Monday, December 21, 2015

අනුරාධපුරයෙන් හමු ව‍ූ පැරැණි කුරුසිය


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී 1890 වර්ෂයේ එච්.සී.පී. බෙල් මහතා පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් පත් කිරීමෙනි. එච්.සී.පී. බෙල් මහතා 1890 සිට 1912 තෙක් ඉමහත් සේවාවක් ඉටු කළේ ය. ඊට පසු 1912 සිට 1913 තෙක් ඒ.ආර්. අයර්ටන් මහතා පුරාවිද්‍යා කොමසාරිස් ලෙසින් සේවය කරන සමයේදී අනුරාධපුරයෙන් හමුවූ නෙස්ටෝරියන් කුරුසිය පිළිබඳ ඔහු විසින් ලියන ලද පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ (1912 – 1913) සඳහන් කර තිබේ.
අනුරාධපුර නටබුන් අතරින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවිය හැකි ඓතිහාසික භාණ්ඩයක් අනාවරණය විය. මේ වනාහි 1913 දී පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එ්.ආර්. අයර්ටන් මහතාට පැරණි ඇතුළු නුවර කැණීමේ දී හමුවූ කුරුසියක් කැටයම් කරන ලද ගල් කුලුනු කැබැල්ලකි. මේ බිඳී ගිය කොටසෙහි පසෙක අලංකාර කුඩා කුරුසියක කැටයමක් පෙනේ. දික් අතින් මේ කුරුසියේ උස අඟල් 3 ½ (අඟල් තුන හමාරක්) වන අතර හරස් අතේ දිග අඟල් 2 7/8 කි. ‍එම කැටයම් ඔබ්බවා ඇත්තේ ආයත චතුරාශ්‍රාකාර පසුබිමක් තුළ ය. ක්‍රමයෙන් පටු වේගය නගින සෝපාන වැනි පදනම් තට්ටු තුනක් මත සිට වූ කුරුසිය අඩියේ දෙපස නාළ පත්‍ර නංවා ඇත. අග්ගිස් සතර එකිනෙක පෙති තුනේ කොළයක හැඩය ගනී. විශේෂයෙන් සඳහන් කරතොත් මේ කුරුසිය දේශීය කලාවෙහි නොදන්නා අංශවලින් අලංකෘත බව සැලකිය යුතු කරුණක් වේ.
(සඳකඩ පහණ සහ වෙනත් ලිපි - ඩී.ටී. දේවේන්ද්‍ර - පි. 83 – 1970)
හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරිස්වරයකු වූ ඩී.ටී. දේවේන්ද්‍ර මහතා 1948 සිට 1956 තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ අතර ඔහු වැඩබලන පුරාවිද්‍යා කොමසාරිස්වර‍ෙයකු ලෙසින් ද සේවය කර ඇත.
ඒ.ආර්. අයර්ටන් මහතා විසින් මෙම කුරුසිය පිළිබඳ ඔහුගේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ (1912 – 1913) සඳහන් වන අන්දම මෙසේ ඩී.ටී. දේවේන්ද්‍ර මහතා ලියා ඇත්තේ ය:
“ගල් කොටස ලැබුණේ වරිච්චි ගෙයක නෂ්ටාවශේෂ අතරිනි. ඒ කැබැල්ල කොහෙන්දෝ ගෙනැවිත් මෙහි පාවිච්චි කළ බව සිතීමට ඉඩ තිබේ. කැටයම් වූ කුරුසිය බාග වෙලාවට පෘතුගීසි සමයට අයත් විය හැකි ය. ගොඩනැඟිලි සඳහා ගත හැකි ගල් කුලුනු නගරයේ බහුලව ඇති නිසා මේ කැබැල්ල එතරම් දුර තැනකින් ගෙනා බව සිතීමට වුවමනා නැත. නුවර ක්‍රිස්තියානි ගොඩනැඟිල්ලකින් මේ කුලුනු කැබැල්ල මෙතැනට ගෙනා බව සිතීම යුක්ති යුක්තය.
පුරාවිද්‍යා පාලන වාර්තාවක ඒ.ආර්. අයර්ටන් (1912 – 1923) පිටු අංක 5 සඳකඩපහණ සහ වෙනත් ලිපි - ඩී.ටී. දේවේන්ද්‍ර පි. 83 (1970)
මෙම කුරුසිය පිළිබඳව පුරාවිද්‍යාඥයෙකු වූ ඒ.ආර්. අයර්ටන් මහතා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පුහුණුව ලද කොමසාරිස්වරයකු බව සඳහන් කරමින් මෙම කුරුසිය පිළිබඳ ඩී.ටී. දේවේන්ද්‍ර මහතා මෙසේ ද සඳහන් කරයි.
“අයර්ටන් මහතාට අවුරුදු දහයකට පසුව පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ඒ. එම්. හෝකාර්ට් මහතා විසින් අයර්ටන් මහතාගේ ලියූ ලියැවිලි හැකි තරම් එකතු කර ගෙන ඒ පදනම මත ශාස්ත්‍රීය සංග්‍රහයක් නිකුත් කරන ලදී. කුරුසිය ගැන අයර්ටන් මහතාගේ නිගමනය ඒ වාර්තාවේ නැති බව දක්වමින් ඒ ගැන තමාට නිගමනයකට බැසීමට ද අපොහොසත් බව දැන් වූ හෝකාර්ට් මහතා පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් ඇතිව සිටි එච්.ඩබ්. කොඩ්රින්ටන් මහතාගෙන් ඒ ගැන උපදෙස් පැතුවේ ය. කොඩ්රිංටන් මහතාගේ පර්යේෂණ අනුව එම කුරුසිය ක්‍රිස්තු වර්ෂ සවැන්නට පමණ අයත් සේ සලකන ලදී. මෙයට පසුව අපේ සියලුම ශාස්ත්‍රීය පොත්පත්වල එය සම්බන්ධයෙන් මේ කාල වකවානුව දැක්වේ.
මෙම කුරුසිය පිළිබඳ විවිධ විද්වතුන් විසින් ඒ සඳහා වූ කාල නිර්ණය පිළිබඳ විවිධ අදහස් පළ කර ඇත.
කුරුසිය වනාහි ක්‍රිස්තු සංකේතයක් ලෙසින් පිළිගනු ලැබූයේ කොන්ස්ටන්ටයින් නම් වූ රෝම රජුගේ මව වූ හෙලේනා බිසවගේ අනුග්‍රහයෙනි. මෙය වූකලී කොස්මස් (ක්‍රි.ව. 6 සියවස) අප රටට පැමිණියාය කියන කාලයට අවුරුදු 100 පමණ පෙර ය.
අනුරාධපුරයේ ඇතුළුනුවරින් හමුවූ මෙම නෙස්ටෝරියන් කුරුසිය පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් ඒ හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලියන ලද අනුරාධපුරයෙන් පෑදුණු පැරණි කුරුසිය නම් ලිපියේ සඳහන් කර ඇත.


2 comments:

මට හිතෙන්නෙ මේ කුරුසිය ක්‍රිස්තු පූර්ව එකක් වගේ.. හැක් හැක්

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු මෙම කුරුසිය දැන් ඇත්තේ කොහේද? එය තවමත් ආරක්ෂිතව අනුරාධපුර කෞතුකාගාරයේ තිබේද?
ආනන්ද

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි