V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, February 25, 2014

පරිසර නියමු භට කණ්ඩායම

පරිසර නියමු භට කණ්ඩායම
පාසල් සිසුන් තුළ  පරිසර ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් පරිසර නියමු ව්‍යාපෘතිය  දිවයින පුරා තෝරා ගත් පාසල් රුසක ක්‍රියාත්මක වේ.  පරිසර නියුමවන් ලෙස එක්වන සිසුන්ට පරිසරය ගැන අවබෝධය ලබාදීම, විවිධ වැඩ සටහන්වලින් ඔවුන් පාරිසරික ක්‍රියාකාරකම්වලට යොමු කිරීම , පරිසර නියමුවන්ගේ කුසලතා ඇගයීම, හරිත, රජත, ස්වර්ණ හා ජනාධිපති පදක්කම දිනා ගැනීමට ඔවුනටඅවස්ථාව ලබාදීමට මෙම වැඩසටහනෙහි කාර්යයන් අතර වේ .
       
      




වර්ෂ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ වර්ෂ 1981 අගෝස්තු මස 12 වැනි දින මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවනු ලැබීය. මෙම අධිකාරිය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ ජාතික පාරිසරික පනතට අනුව පරිසරයට අදාළ ප්‍රතිපත්ති සැකසීම, පරිසර නීති සැකසීම හා සම්බන්ධීකරණය කිරීමය . 1988 අංක 56 දරණ ජාතික පාරිසරික පනත  මගින් පරිසර සංරක්ෂණයට හා පරිසර කළමනාකරණයට අවශ්‍ය නීති සැකසීමට පුළුල් බලතල ලබාදෙන ලදී. මධ්‍යම පරිසර අධිකාරියට අවශ්‍ය මග, පෙන්වනු ලබන්නේ පරිසර අමාත්‍යාංශය විසිනි.




ගුවන් විදුලි ළමා පිටියේ විශ්ව කර්මයා - මහින්ද අල්ගම

සුසානයේ සුව විඳින්නට නික්ම ගිය ගුවන් විදුලි ළමා පිටියේ විශ්ව කර්මයා මහින්ද අල්ගම

දවසේ කෙළවර ගුවන් විදුලි සංස්ථාවේ සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ කොළඹ කනත්ත කරා ඇවිද ඒමේ පුරුද්දක් අපට තිබිණි. මේ හැත්තෑවේ දශකයේ මුල් කාලයයි. ගොම්මන් කළුවර කුර ගාමින් පැමිණෙන තුරු අපි කනත්ත පුරා කරක් ගසන්නෙමු. සොහොන් කොතින් කොතට යමින් ඒවායේ වාසගම් කියවන්නෙමු. තුරු සෙවණක, තණ පලසක අලසව වැතිර ඉන්නෙමු.
“යමුද අපි සුසාන සුවය විඳින්න?” ගුවන් විදුලි වැඩසටහනක් අවසානයේ මහින්දයියා (මහින්ද අල්ගම) විමසයි. හඳුවලයාත් (කරුණාතිලක හඳුවල), මමත් මනාපය පළ කරන්නෙමු. අප කොටුවේ ඩොමීනියන් හෝටලෙයන් මධු රස විඳින්නට යෑම සඳහා බොරැල්ලෙන් බසයක් අල්ලා ගන්නේ සුසාන සුවය විඳීමෙන් අනතුරුවය.
පසුගිය සඳුදා හැන්දෑවේ මහින්දයියාගේ දේහය පිටුපසින් කනත්තේ ප්‍රධාන පිවිසුම් මාර්ගය දිගේ ආදාහනාගාරය වෙත පෙරහරින් යන අතර මගේ මතකයට ආයේ ජීවිතයක බරක් පතලක් නැති ඒයුගයේ අප විඳි සුසාන සුවයයි.
හැත්තෑව දශකයේ මුලදී බාහිර නිෂ්පාදකවරයෙකු ලෙස ගුවන් විදුලියේ රස්සාවට පැමිණෙන අවදියේදීත්, ගේය කාව්‍ය රචකයෙකු ලෙසත්, පුවත් පත් කලාවේදියෙකු ලෙසත්, රූ රටා ශිල්පියෙකු ලෙසත් මහින්දයියා නමක් දිනා සිටියේය.
‘විකසිත පරසතු’ මහින්දයියාගේ සුවිශේෂී පුවත්පත් ව්‍යායාමයයි. එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙස සේවය කරමින් සිටි ඔහුට කර්තෘ පදවියේ වගකීම් බාරගන්නට සිදුවූයේ නොසිතූ අවස්ථාවකය. ඔහු ඒ වගකීම කරට ගත්තා පමණක් නොව වටරැක ප්‍රේමදාස සමඟ එක්ව, පත්තර පිටු සැකසුම් කලාවේ අමුතු අමුතු වෙනස්කම් ද සිදු කළේය.
පිටුව පුරා හරහට ඇදුණු එයිට් කොලම් ඡායාරූප, පිටුවේ උඩින් නොව යටින් යෙදූ හෙඩිම් ආදි බොහෝ හිතුවක්කාර වැඩ ‘විකසිත පරසතු’ පත්තරයේ තිබිණි. ඒ නිසා අන්තර්ගතයෙන් පමණක් නොව ආකෘතියෙන් ද අප ලැබූයේ ආකර්ෂණීය තෘප්තියකි. ගුවන් විදුලි ළමා නාට්‍ය නිෂ්පාදනය මහින්දයියාට බාර වූ අවස්ථාවේ ඔහුට අවශ්‍ය වූයේ ඒ අයුරින්ම පර්යේෂණාත්මක හා හිතුවක්කාර අත්හදා බැලීම් සිදු කිරීමටය. හැබැයි පත්තරයේදී සේම ඔහු ගුවන් විදුලියේදීද මේ අත්හදා බැලීම් කළේ ආවාට ගියාට නොවේ.
ගුවන් විදුලියේ කැන්ටිමේ තේ කෝප්ප හිස් කරද්දීත්, සුසාන සුවය විඳිද්දීත්, මගතොට යන එන විටදීත්, ඩොමීනියන් හෝටලයට වී මධු මිහිර විඳිද්දීත්, අපි මේ පිළිබඳ බොහෝ දෑ ගැඹුරින් සාකච්ඡා කළෙමු. තිලක සුධර්මන් ද සිල්වා, සුගතපාල ද සිල්වා වැනි ගුවන් විදුලි මාධ්‍ය කප්පිත්තන් ගේ අදහස් විමසීමු.
ඒ කාලයේ ගුවන් විදුලි ළමා නාට්‍ය සීමාවී තිබුණේ තාත්වික සහ ශෛලිගත සම්ප්‍රදායනට පමණකි. අපට අවශ්‍ය වූයේ මේ මානයන් වඩාත් පුළුල් කරලීමටය. ටින් ටින් චිත්‍ර කතා මාලාවේ කැප්ටන් හැඩොක්, ප්‍රොෆෙසර් කැල්කියුලස්, තොම්සන් සහ තොම්ප්සන් මෙන් ම වෝල්ට් ඩිස්නිගේ මිකී මවුස්, ඩොනල්ඩ් ඩක් වැනි ලෝකයේ ළමා පරපුර ජයගත් එකදු චරිතයක්වත් තාත්වික හෝ ශෛලිගත හෝ චරිත නොවීය. යථාර්ථවාදී චරිත නොවීය. ඒ සියල්ල යථාර්ථවාදයට ඉහළින් දිවෙන ෆැන්ටසි චරිතය.
අපට ඕනෑ කළේ මේ ‍ෆැන්ටසිය ගුවන් විදුලියට ගෙන ඒමටය!
මහින්දයියා විවිධ පුස්තකාල ඇසුරු කරමින් ලෝකයේ ජනප්‍රියත්වයට පත් ළමා ටෙලි නාටක හා චිත්‍රපට පිළිබඳ තොරතුරු සොයා අපට කීවේය. ඒ කාලයේ මේවා නැරඹීමේ වාසනාවක් හෝ පහසුකමක් අපට නොවිණි. (දැන් රූපවාහිනියෙන් “වන්ඩර්ෆුල් වර්ල්ඩ් ඔෆ් වෝල්ට් ඩිස්නි” නරඹනවිට ඒ කාලයේ මහින්දයියා සොයා ගෙන ආ තොරතුරු මට සිහිපත් වෙයි.)
අවසානයේ අත්හදා බැලීමක් ලෙස ෆැන්ටසි චරිත එක දෙකක් ඇති ළමා නාට්‍යයන් අපි නිර්මාණය කළෙමු. යථාර්ථය සහ මායාව එක්තැන් කෙරුණු කෘතියක් මහින්දයියා සොයා ගෙනවිත්, කොටස් වශයෙන් ප්‍රචාරය වන ෆැන්ටසි නාටකයන් ලියන ලෙස කීවේ ඉන් පසුවය. මමත් හඳුවලත් එය ලිවීමු. කාර්ලෝ කොලඩි නම් ඉතාලි ජාතිකයාගේ “පිනෝකියෝ” කථාව ඇසුරෙන් සකස් කළ එය අප නම් කළේ “රූකඩ පැංචා” යනුවෙනි.
රූකඩ පැංචා අතිශය සාර්ථක හා ජනප්‍රිය විය. මේ සම්ප්‍රදාය ම ඉදිරියට ගෙනයමින් ස්වතන්ත්‍ර නිර්මාණයන් කිරීම අපේ ඊළඟ පියවර විය. ඒ සඳහා මම “ජිල්ජෝන් සහ ලන්දේසි දූපත” ලීවෙමි. පසුව එය ලිවීම සඳහා හඳුවල ද හවුල් විය.
ඒ කාලයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ සරත් අමුණුගම මහතා ලන්දේසි දූපත අප හමුවේ හැඳින්වූයේ “ඔයගොල්ලන්ගේ කාටුන් නාට්‍යය” යනුවෙනි. අමුණුගම මහතාගේ ඒ හැඳින්වීම තුළ ගැඹුරු අරුතක් විය. ෆැන්ටසි චරිත, ගුවන් විදුලියට ගෙනැවිත්, ශ්‍රව්‍ය මාධ්‍යයකින් කාටුන් පෙන්වීමට අප කළ උත්සාහයේ සාර්ථකත්වය ද ඒ හැඳින්වීමේ ගැබ්ව තිබිණි.
මේ සාර්ථකත්වයට මහින්දයියාගෙන් ලැබුණු දායකත්වය සහ මඟ පෙන්වීම අති විශිෂ්ට විය. එමෙන්ම මේ නාට්‍ය ගුවන් විදුලිය සඳහා නිෂ්පාදනය කිරීමේදී ඒවාට ඔහ‍ුගෙන් එක්වූ ශ්‍රව්‍යමය සත්කාරය ඉතා ඉහළ තලයක විය. ගුවන් විදුලි වැඩසටහනක භාවයන් උද්දීපනය සඳහා සංගීතය උපයෝගී කර ගැනීමේදී ඔහු වෙතින් පළ වූ ප්‍රතිභාව දැවැන්තය. ගුවන් විදුලි මාධ්‍යය සම්බන්ධයෙන් ඔහු තුළ වූයේ පුළුල් ජාත්‍යන්තර දැක්මකි.
මහින්දයියා ගේය කාව්‍ය නිර්මාණ ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වය හෝ ගායක ගායිකාවන් හෝ සංගීතඥයන් හඹා ගිය පුද්ගලයෙකු නොවේ. ඔහු විසින් නිර්මිත ගේය කාව්‍ය රචනා බහුතරය ඉතා ‍ඉහළ තලයේ ඒවාය. ඔහු විෂය කරගත් අත්දැකීම් පමණක් නොව භාෂා විලාසය හා ප්‍රයෝගයන් ද සුවිශේෂීය.
මහවැලිය වෙනුවෙන් ඔහු ලියූ, අමරදේවයන් සහ නීලා වික්‍රමසිංහයන් ගයන මේ ගී පද බලන්න.
‘රිදී බුබුළු වැල් සිනා දිමුතු මල්
සැලී සැලී දිය රැළිති බිඳී
නිල් කඳු නිම්නේ තුරු සෙවණැල්ලේ
ලලනී මහවැලි ගලා බසී..’
නන්දා මාලනියන් වෙනුවෙන් ඔහු ලියූ මේ ගී පද කියවන්න.
‘වලාකුළු කන්දට මුවා වෙන
ඉන්ද්‍රචාපය ලෙසින් මනහර
නුවන් බඳවා සිතුම් අවුලා
නොයන් මා හැරදා..”

මහින්දයියාගේ අවසන් කටයුතු කෙරෙන අවස්ථාවේ සුසානය සිසාරා මේ ගීය අප සවන් වැකෙද්දී නන්දා මාලිනිය මා සමඟ පැවසූයේ ‘මහින්දගේ ගේය කාව්‍ය රචනා හඹා ගියේ ජනප්‍රියත්වය නෙවෙයි. විශිෂ්ටත්වයයි’ කියාය.
නන්දක්කා කියූ සේම ඔහු ලියූ ‘ජීවිතය නැවතිලා’ නම් වූ ගීය විශිෂ්ටත්වය කරා එළැඹි ගේය කාව්‍ය නිර්මාණයක් සේ මම දකිමි.
ඔබේ සිනා මල් වැරුණා
සුසුම් වැල් විමානේ
ජීවිතය නැවතිලා
ඔබ ලියූ අකුරු වැල්
මගේ හද සැමරුවේ
කාලයට දියවෙලා
අතීතේ සොහොන් කොත්
සිනාසේ වියරුවෙන්
හඳ එළිය ඇවිලිලා - ඇවිලිලා
සිනා මුව මඬුළු මත
උදාවූ සිහිනයේ
හස කැළුම් වියැකිලා
ජීවිතය ඇති තුරා
ඔබ මගේ යැයි කියූ
මුදු වදන් ගොළු වෙලා - ගොළුවෙලා”
මහින්දයියා මේ ගීය ලීවේ සිය ප්‍රථම ප්‍රේමය බිඳී යාමෙන් ඇති වූ සෝ ගිනි සිත පුරා දැල්වෙන අවදියකය. ගීයේ පද පෙළ සිතේ ඇඳුණේ අප සමඟ සුසාන සුවය විඳී සැඳෑවකය. පසුකලෙක ගුවන් විදුලි සාමීචියකදී ඒ බව මහින්දයියා පැවසූ බව සොයුරු මාධ්‍යවේදී චන්දන තිලකරත්න කීවේ මහින්දයියාගේ අවසන් කටයුතු සිදුවන අතරතුරකය.
හයිකු සම්ප්‍රදාය පදනම් කරමින් බණ්ඩාර කේ. විජේතුංග කෙටි කවි කීපයක් රචනා කළ විට මහින්ද, බණ්ඩාරේව ඇසුරු කරමින් හයිකු කවි හැදෑරුවා මට මතකය. හයිකු සම්ප්‍රදාය ගුවන් විදුලියට ඉතා ගැළපෙන බව මහින්දගේ මතය විය. කෙටි ගුවන් කාලයක් තුළ වචන ස්වල්පයක් මඟින් ගැඹුරු පණිවිඩයක් හෝ අරුතක් හෝ ඉදිරිපත් කිරීමට හයිකු සම්ප්‍රදාය මඟින් හැකිය.
මහින්ද ලියූ හයිකු සම්ප්‍රදායේ කවියක් දෙකක් මට සිහිපත් වේ.
“රේල් පාර උඩ ටොනික් මූඩියක්.”
ඔබයි සිග්නල් කණුව!
මතු දැක්වෙන කවිය ඔහු ලීවේ කොටුවේ ඩොමීනියන් හෝටලයේදී බ්‍රිස්ටල් පැකට්ටුවක ඇතුළේ ඇති ඇළුමිනියම් කොළයේ යට පැත්තේය!
“බීමත් වූ දිනෙක
පොල් රුප්පාව අතරින්
පෑයූ ස‍‍ඳෙහි
හරි අඩක් වේයන් කා
තිබිණි!”
මහින්දයියාට සමු දෙන්නට එදා කනත්තට පැමිණි පිරිස අතර ඔහුගෙන් මාධ්‍ය ගුරුහරුකම් ගත් ගෝලයේ බොහෝ වූහ. දියණියක සමඟ පැමිණි පියෙක් මට කිට්ටු වී මෙසේ කීය. ‘දුවගේ හැකියාවන් අපිට තේරුම් ගන්නත් උදව් කළේ අල්ගම මහත්තයා තමයි. දුව මේ තරම් දක්ෂයි කියලා අපිට පෙන්නලා දුන්නෙත් අල්ගම මහත්තයායි. ඒකයි අපි මල් කලඹකුත් අරගෙන එතුමාට ගෞරවය දක්වන්න ආවේ.’
‘මහින්ද මාමාට කරන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි දුවේ, ඔයාගේ දක්ෂකම් තව තවත් වැඩි දියුණු කර ගන්න එක.’ මම කීවෙමි. දියණිය මට ‘ස්තුතියි මාමේ’ කියා කිව්වේ සිය දෑත් එක් කොට ආචාර කරමිනි. ඒ මහින්දයියා ළමා පිටියේ දරුවන්ට ගුණ යහපත්කම් කියා දී තිබූ ආකාරයයි.
ඔහු විනය සහ ශික්ෂණය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීය. මැදිරිය තුළ පමණක් නොව මාධ්‍ය භාවිතයේදී ද පිළිපැදිය යුතු විනය හා ශික්ෂණය සම්බන්ධයෙන් මහින්දයියා අනුගමනය කළේ දැඩි ප්‍රතිපත්තියකි. අප ළමා පිටියේ හැදුණේ වැඩුණේ ඒ බරපතළ නීති රීති අතරේය. මේ නීති රීති කැඩුණු විටෙක ඔහු ආවේස වෙයි. බැනුම් කප්පරකි. මැදිරියෙන් එළියට ඇද දමන අවස්ථාද නැතුවා නොවේ. මේ සියල්ලෙන් අපි ජීවිතය ඉගෙන ගතිමු. අවවාදයක්, දෝෂාරෝපණයක් හෝ අවලාදයක් නිසා ජීවිතය නැති කර ගන්නා සැටි නොව, හැඩ ගස්වා ගන්නා හැටි අපි මහින්දයියාගෙන් උගත්තෙමු.
මේ විනය හා ශික්ෂණය අද ද මාධ්‍ය භාවිතයේදී අපට ශක්තිය ලබා දෙයි. අද සමහර ගුවන් විදුලි නාළිකා අසද්දී අපට දුක හිතෙන්නේ කටහඬින් හා හැකියාවෙන් පමණක් දුර ගමනක් යන්නට බැරි බව බහුතරයක් අවබෝධ කර ගෙන නැති බැවිනි. කටහඬ සහ හැකියාව දිදුලවන්නේ විනය හා ශික්ෂණයයි. කටහඬ හා හැකියාව ඉහළට ඔසවා තබන්නේ ද විනය හා ශික්ෂණයයි.
මහින්දයියා ගුවන් විදුලි ළමා පිටියේ වෙනස්කම් මෙන්ම හාස්කම් ද කළ විශ්වකර්මයෙකි. ඔහු ළමු‍න් වෙනුවෙන් ගුවන් විදුලිය හරහා කළ සේවා අමිලය. ඔහුගේ වියොව නිසා ගුවන් විදුලි ළමා පරපුරට සිදු වූ අඩුව කිසිදා පිරවිය නොහැක්කකි.
“මහින්ද කරපු සේවාව ඒ මට්ටමින් කරන්න කෙනෙක් නැතිකොට මීට පස්සෙ ඉතින් ගුවන් විදුලි ළමා පරපුරට මොකද වෙන්නෙ?” මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපෙන් විමසූයේ එබැවිනි.
මහින්දයියා දැන් අප අතර නැත. ගොම්මන් කළුවර කුර ගාමින් සුසානය වසා ගනිද්දී අපි පවුලේ ඥාතීන්ට සමුදී, කනත්තෙන් පිටව යාමට සැරසුණෙමු.
එක් වර ම සිතු මත ඇ‍ඳෙන්නට වූයේ සුසාන සුවයේ අතීත මතක සමුදායයි.
සොහොන් කොතෙන් කොතට ඇවිද ගිය දිනෙක මටත්, හඳුවලයාටත්, මහින්දයියාටත් සුරංගනාවියක් හමුවිය. කොළඹ කනත්තේ හැම සුරංගනාවියක්ම ඉන්නේ කුරුසියට පිටු පාමිනි. ඒත් මේ සුරංගනාවිය එසේ නොවේ. ඇය ඉන්නේ කුරුසිය දෙස බලා, එය බදා ගෙනය. මුළු කනත්තේම ඒ ලීලාවෙන් ඉන්නේ සුරංගනාවියන් දෙදෙනෙක් පමණි. කෙනෙක් ඉතාලියේ මූර්තිමත් කොට ලංකාවට රැගෙන ආ සුරංගනාවියකි. අනෙකා ඉතාලි සුරංගනාවියගේ අනුකරණයකි.
අප පෙම් බැන්දේ ඉතාලි සුරංගනාවියටය.
මහින්දයියා ‘ජීවිතය නැවතිලා’ ගීතයේ වදන් පෙළ ගැස්වූයේ ඒ සුරංගනාවිය පේන තෙක් මානයේ හිඳගෙනය.
අප තිදෙනා අතර ගිවිසුමක් විණි. ඒ, කොළඹ කනත්තට පැමිණෙන හැම අවස්ථාවකදීම ඒ සුරංගනාවිය හමුවිය යුතු බවටය. වසර 17 කට පෙර අපෙන් වියෝවන තුරු ම හඳුවලයාත් ඒ ගිවිසුම රැක්කේය. මහින්දයියා දැනට මසකට දෙකකට කලින් දුරකථනයෙන් මා අමතා, කනත්තට ගිය විටෙක සුරංගනාවිය හමු වූ බව කීවේය. ඇත්තෙන්ම කියනවා නම් අපි තිදෙනා හැම විටම ඒ ගිවිසුම රැක්කෙමු.
මහින්දයියාගේ අවසන් කටයුතු සිදු කළ දිනයේදීත් මම ගිවිසුමට අනුව සුරංගනාවිය හමුවීමි.
ඇගේ අවසරයද ඇතිව මහින්දයියාගේ දේහය අභියස මෙසේ පැවසීමි.
“මහින්දයියේ, මුතු පිණි දැල් සැලෙන උදා දිමුතු හිරු එළියේ අපට ඔබ සිහිවේවි. වලාකුළු කන්දට ඉන්ද්‍රචාපය මුවාවෙන දහවලේ ඔබේ සොඳුරු බව අපට දැනේවි. රුක්අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවෙදි ඔබ සුවඳ අප වටා රැ‍ඳේවි. පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මියයන මොහොතේදී ඔබේ වියොව අපට හැ‍ඟේවි.... අපේ සුරංගනාවිය චන්ද්‍ර මඬුලු යට ඉඳන් ඔබ වෙනුවෙන් හැමදාමත් ගී ගයාවි.”

නට්රාජ් පැන්සල් වාසනා තරගයෙන් ලැප්ටොප් ඇතුළු දහසකට වැඩි තෑගි

නට්රාජ් පැන්සල් වාසනා තරගයෙන් ලැප්ටොප් ඇතුළු දහසකට වැඩි තෑගි

පළමු ත්‍යාග 12 වශයෙන් ලැප්ටොප් දිනූ ජයග්‍රාහකයින් පැක්ස්කෝ සිලෝන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ඒ. රවින්ද්‍රරන් මහතා තෝරාගත් අවස්ථාවයි මේ. පැක්ස්කෝ සිලෝන් ආයතනයේ අලෙවි කළමනාකරු ඒ.එස්. ලියෝන්, අධ්‍යක්ෂක ඒ. රාජේන්ද්‍රන්, කළමනාකරණ අධ්‍යක්ෂක ඒ. රවින්ද්‍රරන් මහත්වරු ද මෙහි වෙති. ‍‍
ලොව ඉතා උසස් තත්වයේ පැන්සල්, පාට පැන්සල්, මකන, පැන්සල් උල් කරන කටර් ඇතුළු පාසල් ලිපි ද්‍රව්‍ය නට්රාජ් වෙළඳනාමයෙන් නිෂ්පාදනය කරන ඉන්දියාවේ විශාලතම ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනය වන, හින්දුස්ථාන් පැන්සල් සමාගම හා ශ්‍රී ලංකාවේ එම ආයතනයේ එකම නියෝජිතයා වන පැක්ස්කෝ සිලෝන් ආයතනය ඒකාබද්ධව “නට්රාජ් පැන්සල් ඔබ දිනවයි” මැයෙන් පවත්වන ලද වාසනා තරගයේ කුසපත් ඇදීම නොබෝදා වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හෝටල් පරිශ්‍රයේදි සිදු කෙරිණි.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ බදු නිලධාරී ප්‍රසාත් මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ලක්ෂ 04 කට වඩා වැඩි දැවැන්ත කුසපත් සංඛ්‍යාවක් අතරින් දහසකට වඩා වැඩි ජයග්‍රාහකයින් තෝරාගන්නා ලදී. පළමු ත්‍යාග වශයෙන් ලැප්ටොප් 12 ක් ඇතුළු මව්න්ටන් බයිසිකල්, අත්ඔරලෝසු, ටීෂර්ට්ස් සහ තවත් වටිනා ත්‍යාග රැසක් ලබා දීමට කටයුතු යොදා තිබේ.
යුරෝපීය CE-EN-71 තවත් ප්‍රමිතියට අනුව නිපදවන නට්රාජ් නිෂ්පාදන ඉතා ඉහළ තත්වයෙන් පැවතීමට හේතුවන්නේ, මෙම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරන දැව, තීන්ත සහ ඉතාම සියුම් තල පවා තම කර්මාන්තශාලාව තුළ නිපදවීමයි. නට්රාජ් නිෂ්පාදන වලට භාවිතා කරන සුවිශේෂි දැව වර්ග තම නිෂ්පාදන සඳහාම වගා කරන බැවින් පරිසර හිතකාමි ආයතනයක් ලෙස ද හින්දුස්ථාන් පැන්සල් සමාගම හඳුන්වන අතර, රටවල් 40 කට වඩා වැඩි ප්‍රමාණයකට තම නිෂ්පාදන ආනයනය කරන බවද, පැක්ස්කෝ සිලෝන් සමාගමේ අලෙවි කළමනාකරු ඒ.එස්. ලියෝන් මහතා අප සමඟ තවදුරටත් පැවසීය. 

http://www.silumina.lk/2014/02/23/_art.asp?fn=aj1402231

Facebook යන හැටි කියා දෙන්න ගුරුවරුන්ගේ සහාය

යන හැටි කියා දෙන්න ගුරුවරුන්ගේ සහාය

පාසල් සිසුන් ෆේස්බුක් හා අන්තර්ජාලය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව ශිෂ්‍යයන්ට නිසි දැනුමක් ලබාදීමට හා ඇතිවන ගැටලු තත්ත්වයන් පාලනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ තීරණය ගෙන ඇත්තේ පසුගියදා ෆේස්බුක් පරිහරණය සම්බන්ධයෙන් ඉතා අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පාසල් සිසුවියන්ගේ මරණ දෙකක් වාර්තා වීමත් සමඟය.
මේ අතර ෆේස්බුක් සම්බන්ධයෙන් වාරණයක් පැනවීම හෝ පාලනය කිරීමක් කළ නොහැකි බවත් කළ හැක්කේ එය සංයමයෙන් යුක්තව භාවිතයට ගැනීම සඳහා දරුවන් හැඩගැස්වීම බවත් පරිගණක විශේෂඥයෝ කියා සිටිති. වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව ද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (නීති) ගෞරී මොරගොඩ මහත්මිය පැවසුවාය.
‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ (SLCERT) සමඟ එක්ව ලබන මස මුල සිට පළාත් මට්ටමින් ගුරුවරු 20 දෙනා බැගින් තෝරා ගෙන අන්තර්ජාල භාවිතය, ෆේස්බුක් ආරක්ෂාකාරී ලෙස භාවිතය, ඒවායේ පවතින අනාරක්ෂිත භාවය ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් එම ගුරු පිරිසට ලබාදීමට නියමිතය.
මේ මූලික දැනුවත් කිරීම්වලින් අනතුරුව ඒ ගුරුවරු මඟින් අනිකුත් පාසල් ගුරුවරු හා ශිෂ්‍යයන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
මීට අමතරව සෑම පාසලකම පාසල් විනය කමිටුව හා පාසල්වල ඇති තොරතුරු තාක්ෂණ සංගමය (ICT) එක්ව අන්තර්ජාල පරිහරණය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළකට අවශ්‍ය චක්‍රලේඛයක් ද ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් ප්‍රධානීන් වෙත යැවීමට ද නියමිතය.

http://www.silumina.lk/

මවුපියන් ෆේස්බුක් ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි

මවුපියන් ෆේස්බුක් ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි

 ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත
ෆේස්බුක් එකෙන් යහපත් ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. ඒත් සමහර අය එක වැරැදි විදිහට පාවිච්චි කරනවා. මේ නිසා දෙමව්පියන් අවධානයෙන් සිටීම වඩාත් වැදගත්්‍. මං කියන්නේ දෙමව්පියන් මේ ෆේස්බුක් එකට ඇතුළත් වීම අවශ්‍යයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමත් අවශ්‍යයි.
එතකොට දරුවන්ට මේ වගේ වැරැදි වැඩ තරන්න බෑ‍. ඒ විතරක් නෙවෙයි මං කියන්නේ ගුරුවරුත් ෆේස්බුක් එකට ඇතුළත් වෙලා ඒ සම්බන්ධව දැනුමක් අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. එතතොට දරුවන්ට මේ වගේ වැඩ වලට යොමු වෙන්න බැහැ.
තමන් ගේ පවුලේ නෑදෑයන් සමඟ වුණත්ෆේස්බුක් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට පවුලේ සමූහික සහභාගිත්වයකුත් තියෙනවා. දරුවා බොරු කරන්නවත්,වැරැදි වැඩ කරන්නවත් බෑ. මේ නිසා මං කියන්නේ වැඩිහිටියන් වුණත්, මේ සඳහා දායක වෙන්න ඕනේ.එහෙම වුණේ නැති වුණහම තමයි මේ හැම ප්‍රශ්නයක්ම.
අනික්දේ තමයි.වැද්දක් කළ දරුවක්ට දඬුවමක් කරන ක්‍රමවේදයක් තියෙනවා. තැලුන කෙනෙක් තවත් තලන්න හොඳ නෑ.දරුවාගේ වැරැද්ද ආදරයෙන් අව‍බෝධ කරලා දෙනවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ. දරුවන් සිය දිවිහානි කරගන්නෙත් නෑ.මේ ප්‍රශ්නයෙන් වෙන්නේ ෆේස්බුක් වලටත් වඩා දරුවන්ට දඬුවම් කරන ක්‍රමවේදයේ වරදින්.

http://www.silumina.lk/2014/02/23/_art.asp?fn=af1402236

ෆේස් බුක් නිසා ආත්ම අභිමානය අඩුවෙනවා

ෆේස් බුක් නිසා ආත්ම අභිමානය අඩුවෙනවා

කැලණිය විශ්වවිද්‍යලයේ සමාජ ජාල පිළිබඳ බාහිර කථිකාචාර්ය
ශ්‍රියානන්ද රත්නායක
"ෆේස් බුක් පිළිබඳ වාරණයක් කරන්න බැහැ. අවුරුදු 13 න් පහළ අයට ඇතුළත් වෙන්න බැහැ කිව්වට අද පුංචි දරුවෝ පවා ඇතුළත් වෙනවා. මේ නිසා දෙමව්පියෝ දරුවන්ගේ සදාචාරාත්මක ගුණ දහම් වඩවන්න ඕනේ. එහෙම නැතිව මේ සමාජීය මාධ්‍ය ජාල වලට දොස් පවරලාවැඩක් නැහැ.
අසභ්‍ය වෙබ් අඩවි තහනම් කළා කියලා අද ඒවා වෙනත් මුහුණු වරකින් පැමිණිලා තියෙනවා. හැම දෙයක්ම හොඳ ක්‍රියාවන් සඳහා යොදාගන්නත් පුළුවන්. නරක ක්‍රියා සඳහා යොදා ගන්නත් ප්‍රළුවන්. මං දකින විදිහට ෆේස් බුක් මඟින් මිනිසුන්ගේ ආත්ම අභිමානය අඩු කරනවා.
මේ නිසා මිනිසුන්ගේ ඊර්ෂ්‍යාව වර්ධනය වෙනවා. ඇත්තටම අනිත් අයගේ දේවල් දැකලා මිනිසුන්ට පසුතැවිල්ලක් ඇති වෙනවා. මේ නිසා ෆේස් බුක් එකේ අහිතකර ප්‍රතිඵල තියෙනවා. නමුත් ෆේස් බුක් ඉවත් කරන්න බැහැ. එහි හොඳ දේ පමණක් දරුවන්ට ගන්න පුරුදු කරන්න ඕනේ.

http://www.silumina.lk/2014/02/23/_art.asp?fn=af1402236

ෆේස් බුක් මිනී මරනවා ද?

ෆේස් බුක් මිනී මරනවා ද?

තම තොරතුරු සහ ඡායාරූප ෆේස් බුක් මගින් මිතුරු මිතුරියන් ද දැන ගැනීමට සහ දැක ගැනීමට සැලැස්වීම ආරම්භයේ දී හුදෙකලාව නැති කර ගැනීමට සහ සමාජ සම්බන්ධතා පැවැත්වීමට රුකුලක් වුව ද ක්‍රමයෙන් එය විලාසිතාවක් විය. තමා කියවන පොත, අඳින ඇඳුම පමණක් නොව කන ආහාර පවා ඡායාරූප ගත කර ෆේස් බුක් පිටුවට යොමු කරන අයද සිටින බව පුදුමයට කරුණක් නොවන්නේ ය.
ශ්‍රී ලංකාවේ ෆේස් බුක් භාවිතය එසේ වන විට නොවැළැක්විය හැකි ලෙස අපරාධ ද ඒ සමගින්ම වාර්තා වීම ඇරඹෙන්නේ ය. මීට පෙර කොළඹින් බැහැර ප්‍රදේශයක එක් දරු මවක් සිය දිවි හානි කර ගන්නේ ෆේස් බුක් හේතුවෙන් ගොඩ නැඟුණු අනියම් සම්බන්ධයක් සැමියාට හසු වී ඒ සමග ඇති වූ ගැටුම් හේතුවෙනි. මීළඟ බිල්ල වූයේ කුරුණෑගල වෙනුෂා ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ෆේස් බුක් ප්‍රකාශයත් සමග සමාජ ජාලය අප සමාජය භාවිත කරන අන්දම නැවත කියවිය යුතුව ඇතැයි සිතේ. සැබවින් ම ෆේස් බුක් ඔය කියන තරම් භයානක වන්නේ ද? පිළිතුර ලෙස කිව යුතු වන්නේ නැත කියා ය.
ගැටලුව ඇත්තේ එය භාවිත කරන අන්දම සම්බන්ධයෙනි. අප වෙසෙන්නේ ඌණ සංවර්ධිත සමාජයක ය. බටහිර රටවල් තරමට අපේ ආර්ථීකය හෝ සමාජය සංවර්ධන වී නැත. එබැවින් අප සැමදා කළේ බටහිරින් ඇරැඹී ලෝකය පුරා ව්‍යාප්ත වන බොහෝ දේ ඌණ ලෙස භාවිතා කිරීම පමණක්මය. ඒවායේ හර පද්ධතීන් හෝ අපේ ම සංවර්ධනය සඳහා යොදා ගත හැකි යහ ලක්ෂණ හෝ අප භාවිතා කරන්නේ අවමයෙනි. නැතහොත් භාවිතා කරන්නේ ම නැත.
විනාඩි කිහිපයක් ෆේසු බුක් හි සැරිසැරීමෙන් ලබා ගත හැකි දැනුම විශාලය. ඒ අතර ඇතැමුන්ගේ චරිත ලක්ෂණ ද ‍හොඳින් තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ ය. වැඩි දෙනෙක් තම ෆේස් බුක් පිටුව භාවිතා කරන්නේ තමාවම උඩ දමා ගැනීමට ය. පිටුවේ මුලටම යොදන තම ඡායාරූපය හැබෑ ස්වරූපයට වඩා හාත්පසින් ම සුන්දර ය.
ඇතැමුන් ෆේස් බුක් පිටුවට එක් නමකුත් භාවිතයට එක් නමකුත් යොදා ගන්නේ ඇතැම් දේ හෙළිදරව් වීම වැළැක්වීමටය. ඇතැමුන්ට ෆේස් බුක් ගිණුම් රාශියකි. ඒ විවිධ නම්වලිනි. අරමුණූ විවිධ ය. සමාජයේ අප්‍රසිද්ධ මෙන්ම ප්‍රසිද්ධ බොහෝ දෙනා ෆේස් බුක් පිටුවේ අමුණන ඡායාරූප පෙන්වා දෙන්නේ ඔවුන්ගේ බොළඳකම් ය. නැතහොත් ඔවුන් පෙළන හුදෙකලාවයි. ප්‍රශංසාව පමණක් ඇසීමට දක්වන ලැදියාවයි‍.
මේ අතර නිර්භය අදහස් දැක්වීම් පමණක් නොව ඉතාම නිර්මාණාත්මක නායක පාලක විවේචනද ෆේස් බුක් හි නැතුවා නොවේ. එය එක් අතකින් අතීතයේ අපේ ගැමියන් ගොයම් කපා පාගා ගත් පසු කමතේ ඉදිරිපත් කළ කෝලම් සිහි ගන්වන්නේ ය. එදා ඔවුහු විවේචනය කළ නොහැකි දේ හාස්‍යයට ලක් කිරීමෙන් විනෝද වූහ. අද ද ෆේස් බුක් එදා කමත මෙන් ක්‍රියා කරනු එහි පිටු අතර සැරසරමින් රස විඳිමින් වටහා ගත හැකි ය.
කුරුණෑගල වෙනුෂා සිදුවිම ගැනද යමක් කිව යුතු ය. පාසල් දරුවන් අද ෆේස් බුක් ගිණූම් පවත්වාගෙන යනු අරුමයක් නොවේ ය. පරිගණකය අද ගෘහස්ථ භාණ්ඩයකි. එහෙත් පාසල් දරුවන් පරිගණකය විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ දී මවුපියන්ගේ අවධානය නම් අත්‍යවශ්‍ය ය.
අපේ ඉතා බහුතරයක් වැඩිහිටියන් අන්තර්ජාල සම්බන්ධය සහිත පරිගණයක් ඉදිරියේ හුදෙකලා වූ ගමන් ලිංගික දර්ශන සොයන බව රහසක් නොවේ. වැඩිහිටියන් ගේ චර්යාව එසේ නම් කුතුහලයෙන් පිරුණු ළමුන් ගැන කුමක් නම් කිය යුතු ද? අනික් අතට ෆේස් බුක් ගිණූමක් පැවතීම පාසල් වියේ දරුවන්ට එක් අතකින් කිසියම් සුදුසුකමක් සම්පූර්ණ කිරීමක් වැනිය. මම ෆේස් බුක් ඉන්නවා යැයි ආඩම්බරයෙන් පැවසීමට හැකිය. ‍ඒ සමගම කිව යුත්තේ අපේ බොහෝ වැඩිහි‍ටියන් ද තවමත් ඒ මට්ටමේ සිටින බවය.
දරුවෝ ඉක්මනින් ම අන්තර්ජාලයේ ආකර්ෂණීය දේ ග්‍රහණය කර ගන්නෝ ය. එය දරුවන්ගේ හැටි ය. ඔවුන්ට දරුවන් යැයි කියන්නේ ඒ නිසාය. දරුවන් සිටින්නේ වැඩිහිටියන්ගේ මග පෙන්වීම යටතේ ය. ඔවුන්ට හරි වැරැද්ද කියා දීම වැඩිහිටියන්ගේ වගකිම ය. යුතුකමය.
ආකර්ෂණීය දේ පමණක් නොව එතුළ ඇති හර පද්ධතීන් ද ග්‍රහණය කර ගනිමින් අන්තර්ජාලය භාවිත කිරීමට දරුවන් යොමු කිරීම වැඩිහිටියන් විසින් කළ යුතු ය. එහෙත් ගැටලුව ඇත්තේ අන්තර්ජාලය නිසි පරිදි භාවිතා කිරීමට අද වැඩිහිටියන් පවා දැනුම්වත් ද යන්නයි.
කුරුණෑගල වෙනූෂා ද ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන ගියා ය. ඒ සම්බන්ධව විදුහල්පතිට යම් යම් දේ ආරංචි විය. කණට වැටුණු දේ හරි වැරැද්ද සොයා බැලීමකින් තොරව දරුණූ වචන යොදමින් ඔහු වෙනූෂාට බැණ වැදුණේ ය. වෙනූෂා අවසන් වශයෙන් ලියා තිබූ දේඅනුව විදුහල්පති ඇයට බැණ වැදිමට භාවිතා කළ වචන ඉතා බැරෑරුම් ය.
පාසල් දරුවකුට නොව පොදුවේ කාන්තාවකට කළ හැකි උපරිම අපහාසය එහි අඩංගු ය. විදුහල්පති නියම වැඩිහිටියකු ලෙස ක්‍රියා කළේ නම් ඔහු කළ යුතුව තිබුණේ කණට වැටුණු දේ සත්‍ය දැයි තමා ම සොයා බැලීමය. නැතහොත් ‍වෙනූෂා ගේ ෆේස් බුක් ගිණූමට පිවිස ඇත්ත නැත්ත දැන ගැනීමය.
එහෙත් ඔහු එසේ කළේ නැත. ඇතැම් විට විදුහල්පති අපේ බොහෝ වැඩිහිටියන් මෙන් ෆේස් බුක් පරිහරණය කිරීමට නොදන්නවා විය හැකිය. එසේ නම් එය වෙනූෂා ගේ නොව විදුහල්පතිගේ දැනුමේ අඩුවක් ය. එහි දී විදුහල්පති සිටින්නේ වෙනූෂාටත් පහළින් ය.
වෙනූෂාගේ විදුහල්පති පමණක් නොව කණගාටුවට මෙන් අපේ බොහෝ විදුහල්පතිලා, ගුරුවරු මෙන්ම වැඩිහිටියෝ ද තාක්ෂණික දැනුම අතින් සිටින්නේ අපේ තරුණ පරම්පරාවට බොහෝ පිටුපසින් ය. එවැනි වැඩිහිටියන් සමග ගැටීමට වඩා සිය දිවි නසා ගැනීම හොඳ යැයි කෙනනෙකුට සිතෙන්නට වුව ද පුළුවන. කළ යුත්තේ වෙනූෂා වැනි දරුවන්ට හෝ ෆේස් බුක් සමාජ ජාලයට බැණ වැදීම නොව වැඩිහිටියන් තම අඩුව පුරවා ගැනීම ය.

“ෆේස් බුක් බලන්න නම් දරුවන්ට ඉඩ දෙන්න එපා”

හිමිදිරිය හෝරා කිහිපයකින් ඉක්මවා ගොස් තිබුණද හාත්පස පරිසරය තවමත් සිසිලසය. අතුරු සිදුරු නොමැතිව එක දිගට ඒ‍ මේ අත දුවන වාහන පෙළ අතුරින් අලුත්ගම නගරය කරා ඇදෙන බස් රථය පිටිගල බස් නැවතුමේ නතර විය.
බස් රථයට ගොඩවන්නට ‍ෙපාදිකන මඟීන් අතුරින් දිනේෂාත් බස් රථයට ගොඩවූවාය. අලුත්ගම නගරය දක්වා වේගයෙන් ඉදිරියට ඇදෙන බස් රථය කවුළුවෙන් ඇය පිටත බලා සිටියාය. දැඩි වියළි සුළඟින් සහ දුහුවිල්ලෙන් ඇගේ වත දැවටී තිබිණි.
උසස් පෙළ සඳහා දෙවන වරටත් පෙනී සිටිය යුතු හෙයින් විභාග අයදුම් පතක් රැගෙන ඒමට ඇය පාසල දක්වා පියනැඟුවාය. උසස් පෙළ විභාගයට තව එතරම් කාලයක් ඉතිරි වී නැත. ඕ ජීව විද්‍යා අංශයෙන් පළමු වර විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලයට යෑමට ප්‍රමාණවත් ලකුණු නොලැබූ හෙයින් දෙවැනි වරටත් ඇය උසස් පෙළට සූදානම් වූවාය. පොකුණුවලකඩ පාර කන්නන්ගර කෝරලගේ දිනේෂා තිලක්ෂි පිටිගල මන්නගොඩ උපන්නාය. ඇය ගාල්ල ජනප්‍රිය පාසලක උගැනුම ලැබුවාය. වෛද්‍යවරියක වීම ඇගේ සිහිනය විය.
දිනේෂා නිහඬය. ඉගැනුමට දක්ෂය. ඒ වගේම හරිම අහිංසකය. ඒ හෙයින් ගුරුවර ගුරුවරියෝ ද පාසලේ මිතුරියෝ ද ඇයව ප්‍රිය කළහ. උසස් පෙළ පළමු වරට ලිවීමෙන් අනතුරුව හුදකලාව නිවසේ ගෙවන ජීවිතය දිනේෂාට නීරස විය.
භද්‍ර යෞවනයේ සිටි නිසාම තම ජංගම දුරකථනයෙන් ෆේස් බුක් සමාජ වෙබ් අඩවියට යාමට සිතුවාය. ඇයට ඒ හරහා මිතුරු මිතුරියන් රැසක් හමුවිය. ඒ අතුරින් කෙදිනක හෝ දැක නැති තරුණයකුට ඇගේ සිත ඇදී ගියේය. ඇය රහසින් ඔහුට පෙම් ක‍ළාය. එය ඇගේ කුළුඳුල් ප්‍රේමය විය. එම තරුණයා ද ඇගේ කතාබහට ප්‍රිය කළේය. දෙදෙනාගේම ප්‍රේමය කාලයත් සමඟ දලු ලා වැඩෙන්නට විය.
දිනක් ඔහු ඇයට ආරාධනයක් කළේය. ඒ ඇගේ රුව තවමත් නොදුටු ඔහුට එය දැක ගැනීමට සලස්වන ලෙසය. වෙබ් අඩවිය හරහා දුටු ඔහුගේ රුව ඉතාමත් කඩවසම්ය. ඒ රුවට ඇය දැඩි සේ ප්‍රිය කළාය. පෙම්වතාගේ ඇවිටිල්ල නිසාම ඇය රුවැති තරුණියකගේ රුවක් ෆේස් බුක් හරහා ඔහුට දැකගැනීමට සැලැස්සුවේ ඒ පිළිබඳ දුර දිග නොසිතමිනි.
ඇය මුවැත්තියක මෙන් ඔහුගේ ආදරය, උණුසුම සෙව්වාය. ජීවිතේ නොලැබුණු අඩුව ඇය ඔහුගෙන් බලාපොරොත්තු වූවාය. කුඩා කල පටන් මවත් සහෝදරියන් දෙදෙනාත් සමඟ ගෙවූ ජීවිතය බොහෝ දුක්කම්කටොලු වලින් යුතු වුවද ඇය ‍මවට කිසිවක් ඉල්ලා කිසිදු දින ඇවිටිලි නොකළාය.
ෆේස් බුක් හරහා දුටු ඔහු‍ෙග් රුව හැබැහින් දැකීමට ඇය ප්‍රිය කළාය. එහෙත් මවට නොකියා හොර රහසේ ඔහු මුණගැසීමට ඇය කිසිදු දිනක නොසිතුවාය. ‍ෙම් අතර ෆේස් බුක් හරහා දුටු සුරූපිනිය හැබැහින් දැකීමට ඔහුට ද ඕනෑ විය. ඔහුගේ සිතේ ඇය කෙරේ උපන් ප්‍රේමය ෆේස් බුක් රුව දැකීමෙන් තව තවත් දලු ලා වැඩිණි. ඇගේ සැබෑ රුව දැකගැනීමට ඔහු නොඉවසිල්ලෙන් පසුවිය.
ඇය හමුවිය යුතු බව ඔහු කිහිප විටක් පැවැසූ නමුත් ඒ සෑම අවස්ථාවක්ම ඇය මඟහැරියාය. එහෙත් එදින නම් ඔහු පැමිණීම ඇයට කෙසේවත් නතර කරන්නට නොහැකි විය. දිනය පසුගිය 19 වැනිදාය. ඇය දෙවැනි වර උසස් පෙළ සඳහා අයදුම්පතක් රැ‍ගෙන ඒමට පිටිගලින් ගාල්ල බලා පාසලට යන බව ඔහුට පැවසුවාය. ෆේස් බුක් හරහා සය මසක් පෙම් කළ පෙම්වතිය දැකැගැනීමට ඔහු දුරු කතර ගෙවාගෙන අලුත්ගම නගරයට පැමිණියේය.
ඇය කෙරේ උපන් ප්‍රේමය ඇය අභිමුවෙහි කියා පෑමට ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියේය. එය සඳ ඉල්ලා හඬා වැටෙන තරම් නිෂ්ඵල අපේක්ෂාවක් යැයි ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. මේ හමුවීම නොපැහැදිලි අඳුරු සේයාවක් සේ බොඳවී යන සිහිනයක් වෙතැයි ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. ඇය අවිහිංසකය. ඔහු ඒ බව හොඳින් දැන සිටියාය.
ඇය කිසිවිටෙකත් තමා නොරවටන බව දැන සිටි ඔහු ඇය එන පෙරමඟ බලා සිටියේය. හෝරාවෙන් හෝරාව ගෙවී ගියද ඇය පැමිණියේ නැත. වියළි සුළඟින් සහ දූවිල්ලෙන් පරිසරය කෙඩෙත්තු වී ගොස්ය. ඔහුගේ දෑස් විඩාබර වී ගොස්ය. ඇය අයදුම්පත රැගෙන ඔහුට නොකියාම නැවත පිටිගල බලා පිටත් වූවාය. ඇය දහස්වර සිතින් හැඬුවාය. ඔහු මුණගැසීමට ඇගේ සිතත් නොඉවසිල්ලෙන් බලා සිටි මුත් ඇය ඒ අවස්ථාව මඟහැර ගියාය.
බටහිර අහසේ සැඳෑ හිරු බැසයමින් තිබිණි. එහෙත් ඔහු තවමත් අපේක්ෂා සහගතව ඇය එනතුරු බලා සිටියේය. තම පුතු තවමත් නිවසට නොපැමිණියේ මන්දැයි ඔහුගේ දෙමාපියෝ මඟ බලමින් සිටියහ. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දුන් දෙමාපියන්ට ඔහු පැවසුවේ දිනේෂා හමුවී මිස තමා නිවසට නොපැමිණෙන බවයි. එයින් කලබලයට පත් ඔහුගේ දෙමාපියෝ තම පුතු සමඟ ඇය සොයා ගියෝය.
ඔවුන්ගේ හදිසි පැමිණීම නිසා පියා සිටින ‍ප්‍රදේශයෙන් වහාම පියා කැඳවීමට දිනේෂාගේ මව උත්සුක වූවාය. පියා පැමිණීමෙන් පසුව එතෙක් වේලා නිවසේ කාමරයක් තුළ දොර අගුල් දාගෙන සිටි ඇය පිටතට ගෙන්වාගත් පියා තරුණයාටත් තම දියණියටත් පැවසුවේ දෙදෙනාගේ කැමැත්ත ඇත්නම් ඔවුන්ගේ ආශිර්වාදය ඔවුන්ට ලැබෙන බවය. එහෙත් ෆේස් බුක් හරහා දුටු ඒ සුරූපිණියගේ රුවට වඩා වෙනස් වූ දිනේෂා ගේ රුවට තරුණයා අකමැති නොවූවේය. එහෙත් ඔහුගේ දෙමාපියන් අතර යම් කතාබහක් ඇතිවූ නිසා දිනේෂාට කිසිසේත් එය දරාගත නොහැකි විය.
හිතේ තදකර උන් වේදනාව ඇය නිවසේ කිසිවෙකු‍ත් නොමැති වනතුරු ඉවසා සිටියාය. ඇය ඉකිබිඳ හැඬුවාය. තම මව ඇය සිතින් මතක් කර ගත්තාය. ඇය බොඳ වූ කඳුළු අතුරින් බිත්තියේ එල්ලා ඇති වෛද්‍යවරියක‍ෙග් රුව දෙස බැලුවාය. ඇය පෑනක් ගෙන සිතේ තදකරගෙන සිටි වේදනාව ලීවාය.
ඇය මවගෙන් සහ පියාගෙන් දහස් වරක් සමාව ගත්තාය. තමා කළ වරද නිවැරැදි කර ගැනීමට ඉඩ නොලැබුණ බව ඇය ලියා තැබුවාය. ෆේස් බුක් හරහා තරුණියන්ගේ රූපය දැකීම දැකීමට සැලැස්වීමෙන් වන අකටයුතුකම් නිසා ඇය ඇගේ රුව ඒ හරහා දකින්නට නොසැලැස්සූ බව කීමට ඇයට ඉඩ ලැබුණේ නැත.
“දුව ෆේස් බුක් එකේ තියෙන ගෑනු ළමයින්ගේ රූප අරගෙන කරන වැරැදි වැඩවලට බයේ එයාගේ රූපේ දාල නැත්තේ. ඒ වෙලාවේ ඒ දරුවා වරදක් කළා යන හැඟීමෙන් පිරිමි ළමයාගේ දෙමාපියෝ කතා කිරීම නිසා සමහර විට ඒ දරුවාට ලැජ්ජ හිතෙන්න ඇති. අම්මයි තාත්තයි ඒ නිසා අපහසුතාවයකට පත්වුණා කියලා දුව දුකෙන් ඉන්න ඇති. මම කිව්වේ ඔය දෙන්නට දෙන්න කැමැති නම් තීරණයක් ගන්න කියලයි. ඇගේ පියා කේ.කේ. සුමතිරත්න පැවැසීය.
එහෙත් මේ සිදුවීම් පෙළත් එක්ක ඇය කාටත් හොරා ජීවිතයේ අවසන් තීන්දුවට එළැඹී සිටියාය. මවගේ සාරියක් ගෙන ඇය ගෙල වැළලා ගත්තාය. මුවැත්තියක මෙන් අහිංසක ඇය මෙවැනි තීරයකට එළඹුණේ ඇයි? තම කුළුඳුල් ප්‍රේමයට ඇය දැඩිව අවංක වූවාය. ඇ‍ෙග් ජීවිතය තරම් ඇය ඔහුට පෙම් බැන්දාය.
ඇගේ නිසල දේහය ඔහු එනතුරු තබා ගෙල වැළලාගත් සාරි පොටේ ගැටය ලිහා දමන්න යැයි ඇය ලියා තැබුවාය. ඇගේ මවගේ සිහින සියල්ල බොඳ කරමින් ඇය මෙළොව හැර ගියාය. තමා නිසා දෙමාපියන්ට වූ වරද නිවැරැදි කිරීමට ඇය ගත් තීරණය කිසිවෙකුටත් අනුමත කළ නොහැකිය.
දරුවන් කරනු ලබන ඕනෑම වරදකට සමාව දීමට ‍මවුපියන් මැළිවන්නේ නැත. එහෙත් තමන් උස් මහත් කර සමාජයේ ඉහළ තැනකට ඔසවා තැබීමට වෙහෙසන අම්මාවරුන්ට දුකක් නොදීමට දූ දරුවන් වග බලාගත යුතුය.
“ජංගම දුරකථන හරහා මෙවැනි දේවල්වලට යොමුවෙන්න දරුවන්ට ඉඩ දෙන්න එපා. කිසිම අම්මා කෙනෙකුට මෙවැනි දුකක් වෙන්න එපා”. ඒ දිනේෂාගේ මවගේ ඉල්ලීම විය.
කෙසේ වෙතත් දරුවන්ට ජංගම දුරකථන භාවිතය අත්‍යවශ්‍ය කරුණකදී හැර මෙවැනි සමාජ වෙබ් අඩවි හරහා පිවිසීමට කිසිසේත් සුදුසු නොවන බව එච්.ඩබ්ලිව්.උදයකාන්ත පිටිගල පොලිස් ස්ථානාධිපති වරයා ද අප සමඟ පැවසු‍ෙව්ය.

ලේක්හවුස් කුටියෙන් නවීන මුද්‍රණ දැනුම

ලේක්හවුස් කුටියෙන් නවීන මුද්‍රණ දැනුම
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සිකුරාදා කුලියාපිටියේදී විවෘත වුණ දැයට කිරුළ ප්‍රදර්ශනයේ ලේක්හවුස් ප්‍රදර්ශන කුටියෙන් මෙරට නවීනතම මුද්‍රණ තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කර ඇත. ලේක්හවුස් කුටිය නරඹන සියලු දෙනාට පුවත්පත් මුද්‍රණය කිරීම ප්‍රායෝගිකව පෙන්වා දීමට කටයුතු කර තිබේ. ප්‍රදර්ශනය 27 වැනිදා දක්වා පෙරවරු 10‍ සිට රාත්‍රි දක්වා කුලියාපිටිය වයඹ විශ්ව විද්‍යාලය ඇතුළු ස්ථාන හතරකදී පැවැත්වේ. පාසල් නිල ඇඳුමෙන් එන දරුවන්ට මෙයට නොමිලයේ ඇතුළු වීමට හැකිය. ආරක්ෂක, සෞඛ්‍ය, ගමනාගමන පහසුකම් මේ සඳහා සලසා ඇත.

2014 - 02 - 23 silumina

Thursday, February 20, 2014

බෞද්ධ ධර්මාචාර්ය සමත් උපාධිධාරී දහම් පාසල් ගුරුවරුන් ගුරු සේවයට

බෞද්ධ ධර්මාචාර්ය සමත් උපාධිධාරී දහම් පාසල් ගුරුවරුන් ගුරු සේවයට

* ධර්මාචාර්ය සමත් දහසකටත් ගුරු සහායක පත්වීම්
* මෙලෙස පත්වීම් ලද පළමු අවස්ථාව මෙයයි

 ජනපතිගෙන් අධ්‍යාපන ඇමැතිට උපදෙස්

බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් උපාධිධාරී දහම් පාසල් ගුරුවරුන්, ගුරු සේවයට අනුයුක්ත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. මෙම විභාගය සමත් දහසක් ගුරු සහායකයන් වශයෙන් බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (18) පැවැත්විණි.
මෙ‍ෙලස පත්වීම් ලැබූ ගුරු සහායකයන් අතර උපාධිධාරීන් ද ඇතුළත් වන අතර, එම උපාධිධාරීන් මෙලෙස ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු සහායක පත්වීම් ලිපි ප්‍රදානය කළ පළමු අවස්ථාව මෙය වන අතර, වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරු සහායකයන් සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක දවුල්දෙන ඥාණිස්සර, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමිවරුන් ද, ඇමැති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන මොහාන්ලාල් ග්‍රේරෝ, නන්දිමිත්‍ර ඒකනායක, ඩබ්ලිව්. බී. ඒකනායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
.

මහින්ද අල්ගම චන්ද්‍ර මඩුළු ගීතය ලිව්වේ මගේ දුවටත් එක්ක

මහින්ද අල්ගම චන්ද්‍ර මඩුළු ගීතය ලිව්වේ මගේ දුවටත් එක්ක

ගීත රචනා කලාව, ගුවන් විදුලිය පෝෂණය කොට වෙන්ව ගිය මහින්ද අල්ගම පිළිබඳ විශාරද නන්දා මාලිනියගේ මතක සටහන්
මෙරට ළමා ගීත ක්ෂේත්‍රයේ සුවිශාල මෙහෙවරක යෙදුණු සුවිශේෂ පුද්ගලයෙකු ලෙස මහින්ද අල්ගම නම් කලා සහෘදයාගේ නම අමරණීය වේ. බොහොමයක් දෙනා අල්ගමයන් හඳුනන්නේ ගීත රචකයෙකු ලෙසිනි. ‘රුක් අත්තන මල මුදුනේ’, ‘චන්ද්‍ර මඩුළු යට’, ‘ස්වර්ණ ප්‍රදීපාය මාන’, ‘මල් සූටික්කෝ’, ‘රාං කුරුල්ලා රූං කියාගෙන’, ‘බාලොලියා මලක් වගේ’, ‘මන්දාරම් නිල් අහස වසනවා’ වැනි ඔහු අතින් රචිත ගීතයන් අදටත් කා අතරත් නොමැකෙන ලෙසින් සනිටුහන් වී අවසන්ය.
එහෙත් ඒ සොඳුරු සිහිවටන ඉතිරි කර අද ඔහු අප අතැර ගොසිනි. මෙරට කලාවට ඔහු විසින් කරන්නට යෙදුණු මෙහෙවර අවසන් කළා දෝ අපි නොදනිමු. එය දන්නේ ඔහු පමණි. වසර 53 කට පමණ ඉහත දී අල්ගමයන් ගුවන් විදුලියේ ළමා පිටියේ ළමා ශිල්පියෙකු ලෙසින් ක්ෂේත්‍රයට පිවිසියේ ‘සමනළ කන්ද’ ගීතය රචනා කරමිනි.
එදා මෙදාතුර මහින්ද අල්ගම නම් වූ ඒ සොඳුරු කලා හිතවතා පිළිබඳව සිය මතක අද යළිත් ආවර්ජනය කළේ විශාරද නන්දා මාලිනියයි.
‘මමත් මහින්ද අල්ගමත් අතර වූ හඳුනා ගැනීම වසර හතළිස් පහකටත් වඩා පැරැණියි. ගුවන් විදුලියේ ළමා පිටියේදී ඔහු සමඟ කටයුතු කරන්න මටත් අවස්ථාව ලැබුණා. අල්ගම කියන්නේ මෙරට ළමා ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නියැළුණු චරිතයක්. හැත්තෑව දශකයේදී තමයි ඔහු මට ‘රුක් අත්තන මල මුදුනේ’ ගීතය රචනාකර දුන්නේ.
‘රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරු ද එන්නේ
පුතුනි බලන්
යොමා නුවන්’
එදා ඔහු මෙම ගීතය රචනා කළේ මම මගේ ලොකු දුව සුරතල් කරන අයුරු දැකලා. ඇත්තටම ඔහු සුවිශේෂ ගීත රචකයෙක්. අපි පුංචි ළමයි නළවන්න නොයෙකුත් බොරු කතා කියනවානේ. ඒ වුණත් ඔහු මේ කතා බොරුයි කියලා පුංචි දරුවන්ට ඇත්තම කියනවා.
‘චන්ද්‍ර මඩුළු යට සුරංගනාවක්
දූ සනසන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ ගීත අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ’
ඔහු එය රචනා කළේ මේ අයුරින්. ඒ වගේම ළමා ගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ මෙහෙවර මේ තරම් යැයි අපට කවදාවත්ම කියන්න බැහැ. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර ගෙන් පසුවට ගුවන් විදුලියේ ‘ළමා පිටියට’ ආලෝකයක් රැගෙන ආවේ අල්ගමයන් විසින්. එය අපි විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඒ වගේම එදා ඔහුගේ ‘සංගීත සන්ධ්‍යාව’ වැඩ සටහන මට පැවරුවා. මේ මොහොතේ මම එය ගෞරව පූර්වකව සිහිපත් කරනවා. උසස් රස වින්දනයකින් යුතු හරවත් දෙයක් ඉදිරිපත් කිරීමේ උවමනාව තමයි අල්ගමට හැමදාම තිබුණේ.
එදා මහින්ද අල්ගමයන් විසින් ‘දැනුම වැඩුම’, ‘ළමා ගී’, ‘ළමා සංගීත සැන්දෑව’ වැනි ළමා වැඩසටහන් මෙන්ම ‘ගුවන් විදුලි රග මඬල’, ‘දැති මෝරා’, ‘මුවන්පැළැස්ස’, ‘බෝදිලිමා’ වැනි කොටස් වශයෙන් පළ වූ නාට්‍ය සහ ‘සේසතයි කුමරියයි’, ‘සාර භූමි’, ‘චාරිකා’ වැනි වැඩ සටහන් ද රාශියක් ක්ෂේත්‍රයට තිළිණ කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයකු ද ලෙසින් කටයුතු කළ ඒ මහතා දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට කුසලතා පූර්ණ ළමා ශිල්පීන් රැසක් බිහිකළ ගුරුවරයෙකු ද වේ.
‘අල්ගම හැමදාමත් ඇත්ත කතා කළ නිහතමානි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ තුළිනුත් මා එය දකිනවා. ඒ වගේම සොබා සෞන්දර්යයට ඔහුගේ නිර්මාණවල තිබුණේ ඉහළ තැනක්. එය මා අල්ගම තුළින් දුටු සුවිශේෂ ලක්ෂණයක්. ඒ වගේමයි ඔහු ඉතා නිශ්ශබ්ද චරිතයක්. දුක සතුට එක ලෙස විඳ දරා ගැනීමේ හැකියාවත් අල්ගම සතු වූ විශේෂ චරිත ලක්ෂණ අතර නොඅඩුව පිහිටා තිබුණා.
මෙරට ළමා ගීත ක්ෂේත්‍රය රැක ගන්නට ඔහුට විශාල උනන්දුවක් තිබුණා. එදා ළමා පිටියට නව පණක් ලබා දෙමින් ඔහු එම කර්තව්‍ය අපූරුවට ඉෂ්ඨ සිද්ධ කළා. පනස් පහක මගේ සංගීත චාරිකාවේත් ඔහුගේ ගීත අමරණීයව රැඳී තිබීම මට විශාල සතුටක්. ඒ වගේම මගේ සංගීත චාරිකාවට එය විශාල ශක්තියක්. අද ඔහු නිහඬවම අපෙන් වෙන් වී ගියත් ඒ සොඳුරු අතීත මතකය හැමදාම අමරණීයයි.”
සංගීත ක්ෂේත්‍රයට පමණක් නොව පුවත්පත් සංස්කාරකවරයෙකු ලෙස මෙන්ම පරිවර්තකයෙකු ලෙසින් ද හෙතෙම මාධ්‍ය මෙහෙවරක නියැළුණු මාධ්‍යවේදියකු ද වූයේය. එසේම ගුවන් විදුලි මාධ්‍ය වෙනුවෙන් උණ්ඩා සම්මානයෙන්, හොඳම ළමා ගී පද රචනා වෙනුවෙන් රාජ්‍ය සම්මානයත්, රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ මහගමසේකර අනුස්මරණ සම්මානයත් ඇතුළුව සම්මාන රැසකින් පුද ලබන්නත් ඔහු වාසනාවන්තයෙකු විය. නමුත් අද ඔහු සිය මෙහෙය අවසන් කොට නික්ම ගොස් ඇත්තේය. එහෙත් අප ඔහුගෙන් ලද නිර්මාණ සැමදා ජීවමානය. මහින්ද අල්ගම සොඳුරු හිතවතාණෙනි ඔබට නිවන් සුව!

ලෝක බාලදක්ෂ දින සැමරුම හා පා ගමන - මතුගමදී

ලෝක බාලදක්ෂ දින සැමරුම හා පා ගමන - මතුගමදී

බාලදක්ෂ ව්‍යාපාරය තුළින් පාසල් දරුවන් නායකත්වයට පුහුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලෙස පුරබොරේට් නමින් වැඩසටන් මාලාවක් සැලසුම් කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කටයුතු කර ඇත.
ඒ අනුව පෙබරවාරි 22 වන දිනට යෙදෙන ලෝක බාලදක්ෂ දිනය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් ප්‍රථම වරට පවත්වන ජාතික බාලදක්ෂ පුරබොරේට් කඳවුර මේ මස 21 සිට 23 දක්වා මතුගම ශාන්ත මේරි විද්‍යාලයේදී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින බාලදක්ෂ දරු දැරියන් බාලදක්ෂ නායක නායිකාවන් 1000ක් පමණ සහභාගී වීමට නියමිත.
මෙහි ආරම්භක උත්සවය ෙම් මස 21 වන දින පෙ.ව. 9.30ට ආරම්භ වේ. 22 වන දින සැන්දෑ කාලයේදී සොඳුරු සැන්දෑව හා ගිනිමැල සංදර්ශන ය ආදි විශේෂ වූ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා, බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමා හා ප්‍රාදේශයේ ප්‍රභූවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භක උත්සවය පැවැත්වේ.
.

8 වැනි දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය හෙට සිට

8 වැනි දැයට කිරුළ  ජාතික ප්‍රදර්ශනය හෙට සිට

‘ශ්‍රී ලාංකේයීය ජාතියේ පිබිදුම’ අටවැනි දැයට කිරුළ ජාතික සංවර්ධන මහා ප්‍රදර්ශනය හෙට (21) සවස 5.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේදී විවෘත කැ‍රේ. කුලියාපිටිය පිහිටි වයඹ විශ්වවිද්‍යාලය, කර්මික විදුහල සහ කුලියාපිටිය මධ්‍ය මහා විදුහල් භූමිය කේන්ද්‍රකොට අක්කර 162ක් පුරා දින හතක් තිස්සේ මේ මහා ප්‍රදර්ශනය පැවැත්වේ.
ජනාධිපතිතුමා, ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ජනාධිපති ආර්යාව ප්‍රධාන සම්භාවණීය අමුත්තන් හෙට සවස 5.00ට ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන දොරටුව අභියසට සපැමිණීමට නියමිතය. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලබන්නේ දැයට කිරුළ ප්‍රදර්ශන කමිටු සභාපති හා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, වයඹ පළාත් දේශපාලන අධිකාරියේ නියෝජිතයෝ ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු විසිනි. අනතුරුව පිරිස ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලබති.
හෙළ සංස්කෘතික අංගයන්ගේ අපූර්වත්වය රමණීය හා මනස්කාන්ත බව විදහා දක්වන නර්ථනාංගයක් පවත්වා සම්භාවණීය පිරිස පිළිගනු ඇත. පිරිස පිළිගැනීමේ කටයුත්ත ඇමැති රං‍ජිත් සියඹලාපිටිය මහතා විසින් සිදු කරනු ලබන්නේ ඉන් පසුවය.
ජනාධිපතිතුමාගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සිය කථාව සිදු කරනු ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශන කුටිය නරඹා සම්භාවණීය පිරිස තැපැල් දෙපාර්තමේන්තු කුටියට පිවිස එහිදී සමරු මුද්දරය නිකුත් කරනු ලබති.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ විවෘත කිරීමේ අභිමානවත් අවස්ථාවට විදේශීය තානාපතිවරු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු, රජයේ මැති ඇමැතිවරු, මහජන නියෝජිතයෝ මෙන්ම සර්ව ආගමික නායකයෝ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
පසුදින (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට්ටිපොළ බස් නැවතුම් පොළ හා වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම, හෙට්ටිපොළ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය, කුලියාපිටියමහ රෝහලට වෛද්‍ය උපකරණ බෙදාදීම, කුලියාපිටිය උසාවි සංකීර්ණය විවෘත කිරීම සිදු වේ.
වයඹ විශ්වවිද්‍යාල භූමි ශ්‍රවණාගාරයේදී සවස 3.00ට, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකේ ඉඩම් ඔප්පු 1000ක් පිරිනැමේ. අනතුරුව නැවත වතාවක් ජනාධිපතිතුමා දැයට කිරුළ ප්‍රදර්ශනය නරඹනු ඇත.
රාත්‍රී 7.30ට කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී වණිජ මණ්ඩල ව්‍යාපාරික සම්මේලනය සංවිධානය කරන හොඳම ව්‍යාපාරිකයන්ට හිමි සම්මාන ප්‍රදානෝත්සවයට ජනාධිපතිතුමා එක් වේ. මෙහිදී කුඩා මධ්‍යම සහ මහා පරිමාණ හොඳම ව්‍යාපාරිකයින් සඳහා සම්මාන 9ක් ප්‍රදානය කැරේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 23 වැනි ඉරිදා පුත්තලම දිස්ත්‍රික්කයේ ‍පොදු පහසුකම් කිහිපයක් ජනතා අයිතියට පත් කැරේ. එදින උදේ 10.00ට නවගත්තේගම මධ්‍ය මහා විදුහලේ තෙමහල් පරිපාලන ඒකකය හා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කැරේ.
උදේ 11.20ට වනාතවිල්ලුව බණ්ඩාරනායක මහ විදුහලේ තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම, පුත්තලම සහිරා ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීම, පාලවිය කල්පිටිය සංවර්ධනය කරන ලද මාර්ගයේ නොරොච්චෝල නගරයේදී විවෘත කිරීම සිදු කැ‍රේ. හලාවත හැලඹවටවන ශ්‍රී සද්ධානන්ද විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීම සිදු කරනුයේ සවස 4.30ටයි.
රුපියල් මිලියන පනස් දහසකට අධික මුදලක් වැය කොට කුරුණෑගල, පුත්තලම හා කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ පොදු පහසුකම් දියුණු කැරිණි. ඒ අනුව ජනතා සුබ සාධන ව්‍යාපෘති ලක්ෂ 1 1/2කට වඩා ක්‍රියාත්මක කොට ඇත.


http://www.dinamina.lk/2014/02/20/_art.asp?fn=n1402202

Tuesday, February 18, 2014

ළමා වැඩසටහන්වලට මුල් තැන දෙන ජාතික රූපවාහිනිය

ළමා වැඩසටහන්වලට මුල් තැන දෙන ජාතික රූපවාහිනිය

රූපවාහිනී මාධ්‍යය ශ්‍රී ලංකාවේ ස්ථාපිතවී වසර 30 කට අධිකය. මේ මාධ්‍ය විවිධ කාර්යයන් උදෙසා මෙම අවුරුදු 30 ක කාලය තුළ ප්‍රයෝජනයට ගත් බව අප දන්නා කරුණකි. විශේෂයෙන් විධිමත් නොවිධිමත් අධ්‍යාපන කාර්යයන් සම්බන්ධයෙන් එය විශාල සේවයක් කර ඇති අතර, එය තවත් දියුණු කළ හැකි බව ද අප දන්නා කරුණකි. ඒ අතර සමස්ත ළමා පරපුරට මෙමගින් අනුපමේය සේවයක් කළ හැකි බව ද පිළිගත යුත්තකි.
ළමා සාහිත්‍ය කෘති මගින් ළමා සිතට සිදුවන කාර්යය, දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍ය තුළින් ‍ළමා ලෝකය කේන්ද්‍ර ගත කරමින් තවදුරටත් ඉදිරියට ගෙන යාමට රූපවාහිනී ළමා වැඩසටහන් නිසා අපට අවස්ථාවක් ලැබී තිබේ. දැනට අපට දැන ගැනීමට ලැබී ඇති අධ්‍යයන තොරතුරු හා වෙනත් කරුණු අනුව රූපවාහිනී මාධ්‍ය පිළිබඳව ළමයින් තුළ ඇත්තේ විශාල ඇල්මකි.
මෙම ඇල්ම නිසා ම රූපවාහිනී ක්ෂේත්‍රය තුළ ළමුනටම යොමු වූ වෙනම වැඩසටහන් මාලාවක් ද ළමා වැඩසටහන් නිෂ්පාදන රටාවක් මත ගොඩ නැඟී තිබේ. මේ ඔස්සේ ළමයින්ගේ සාහිත්‍ය රුචිකත්වය හා ඒ කෙරෙහි දක්වන සහජ කෞෂල්‍යය දියුණු කර ගැනීමට ළමයිනට යෝග්‍ය පරිසරයක් ඇති කරගත හැකි ය.
රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ආරම්භවීමත් සමඟම මෙරට ජන ජීවිතයේ නොයෙකුත් වෙනස්කම් වලට හා පෙරළිවලට මූලික හේතුවක් විය. එදිනෙදා දෛනික ජීවිතයේ සිදුවීම් රූපවාහිනිය නිසා වෙනස් කරන්නට එසේත් නැත්නම් එයට හුරුවන්නට අපට සිදුවන බව නොරහසකි. මේ තත්ත්වය අනෙකුත් මාධ්‍යවලට මෙන් ම මෙරට සාහිත්‍ය ලෝකයට ද බලපෑවේය. රූපවාහිනිය ආරම්භ වීමට පෙරාතුව තැන තැන පල්වෙමින් පැවති සමහර මාධ්‍යන් මේ නිසා ලහි ලහියේ පිබිදී එන්නට පටන් ගැනිණි.
1979 වසරේ දී අප්‍රේල් මස ලංකාවේ මුලින් ම රූපවාහිනි සේවයක් ආරම්භ වුවද එහි ළමයින් වෙනුවෙන් වෙන්කර තිබූ විකාශන කාලය ඉතා අල්ප විය. 1982 ඇරැඹි ජාතික රූපවාහිනිය එයට වඩා වැඩි අවධානයක් ළමා පරපුර වෙත යොමු කොට ළමා වැඩසටහන් සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලදී. මෙය රූපවාහිනිය දියුණු වූ රටවල ද අනුගමනය කර ඇති අන්තර්ජාතික වැඩපිළිවෙළකි. සංවිධානාත්මක පසුබිමකින් යුක්තව ළමා මනසට ගෝචර වන සුදුසු වැඩසටහන් ඉදිරිපත් කිරීමට මේ ඒකකය දැඩි පරිශ්‍රමයක් දරා ඇත.
ජාතික රූපවාහිනිය මෙරට ආරම්භ වීමත් සමඟ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ජාතික රූපවාහිනියේ සුක්කානම මෙරට පරිණත විශිෂ්ටතම සිවිල් සේවකයන් තිදෙනාගෙන් එක් අයෙකු වූ කෘතහස්ත රාජ්‍ය නිලධාරියකු වූ එම්.ජේ. පෙරේරා මහතා වෙත පැවරිණි.
පෙරේරා මහතා තමන්ගේ ආයතනයේ සියලුම ඒකකවලට මෙරට සිටි කෘතහස්ත කලාකරුවන්, සන්නිවේදකයන් සම්බන්ධ කරගත්තේ ය.
ඒ අනුව, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැඩසටහන් තනතුරට එච්.එම්. ගුණසේකර ද නාට්‍ය ඒකක ප්‍රධානී ලෙස ධම්ම ජාගොඩ ද වාර්තා හා විචිත්‍රාංග ඒකකයේ ප්‍රධානී ලෙස මඩවල එස්. රත්නායකයන් ද ළමා ඒකක ප්‍රධානී ලෙස ආචාර්ය සාලමන් ෆොන්සේකා ද පත්කර ගනු ලැබිණි.
1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාවේ ළමා වැඩසටහන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරිණි. දෛනික විකාශ කාලයෙන් ඉතා වැදගත් කාල පරාසයක් ළමා වැඩසටහන් සඳහා ලබා දෙන ලදී.
ආචාර්ය සාලමන් ‍ෙෆාන්සේකා යටතේ ඉතා ශූර නිෂ්පාදක මඩුල්ලක් මඟින් කළ, මුතුහර, ගායනා, ළමා හුරුව, ළමා රඟමඩල, සැඳෑ රඟමඩල, රංගන වැනි සැලකිය යුතු දේශීය ළමා වැඩසටහන් රැසක් එකල කැපී පෙනිණි. ආචාර්ය ලලිතා සිරිබද්දන, සිසිර කොතලාවල, ශ්‍රීමතී ලියනගේ, ටී.ඇම්. සරත්චන්ද්‍රතිලක, රොහාන් වැලිවිට යන නිෂ්පාදක නිෂ්පාදිකාවන් අතින් ඒවා නිර්මාණය විණි. කලකට පසුව අනෝමා වත්තලදෙණියගේ සංකල්පනාවක් අනුව ළමා පුවත් වැඩසටහන ද එක් විය.
ජාතික වගකීම උසුලමින්, ජාතියේ අනාගත නායකත්වයට සරිලන සංස්කෘතික පසුබිම, දැනුම, ආකල්ප වර්ධනය හා කුසලතා පූර්ණ පරපුරක් එළිදැක්වීමට කැප වුණු ජාතික රූපවාහිනියේ ප්‍රධාන වැඩසටහනක් වන ‘මුතුහර’ ආරම්භ කර දැනට වසර 30 ක් ඉක්ම ගොසිනි.
ප්‍රථම මුතුහර වැඩසටහන මැදිරි අංක 1 හි 1982 මාර්තු 29 වන දින පටිගත කෙරුණු අතර, 1982 අප්‍රේල් 28 වන දින එය විකාශය විය. එදා සිට අද දක්වා ලංකාව පුරා ළමා සමාජ ලෙස ව්‍යාප්ත වෙමින්, අග්නි දිග ආසියාව සතු විශාලම ළමා සමාජ ජාලය ලෙස වැඩි දියුණුවී තිබේ. අද එය ඕස්ට්‍රේලියාව වැනි රටවල ද ක්‍රියාත්මකවේ. නුදුරු අනාගතයේදී එංගලන්තය හා ජපානය රටවල ද මුතුහර ළමා සමාජ ක්‍රියාත්මක වීමට නියමිත ය.
රට පුරා විසිර ඇති මෙම ළමා සමාජවල දරුවන්ගේ ගායන, වාදන, නර්තන, රචනා, චිත්‍ර, නිර්මාණ වැනි බොහෝ කලා කුසලතාවන්ගේ එළිදැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. දැනට ළමා ඒකකය තුළ ක්‍රියාත්මක කෙරෙන නව නායකත්වය යටතේ මේ ළමා සමාජවල සිටින දරුවන්ගේ අනෙකුත් කුසලතාවන් සැලකිල්ලට ගෙන, රූපවාහිනී කැමරාකරණය, සංස්කරණය හා වෙබ් අඩවි නිර්මාණය වැනි දක්ෂතා ද එළිදැක්වීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
ගීත සාහිත්‍යයක ඇරඹුම සටහන් කරමින් ආරම්භ කළ සිසිර කොතලාවලගේ ‘ගායනා’ වැඩසටහන ද ‘මොරගිරි ගමන’ ළමා ටෙලිනාට්‍යය ද මේ අතර කැපී පෙනේ. කැමරාවක් උපයෝගි කරගෙන බාහිරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කළ ප්‍රථම ටෙලිනාට්‍යය ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි.
රූපවාහිනි සංස්ථාව මගින් ළමා පරපුරට දෙනු ලබන නිර්මාණ අතරින් සෞන්දර්යාත්මක වැඩසටහන් බෙහෙවින් ජනප්‍රිය වී ඇත. එයින් නාට්‍ය, සංගීතය, නැටුම් සහ ක්‍රියාකාරකම් අඩංගු විශේෂාංග ළමා ප්‍රේක්ෂකයාට පිරිනමනු ලැබේ. රූපවාහිනී ළමා නාට්‍ය ඒකකය මගින් නාට්‍ය ඉදිරිපත් කිරීමේ දී ළමයින් විසින් ඉදිරිපත් කරන නාට්‍යවලට මෙන් ම ළමයා උදෙසා නිරූපණය කෙරෙන නාට්‍ය කෙරෙහි ද එක සමාන අවධානයක් යොමු කරයි.
“ගී මුතු අප නිෂ්පාදනය කරන ප්‍රශස්ත වැඩසටහනක්. මේ වැඩසටහනින් අනාගත ගායකයා හෝ ගායිකාව රටට හඳුන්වා දීම වාණි‍ජ පරමාර්ථවලින් තොරව සිදුවන්නක්. මේ සඳහා ළමුන්/ මවුපියන් සංගීත ගුරුවරුන් දක්වන උනන්දුව ඉතා ඉහළයි. ඒ වගේ ම ඔවුන් ජාතික නාළිකාව පිළිබඳ දක්වන විශ්වාසයත්, ජාතික නාළිකාව තුළින් තම දරුවන්ගේ කල එළි මංගල්‍යය සිදුවීමත් භාග්‍යයක් කොට සලකනවා. එක් වරකට ළමුන් 12000 කට අධික සංඛ්‍යාවක් ඉල්ලුම්පත් එවීමෙන් මේ බැව් පැහැදිලි වෙන බව ගී මුතු වැඩසටහන් අධ්‍යක්ෂ සුරනිමල ජිනේන්ද්‍රසිංහ පවසයි.
‘අපේ පැය’ අපේ නවතම ළමා වැඩසටහන් වලින් එකක් මෙහි විශේෂත්වය වන්නේ මවුපිය/ දූ දරු සියල්ලන්ම එකම වේදිකාවට ගෙන එමින් කිසියම් ආකල්පමය වෙනසක් ඔවුන් තුළ ඇති කිරීමයි. අභියෝග ජයගැනීම, සාමූහිකත්වය, නායකත්වය මෙහෙයවීම වැනි, අනාගත මිනිසා නිර්මාණය කිරීමට අවශ්‍ය සාධක මේ වැඩසටහන් තුළින් අප මතු කරනවා. ‘අපේ පැය’ අධ්‍යක්ෂ ලක්ෂ්මන් මුතුතන්තිරිගේ අදහසයි ඒ.
‘පැහැසරණිය’ වැඩසටහන තුළින් මෙරට පාසල් දුවා දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ජාතික තලයට ගෙන ඒමේ විධිමත් සැලැස්ම ඉටු වී තිබෙනවා. ඒ වගේ ම ජාතික නාළිකාවට ස්ථිර ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ වැඩසටහන තුළින් එක් වී තිබෙනවා. ‘පැහැසරණිය’ අධ්‍යක්ෂ ගාමිණී අබේවික්‍රම පවසන්නේ එවැන්නකි. ‘මුතුහර’ දැනටමත් අග්නිදිග ආසියාවේ ජනමාධ්‍යයන් හා සබැඳි විශාලම ළමා සමාජ ජාලයයි. මේ වැඩසටහන තුළින් මෙරට ජනමාධ්‍යයට එකතු කරන ශිල්පීන් බොහෝයි. ඈත ගම් දනව් වල දූ දරුවනට ජාතික තලයට එන්නට අවශ්‍ය මාර්ගය එළි පෙහෙලි වී තිබෙනවා.
“මුතුහර” අධ්‍යක්ෂ ‍උදාන්ත කමල් ගුණතිලක මහතා පවසයි.
පත්මසිරි ප්‍රනාන්දු ආරම්භ කළ ‘පරිගණක පාරාදීසය’ වැඩසටහන මෙරට සියලුම නාළිකා අතර ළමුන් සඳහා වෙබ් අඩවියක් ඇති එකම වැඩසටහනයි.
ජාතික අධ්‍යාපන ආයතනය හා සම්බන්ධව, ඔවුන්ගේ විෂය නිර්දේශයන්ට අනුකූලව නිෂ්පාදනය කරන ‘පෙර පාසල්’ විෂය සම්බන්ධ ‘හුරුබුහුටි’ අධ්‍යක්ෂණය කරන්නේ නාලනී ධර්මරත්නයි. 2013 වසරේ සුමති සම්මානයෙන් පිදුම් ලැබූ ‘මං ආසයි මට කියන්න’ දැනට වැඩසටහන් 64 ක් විකාශය කොට ඇත. මෙම වැඩසටහන් මාලාවේ පළමු අදියරේ දී අප අවට පරිසරය අසුරින් දරුවන් තුළ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ගහ කොළ, සතා සිවුපාවුන් හා මිනිස් සිරුරේ ඉන්ද්‍රිය පද්ධතිය, තාක්ෂණය වැනි දෑ ඉතා සරලව නාට්‍යානුසාරීව ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී දේශීය ජනවහරේ එන ජනශ්‍රැති, ප්‍රස්ථා පිරුළු හා ඓතිහාසික තොරතුරු පදනම් කරගනිමින් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහන වඩාත් සංවර්ධනය කර ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
සාම්ප්‍රදායික ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් බැහැරව නිර්මාණාත්මක, එමෙන් ම එය ළමා මනසට වඩා හොඳින් ගෝචර වන අන්දමින් ප්‍රවෘත්ති වාර්තාකරණය සිදු කරනු ලබයි. විශේෂයෙන්ම ගවේෂණාත්මක ප්‍රවෘත්ති තුළින් ප්‍රවෘත්තියක පවත්නා තොරතුරු පිළිබඳ අවබෝධය ලබා දීමට කටයුතු කෙරේ. ළමුන්ගේ සහභාගිත්වයෙන් වාර්තාකරණය සිදු කෙරෙන අතර එය ප්‍රවෘත්ති සඟරාවක් ලෙස ඉදිරිපත් කිරීමට අදහස් කරන බව නිෂ්පාදිකා මාලතී වීරසිංහ පවසයි.
මැලේසියාවේ A.B. U. ආයතනය සමඟ කලාපීය ළමා නාට්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉටු කරන ලද සමසාමූහික ළමා නාට්‍යය නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ළමා ඒකකය ඉදිරිපත් කළ ‘රත්තී’ ළමා ටෙලි නාට්‍යය 2008 ජර්මනියේ ප්‍රි ජුනෙස් අන්තර් ජාතික ළමා චිත්‍රපට උලෙළේ අවසාන වටය සඳහා තෝරා ගැනිණි. මෙය වසර 18 කට පසුව ළමා ඒකකය ලද අන්තර්ජාතික ජයග්‍රහණයකි. ‘රත්ති’ ආසියාවේ හොඳම ටෙලි නාට්‍ය හතර අතරට ද එම උලෙළේ දී එක් විය.
අප වෙත ලැබුණු ලෝකයේ වෙනත් රටවල ළමා නාට්‍ය ‘ටිකිරි ටිකිරි ටිකිරි කතා’ නමින් සිංහලට උප ශීර්ෂ නංවා ශිරාන් රත්නායක විසින් මෙරට ළමා පරපුරට දායාද කරනු ලැබීය‍.
2008 වර්ෂයේ පැවති සුමති සම්මාන උලෙළේ හොඳම කාලීන වැඩසටහන් 3 අතරට ළමා ඒකකයේ නිෂ්පාදනයක් එක් විය. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සඳහා නිෂ්පාදනය කළ ‘උදා වූ වසන්තය’ වාර්තා රංග මාලාවේ ‘පි‍බිදෙන කැකුළක්’ වැඩසටහන වූ මෙය පර්සි ජයමාන්න මහතාගේ තිර රචනයකි. මෙම වාර්තා රංගනය 2006 වසරේ විශිෂ්ටතම ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ජනමාධ්‍යවේදියා ලෙස සම්මාන දිනා ගන්නට මෙම ලියුම්කරු සමත් විය.
මෙතෙක් රූපවාහිනී ළමා වැඩසටහන් ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවයට ඇගයීමක් වශයෙන් ළමා ඒකකයේ නිෂ්පාදක සුරනිමල ජිනේන්ද්‍රසිංහ උදාන්ත කමල් ගුණතිලක, නාලනී ධර්මරත්න සහ මේ ලියුම්කරු සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන ඔවුන් වෙත පිරිනැමුණේ බොරැල්ල ළමා කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය මගිනි. රූපවාහිනී නාළිකාවන් වෙනුවෙන් ලබාදෙන ප්‍රශස්ත ඇගයීම් සම්මානය ද ඔවුන් මෙවර පිරිනැමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ය. එය ද රත්තී ලැබූ අන්තර්ජාතික ජයග්‍රහණය වෙනුවෙනි.
2010 වසරේ 15 වන සුමති සම්මාන උලෙළේ හොඳම ළමා වැඩසටහන ‘අපේ පැය’ සහ 2010 වසරේ මත්ද්‍රව්‍ය හා දුම්කොළ භාවිතය අවම කිරීමේ හොඳම රූපවාහිනී නිෂ්පාදනය ලෙසත් සම්මාන දිනා ගැනීමට ලක්ෂ්මන් මුතුතන්තිරිගේ සමත් විය.
සම්මාන
සතියේ සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.00 සිට ළමා ප.ව. 6.00 දක්වා ‘මිණි පහන් වැට’ ශීර්ෂය යටතේ ළමා වැටසටහන් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි. ඉරිදා දිනවල ප.ව. 4.00 ට ළමා පුවත් හා ප.ව. 6.00 ට මුතුහර විකාශය වන අතර, සෑම පෝය දිනකම ප.ව. 3.30 ට සවනක් රැස් හා ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා ‘දහම් බිම’ ළමා ආගමික වැඩසටහනක් විකාශය වේ.
මේ සියලු ළමා වැඩසටහන් මෙරට ජාතික සම්මාන උලෙ‍ළවලදී සම්මානයට පාත්‍රව ඇති අතර 2013 වර්ෂය වෙනුවෙන් සුමති සම්මාන උලෙළේදී ‘මං ආසයි මට කියන්න’ වෙනුවෙන් ජානක සුජීව ජයකොඩි මහතා ද, රාජ්‍ය සම්මාන උලෙළේදී වාල් කෛයිල් කනක්කු (ජීවිතය ගණන්) වෙනුවෙන් හොඳම දමිළ ළමා වැඩසටහන වෙනුවෙන් ශිරාන් රත්නායක මහතා ද සම්මානයට පාත්‍ර විය.
එදා මෙදා තුර ළමා ඒකකයට මග පෙන්වූවෝ ද මේ මොහොතේ මතක් කිරීම සුදුසුවේ යැයි සිතමි.
අනාගත විශ්ව මිනිසා තැනීමේ කාර්යයට සහය ලබා දෙන්නට අප ද සූදානම් ය. 1982 වසරේ ළමා ඒකකය පිහිටවීමේ දී ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා ඉතා ශූර නිෂ්පාදක මඬුල්ලකගේ සහය ලබා ගත්තේ ය.
“හොදම දේ ළමයින්ටයි” යන වී.අයි. ලෙනින්ගේ ශ්‍රේෂ්ඨ කියමන සිත්හි දරා ගෙන ජින් පියා‍ජියෝ ගේ අර්ථ දැක්වීමකට අනුව ‘දරුවන් කුඩා වැඩිහිටියන් බවට පත් නොකර’ ශ්‍රී ලාංකීය දරුවනට අතිශය වැදගත් වන දේශීය වැඩසටහන් නිපදවීමේ කාර්යයේ නිරතව සිටිමු.
http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=af14021622

රෑට හීතලයි; දවල්ට රස්නෙයි.

මේ වසරේ අපිටත් එල්නීනෝ එනවා

ලෝක කාලගුණ විද්‍යා සංගමය අනතුරු අඟවයි

ජල හිගයක් එන ලකුණු නියගයකට සුදානම් වෙන්
ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හා හිටපු කාලගුණ අධ්‍යක්ෂ
කේ. ආර්. අභයසිංහ
රෑට හීතලයි; දවල්ට රස්නෙයි. මේ දිනවල බොහෝ අය පවසන කතාවකි. මෙලෙස සිදුවන්නේ කාලගුණ වෙනසක් අපේ රටේ සිදුවන නිසා ද? ඒ සමඟම ඉදිරියට නියඟයක් එයි ද? ජල හිඟයක් එයි ද? අපි මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ. ආර්. අභයසිංහ සමඟ සාකච්ඡා කළෙමු. මේ ඒ සාකච්ඡාව ඇසුරෙන් ලියු ලිපියකි.
මේ දිනවල ශ්‍රී ලංකාවට සුළං එන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙනි. එම මාර්ගයේ සුළං ගලා එන්නේ වැඩිපුර ගොඩබිම ආශ්‍රිතවය. මේ සුළංවල ජල වාෂ්ප නැත. ඒවායේ සාපේක්ෂ ආර්ද්‍රතාව සියයට 60 කට අඩුය.
මේ නිසා මේ සුළංවල ස්වභාවය අනුව රාත්‍රියේදී අපේ ගතට සීතලක් ඇතිවේ. ඊට අමතරව මේ දිනවල රාත්‍රියෙහි සීතල ඇතිවීමටත් මල් තුහින ඇතිවීමටත් මීදුම ඇතිවීමටත් තවත් සංකීර්ණ හේතු ගණනාවක් අපේ වායුගෝලය තුළ සිදුවෙයි.
මේ කාලයේ පහළ වායුගෝලයේ වියළි බව අධිකය. මේ නිසා තවත් අලුත් සංසිද්ධියක් හටගනී. මේ දිනවල අප ජීවත් වන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයෙන් අඩු පරිසරයකය. ඒ අනුව අපේ ශරීරයෙන් පිටවන දහදිය ඉතා ඉක්මනින් පහසුවෙන් වායුගෝලයට උරාගනී.
පරිසරයේ මෙම භෞතික ලක්ෂණය ශරීරයට සිසිලසක් ඇති කිරීමට හේතු වී තිබේ. අපට මේ දිනවල රාත්‍රියට අධික සීතලක් දැනීමට තවත් හේතුවක් ඇත. අපේ රෝම කූප අසලින් නිකුත් වන දහදිය වාෂ්ප වී පරිසරයට නිකුත් වීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය හෙවත් වාෂ්පකරණයේ ගුප්ත තාපය අපේ ශරීරයෙන්ම ලබාගන්නා බැවින් අපට දැනෙන සීතල තවත් වැඩි වේ.
මේ දිනවල අහසේ වලාකුළු නොමැත. දවල්ට මේ නිසා රස්නයක් ඇති වේ. නමුත් රාත්‍රිය සිසිල්ය. මේ තත්ත්වය තව සති 2 ක් පමණ පැවැතීමට ඉඩ තිබේ.
මේ දිනවල අහස වලාකුළින් තොර නිසා භූ තලයෙන් නිකුත් කරන දිගු තරංග තාප විකිරණ කිරණ බාධාවක් නැතිව ඉහළ වායු ගෝලයට යයි. ඒ නිසා රාත්‍රියෙහි භූ විකිරණ නම් සංසිද්ධිය නිසා පෘථිවිය හා ඒ අවට වායු ගෝලය සිසිල් වේ.
මෙසේ අඩුවන උෂ්ණත්වයත් වායු ගෝලයේ සිසිල් බවත් නිසා මේ දිනවල රාත්‍රියේ හා අලුයම කාලයේ අපේ ගතට සීතල බවක් ඇති වේ. මේ කාලයේ ඇතිවන මල් තුහින හා මීදුම ඇතිවන්නේ ද අලුයම වන විට පෘථිවිය අසල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0 දක්වා පහළ බසින නිසාය.
මේ උෂ්ණත්වය අඩුවීම නිසා අපේ පෘථිවිය හා ඒ අසල පරිවර්ති ගෝලයේ පහළ මට්ටම්වල උෂ්ණත්වය තුෂාරාංකය වඩා අඩු වේ. මේ නිසා සන්තෘප්ත බවට පත්වන වායු මට්ටම්වල කුඩා ජල බිංදු ඇති වේ. මෙම ක්‍රියාව දිගටම නොකඩවා සිදුවූ විට ජල බිංදුවල ඝනත්වය වැඩි වී පෘථිවිය අසල වලාකුළක් වැනි ස්තරයක් නිර්මාණය වේ. මීදුම ලෙස අප හඳුන්වන්නේ මේ සුදු ස්තරයයි. කඳුකර ප්‍රදේශවල මෙන්ම පහතරට පවා මේ දිනවල අලුයම මීදුම බහුල වී තිබේ.
මේ සීතල නිසා නුවරඑළිය වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රදේශවල මල් තුහින ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. ඒ මල් තුහින නුවරඑළියේ ‍ගෝල්‍ෆ් පිටිය වැනි ස්ථානවල දැඩි සුන්දරත්වයක් ඇති කළත් එය කඳුකර ප්‍රදේශවල තේ හා එළවළු වගාවලට විශාල හානියකි.
මේ මල් තුහින නිසා තේ ගස්වල පුංචි අයිස් ස්තරයක් තැන්පත් වේ. ඒ සමඟම නුවරඑළියේ, බණ්ඩාරවෙල, වැලිමඩ යන ප්‍රදේශවල තේ පැළවලත් එළවළු කොළවලත් මල් තුහීන තැන්පත් වීම නිසා ප්‍රශ්න රැසක් ඇති වේ.
මේ එළවළුවලත් තේ ගස්වල දලුවලත් ඇතිවන මල් තුහීන ඉර නගින විට ජලය බවට පත්වී ජල වාෂ්ප බවට පත්වෙයි. මේ සඳහා අවශ්‍ය තාපය ලබාගන්නේ අදාළ ගසෙන්ය. තේ වැනි පඳුරුවල පත්‍ර ගණනාවක් මේ තත්ත්වයට ලක්වෙන නිසා සම්පූර්ණ පැළයම මේ අවස්ථාවේ මැල වී යයි.
මේ අනුව මල් තුහීන නිසා අමුතු ලස්සනක් ඇතිවුවත් එය විශාල ව්‍යසනයක පූර්ව ලක්ෂණයක් බව පෙනී යයි. මේ මල් තුහීන ඇති කාලයේදී අපේ ආර්ථික ප්‍රගතියට ද බලවත් හානි පැමිණෙන බව කිව යුතුමය.
මේ අතර ඉදිරි මාස 6 - 7 ඇතුළත අපේ රටටම බලපාන පරිදි ලොවටම දරුණු එල්නීනෝ තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංගමය පවසයි.
ඒ අනුව එහි විද්‍යාඥයන් මෙන්ම නාසා ආයතනයේ විද්‍යාඥයන් කළ පර්යේෂණ අනුව දැනටම ෆැසිපික් සාගරයේ සුළං ප්‍රවාහවල වෙනසක් සිදුවෙමින් පවතී.
විද්‍යාඥයන් පවසන පරිදි මේ එල්නීනෝ තත්ත්වයේ වෙනස්වීම නිසා අපේ රටට ඉදිරි නිරතදිග මෝසම් සමයේ ලැබෙන වැස්ස අඩුවීමට ඉඩකඩ තිබේ.
කෙසේ වුවත් මේ වසරේ එල්නීනෝ තත්ත්වයක් පැමිණියහොත් එය ඉතාමත් දරුණු වීමට ඉඩ ඇති බවට ද ලොව ප්‍රබල කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
මේ පිළිබඳව අප කළ යුත්තේ අවධානයෙන් සිටීමයි. කෙසේ වුවත් දැනටමත් ජල හිඟයක් ඇතිවී ඇති බැවින් ජලය අරපරිස්සමෙන් පාවිච්චි කිරීම ඉතා උචිතය. මේ පිළිබඳව දැනටමත් ජාතික ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය නැණවත් අයුරින් කටයුතු කරමින් සිටීම සතුටුදායකය. ඒ පිළිබඳවත් කවුරුත් දැඩි අවධානයෙන් පසු විය යුතු ය.
http://www.silumina.lk/2014/02/16/_art.asp?fn=af1402161

උගන්ඩාවේ දරුවන් බලන්නට නෑගම් ගිය ජනාධිපති ආර්යාව

උගන්ඩාවේ දරුවන් බලන්නට නෑගම් ගිය ජනාධිපති ආර්යාව


උගන්ඩාවේ පැවැත්වුණු වෛද්‍ය කඳවුරට සහභාගි වූ ලංකාවේ සහ උගන්ඩාවේ වෛද්‍ය කණ්ඩායම
උගන්ඩාව යනු සුපිරි පෙළැන්තියේ ජනප්‍රිය රාජ්‍යයක් නොවේ. කලෙකදී ඉඩිඅමින් නම් කුරිරු පාලකයාගෙන් බැට කෑ දරිද්‍රතාවයෙන් පෙළුණු එහෙත් වත්මන් ජනපති යුවේනි මුසවේනි මැතිතුමන්ගේ පාලනය හමුවේ හිස එසවීමට වෙරදරමින් සිටින අප්‍රිකානු කලාපයේ තවත් රාජ්‍යයකි.
උගන්ඩාවේ සෞඛ්‍ය දර්ශක ඉතා අඩු අගයන්හි පවතී. එහි ජනගහන වර්ධන වේගය සියයට 3.4ට වැඩිය. දළ උපත් අනුපාතිකය 46.5කි. මාතෘ මරණ අනුපාතිකය උපත් ලක්ෂයකට 435කි. උපතේ දී ආයු අපේක්ෂාව වයස අවු 56කි. මීට අමතරව ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතී.
ශ්‍රී ලංකාවේ දක්නට නොමැති මැලේරියා රෝගය බහුල රටකි. ඒඩ්ස් රෝග ව්‍යාප්තිය සියයට 7කි. ක්ෂයරෝගය වෙනත් ආකාරයේ ‍බෝවන රෝග සහ මන්ද පෝෂණය බහුල වශයෙන් පවතී. බීමට ගන්නා ජලය විශාල ගැටලුවකි.
ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය සෙනෙහසේ දෑත් දිගු කළේ මෙවන් පරිසරයක පිහිටි අනාථ නිවාසයක වෙසෙන දරුවන් පිරිසකගේ සුබසාධනය වෙනුවෙනි.
උගන්ඩාව යනු ශ්‍රී ලංකාවට හිතවත්ව කටයුතු කරන තවත් ලෝක දේශපාලනයේ ප්‍රබල රාජ්‍යයකි. එහි ජනපති යුවේනි මුසවේනි මැතිතුමන් විසින් ශ්‍රී ලංකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගෙන් කළ එක් ඉල්ලීමක් වූයේ එහි පවතින සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලබා දෙන ලෙසයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ඉල්ලීම සතුටින් බාරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ වෛද්‍ය කණ්ඩායමක් උගන්ඩා රාජ්‍යයේ වෙස්කෝ දිස්ත්‍රික්කයේ මසුලිටා ග්‍රාමයේ පිහිටි ඒඩ්ස් ආසාධිත දරුවන් පිරිසක් මුල් කරගෙන වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි. මෙම මහඟු පුණ්‍යකර්මයේ ගෞරවනීය නායකත්වය උසුලන ලද්දේ ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසිනිය.
ජනපති ආර්යාව ලෙසට රාජකාරිමය වගකීම් රැසක් ඉසිලුවද දරුවන්, මවුවරුන් සහ ගිලන් වූවන් වෙනුවෙන් ජීවිතයේ වැඩි කාලයක් කැප කරන මෙම උතුම් කාන්තාවගේ සේවාවන් ගැන කෙටියෙන් හෝ සඳහන් කිරීම මගේ යුතුකමකි.
 උගන්ඩාවේ ඒඩ්ස් ආසාදිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මඟින් ඉදිකිරීමට යෝජිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තැබූ අයුරු.
ශිරන්ති රාජපක්ෂ මැතිනිය කාල්ටන් පෙර පාසල් සමූහයේ නිර්මාතෘ මෙන්ම පාලන අධ්‍යක්ෂිකාව ද වේ. එහි ඉ‍ෙගන ගන්නා දරුවන් සංඛ්‍යාව දහස් ගණනකි. ආරම්භයේ සිට පසුගිය කාලය තුළ දැයට දායාද කෙරුණු දක්ෂතා ඔප් නැංවූ දරුවන් ද දහස් ගනණකි. සිරිලිය සවිය ප්‍රජා සත්කාරක සේවාව හරහා උපකාර ලබන සහ ජීවිතය ගොඩනංවාගත් දැ‍යේ මවුවරුන් ගණන අතිමහත්ය.
එමෙන්ම එම ඒකකයේ ක්‍රියාත්මක වන ගිලන් රථ සේවාව හරහා උපකාර ලබන සහ උපකාර ලැබ සුවපත් වූ රෝගීන් ගණන වයස් භේදයකින් තොරව දහස් ගණනකි. ලෝකයේ කුමන හෝ රාජ්‍යයක ජනපති මැඳුරක ගිලනුන්හට නේවාසික පහසුකම් සමඟ උපකාර සත්කාර කෙරේ නම් ඒ ශ්‍රී ලංක‍ාවේ ජනපති ආර්යාව විසින් කරනු ලබන සේවාව පමණි.
මීට අමතරව පිළිකා රෝගීන්හට සත්කාර කිරීම ද අක්ෂි ආබාධ සඳහා උපකාර කිරීම, රෝහල් වෙත අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ද ප්‍රමුඛ ස්ථානයක් ගනී.
ශ්‍රී ලංකාවේ මාර්ග පහසුකම් පවා නොමැති ඉතා දුෂ්කර ප්‍රදේශවල පසුගිය වසර කිහිපය තුළදී පවත්වා ඇති වෛද්‍ය සායන ගණන තිහකට වැඩිය. මෙම සේවා සලසන ලද්දේ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ සංකල්පයකට හා ම‍ඟ පෙන්වීමට අනුව නිර්මාණය කරන ලද කාල්ටන් සුව උදාන සෞඛ්‍ය හා සමාජ සත්කාරක සේවාව තුළිනි.
විවිධ ‍ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් නවීන පරීක්ෂණ පහසුකම් සහ සේවා ඔස්සේ ප්‍රතිලාභ ලැබූ ජනතාව දහස් ගණනකි. එමෙන්ම මෙහිදී රෝද පුටු, කිහිලිකරු, අත්වාරු, කෘත්‍රිම පාද ලබා දීම මෙන්ම පාසල් සඳහා පරිගණක, ක්‍රීඩා භාණ්ඩ, සංගීත භාණ්ඩ, පොත්පත් හා අනෙකුත් උපකරණ ලබා දීම වැනි බොහෝ සමාජ සත්කාරක ක්‍රියා ද ඉටු කෙරේ.
එමෙන්ම ලාංකේය නව ජන්ම ළදරු සත්කාරක සේවාවන් වෙනුවෙන් ද හෘද රෝගී දරුවන් ද තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන් සහ ඔටිසම් රෝගී දරුවන් වෙනුවෙන් ද උපකාර කිරීමට ආර්යාව පෙරමුණ ගෙන සිටින බව සඳහන් කළ යුතුය.
දැයේ ප්‍රථම කාන්තාව මෙන්ම ඇය දේශයේ මාතාව ලෙස හැඳින්වීම ද අතිශයෝක්තියක් නොවේ. මෙම උතුම් චරිතය දැයේ ප්‍රථම කාන්තාව වීම ලක්වැසි අප ලද භාග්‍යයකි.
ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ උගන්ඩා සංචාරය ශ්‍රී ලංකාවට අතිශය කීර්තියක් ගෙන දුන් බෙහෙවින් සාර්ථක සංචාරයක් බව සඳහන් කළ යුතුය. මේ වෛද්‍ය සායනය සැලසුම් කිරීම ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා උගන්ඩා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ආර්යාවගේ මඟ පෙන්වීම අනුව සිදුවිය.
සුහද කතාබහක
වෛද්‍ය පහසුකම් ගැන විමසමින්
ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකු ඇතුළු නව දෙනෙකුගෙන් සමන්විත විය. පුරා දින දෙකක් ස්ථාන දෙකක දී සිදු කෙරුණු වෛද්‍ය කඳවුරුවලට පිරිස දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ. මෙහිදී ඒඩ්ස් ආසාධිත නව රෝගීන්, මැලේරියා රෝගීන්, ක්ෂයරෝගීන්, පෝෂණ ඌනතාව අධික දරුවන්, සංජානනීය ආබාධ සහිත දරුවන්, සංකූලතා ඇති ගැබිණි මවුවරුන් සහ අක්ෂි ආබාධ සහිත දරුවන් හා වැඩිහිටියන් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනාගැනීමට හැකි විය.
උගන්ඩා රජයේ සහයෝගය ඇතිව මේ සියලු රෝගීන් සඳහා පසු සොයා බැලීම් සහ පුනරුත්ථාපන කිරීම් ලබා දීමට කටයුතු සම්පාදනය කෙරිණ. ඉන් තෝරා ගැනුණු දරුවන් කිහිප දෙනකු සුවපත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ලබා දීමට එකඟතාවයකට එළැඹිණ.
මීට අමතරව ආර්යාවගේ විශේෂ අවධානය යොමු කෙරුණු කරුණක් වූයේ ආරක්ෂිත ළමා හා මාතෘ සංරක්ෂණ වැඩ පිළිවෙළක අවශ්‍යතාවයි. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය ලබා දීමට මැදිහත්ව කටයුතු කිරීමට එකඟ විය.
මේ වෛද්‍ය කඳවුරුවල කටයුතුවලට අමතරව එම අනාථ නිවාසයේ සහ ප්‍රජාවේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු වස් ශ්‍රී ලංකා රජයෙන් පරිත්‍යාග කෙරෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා මුල් ගල තැබීම ද ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නා ගසක පැළයක් රෝපණය කිරීම ද ආර්යාව විසින් සිදු කෙරිණ.
මේ කඳවුර පැවැත්වුණු කාලය පුරා සෑම අවස්ථාවක දීම සියලු කටයුතු සඳහා උගන්ඩා රජයේ ප්‍රසාදය සහ සහයෝගය නොමසුරුව ලැබිණි. එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ උගන්ඩා රජයේ ජනපති ආර්යා ජැනට් මුසවේනි මැතිනිය පැවසුයේ ශ්‍රී ලංකා රජයේ ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් දරුවන් කෙරෙහි දැක්විය යුතු ආදරය කරුණාව හා සෞඛ්‍ය පිළිබඳ අවධානය කෙරෙහි උගන්ඩා ආර්යාවගේ දෑස් පාදන ලද බවත් ඒ මඟ පෙන්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනපති ආර්යාවට ස්තුතිවන්ත වන බවත් ශ්‍රී ලංකා ජනපති ආර්යාවගේ පැමිණීම උගන්ඩාවේ දරුවන්හට ආශිර්වාදයක් වූ බවත්ය.
උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපති කේ.කණනාදන් මහතා ප්‍රකාශයක් කරමින් මෙම සත්කාරවල ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර අන්‍යොන්‍ය අවබෝධය හා සම්බන්ධතාව ඉතා දැඩි වූ බවත් මෙවන් වූ වෛද්‍ය කඳවුරු අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්ත කළ යුතු බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව අප්‍රිකානු කලාපය තුළ ඇති බැඳීම තවදුරටත් වර්ධනය කළ හැකි බවටත් කරන ලද වෛද්‍ය කඳවුර තුළින් උගන්ඩා රජයට මහත් ප්‍රතිලාභ අත්වූ බවත් ප්‍රකාශ කරන ලදී.
මේ සියලු කරුණු සලකා බැලීමේ දී ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ උගන්ඩා සංචාරය අතිශයින් සාර්ථක රටට මහත් ප්‍රතිලාභ අත්කර දුන් මෙන්ම දරුවන් රෝගීන් සහ මවුවරුන් කෙරෙහි ආර්යාව ගේ කැපවීම අන්තර්ජාතිකව ඇගැයීමට ලක්වූ අවස්ථාවක් බව සඳහන් කරනු කැමැත්තෙමි.


Sunday, February 16, 2014

"මහින්දයියා"


"මහින්දයියා" ක්‌ෂේත්‍ර රැසක විශිෂ්ට කුසලතා ප්‍රකට කළ නිහඬ මිනිසෙකි. ඔහු ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය පිටුපස හඹා නොගිය එසේ හඹා නොයැමට අප හුරුපුරුදු කළ අපේ ගුරුවරයෙකි. කවියෙකි. ගීත රචකයෙකි. නොම්මර එකේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකි. රූ රටා සැලසුම් ශිල්පියෙකි. පත්තර කර්තෘවරයෙකි. මේ සියල්ලමත්, තවත් බොහෝ දේ ත් සමග ගුවන්විදුලියේ මාස්‌ටර් කල්ලියේ සාමාජිකයෙකි.

මහින්ද උත්සාහ කළේ අත ගසන හැම වැඩක්‌ම අලුත් තාලයකට, වෙනස්‌ ආකාරයකට කිරීමට ය. ගුවන් විදුලියේ ළමා රංග පීඨය වැඩසටහනට ඔහුගෙන් එක්‌වුණු ප්‍රභාවම ඊට නිදසුන් දෙයි. ළමා රංග පීඨය ඔහුට පැවැරුණු විට ඒ කාලයේ ගුවන්විදුලි නාට්‍ය ක්‌ෂේත්‍රයේ සිටි ප්‍රවීණයන්ගේ උසස්‌ නිර්මාණ ඊට සම්බන්ධ කරගත්තා පමණක්‌ නොව, බොහෝ නවක රචකයන්ටද පෙරමඟ විවර කළේය. කරුණාතිලක හඳුවල, කිතුල්ගල කල්‍යාණි අමරසිංහ, කපිල කුමාර කාලිංග වැනි නවක රචකයෝ ඒ අතර වූහ. මම ද ඒ ගණයේ කෙනෙක්‌මි.

ළමා රංග පීඨයෙන් පන්නරය ලද නළු නිළියෝද බොහෝය. ඒ අතරින් සිහියට එන නම් කීපයක්‌ පමණක්‌ සඳහන් කිරීම පිළිබඳව කමා කරනු මැනවි. පරාක්‍රම පෙරේරා, රෝහණ සිරිවර්ධන, මාලක මිහිර බණ්‌ඩාර, කැලුම් විඡේසූරිය, සුනන්දා සරත් සේකර (දැන් හෙට්‌ටිආරච්චි), ගීතා කාන්ති සහ ඇගේ තනියට ආ නංගියා රත්නා ලාලනී, අසෝක අතාවුදහෙට්‌ටි, ලලිත් සිරිවර්ධන, කමල් දේශප්‍රිය, කරුණාතිලක හඳුවල, පුංචි නිරංජලා හෙවත් නිරංජලා ප්‍රියන්ති පෙරේරා ඒ අතර වූහ.

"මහින්දයියා" සමග අපට රැළේ වැටෙන්නට ඉඩකඩ සැලසුණේ හැත්තෑ දෙකේ නැතිනම් හැත්තෑ තුනේ පමණ සිටය. ඒ කාලයේ අප වරු ගණන් හැන්දැවල් නාස්‌ති කළේ ගුවන්විදුලි ළමා නාට්‍ය සම්ප්‍රදායේ වෙනසක්‌ කිරීමට අවශ්‍ය සැලසුම් පිළිබඳ මූලික සාකච්ඡා පැවැත්වීමටය. මේ සාකච්ඡා කෙතරම් දුරදිග ගියාද කිවහොත් සමහර අපේම මිතුරෝ මහින්දටත්, හඳුවලටත්, මටත් මූලික සාකච්ඡා කියමින් විහිළු කළෝය. ඇත්තෙන්ම ඒ කාලයේ හැටියට මේ මූලික සාකච්ඡාවට සෑහෙන මුදලක්‌ ද වියදම් විය. හඳුවල මේ සියලු වියදම් තම දිනපොතේ ලිව්වා මට මතකය.


ඒ කාලයේ ගුවන්විදුලි ළමා නාට්‍ය සීමාවී තිබුණේ තාත්වික සහ ශෛලිගත සම්ප්‍රදායනට පමණකි. අපට අවශ්‍ය වූයේ මේ මානයන් වඩාත් පුළුල් කරලීමටය. ලෝකයේ ළමා පරපුර ජයගත් බහුතර චරිත තාත්වික හෝ ශෛලිගත හෝ චරිත නොවීය. යථාර්ථවාදී චරිත නොවී ය. ටින් ටින් චිත්‍ර කතා මාලාවේ කැප්ටන් හැඩොක්‌, ප්‍රොෆෙසර් කැල්කියුලස්‌, තොම්සන් සහ තොම්ප්සන් වැනි චරිතද, වෝල්ට්‌ ඩිස්‌නිගේ මිකී මවුස්‌, ඩොනල්ඩ් ඩක්‌ වැනි චරිතද අපේ චර්යාවන්ට ඉහළින් දිවෙන ෆැන්ටසි චරිත ය.

අපට ඕනෑ කළේ මේ 
ෆැන්ටසිය ලංකාවේ ගුවන්විදුලියට ගෙන ඒමටය...·

මහින්දයියා විවිධ පුස්‌තකාල ඇසුරු කරමින් ලෝකයේ ජනප්‍රියත්වයට පත් ළමා ටෙලි නාටක හා චිත්‍රපට පිළිබඳ තොරතුරු සොයා අපට කීවේය. ඒ කාලයේ මේවා නැරැඹීමේ වාසනාවක්‌ හෝ පහසුකමක්‌ අපට නොවිණි (දැන් රූපවාහිනියෙන් "වන්ඩර්ෆුල් වර්ල්ඩ් ඔ
ෆ් වෝල්ට්‌ ඩිස්‌නි" නරඹන විට ඒ කාලයේ මහින්දයියා සොයා ගෙන ආ තොරතුරු මට සිහිපත් වෙයි.)

අවසානයේ අත්හදා බැලීමක්‌ ලෙස 
ෆැන්ටසි චරිත එක දෙකක්‌ ඇති ළමා නාට්‍යයන් අපි කළෙමු. යථාර්ථය සහ මායාව එක්‌තැන් කෙරුණු කෘතියක්‌ මහින්දයියා සොයා ගෙනැවිත්, කොටස්‌ වශයෙන් ප්‍රචාරය වන ෆැන්ටසි නාට්‍යයක්‌ ලියන ලෙස කීවේ ඉන් පසුවය. මමත් හඳුවලත් එය ලිවීමු. කාර්ලෝ කොලොඩි නම් ඉතාලි ජාතිකයාගේ "පිනෝකියෝ" කථාව ඇසුරෙන් සකස්‌ කළ එය අප නම් කළේ "රූකඩ පැංචා" යනුවෙනි.

අපේ මූලික සාකච්ඡා ප්‍රතිඵලදායී විය. රූකඩ පැංචා අතිශය සාර්ථක හා ජනප්‍රිය විය. මේ සම්ප්‍රදායම ඉදිරියට ගෙන යමින් ස්‌වතන්ත්‍ර නිර්මාණයන් කිරීම අපේ ඊළඟ පියවර විය. ඒ සඳහා මම "ජිල්ජෝන් සහ ලන්දේසි දූපත" ලීවෙමි.

පසුව එය ලිවීම සඳහා හඳුවල ද හවුල් විය. ඒ කාලයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ සරත් අමුණුගම මහතා ලන්දේසි දූපත අප හමුවේ හැඳින්වූයේ "ඔයගොල්ලන්ගේ කාටූන් නාට්‍යය" යනුවෙනි.

අමුණුගම මහතාගේ ඒ හැඳින්වීම තුළ ගැඹුරු අරුතක්‌ විය. 
ෆැන්ටසි චරිත, ගුවන් විදුලියට ගෙනැවිත්, ශ්‍රව්‍ය මාධ්‍යයකින් කාටුන් පෙන්වීමට අප සමත් වී ඇත.

මේ ව්‍යායාමයට මහින්දයියාගෙන් ලැබුණු දායකත්වය සහ මඟපෙන්වීම අතිවිශිෂ්ටය. එමෙන්ම මේ නාට්‍ය ගුවන්විදුලිය සඳහා නිෂ්පාදනය කිරීමේදී ඒවාට ඔහුගෙන් එක්‌වූ ශ්‍රව්‍යමය සත්කාරය ඉතා ඉහළ තලයක විය.

අදටත් මඟතොට හමුවන මිනිස්‌සු අපෙන් ජිල්ජෝන්ලා, වැන්දබෝනලා ගැන මෙන්ම ලන්දේසි දූපත ගැනත් විමසති. නමුත් ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ පර්යේෂණ කරන්නවුන්ට මෙන් ම ඒ පිළිබඳ විමර්ශන ලියන්නවුනට තාමත් මේ ව්‍යායාමය "මිස්‌" වී තිබේ. එපමණක්‌ නොවේ. ඔවුනට මහින්ද අල්ගම ද "මිස්‌" වී තිබේ.

මහින්දගෙන් ගුවන්විදුලියට වූ සේවාවන්ගෙන් එකක්‌ පමණි මේ. නො ලියපු සහ මා ද නොදන්නා සේවාවන් තව බොහෝය. ඉදිරියටත් ඒ සේවාවන් ඉටුකරලීමට මහින්ද සූදානම්ය. කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පරිසරය ඔහුට සකස්‌ කරදීම පමණකි.

හයිකු සම්ප්‍රදාය පදනම් කරමින් බණ්‌ඩාර කේ. විඡේතුංග කෙටි කවි කීපයක්‌ රචනා කළ විට මහින්ද, බණ්‌ඩාරේව ඇසුරු කරමින් හයිකු කවි හැදෑරුවා මට මතකය. හයිකු සම්ප්‍රදාය ගුවන්විදුලියට ඉතා ගැළපෙන බව මහින්දගේ මතය විය. කෙටි ගුවන් කාලයක්‌ තුළ වචන ස්‌වල්පයක්‌ මගින් ගැඹුරු පණිවුඩයක්‌ හෝ අරුතක්‌ හෝ ඉදිරිපත් කිරීමට හයිකු සම්ප්‍රදාය මගින් හැකිය.

මහින්ද ලියූ හයිකු සම්ප්‍රදායේ කවියක්‌ දෙකක්‌ මට සිහිපත් වේ.

"රේල් පාර උඩ ටොනික්‌ මූඩියක්‌...

ඔබයි සිග්නල් කණුව...·"

මේ කවිය ඔහු ලීවේ කොටුවේ ඩොමීනියන් හෝටලයේ දී බ්‍රිස්‌ටල් පැකට්‌ටුවක ඇතුළේ ඇති ඇළුමිනියම් කොළයේ යට පැත්තේ ය.

"බීමත් වූ දිනෙක

පොල් රුප්පාව අතරින්

පෑයූ සඳෙහි

හරි අඩක්‌

වේයන් කා

තිබිණි·"

ඒත් මහින්දගේ කවකි.

බීම සම්බන්ධයෙන්ද , මහින්දයියා සම්බන්ධයෙන්ද බොහෝ රස කථා තිබේ. ඔහු පදිංචිව සිටියේ නුගේගොඩ දුම්රියපළ පාරේය. මධුවිත ඇසුරු කළ පසු බස්‌රථවල හිටගෙන යැමට ඔහු කැමැති වූයේ නැත. ඒ නිසා කොතැන බිව්වත් ඔහු මුලින් ම කළේ පිටකොටුවට යැමය. එවිට නුගේගොඩ පැත්තට යන බසයක ඉඳගෙන යැමට හැකිය. මෙසේ පිටකොටු යැම ඔහු හැඳින්වූයේ "උප්පත්තියට" යැම යනුවෙනි.

"සමහර දවස්‌වල නුගේගොඩින් බීපු වෙලාවටත්, පුරුද්දට උප්පත්තියට යනවා.... ගිහින් ආපහු නුගේගොඩට එනවා" දිනක්‌ මහින්දයියා කීය.

මහින්දගේ චර්යාවන් නිරූපණය කරමින් ඒවා හාස්‍යයට ලක්‌ කරමින් මම ගීයක්‌ පට බැඳ ඇත්තෙමි. "නුගේගොඩින් දුම්රිය පළ පාරේ..." ආදී වශයෙන් පටන් ගන්නා ඒ ගීතයේ ඔහුව හඳුන්වන්නේ "අල්ගම මල්ලී" යනුවෙනි.

මිත්‍ර සමාගමට රොද බැඳුණු විට මේ ගීතය ගයන ලෙස ඉල්ලා සිටින්නේත්, ඒ ගීතය වැඩියෙන්ම රස විඳින්නේත් මහින්ද ය.

ඔහු ඒ තරම් ම අපූරු සුන්දර මිනිසෙකි.

නමුත් ඔහු අකැමැති එක්‌ දෙයකි. මහින්ද යන්නට අමතරව ඔහුගේ උප්පැන්නයේ තවත් නමකි. ඒ නමද ඇතුළුව ඔහුගේ සම්පූර්ණ නම කියනවාට නම් ඔහු අකැමැතිය.

සමන් අතාවුදහෙට්‌ටි

1995 නොවැම්බර් 19 "ඉරිදා දිවයින"