ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පැවැති 12 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගාවලියට සහභාගී වූ අනුරාධපුරයේ, මිහින්තලය මහා විද්‍යාලයේ කේ.එම්.උදේශනී නිරංජනී දෙවැනි ස්ථානය අත්කර ගනිමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙනදීමට සමත්වුවාය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් 40 කාන්තා කණ්ඩායම් තරගයට එක්වූ ඇය ලසන්ති ක්‍රිෂ්ණා ගුණතිලක, ශ්‍රියාලතා වික්‍රමසිංහ සහ සුදාරිකා ප්‍රියදර්ශනී සමග එක්ව උපන් බිමට කීර්තියක් අත්කර දුන්නේ අගහිඟකම් සහ දුක් කම්කටොලු රැසක් මැදිනි.

පාපැදි තරග ඉසව්ව නිමාවීමෙන් පසුව යළි මෙරටට පැමිණිමෙන් පසුව මේ ජයග්‍රහණය පිළිබඳ ඇය මෙසේ අදහස් පළ කළාය.
'මගේ අම්මා අපෙන් සමු අරගෙන දැනට අවුරුදු 11 ක්. එදා ඉඳලා මාව බලාගන්නේ , මගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ක්‍රීඩා කටයුතුවලටත් දිරිය දුන්නේ මගේ ආරණීය තාත්තා.' ඇය කියා සිටියාය.

2014 දී කොරියාවේ පැවති තරගයකට සහභාගි වෙලා මම දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට තාත්තා මාව යැව්වේ කුඹුර උකස් කරලා දීපු ගත්තු මුදලිනුයි. මේ පාර සාග් යන්න මාව තෝරාගත්තත් පෞද්ගලික වියදම්වලට අවශ්‍ය මුදල් තිබුණේ නෑ. ඒත් තාත්තා කිවුවා පුතේ මම ගේ උකසට තියලා හරි ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. ඉතින් මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණා.
ඉන්දියාවේ ක්‍රීඩිකාව මේ තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27 ක් විතර වෙනවා. නමුත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක්‍රීඩා සමාජය ලබාදුන්නු රුපියල් 75000 ක් පමණ වටිනා පාපැදියක්. ඒ පාපැදියේ සමහර කොටස් වෙන වෙන අයගෙන් පාපැදිවලින් ඉල්ලගත්තා. මේ හැම අභියෝගයකටම මුහුණ දීලා අපේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩිකාවන් එක්ක තරගාවලියේ දෙවැනි තැන දිනාගන්න මට පුළුවන් වුණා.'
'හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හය හමාරක් විතර ඕන. ඒක ඉතිං හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලුත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. මම හැමදාම ඒ 9 මාර්ගයේ පුහුණු වීම් කරනවා. හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරත්තු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියටත් තරග කරලා ඉදිරි ස්ථානයක් ලබා ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න තියන එකම බාධකය මුදල් නැතිකම තමයි' ඇය එසේ කියන්නීය.
මිහින්තලය පදිංචි මෙම ක්‍රීඩිකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දී ඇති බව දැනගත් උතුරුමැද පළාත් ක්‍රීඩා අමාත්‍ය හා මිහින්තලා ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකෝන් මහතා පසුගියදා එම නිවසට පැමිණි අතර එහි දී ඇයට සුබපතමින් කියා සිටියේ රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා පාපැදියක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවය.
එමෙන්ම ඉදිරියේදී උපහාර උළෙලක් පවත්වා රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දීම අගයමින් ඇයට රුපියල් 50 000 ක මුදලක් පිරිනැමීමට කටයුතු යොදන බව ද අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය.
ඡායාරූප - අනුරාධපුර මධ්‍යම විශේෂ
http://www.dinamina.lk
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි