Friday, February 26, 2016

කැළෑ පොජ්ජේ පටඅරිනා ~ "කථාදමන යමකේ" (SLBC Dambana Radio)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “ දඹාන රේඩියෝ“ ආරම්භකර පසුගිය 22ට වසර 06ක් සැපිරුණ අතර, මේ ගුවන් විදුලි සේවයේ ශ්‍රාවක අසන්නන් විසින් උපන් දින සැමරුමක් දඹාන ආදිවාසී කොටබකිනිය ගම්මානයේ දී සංවිධානකර කැවුම්, කොකිස්, අතිරස, හැලප ආදී රසකැවිලි පොදි බැඳගෙන දඹාන කොට බකිනිය ගම්මානයට බස් රථවලින් උදෑසන පැමිණියේය.
මහඔය, හසලක, උඩත්තව, දිඹුලාගල, හේනානිගල, මීගහකිවුල, කැටවත්ත යන ගම්මාන වල ශ්‍රාවක අසන්නන් මෙලෙස කැවුම්, කිරිබත්, කෙසෙල්, හැලප රැගෙන දඹාන කොටබකිනිය ගම්මානයට බස් රථ වලින් පැමිණි අය වෙති.
“ දඹාන රේඩියෝ“ වේ උපදේශක ලෙස වන්නිලා ඇත්තන් ක්‍රියා කරන අතර, සිකුරාදා දිනයේ වැඩසටහන් සියල්ල ආදිවාසී භාෂාවෙන් විකාශනය කෙරේ. ශ්‍රාවකයන් සංවිධාන කළ උපන්දින සැමරුම සඳහා ආදිවාසී නායක විශ්ව කිර්ති, වනස්පති වන්නිලා ඇත්තන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා අතිරේක අධ්‍යක්ෂ නිමල් ප්‍රේමසිරි මහතා සහභාගී වූහ.
එහි දී වැදිගෝත්‍රයේ සම්ප්‍රදායන්ට අනුව ඉදිකළ නව ගුවන්විදුලි විකාශන මැදිරියක් විවෘත කිරීම ද ආදිවාසී නායක වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මුං කිරිබතක් උයා කිරිබත් කැට කපා ශ්‍රාවකයන් ආදිවාසී නායකයා හට හා ප්‍රාදේශීය සේවා අතිරේක අධ්‍යක්ෂවරයා හට කැවීම සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ FM නාලිකා සැමට ආදර්ශයක් දෙමින් මේ උපන්දිනය සැමරූ අතර, නාලිකාව විසින් ශ්‍රාවකයන් හට මුදල් තෑගි බෝග ලබාදීම වෙනුවට ශ්‍රාවකයන් විසින් නාලිකාව ඇගයීම සිදු කෙරුණු අතර, දඹාන රේඩියෝව අසන ශ්‍රාවකයන් හට ආදිවාසී වන්නිලා අත්තන් විසින් හිටපු ආදිවාසී නායක තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවක් සහිත සිහිවටනයක් කල්‍යාණ ඇසුරට උපහාරයක් ලෙස පරිත්‍යාග කරනු ලැබීය. දඹාන FM ගුවන් විදුලියේ ශ්‍රාවක සමාජය විසින් නර්ථන අංග හා ගායනා අංග රැසක් ආදිවාසී ගම්මානයේ මොරබැද්දේ දී සංවිධානකර තිබුණි.
සභාව ඇමතූ ආදිවාසී නායක “ හැල හැප්පිලි රැසක් මැද ජීවිකාව ගෙන යන අතරතුර ප්‍රජා ගුවන් විදුලි සංකල්පය අප රටෙන් තුරන්ව යන කාලෙක රේඩියෝ දඹාන නමින් ගිරාදුරුකෝට්ටේ තිබුණ ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ කරපු වේලාවේ මේක නඟාහිටුවන්න පුළුවන් ද කියලා ගුවන් විදුලියේ ජයවික්‍රම මහත්තයා ඇවිල්ලා මගෙන් ඇහුවේ. ඒ වෙලාවේ දී මම ඒකට එච්චර කැමති වුණෙත් නෑ. අවසානේ කැමති වෙලා ආරම්භ කළා. ආරම්භ කරපු දවසෙම තමයි මම එවකට හිටපු සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරේ මේකෙ නම වෙනස් කරලා දෙන්න කියන එක. මොකද මේක යන මාවත පිළිබඳ මම දැනගෙන හිටියේ නෑ. නමුත් ඒයාලා නම වෙනස් කරන්න කැමති වුණේ නෑ. දඹාන FM කියලාම මගේ පරම්පරාවට සේවයක් වන විදියට හා බින්තැන්න පළාතට සේවයක් වන විදියට මේ නාලිකාව ක්‍රියාත්මක කරගෙන ගියා.
මේ වන විට අවුරුදු 06ක් සම්පූර්ණ කරමින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ රටේ ගුවන් විදුලි ගොඩක් තියෙනවා. බොහෝ ගුවන් විදුලි අපේ ගුවන් විදුලිය අහන්න කියලා බඩු මල්ලක් දෙනවා. සල්ලි මල්ලක් දෙනවා. එහෙම ක්‍රමවේදයක් තමයි දැන් අපේ රටේ ඇති වෙලා තියෙන්නේ. මම හිතන විදියට ගුවන් විදුලියක් කියන්නේ සිංදු කියන්ඩ, නටන්ඩ, බඩු මුට්ටු තෑගි බෝග දෙන්ඩ නෙවෙයි ඒකෙන් ජනතාවට සේවයක් වෙන්ඩ ඕන කියලයි මගේ නම් අදහස. මේ බොහෝ පිරිසක් ඇවිත් ඉන්න එකෙන්ම මට තේරෙනවා ඒකෙන් කරපු සේවාව කොච්චරද කියලා. මේ පුංචි ගුවන් විදුලියෙන් කරපු ලොකුම සේවාව තමයි හසලක උඩැත්තව, මැදකැලේ ගම්මානයට යන්ඩ මාර්ගයක් හදපු එක. මේ ගුවන්විදුලිය අපේ පරම්පරාවේ අය විතරක් නෙවෙයි අවට අයත් ප්‍රයෝජනයට ගන්නවා කියන එක මම දැක්කා. ඒ නිසා මේ ගුවන් විදුලිය හරහා විශාල සේවාවක් ප්‍රයෝජනයක් ඉදිරියේදීත් ගන්ඩ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මගේ පරපුර ගැන කියනකොට මේක ඇහෙන්නේ ලංකාවේ සීමිත ප්‍රදේශයකට. ලංකාවේ දිස්ත්‍රික්ක 06ක ගමම්මාන 62ක පමණ අපේ ජනතාව විහිදිලා ඉන්නවා. ගුවන් විදුලිය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කෙනෙක් මේ අවස්ථාව සඳහා පැමිණිලා ඉන්නවා. මම එතුමන්ගෙන් හා සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ඒ ගම්මාන 62 ටම මේ ගුවන් විදුලිය ඇහෙන මට්ටමට දියුණු කරලා දෙන්න කියලා. ඒ අනුව ඒ ගම්මාන 62ම සම්බන්ධීකරණය වෙන්න පුළුවන්කම, ඒ අයගේ ගැටලු සම්බන්ධයෙන් දැනුවත් වෙන්න, භාෂාව ඉගෙන ගන්න හැකියාව ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ ගුවන් විදුලිය අහලා අපේ පරම්පරාවේ විදියට මේ දරුවො වැඩිහිටියෝ “ මාමකැච්චක් හොඳමයි“ කියා හරි කියන්ඩ ඉගෙන ගෙන තියෙනවා. ඒක මට ලොකු සතුටක්. අද වෙනකෙට ගොඩක් දරුවො මෙහාට එනවා මේ භාෂාව සංස්කෘතිය හදාරන්ඩ. ඒ එන හැමෝටම ගුවන් විදුලිය ලොකු පිටිවහලක් වෙනවා. ඒ වගේම ගෙදර ඉදලා අපේ භාෂාව ඉගෙන ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගුවන් විදුලියෙන් එක මිටකට අපේ පරම්පරාවේ අය ගොනුකර ගන්න හැකි වෙලා තියෙනවා. සමස්ත ගම්මාන වලට මේක ඇහෙනවානම් මට පුළුවන් මෙතන ඉදලා ඒ ගම්මාන වල ගැටලු ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ඒවාට විසඳුම් දෙන්න. මම අවසාන වශයෙන් ඉල්ලන්නේ මේක දැකලා සතුටු වෙලා අපට මේක දියුණු කරගන්න තවත් උදවුකරන්න කියලයි“ යැයි පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත දඹාන කථාමෙන යමකෙ හෙවත් දඹාන රේඩියෝව දඹාන ගම්මානයේ ආදිවාසී නිවේදකයන් 3ක්, ස්ථිර නිවේදකයන් 4ක් හා ස්වෙච්ඡා නිවේදකයන් 8 දෙනකුගෙන් හා නාලිකා ප්‍රධානි අරුණසිරි ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
සටහන හා ඡායාරූප
මාපාකඩවැව සමූහ - එච්. එම්. ආර්. කරුණාවීර 
http://www.dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි