Saturday, February 20, 2016

ළමා ලෝකයේ අපූරු කතන්දරකාරිය - ඉනිඩ් බ්ලයිටන්

සෑම කුඩා දරුවකු තුළ ම යම් අන්දමේ ත්‍රාසජනක වූ සිහිනයක් තිබීම සමාන්‍ය දෙයකි. ඝනවනාන්තර තුළින් බියමුසු ත්‍රාසජනක ගමන් යාම, අද්භූත සතුන් හමුවීම, ඔවුන් සමඟ සටන්කොට ජයගැනීම එසේ නැතහොත් රහස් පරීක්ෂකයින් මෙන් ක්‍රියාකරමින් මෙතෙක් සැඟව තිබූ අභිරහසක් එළිදරව් කිරීම එසේත් නැතහොත් නිධානයක් සෙවීමට යාම වැනි අත්දැකීම් පිළිබඳ සිහින දරු දැරියන් තුළ නිතැතින් ම ජනිත වී ඇත.
මේ අන්දමේ ත්‍රාසජනක සිහිනවලට පණපෙවීමට සමත් වූ ඉංග්‍රීසි ජාතික ඉනිඩ් මේරි බ්ලයිටන් ළමා සාහිත්‍යය නව මඟකට හැරවූ නිර්මාණකාරියක ලෙස අතිවිශේෂ ස්ථානයක වැජඹේ.
ඇයගේ “ෆේමස් ෆයිව්” (Famous Five) නවකථා පෙළ සිහිනෙන් ත්‍රාසය අත්විඳිමින් දිවි ගෙවූ දරු දැරියන්ට සිහින සැබෑවීමක් ලෙස හැඳින්විය හැකි ය. අවදානම් අත්දැකීම් සහිත මේ ත්‍රාසජනක ළමා නවකතා පෙළ නියෝජනය කරනු ලබන්නේ පස්දෙනකු විසින්. ඒ ජුලියන්, ඩික්, ඈන් සහ ඔහුගේ ඥාති සොහොයුරු ජෝජ් යන අයයි. ඒ කල්ලියේ පස්වැනි. ඇත්තට ම ජෝජ් යනු ගැහැනු දරුවෙකි. එහෙත් ඇය පිරිමි දරුවකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මේ කල්ලියේ පස්වැනියා ටිමි නමැති සුනඛයා ය.
මොවුන්ගේ ප්‍රථම ත්‍රාසජනක අත්දැකීමට සම්බන්ධ වන්නේ කිරින් නමැති දූ‍පතේ පවතින බවට කියනු ලබන නිධානයක් සොයා ගැනීමයි. එම නිධානය ලබාගැනීමට තවත් පිරිසක් මානබැලීම ඒ කතාවෙන් හැ‍ඟෙන ත්‍රාසය තව තවත් තීව්‍ර කරනු ලබයි.
මේ අන්දමේ ත්‍රාසජනක කතාපෙළක් මේ පස්දෙනා සහිත ව ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරනු ලැබූ අතර ඒවා “ෆේමස් ෆයිව්” කතා පෙළ ලෙස හඳුන්වනු ලබයි.
ත්‍රාසය සමඟ සිහිනෙන් ජීවත් වූ දරු පිරිසට මේ කතා පෙළත් ඉන්පසු රචනා කරනු ලැබූ “ද සීක්‍රට් සෙවන්” කතා පෙළත් හේතුකොටගෙන ඉනිඩ් බ්ලයිටන් ළමා කතා කලාවේ අග්‍රගණයේ නිර්මාණකරුවකු තත්ත්වයට පත්වූ අතර ඇයගේ ඒ කෘති උණු කැවුම් ලෙස අලෙවි වීම සිදුවිය.
1897 අගෝස්තු 1 වැනි දින උපත ලැබූ ඉනිඩ් මේරි බ්ලයිටන් ගේ ළමා කතා ලෝ පුරා භාෂා රැසකට පරිවර්තනය කරනු ලැබූ අතර දැනට මිලියන 600ක් පමණ අලෙවි වී ඇතැයි වර්තා වේ.
ලන්ඩනයේ නැ‍ඟෙනහිර ඩල්විච් නගරයේ උපත ලැබූ බ්ලයිටන් හැඳි ගෑරුප්පු වෙළඳාමේ යෙදුණු ව්‍යාපාරිකයකු වූ තෝමස් කේරි බ්ලයිටන් ගේ දියණියයි. ඇය තම පියාට මහත් සේ ආදරය කළ අතර ඔහු වෙනත් ගැහැනු කෙනකු සමඟ ඔහුගේ පවුල අත්හැර යාම ඉනිඩ් තුළ අතිමහත් චින්තන කඩාවැටීමකට හේතු වූ බව කියැවේ.
අධ්‍යාපනය අවසන් කළ ඇය පාසල් කිහිපයක ගුරුවරියක ලෙස සේවය කළා ය. ඒ රැකියාවේ දී ඈ ලැබුවා වූ අත්දැකීම් තුළින් ළමා මනස හඳුනාගැනීමට හැකිවීම ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු කතා රැසකට පසුබිම් වූයේ යැයි සිතිය හැකි ය.
වැඩිහිටියන්ගේ කිසිදු උදව්වක් ආධාරයක් නොමැති ව තම ප්‍රශ්න විසඳාගැනීම ළමා මනස ශක්තිමත් කිරීම ඇයගේ කෘති තුළින් වහනය වන බලවේගයයි.
ඇයගේ “සීක්‍රට් ‍ෙසවන්” (Secret Seven) නම් වූ ළමා කතා පෙළ එවැනි ම වූ නිර්මාණ වේ. “සීක්‍රට් සෙවන්” යනු ළමුන්ගෙන් සැදුණු රහස් සංවිධානයකි. එය නිතර රැස්වෙන අතර එහි දී කළ යුතු ව ඇති වැඩ කටයුතු ගැන සාකච්ඡා කරනු ලබයි. ඒ සාකච්ඡාවලට සමාජයේ ඇතැම් අයට මුහුණදීමට සිදුවන ප්‍රශ්න, අභිරහස් නිරාකරණය කිරීම නැත්නම් රතු ඉන්දියානුවන් ලෙස කැලෑ තුළ විනෝද ක්‍රීඩා කිරීම වැනි කරුණු බඳුන් වේ. ඒ සාමාජිකයන්ට විශේෂිත වූ පලඳනාවක් ඇත. රහස් වචනයක් ද ඇත. එසේම රහසින් හමුවීමට ස්ථානයක් ද ඇත. එහි නායකයා පීටර් නමැත්තෙකි. එයට ඔහුගේ නැඟනිය වූ ජැනට් හා ජැක්, කොලින් ජෝජ්, පෑම් හා බාබරා මෙන්ම ස්පැනියල් වර්ගයේ සුනඛයකු වන ස්කැම්පර් ද එම රහස් සංවිධානයේ සාමාජිකයන් වෙති. නායක පීටර් කළ යුතු වැඩ ‍අනෙක් සාමාජිකයින් දන්වයි. අභිරහසක් එළිකිරීමේ වැනි කටයුතු මොවුන්ගේ ප්‍රධානතම කර්තව්‍යය හැටියට පෙන්විය හැකි ය.
මේ අන්දමට දරුවන් තුළ කුතුහලය ජනිත කරවමින් ඒ කුතුහලය ඇතිවූ යම් අභිරහසක් ඇත්නම් එය වැඩිහිටි උපදෙස් නැතිව එසේම ඔවුන්ගේ අනුදැනීම නැතිව තනිව ම විසඳුම් සෙවීම කෙරේ ළමා සිත පුබුදුවාලීමට බ්ලයිටන් ගේ කෘති සමත් වූ බව විචාරක මතයයි.
ඉනිඩ් බ්ලයිටන් ගේ ළමා කතා තුන්වැදෑරුම් ලක්ෂණ පෙන්වනු ලබයි.
මින් පළමු කොටසට වැටෙන කතාවල චරිත සාමාන්‍ය දරුවන් විය. ඔවුනට මුහුණදීමට සිදුවන්නේ අසාමාන්‍ය සිදුවීම් ය. ත්‍රාසජනක චාරිකා, අපරාධ විසඳීම, එසේම අදහාගත නොහැකි අවස්ථාවලට මුහුණදීම වැනි සංසිද්ධීන්වලින් යුක්ත වේ. උදාහරණ වශයෙන් “ෆේමස් ෆයිව්”, “සීක්‍රට් සෙවන්” හා ත්‍රාසජනක චාරිකා වැනි ග්‍රන්ථාවලි පෙන්විය හැකි ය.
දෙවැනි ගණයට බෝඩිමක ගතකරන ජීවිතය හා පාසල් ජීවිතයේ දී මුහුණදීමට සිදුවන අසාමාන්‍ය අභිරහස් සිදුවීම අයත් වේ. මධ්‍යම රාත්‍රියේ ආහාර පාන සහිත සංග්‍රහයන්, එකිනෙකා වෙත කරනු ලබන උසුලු විසුලු හා එකිනෙකා අතරේ පවතින සබඳතා අයත් වේ. මෙයට උදාහරණ වශයෙන් ඇය රචනා කළ “මැලරි ටවර්ස්”, “සෙන්ට් ක්ලෙයාර්” .. ග්‍රන්ථාවලිය සහ “නෝටියස්ට් ගර්ල්” ග්‍රන්ථාවලිය අයත් වේ.
තුන්වැනි ගණයට ඉන්ද්‍රජාලික ලෝකයක් තුළ සිදුවන අසාමාන්‍ය පුදුමසහගත අවස්ථාව නිරූපණය වන ග්‍රන්ථ අයත් වේ. ඒ ග්‍රන්ථ තුළින් සුරංගනාවියන්, රකුසන් වැනි අපූර්ව චරිත මතුවේ. බොහෝ අවස්ථාවලදී මේ ග්‍රන්ථවල දක්නට ලැබෙන සෙල්ලම් බඩුවලට පණ ලැබීම සිදුවේ. උදාහරණයක් වශයෙන් “විෂිං චෙයාර්”, “ද ෆාර් එවේ ට්‍රී” යන නිර්මාණ පෙන්විය හැකි ය.
වර්තමාන දරු දැරියන් හැරී පොටර් ගේ චරිතය ඇතුළත් මැජික් ලෝකයේ සිදුවීම් රැගත් කතා කෙරේ මහත් උනන්දුවක් ඇතිකර ගෙන සිටින්නාක් මෙන් එදා දරු දැරියන් ගේ ජනප්‍රිය තම කතා පොත් වූයේ ඉනිඩ් බ්ලයිටන් ගේ නිර්මාණ වේ.
පනස් වසරක ජීවන කාලයක් තුළ දී ඉනිඩ් බ්ලයිටන් විසින් ළමුන් වෙනුවෙන් 700ක් පමණ නිර්මාණ කර ඇති බව සඳහන් වේ. එසේ ම 1968 දී මරණයට පත්වූ ඇය 20 සියවසේ සිටි ග්‍රන්ථ කතුවරයන් අතුරෙන් වැඩිම ප්‍රමාණයක් ග්‍රන්ථ අලෙවියට පත්වූ කතුවරයා ලෙස ද දක්වනු ලැබේ.
ඒකාකාරී ව පැවැති ළමා සාහිත්‍යයට ප්‍රාණයක් ලබාදුන් දරු දැරියන්ට තනිව ම තම ජීවන ප්‍රශ්න විසඳා ගැනීමට ශක්තියක් ඇති බව පෙන්වීමට ඇය තම කෘති තුළින් නිරූපණය කිරීම ඇය අතින් සිදුවූ අති විශේෂ මෙහෙවර හැටියට ද පෙන්විය හැකි ය.

http://www.silumina.lk/punkalasa/20130707/_art.asp?fn=ar1307079

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි