැටි. හරි හැටි කෙළින් වෙලා ඉන්නකෝ යනුවෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් දරුවන් අමතා කියනු ඔබ බොහෝවිට අසා තිබෙනවා විය හැකිය. නොඑසේ නම් ඔබ කුඩා වියේදී මේ කතාව ඔබේ දෙමාපියන් ඔබට පවසා තිබෙනවා විය හැකිය. සිරුර පවත්වා ගන්නා ඉරියව්ව මඟින් පුද්ගලයාගේ පෞරුෂය හා මානසිකත්වය බොහෝදුරට ප්‍රකාශ වන බැවින් නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
අදහස් නිහඬව ප්‍රකාශනයේදී වෙනත් අංගචලනවලට තරම් වැදගත් බවක් ඉරියව්වලට නොලැබෙන මුත් ඉරියව් අනෙකුත් අංගචලන මෙන් නොව දීර්ඝ කාලයක් තිස්සේ හුරුවීමෙන් තමන් තුළ නිදන්ගත වන මට්ටමේ දෙයක් බැවින් සමස්ත වශයෙන් පුද්ගලයා පිළිබඳව වැටහීමක් ලබා ගැනීමට ඒවා වැදගත් වේ. පුද්ගලයෙකුට විශේෂිත වූ ඉරියව් මඟින් එම පුද්ගලයා දුර සිට පවා හඳුනා ගැනීමේ හැකියාව ඇත. එය චරිතයත්, පෞරුෂයත් විදහා දක්වන කැඩපතක් වේ. සිරුර සාමාන්‍යයෙන් සෘජුව තබා ගන්නා පුද්ගලයෙකුට වඩා කුදු ගැසී සිටින තැනැත්තෙකුගේ මනෝභාවයන් හා ආකල්ප වෙනස් වේ. සිරුර ඇදකර වකුටුව තබා ගන්නා පුද්ගලයෙකුගෙන් පළවන්නේ අනාරක්ෂිත බව, නිරෝගී නොවන බව, කුලෑටි බව, හුදකලා වී සිටින බව වැනි තත්ත්වයන්ය. එවැනි පුද්ගලයන් සමඟ කතා බහ කර සුහද වීමට තැත් කරන්නන් විරලය. සිරුර සෘජුව තබා ගැනීමෙන් පුද්ගලයෙකු තුළ පවත්නා ආත්ම විශ්වාසය මෙන්ම ඔහුගේ/ඇයගේ නිරෝගීමත් බව පිළිබඳවද ඉඟි අන් අය වෙත සන්නිවේදනය කෙරේ.
සිටගෙන සිටින ආකාරය, හිඳගෙන සිටින ආකාරය, උක්කුටික හෙවත් ඇන තබා සිටින ආකාරය, දණ ගසා සිටින ආකාරය මෙන්ම වැතිර සිටින විටදී පාද හා බාහු රඳවා තබා ගන්නා පිළිවෙළ, සිරුර තබා ගන්නා පිළිවෙළ පිළිබඳව එක් එක් පුද්ගලයා වඩාත් ප්‍රිය කරන ක්‍රම වේදයක් ඇති අතර ඒවා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අතීත අත්දැකීම් සමඟ බැඳී පවතින බව පර්යේෂණවලින් හෙළිවී ඇත. බොහෝ කාලයක් විෂාද තත්ත්වයට (ච්ඥනපඥඵඵඪධද) මුහුණ පා සිටි පුද්ගලයෙකු ඉන් මිදීමෙන් පසු පවා තරමක වකුටු ඉරියව්වකින් යුතුව සිට ගැනීමට ඉඩ ඇත. පුද්ගලයා ප්‍රකෘති තත්ත්වයට මුළුමනින්ම පත්වන්නේ ඔහු එම ඉරියව්වෙන් මිදී සාමාන්‍ය ස්වරූපයෙන් සිට ගැනීමට හුරුවූ විටය.
සිරුර සෘජුව පවත්වා ගැනීම කෙතරම් දුරට ඔබේ පෞරුෂය කෙරෙහි බලපාන්නේද යන්න ඔබටම දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ (1) රූපයේ ආකාරයට ඔබේ රුව මුළුමනින් පිළිබිඹු කෙරෙන කැඩපතක් ඉදිරියේ සිට ගැනීමයි. මුලින්ම ඔබේ සිරුර සෘජුව තබා ගෙන උරහිස මදක් පිටුපසට යොමුවන අයුරින්ද හිස කෙළින්ද තබා ගෙන ඔබ දෙසම බලන්න. එවිට ඔබ තුළින් විද්‍යාමාන වන්නේ ‘මට ලෝකයම ජය ගත හැකිය’ වැනි අභිමානවත් ධනාත්මක හැඟීමකි. එම හැඟීම සමඟම අනිකුත් ශරීරාංග ද එයට අනුකූලව සැකසෙන අතර මුහුණෙන් පළවන ප්‍රකාශනද යටකී හැඟීම තවත් පෝෂණය කිරීමට සැරසේ. මේ ඔබ දකින්නේ එම අවස්ථාවේ අන්‍යයන් ඔබ දකින ආකාරයයි. මීළඟට ඔබ ඔබේ කොන්ද (2) රූපයේ ආකාරයට මඳක් වකුටු කර උරහිස් ඉදිරියට යොමුකර හිස මඳක් පහළට නැඹුරු කරගෙන ඔබේම පිළිබිඹුව දෙස බලන්න. ඔබ තුළින් එතෙක් ප්‍රකාශ වූ ධනාත්මක ලක්ෂණ සියල්ල අතුරුදහන් වී ඔබ අන් සියල්ලන්ටම වඩා දුර්වල හීනමානයෙන් පෙළෙන නිශ්චිත අරමුණක් නොමැති පුද්ගලයෙකු ලෙස ඔබටම පෙනෙනු නොඅනුමානය. මේ නිසා සිරුර සෘජුව තබා ගැනීම කොතරම් වැදගත්ද යන්න ඔබටම පසක් වනවා ඇත. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ සිරුර සෘජුව තබා ගැනීම ඕනෑකමින් කරන බව අන්‍යයන්ට නොහැඟෙන පරිදි එසේ කළ යුතු බවයි.
සිරුර සෘජුව තබා ගැනීමෙන් ධනාත්මක හැඟීම් ප්‍රකාශ වන අතරම, ඔබ තුළ ධනාත්මක හැඟීම් පවතින විට සිරුර ඔබ නොදැනුවත්වම සෘජු පිහිටීමක් කරා සකස්වන බවද අමතක නොකළ යුතුය. සිට ගැනීමේදී මෙන් අසුන් ගැනීමේදී ද ඉරියව් ඉතා වැදගත් වේ. අසුන්ගෙන සිටින විට (3) රූපයේ ආකාරයට සිරුර මඳක් ඉදිරියට නැඹුරුව තබා ගැනීමෙන් ඔබ තුළින් අන්‍යයන් දකින්නේ ධනාත්මක ආකල්පයන් වන අතර තුන (3) රූපයේ ආකාරයට පිටුපසට නැමී හිඳ ගැනීම තුළින් ඔබ සෘණාත්මක ආකල්ප දරන එමෙන්ම එතරම් මිතුරු විලාසයක් නොපෙන්වන අයෙකු ලෙස අන්‍යයන්ට පෙනේ. එසේම දෙඅත් පපුව මත බැඳ තබාගෙන හිඳ ගැනීමෙන් ඔබ අනිත් පුද්ගලයා වෙත සහකම්පනයෙන් නොබලන තම අරමුණු පමණක් ගැන හිතන අනුකම්පා විරහිත තත්ත්වයක් ප්‍රකාශ වේ.
හිඳ ගන්නා අසුනේ පවතින ඉඩ ප්‍රමාණය අනුව එක් කකුලක් අනික් කකුල මත රඳවා දෙඅත් විවෘතව තබාගෙන හිස සැහැල්ලුවෙන් තබා ගන්නා විට එම ඉරියව්ව තුළින් පුද්ගලයාගේ විවෘත බව, සුහද බව පිළිබඳ ඉඟි අන් අයට සන්නිවේදනය කරනු ලැබේ. මෙහිදී මෙම පුද්ගලයා සැහැල්ලුවෙන් සුහද කතාබහක නිරත වන බව ඔහුගේ අත් හා පාද කිසියම් විධිමත් නොවන ආකාරයට සැහැල්ලුවෙන් තබා ගැන්ම මඟින්ද සිරුර පිටුපසට නැඹුරු කර තබා ගැනීමෙන්ද හෙළිවේ.
කාන්තාවන් හිඳගෙන සිටින විට දෙඅත් විවෘතව තබා ගන්නා අතර ඔවුන් එම වාතාවරණය හෝ ඉදිරියේ සිටින පුද්ගලයා පිළිබඳ නොමනාපයක් ඇතිවූ විට දෙඅත් ළය මත බැඳ තබා ගැනීමට පෙළෙඹේ. එවන් අවස්ථාවක තමන් තුළ ඇතිවන අනාරක්ෂිත බව යටපත් කර දැමීම සඳහා යොදා ගන්නා උපාය මාර්ගයක් ලෙස මෙය සැලකිය හැකිය.
සිට ගැනීමේදී හෝ හිඳ ගැනීමේදී සිරුර සෘජුවම තබා ගැනීමෙන් ඔබේ සිරුර කුඩාවට දර්ශනය වීමෙන් වළකා ගත හැකිය. එමෙන්ම එය ශක්තිමත් නිරෝගී සිරුරක් බවද ඒ තුළ වෙසෙන්නේ ආත්ම ශක්තියෙන් යුත්, එඩිතර අයෙකු බවද අන් අයට ඇඟවිය හැක. ඇතැම් සතුන් පසුපාදවලින් සිට ගන්නේ තමන් ශක්තිමත් බව සතුරාට පෙන්වා ඔවුන් බිය ගැන්වීම සඳහාය. සිරුරේ ඉරියව්ව කෙලෙස තබා ගත්තත් පුද්ගලයෙකු කෙරෙහි අන් අය තුළ හටගන්නා ආකල්ප රඳා පවතින්නේ එම පුද්ගලයාගේ පෙනුම ක්‍රියා කලාපයන් හා හැකියාවන් මත යයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අප අතර වැඩිදෙනෙකු විශේෂ හැකියාවන් ගෙන් තොර විශේෂිත ආකර්ශනීය පෙනුමක් නොමැති අය බැවින් මෙවන්වූ සාධනීය ඉරියව් සිරුර තුළින් ප්‍රදර්ශනය කිරීමෙන් නිතැතින්ම ආකර්ෂණය දිනා ගන්නා කණ්ඩායම තුළට ඔවුන්ටද ඇතුළත් විය හැකිය. ඒ ඔවුන් තුළ පවත්නා ආත්ම විශ්වාසය හා ආකල්ප එම ඉරියව් මඟින් ලොවට ප්‍රකාශ වන නිසාය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි