Sunday, February 21, 2016

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ...

“තෙලෙං බැද්දත් කොබෙයියා‍

කිරෙං බැද්දත් කොබෙයියා
තෙලෙං බැද්දත් කිරෙං බැද්දත්
කොහොම බැද්දත් කොබෙයියා”

අපේ ගම්වල ගැමි දනන් ඉතා හොඳින් දන්නා ඉහත සඳහන් රබන් පදය මෙතැන්ට අදාළ වන්නේ, වෙනත් කාරණයක් නිසා ය. ඒ රබන් පදයේ තාලයට ගම මහගෙ කෙනෙක් ‍සිය රුසිරුමත් තරුණ දියණියට බැණ වදින්නී ය.
“තෝව දෙන්නෙත් නරියටයි
‍තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත්
තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි”
ගම මහගෙගේ බැණුමට ලක්වන්නී, ගම දුව ය. ඇය සිය මව සමඟ දර කඩන්නට බැදි වැදුණ ද, ඈ කඩන දරක් නැත. පිරීතිරුණු යෞවනයෙහි පසු වන මේ දැරිය, දර සොයන්නේ නැතිව මලින් බර වුණ නව ඇහැළ ගස් දුටු මතින් ගීයක් ගයන්නට වන්නී ය. එසඳ කෝපයට පත් වන මෑණියන්ගේ මුවට යට සඳහන් වදන් නංවන්නේ, සුප්‍රකට නාට්‍යවේදියකු හා සාහිත්‍යධරයකුව සිටි දිවංගත දයානන්ද ගුණවර්ධන ය.
මීට අවුරුදු පනස්පහකට පෙර 1961 වස‍ෙර්දී වේදිකාගත වුණු නරි බෑනා නාටකය, දයානන්ද ගුණවර්ධනයන් අන්‍යාර්ථයෙන් හඳුන්වන අභිධානයක් වැන්න. මේ තරමට පොදුජන විඥානය හා බැඳුණු අනෙක් නාටකයක් ඉකුත් අඩසියවස පුරාම වේදිකාව මත දර්ශනය වූයේ නැත. නරි බෑනා වූ කලී කිසිදු ජාති කුල ගොත් හෝ වයස් හෝ භේදයකින් තොරව, මුළු මහත් ජනතාවගේ ම හද බැඳගත් ඉතා සුන්දර සරල නාටකයක් විය. එයට හේතු කොතෙකුත් දැක්විය හැකිය.
මුල්ම කාරණය නම්, මෙම නාටකය ජනප්‍රවාදයේ ආ කතා දෙකක් ඇසුරු කොටගෙන නිම වන ලද්දක් වීම ය. ඊට ද අමතරව මනමේ නාටකය සමඟ බිහිව ආ සිංහල ශෛලිගත නාටකය මඳ දුරකට වෙනස් කොට, අර්ධ ශෛලිගත තත්ත්වයකට පැමිණවීමෙන් වඩාත් සරල සුගම රීතියක් අනුගමනය කරන්ට එහි නිර්මාතෘෘන්ට හැකි වීම ය. ඒ හේතුකොට ගෙන නරි බෑනා නාටකය විදග්ධ රසික වින්දනය ඉක්මවා යෙන ජනප්‍රිය රසික වින්දන තලයකට අතික්‍රමණය වූ බැව් පෙනී ගියේ ය.
එහෙත් මෙම නාටකයේ ජනප්‍රියත්වයට වඩාත් ම හේතු ව‍ූයේ, එහි දක්නා ලද නාටක රීතියයි. දයානන්ද ගුණවර්ධනයෝ අතිශයින් ම නිදහස් රීතියක් අනුගමනය කරමින්, අපගේ ජන කවිය අනුගියහ. ඔහු රබන් පද සහ සවුදම් අනුව යෙමින්, නාටකයේ පිටපත සකස් කිරීමත්, එහි පිටපත ගැමි රීතියක් මත පිහිටුවා කරළියට ගෙන ඒමත් හේතුවෙනි, නරි බෑනා නාටකය විශේෂතම කෘතියක් බවට පත් ‍වනුයේ. යට සඳහන් කළ ආකාරයට, ගමරාලගේ බිරිඳ සිය දියණියට බැණ වදින්නේ, “තෙලෙං බැද්දත් කොබෙයියා” යන රබන් පද තාලයට ය.
නරි බෑනා කතාව දිග හැර දැක්වීම මෙතැනට අදාළ වෙතැයි කිසිසේත් ම සිතෙන්නේ නැත. මෙහිලා ගුණවර්ධනයන්ගේ ගී පද රචනා කලාව හඳුන්වනු සඳහා අවස්ථා දෙක තුනක් පමණක් සඳහන් කිරීම උචිත වෙයි. නිදසුනක් හැටියට, ගම දුව බලන්ට දෙමාපියන් පැමිණි අවස්ථාවේදී ප්‍රීතියෙන් කුල්මත් වන නරියාගේ මුවට නංවන වදන් විමසනු වටියි.
“ඉතින් සැනසෙන්න
හොඳින් පුළුවන්නෙ
දෙමවුපියො දෙන්න
ඇවිත් අර ඉන්නෙ
මෙතෙක් උඩ පැන්නෙ
ගමෙන් එනකන්නෙ”
ආදී වශයෙන් එන ගායන ඛණ්ඩය නිමවා ඇත්තේ, “බොලං පොඩි නංගි ටිකක් හිටපං - බුලත් විට කන්න ටිකක් හිටපං” යන ජනප්‍රිය රබන් පදය අනුකරණයෙනි.
අද අපගේ විමසුමට ලක් වන ඉතා සුප්‍රකට අතිශයින් ජනප්‍රිය ‘කුමටද සොබනියෙ’ යන ගීතය ද ගුණවර්ධන විසින් නිමවා ඇත්තේ, සිංහල ජන කවි - ගී සම්ප්‍රදාය මත තරව පිහිටා ය. එතැන්හිදී රචකයා ආභාසය ලබා ඇත්තේ, අප ජන සාහිත්‍යයේ එන මොනරිඳු සවුදමෙනි.
“ඉර පායන කල මොනරිඳු දෙදෙනෙක්
ඉරට නැමී වඳිතෙයි
මොනරිත් මොනරත් පිල් විදහාගෙන
සූරිය රුකුඳ ගතෙයි
රුඳ රුඳ රුකුඳත් රුකුඳ ගතෙයි”
ඒ අනුව රචකයා, දීගයෙන් පසුව නරියා විසින් ගම දියණිය සනසනු පිණිස ගයන සුප්‍රකට ගීතය නිර්මාණය කරයි.
“කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගෙ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබහට හැම සැප එහි දෙන්නම්...”
දයානන්ද ගුණවර්ධන ගී පද රචකයකු වන්නේ, ඔහු විසින් ලියා වේදිකාගත කරන ලද නාටක පද්ධතියක් හේතු කොටගෙන ය. ඒ මිස, ඔහු හුදු සම්ප්‍රදායික අර්ථයෙන් ගීත ප්‍රබන්ධකයකු වන නිසා නොවෙයි. ඔහුගේ ගීතය ඔහු නිමවන නාටකයේ ම අත්‍යවශ්‍ය කොටසකි. එතෙකුදු වුවත්, පරිසමාප්ත ගීත නිර්මාණයකට අවශ්‍ය වන කවිතා ගුණය කෙරෙහි ද, ඔහු සිය නොමඳ අවධානය යොමු කළ බවට මෙම ගීතය උචිතම නිදසුනකි. දයානන්ද ගුණවර්ධනයන් මෙම ගීතයෙහිලා අප බස වහරන්නේ, අතිශයින් ම ප්‍රතිභාමත් කවියකු සේ ය. “හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන”, “මල් පෙති විහිරුණ සුදු වැලි මතුපිට‍‍”, “තණ අග දිලිසෙන පිනිකැට අරගෙන”, “ඉර පායන විට පුබුදින මල් ගෙන” යන පාද කිහිපය විමසා බැලුව මැනවි. එතැන්හි ඇත්තේ, අපගේ ජන කවියෙහි හෝ ජන ගීතයෙහි හෝ නොදක්නා ලැබෙන කවිතා ගුණයකි. සැබැවින් ම මෙම ගීතයට පාදක කරගන්නා මොනරිඳු සවුදමෙහි නැති කවිත්වයකි, එහිලා ඉස්මතුව පෙනෙන්නේ‍.
සිංහල නාටකය අතිශයින් ම සංකීර්ණ වූද විදග්ධ වූද අවධියකට පිවිස සිටින මෙසමයෙහි, නරි බෑනා වූකලී, නොදරුවන්ගේ නාටකයක් නොවේ දැයි කෙනෙකුට සැක සාංකා හිතෙන්ට බැරි නැත. එතෙකුදු වුවත්, අසීමාන්තික සංකීර්ණත්වයෙන් ද විදග්ධභාවයෙන් ද හෙම්බත් වුණු සමාජයකට, කිසියම් අවස්ථාවකදී නරි බෑනා නාටකයෙහි වන සරල සුන්දරත්වය තියුණු ආකාරයෙන් දැනෙන්ට ඉඩ ඇත. එසේ වන්නේ ඇයි? දයානන්ද ගුණවර්ධනයන් නාටකය ආරම්භයේදීම, යාචක ස්වරූපයෙන් කරළියට පැමිණෙන ගායකයකුගේ මුවට නංවන මෙවදන් රැස ඒ සරල පැනයට පිළිතුරකැයි සිතෙයි.
“බොහෝ ඉස්සර අපේ ගම්වල සමාදානය සතුට තිබුණා බණ දහම් බෝ හොඳින් පිළිපැද මිනිස්සුන් හරි හොඳින් හිටියා සතා සීපා කියා නොබලා යුක්තියට හැම දේම කෙරුවා ආරාවුල් නෙක ඇති වුණේ මුත් කිසිම කලබලයක් කළේ නැහැ නිවි හැනහිල්ලේ තෝරා බේරා ගන්න වෑයම් කළා හැම විට ඒ නිසාදෝ වෙන්නැ ඉස්සරකැලේ සත්තුත් කතා කෙරුවේ අනේ ඒ කල හැටි සොබාවක් පෙනේ නම් දැන්, අපේ දෑසට” අනේ ඇත්තටම, එකල හැටි සොබාව දැන් අපේ දෑසටත් පෙනේ නම්!
  

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි