Sunday, February 21, 2016

සරුසාර අඟහරු ගොවිබිම්වල ඇවිද යමු!












නාසා ආයතනයෙන් අපූරු පෝස්ටර් එකතුවක්
ටයිටෑන් චන්ද්‍රයා මත බෝට්ටු චාරිකාවක යෙදෙන්නට හෝ අඟහරු මත ඇති සරුසාර ‍ගොවිබිම්වල  අතර ඇදී යන්නට ඔබ කිසිදා සිතා සිටියේද? මනස්ගාත ලෙස කෙනෙකු දකින්නට ඉඩ ඇති මේ අපේක්ෂා දර්ශනීය පෝස්ටර් පෙළකින් ඉදිරිපත් වී තිබේ. අනාගතය දැකීම යන තේමාව ඔස්සේ පෝස්ටර් 14ක එකතුවක් ලෙස නාසා ආයතනය එලෙස එළි දක්වා ඇත්තේ අදින් සියවස් ගණනකට පසු අභ්‍යවකාශ සංචරණය තිබෙනු ඇත්තේ කොතැනද යන ප්‍රශ්නයට දිය හැකි පිළිතුරුය.
“බ්‍රහස්පති දක්වා ඇති අවසන් නැවතුම” යනුවෙන් සඳහන් පෝස්ටර අභ්‍යාවකාශ සංචාරකයන් දෙදෙනකු වාමන ග්‍රහලොවක් මතදී සිය වතුර බෝතල් පුරවාගන්නා අයුරු දැක්වේ.
සෙනසුරුට අයත් විශාලම චන්ද්‍රයා වන ටයිටෑන් මත හයිඩ්‍රොකාබනවලින් සැදුම්ලත් සාගරයේ බෝට්ටු පදින සංචාරකයන් දැක්වෙන තවත් පෝස්ටරයකි. සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ දැනට සොයාගෙන ඇති තොරතුරු මත පදනම් වෙමින් ඒකායේ විවිධත්වය පිළිබිඹු කිරීමටද මේ පෝස්ටර් සැලසුම් ශිල්පීන් වග බලාගෙන ඇත. ජනතාව තුළ ඇති විශ්වය පිළිබඳ කුතුහලය පැහැදිළි කරගැනීමේ ආසාව තවත් තීව්‍ර කිරීමද මෙහිදී අපේක්ෂා කෙරිණි.
දෘෂ්‍ය උපක්‍රම ශිල්පියකු වන ඩෑන් ගුඩ්ස් පවසන පරිදි අනාගතය නිර්මාණය කිරීමේදී පරිකල්පනයට හිමි වන්නේ තීරණාත්මක ස්ථානයකි. අද අප ක්ෂේත්‍රයේ කරමින් ඇති බොහෝ දෑ මීට දශක ගණනාවකට එපිටදී චිත්‍ර ශිල්පීන් හා විද්‍යාඥයන් කරන ලද උපකල්පනයන් මත පදනම් වී තිබේ. “මේ ගමනාන්ත සියල්ල අප දැනටමත් දන්නා සැබෑ තැන් සමහර විට අනාගතයේ දවසක මානවයාට එහි යාමට හැකි වේ. ගුඩ්ස් පවසයි. මේ පෝස්ටර් සියල්ල පාහේ සැලසුම් කර ඇත්තේ විද්‍යාත්මක සමර්ථතාව මත පදනම්වය. ඒවා චිත්‍රණය කළ ශිල්පීන් විද්‍යාඥයන් හා පර්යේෂකයන් සමඟ එක්ව ක්‍රියාකර ඇත.
“කවදා හේ දිනක සිදුවිය හැකි යැයි අපේක්ෂා කරන දෙයක් වඩාත් හොඳින් ඉදිරිපත් කිරීමට අප මෙහිදී තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වය ලබා ගත්තා” යනුවෙන් ගුඩ්ස් පැහැදිළි කරයි. පෝස්ටර්වල ඇති ගුණාත්මක මෙන්ම නිර්මාණාත්මක උසස් බව ගැන ඔවුන් කල්පනා කර තිබූ අයුරු ඉන් ඔප්පු වේ.
මෙම අභ්‍යවකාශ සංචරණ පෝස්ටර් එකතුව දකින අයකුට එක් වරම සිහියට නැඟෙනු ඇත්තේ පශ්චාත් ලෝක යුද සමයේ ජනප්‍රිය වූ පෝස්ටර් සහ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ඇතැම් පෝස්ටර්ය. මේවා නිර්මාණය කිරීමේ දී ඒවායේ ආභාෂය ද ලබාගෙන ඇත.
අඟහරු මත ජනපද බිහිව ඇති අයුරු දැක්වෙන පෝස්ටරයේ ජලය මෙන්ම සරුසාර වගා බිම් ද දැකිය හැකිය. තවත් පෝස්ටරයකින් මහා අභ්‍යවකාශ චාරිකාවකට එක්වන ලෙස ඇරියුම් කර තිබේ.
“අද වෙනකෙට අපි සංචාරක ව්‍යාපාරයේ දැන්වීම් සඳහා යොදාගන්නේ ඡායාරූප. ඒත් පැරැණි සංචාරක පෝස්ටර් හරිම අරුමැසි ආකාරයට නිර්මාණය කර තිබෙනවා. මෙහිදී අපි ඒවා ගැනත් සිතුවා...” ඒ, සැලසුම් ශිල්පී දොන් ක්ලාක්ගේ පැහැදිලි කිරීමයි.
සුබවාදී බව, අපේක්ෂා සහ ගත බව මෙන්ම වර්ගීකෘත බවද මේ පෝස්ටර්වල තුළ ගැබ්වී තිබේ. ඒවායේ සමස් අදහස ගොඩ නැ‍ඟෙන්නේ අභ්‍යාවකාශ සංචරණය දිරි ගැන්වෙන අයුරිනි‍
“අඟහරුගේ ඓතිහාසික තැන් කලා ප්‍රවේශපතක් යන තේමාව ඔස්සේ නිර්මාණය වූ පෝස්ටරය නූතනවාදී මෙන්ම විනෝදකාමී අදහස් මතු කරන්නේය. අභ්‍යාවකාශගාමියාගේ හිසට ඉහළින් රෝවරයක රෝදක්ද කියුරියෝ සිටි යානයද තිබේ. අඟහරු මත ප්‍රවාහන මාධ්‍යක් ලෙස අභ්‍යවකාශ යානා යොදා යනු ඇති බවක්ද ඉන් කියැවේ. මේ පෝස්ටරය ස්ක්‍රීන් ප්‍රින්ටින් ක්‍රමයට සමානව නිර්මාණය කර තිබේ.
සෑම වසර 175කටම වරක් බ්‍රහස්පති, ‍ෙසනසුරු සහ යුරේනස් හරි කෙළින් පිහිටයි. මේ අවස්ථාවේ දී අභ්‍යවකාශ සංචරණයේ යෙදිය හැකි නම් එක ගල් පහරින් කුරුල්ලන් කිහිප දෙ‍ෙනකු බිම දමා ගැනීමට හැකි වේ. “අභ්‍යවකාශයට වහා චාරිකාවක්” නම් පෝස්ටරයේ අරුත එයයි. එහිදී වර්ණ රැසක් භාවිත කිරීම වෙනුවට වර්ණ එක මත එක ආලේප කිරීම හා ඉන් ගැඹුරක් ඇති කිරීම වැනි ශිල්පීය ක්‍රම භාවිත වී ඇත. මෙම පෝස්ටර් නිර්මාණය කිරීමේදී විශාල නිර්මාණාතමක නිදහසක් ශිල්පීන්ට හිමිවීමද ඒවායේ සාර්ථකත්වයට හේතුවකි. පසුබිම අඳුරු පැහැය වැඩිපුර භාවිත වූ පෝස්ටරයකින් එහි දැක්වෙන වයෝවෘද්ධ තැනැත්තාගේ අවසන් අභ්‍යවකාශ චාරිකාව මෙය බව හැඟවේ. ඔහු සමඟ කාන්තාවක සහ බල්ලකුද එහි දැකිය හැකි ය. මෙම පෝස්ටර් එකතුව නොමිලේ බාගත කර ගැනීමට අවස්ථාව සළසා තිබේ .
CNN ඇසුරිනි

http://dinamina.lk/?

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි