ඉන්දියාව සැබැවින්ම පුදුමාකාර මිනිසුන්ගෙන් පිරි රටක් යැයි කිවහොත් එය මුසාවක් නොවේ. සෑම දිනකම පාහේ එරටින් වෙනත් මිනිසුන් නොකරනා ආකාරයේ ක්‍රියාවක නිරත පුද්ගලයකු හෝ දෙදෙනකු මුණ නොගැසෙන්නේ නම් එය පුදුමයකි. මෙහි විශේෂත්වය වන්නේ ඒ වැඩි දෙනෙකුම පාහේ දුප්පතුන් වීමය. එයට හේතුව දුප්පතාගේ දුක දැනෙන්නේ දුප්පතාටම වීම නිසා විය හැකිය. මේ පවසන්නට යන අපූරු පුද්ගලයා එරට කර්නාටක ප්‍රාන්ත වැසියෙකි. නිව්පප්දු යනු කර්නාටක ප්‍රාන්තයේ මන්ගලාරු නම් ප්‍රදේශයෙන් කිලෝ මීටර් 25ක් තරම් දුර බැහැර දුෂ්කර ගම්මානයක් වන හරෙකලා ගමට ආසන්න දුහුවිල්ලෙන් පිරි ගම්මානයකි. අද ඒ ගම මුළු ඉන්දියාව පුරාම ප්‍රසිද්ධව ඇත්තේ මේ පුද්ගලයා නිසාය. ඉන්දියානුවන් ඔහු හඳුන්වන්නේ හරෙකලා හජබ්බාවේ 'අක්ෂර සාන්ටා' හෙවත් අක්ෂරයන්හි ශාන්තුවරයා ලෙසය.
ගමේ දුප්පත් පවුලක උපන් මන්ගලාරු ගේ කුඩා කල පටන්ම සිහිනයක් වූයේ නගරයට ගොස් බීඩි ඔතා අතට කීයක් හෝ සොයා ගැනීමය. එහෙත් ඔහුගේ දෛවය ඔහු බීඩි ඔතන්නකු වෙනුවට දොඩම් වෙළෙන්දකු බවට පත් කළේය. ඒ කලෙකට ඉහතදීය. දොඩම් වෙළෙන්දකු ලෙස කල දවස ගෙවන මන්ගලාරුගේ අරමුණ වෙනස් කළ දිනයක් එළැඹුණේ ඒ අතරවාරයේය.
“මං කවදාවත්ම පාසල් ගොස් නැහැ. කුඩා කල දුප්පත්කම මා දොඩම් වෙළෙන්දකු ලෙස ජීවිතය ගෙන යෑමට තල්ලු කළා. දිනක් මා දොඩම් විකුණමින් සිටියදී මා වෙතට පැමිණි සංචාරකයන් දෙදෙනකු මගෙන් දොඩම් ගෙඩි කීපයක් ගැනීමට මිල විමසුවා. ඔවුන් මා හා කතාබහ කළේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඒත් මට භාෂාව නොදැනීම නිසා ඔවුන්ට පිළිතුරු දීමට නොහැකි වුණා. සංචාරකයන් මගෙන් දොඩම් මිලදී නොගෙනම යන්න ගියා. ඇත්තෙන්ම මට ඒ සිද්ධියෙන් පසු ඇති වුණේ ලජ්ජාවක්. මට ඒ සුළු දෙයටවත් පිළිතුරු දීගන්න බැරි වුණේ ඉංග්‍රිසි වචනයක්වත් නොදන්නා නිසයි. “
තමන් එදා ලද අත්දැකීම යළි කිසිවකුට සිදු නොවිය යුතු යැයි සිතූ මන්ගලාරු ගේ ජීවිත අරමුණ වෙනස් වූයේ එතැන්පටන්ය. ඔහු එදා දැඩි තීරණයක් ගත්තේය.
“ මං අපේ ගමේ පොඩි එවුන්ට හොඳින් අධ්‍යාපනයක් දීම සඳහා ගමට පාසලක් බිහි කළ යුතු යැයි තීරණය කළා.“ එදා පටන් ඔහු තමා උපයන සෑම සතයක්ම ගමේ දරුවන්ට පාසලක් සෑදීම සඳහා එකතු කරන්නට වූයේය. මන්ගලාරු ද තිදරු පියෙකි. පියාගේ මේ තීරණයත් සමඟ ඒ දරුවන්ට ද ජීවිතය තවත් දුෂ්කර වූයේය. ඒ පියා තමා උපයන සෑම සතයක්ම තම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමේලා එකතු කරන්නට වූ බැවිනි. මන්ගලාරුගේ බිරිය මයිමෝනාය. සැමියා මේ කරන දෙයින් එදිනෙදා කන්න බොන්න තියෙන දේද හිඟ වෙද්දී ඇය කන්කෙඳිරි ගාන්නට වූවාය. එහෙත් මන්ගලාරු සිය බිරියට සාවදානව කරුණු පැහැදිලි කර දෙද්දී ඇය ද නිහඬවම සැමියාට සහයෝගය දීමට අදිටන් කර ගත්තාය.
1999 වසර වෙද්දී මන්ගලාරු ගේ සිහිනය සැබෑවක්වීම ආරම්භ විය. ගමේ අවිධිමත් පාසලකට අනුබද්ධව ඔහු මුලින්ම පාසල ආරම්භ කරද්දී එහි අකුරු කිරීමට පැමිණියේ දරුවන් 28 දෙනෙකි. පාසලේ සාර්ථකත්වයත් සමඟ අකුරු කිරීම සඳහා එහි පැමිණෙන්නට වූ දරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගියේය. තමා වහාම තම පාසලේ ඉඩ පහසුකම් වැඩි දියුණු කළ යුතු බව මන්ගලාරුට වැටහෙන්නට විය. ඔහු තව තවත් ඉතිරි කරන්නට වූයේය. උපයන හැම සතයක්ම ටින් බෙලෙක්කයට මිස කටට නොයෑමට වග බලා ගනිමිනි.
ඒ අනුව ඔහුට 2004 වෙද්දී ඉඩම් ශත 50ක් මිලට ගැනීමට අවස්ථාව සැලසිණ. ඉන්දියාවේ ඉඩම් මනිනුයේ ශත ගණනිනි. තමිල්නාඩුවේ සහ කේරළයේ ඉඩම් අක්කරයක් ශත සීයකට සමානය. ඒ අනුව මන්ගලාරු මිලට ගත් ඉඩම් ප්‍රමාණය අක්කර බාගයක් පමණ වෙතැයි අනුමාන කළ හැකිය. එහෙත් ඉඩමක් තිබූ පමණින් පාසලක් ආරම්භ කළ නොහැකිය. මන්ගලාරු මීළඟට කළේ පාසල ආරම්භ කිරීම සඳහා ආධාර පතා දේශපාලනඥයන්, දානපතීන් හා ධනවතුන් සොයා යෑමය. ඔහු ගමේ ගෙයක් පාසා යමින් ආධාර එකතු කළේය.
“ මං දිනක් පාසල සඳහා ආධාර පතා ධනවතකුගේ නිවෙසකට ගියා. එහිදී මා පැමිණි කාරණය පැවසූ පසු මට ආධාර දීම වෙනුවට බල්ලන් උසි ගැන්වූවා“. එසේ පැවසුවත් එවැනි දෙයින් පසුබට වූයේ ඔහු නොවේ. ඉන් ඔහු තවත් ධෛර්යවත් වූයේය. ක්‍රමයෙන් පාසල් ගොඩනැගිල්ල සඳහා මුදල් එකතු කරගත් ඔහු කුඩා ප්‍රාථමික පාඨශාලාවක් එම ඉඩමේ ඉදි කළේය.
පසලේ ඉදිකිරීම් කරන කාලයේදී ඔහු දොඩම් වෙළෙඳාමේ නොගියේය. පාසල සෑදීම සඳහා ආධාර දුන්නේය. මන්ගලාරුගේ වැඩිමල් පුත්‍රයා මේ කාලයේ පාසල් වැඩ බිමේ කම්කරුවක් ලෙස වැඩ කරමින් උපයා ගන්නා සොච්චම් මුදල ඒ අවදියේ ඒ පවුලේ එකම ආදායම විය. වරක් මන්ගලාරු දින කීපයක්ම වැඩට නොපැමිණියේ වැඩ බිමේ උඩකින් ඇද වැටීම නිසා උකුළු ඇටය බිඳීමකට ලක්වීමෙනි. එහෙත් සුව වූ විගස ඔහු යළි වැඩට බැස්සේය.
මේ කාලය වෙද්දී මාධ්‍යයද මොහු ගැන තොරතුරු දැන සිටියේය. ' හෝසා දිගන්නා' නමින් කන්නඩ භාෂාවෙන් පළ කෙරෙන පුවත් පත පළමුවෙන්ම මන්ගලාරු ගැන ලිපියක් පළ කළේය. එම පුවත් පත ම 2004 වසරේ දී ඔහුට වසරේ මිනිසා යන සම්මානය පුද කළේය. ඉන්පසු සීඑන්එන් සේවය 2009 වසරේදී ඔහු නියම වීරයෝ යන සම්මානයෙන් පිදුවේය. මන්ගලාරු ඉන් ලද රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදල ද පාසල ඉදිකිරීම සඳහා යෙදවීය. ඒ සමගම මන්ගලාරු මේ කරගෙන යන සද්කාර්ය කෙරෙහි කාගේත් නෙත් යොමු වන්නට විය. ඔහුගේ පාසල සඳහා ආධාර ගලා එන්නට විය. දැන් පාසලට අයිති ඉඩම අක්කර එක හමාරකි. දරුවෝ 150ක් එහි ඉගෙනුම ලබති.
“මගේ යුතුකම මං ඉෂ්ඨ කළා. ඒ පාසල දැන් රජයටයි අයිති. සැම ආගමකම ළමයි දැන් එහි ඉගෙන ගන්නවා. ඒ ගැන මට සතුටුයි“ යනුවෙන් මන්ගලාරු පවසයි.
මන්ගලාරුට දැන් ඇත්තේ ඉහළ පිළිගැනීමකි. යන එන හැම තැනම ඔහු හොඳින් හඳුනයි. පාසල රජයට බාර දුන් දිනයට පසු දින සිටම ඔහු යළි මගට බැස්සේ දොඩම් වෙළෙඳාමේ යෑමටය. ඔහුගෙන් දොඩම් මිලදී ගන්නා අය දැන් කේවේල් නොකරති. මාස්පතා පාසල සඳහා සුළු මුදලකින් හෝ ආධාර කරන්නෝ ද එමටය. එපමණක් නොව මන්ගලාරුට නිතිපතා ලැබෙන ආරාධනා ද නිමක් නැත. පළාතේ විශ්ව විද්‍යාල ඔහුට ආරාධනා කරන්නේ සිසුන් ධෛර්යවත් කරමින් දේශනා පැවැත්වීමටය. එහෙත් ඔහු ඒ කිසිවකින් හිස උදුම්මා ගත්තේ නැත. පාසල ඔහුගේ නමින් නම් කිරීමට යෝජනා වෙද්දී ඔහු එය ද ප්‍රතික්ෂේප කළේ නිහතමානීවය.
වරක් ඉන්දියාවේ එක්සත් ක්‍රිස්තියානි සංගමය ඔවුන්ගේ නත්තල් වැඩ සටහනක් සඳහා ආරාධනා කිරීමට මන්ගලාරු දුරකථනයෙන් සමබන්ධ කර ගැනීමට උත්සාහ කළත් නොහැකි විය. අවසානයේ මන්ගලාරුගේ පුත්‍රයා සම්බන්ධ කර ගැනීමට ඔවුහූ සමත් වූහ.
“තාත්තා මේ දිනවල ඉන්නේ රෝහලේ. තාත්තාට හොඳටම අසනීපයි.“ පුතා පැවසීය.
මේ පිළිබඳව සොයා බැලූවිට දැන ගනු ලැබුවේ ජීවත් වීමට හරිහමන් තැනක් නොමැතිකමින් හිසට වහලක් නොමැතිව මන්ගලාරු තදබල ලෙස අසනීපව ඇතිබවය. මන්ගලාරු මේ සියල්ල කර ඇත්තේ තමන්ට ද ඉන්න හිටින්න හරිහමන් තැනක් නොමැතිවය. සියල්ල පාසල සඳහා වැය කිරීම හේතුවෙන් ඔහු අත සතයක් ද ඉතිරිව නොමැත්තේය. මේ බව දැනගත් ජනහිතකාමී සංවිධානයක් තමන් සතු සියල්ල අනුන්ගේ යහපත වෙනුවෙන් වැය කළ මේ උදාර මිනිසා වෙනුවෙන් නිවහනක් ඉදි කිරීමට තීරණය කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ15ක වියදමින් මාස හතරක් වැනි කෙටි කලකදී මන්ගලාරු වෙනුවෙන් නිවෙසක් ඉදි කළ ඒ සංවිධානය පසුගිය දිනෙක එම නිවෙස මන්ගලාරුට පරිත්‍යාග කළේය. මේ සඳහා කර්නාටක ප්‍රාන්ත රජයේ නොමසුරු ආධාරය ද ලැබිණි.
කෙසේ වුවද මන්ගලාරුගේ පරිත්‍යාගශීලී සිතට පාසලක් ඉදි කළ පමණින් සැනසීමක් ලැබෙතැයි සිතිය නොහැක්කේ ඔහු මීළඟට සිය ගමට රජයේ විශ්ව විද්‍යාල පාසලක් ඉදි කිරීම සඳහා කටයුතු යොදා ගෙන යන බැවිනි.
1 comments:
This man is a true hero of our time.Thanks for sharing
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි