Sunday, September 14, 2014

මල් කම්බි (Braces) යනු මොනවාද?

දත්වල විකෘති හදන්න වයස බාධාවක් නෑ

දිව තිබෙන පැත්තෙන් පමණක් කම්බි යොදා පිටතට ‍ෙනාපෙනෙන ලෙස මල් කම්බි දාන්න පුළුවන්
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක දන්ත රෝහලේ
මුඛ සහ දන්ත විකලාංග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය රත්නකුමාර දිසානායක
කිසියම් අයකුගේ මුඛයේ සහ දත් ආශ්‍රිතව කිසියම් විකෘතිතාවක් ඇත්නම් එය එම පුද්ගලයාගේ රුවට විශාල බලපෑමක් කිරීමට සමත්. ඇතැමෙකුට එවැනි විකෘතිතාවක් ඇතිවන්නේ උපතින්මයි. ඇතැමෙකු එසේ වෙනත් බාහිර බලපෑම් නිසා. මුඛය සහ දත් ආශ්‍රිතව විකෘතිතා ඇතිවන්නේ ඇයි? ඒවාට ඇති පිළියම් මොනවා ද? යන කරුණු පිළිබඳව අපි මුඛ සහ දන්ත විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රත්නකුමාර දිසානායක මහතාගෙන් විමසා සිටිමු.
මුඛ සහ දන්ත විකලාංග ලෙස හැඳින්වෙන්නේ කුමන තත්ත්වයක් ද?
මුඛ විකලාංගයක් ලෙස හඳුන්වන්නේ මුඛයේ ඇතිවී තිබෙන විකෘතියක්. එසේම දන්ත විකලාංගයක් ලෙස හඳුන්වන්නේ දත්වල ඇතිවී තිබෙන විකෘති තත්ත්වයක්. බොහෝ විට එම විකලාංග ඇතිවන්නේ උපතින්මයි. ඊට අමතරව වෙනත් හේතු නිසා ද දත් සහ මුඛ විකලාංගයන් ඇතිවීමට පුළුවන්.
මුඛ සහ දන්ත විකලාංග ඇතිවන්නේ ඇයි?
මුඛ සහ දන්ත විකලාංගවලට හේතු වන සාධක මේවා යැයි නිශ්චිතවම කීමේ හැකියාව තිබෙන්නේ එම විකලාංග තත්ත්වයන්ගෙන් සීයට දහයක ප්‍රමාණයක පමණයි. ඉතිරි විකලාංග සියයට 90 ඇතිවීමට හේතුව නිශ්චිතව කීමේ හැකියාවක් නෑ.
දන්ත සහ මුඛ විකලාංගවලට බලපාන හේතු සාධක කීපයක්ම හඳුනාගෙන තිබෙනවා. පාරම්පරිකව එන බලපෑම ඉන් එක් සාධකයක්. දෙවැන්න වන්නේ මුඛයේ අස්ථිවල ඇතිවන ගැටලු. මුඛ සහ දන්ත විකලාංගවලට හේතු වන අනෙක් කරුණ වන්නේ වැරදි පුරුදු. කුඩා කල ඇඟිලි ඉරීම ඒ වැරදි පුරුදු සඳහා උදාහරණයක්.
මුඛයේ ඇතිවන විකලාංග මොනවා ද?
උපතින් ම මුඛයේ ඇතිවන විකලාංග අතරින් ප්‍රධානම විකලාංගය ලෙස විදුලිත තොල සහ විදුලිත තල්ල ඇතිව ඉපදීම. (තල්ල සහ තොල් පැල්මක් සහිතව ඉපදීම) දක්වන්න පුළුවන්. ඇතැම් දරුවන් ඉපදෙන විට දෙපැත්තේම තොල සහ තල්ල ද පැළී තිබෙනවා. මුඛයේ එලෙස විකෘතිතා ඇතිව දරුවන් ඉපදීම එම දරුවන්ගේ මවුපියන්ට විශාල ගැටලුවක්.
ඇතැම් තරුණ මවුපියන් එවැනි දරුවන් ඉපදුණු පසුව වෙන්වීමට ගිය අවස්ථා ද තිබෙනවා. ඒ තත්ත්වය බුද්ධිමත්ව වටහා ගත යුතුයි. එසේ ඉපදෙන්නේ දරුවාගේ වරදක් නිසා නොවේ. ඒ සඳහා බලපෑ හැකි විවිධ හේතු තිබෙනවා.
ප්‍රධාන වශයෙන්ම තේරුම් ගත යුත්තේ එවැනි විකෘතිතා ඉතා නිවැරැදිව සකස් කිරීමේ හැකියාව දැන් තිබෙන බවයි. විදුලිත තල්ල සහ විදුලිත තොල සහිතව උපදින දරුවන් ගැටලු කීපයකටම මුහුණ දෙනවා. ඉන් බරපතළම ගැටලුව වන්නේ ඒ දරුවන්ට කිරි උරා බීමට නොහැකි වීමයි. එයින් දරුවාට නිසි පෝෂණය නොලැබී වර්ධනය අඩු වෙනවා.
මුඛයේ සහ තල්ලේ ඇති ඒ විකෘතිතාවයට ප්‍රතිකාර කළ යුත්තේ කුමන වයසේදී ද?
විදුලිත තල්ල සහ විදුලිත තොල සහිතව උපදින දරුවන්ට ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ දරුවා ඉපදුණු දවසේ පටන්මයි. මීට කලකට පෙර ශ්‍රී ලංකාවේ එම ප්‍රතිකාර ආරම්භ කළේ දරුවා ඉපදී මාස 3 ක් පමණ ගතවූ පසුවයි. නමුත් දැන් ලංකාවේ ද ඒ ප්‍රතිකාර දරුවා ඉපදුණු දවසේම ආරම්භ කරනවා.
මේ ප්‍රතිකාර ක්‍රමයේ දී නාසය තල්ල තොල යන කොටස් සියල්ල වාත්තු කරනවා. ඒ සඳහා ඖෂධ වර්ග භාවිත කරනවා. ශල්‍යකර්ම කරන්නේ ඉන් පසුවයි. ඒ ප්‍රතිකාර ක්‍රමය භාවිතා වන්නේ පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය අංශයේ පමණයි.
ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක් උගුර කන නාසය වෛද්‍යවරයෙක්, කථන චිකිත්සක වරයෙක් හෙද කණ්ඩායමක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඊට ඇතුළත් වෙනවා.
එවැනි දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු ද?
ඔව්. එවැනි දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒ; ඒ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉතාම දුර්වල නිසයි. ඒ නිසා ඒ දරුවන් පහසුවෙන්ම ලෙඩ රෝගවලට ගොදුරු වීමේ හැකියාව තිබෙනවා.
එම නිසා එවැනි දරුවන් සෙනඟ ගැවසෙන ස්ථානවලට රැගෙන යාම, සුදුසු වන්නේ නෑ. ඒ දරුවන්ට වෙනත් රෝගයක් වැලඳුණහොත් ශල්‍යකර්මය සිදුකිරීමට එය බාධාවක් විය හැකියි.
එවැනි දරුවන්ට කරන ප්‍රතිකාර මොනවා ද?
එවැනි දරුවන්ට මුල් අවස්ථාවේදීම කෘත්‍රිම තල්ලක් දමනවා. ඉන් පසුව එම දරුවාට සාමාන්‍ය දරුවකුගේ කිරි උරා බීමේ හැකියාව ලැබෙනවා. ප්‍රධාන ශල්‍යකර්මය සිදුකර තල්ල සැකසු පසුව එම කෘත්‍රිම තල්ල ඉවත් කරනවා. එවැනි දරුවන්ට අවුරුදු 6 ක් 7 ක් පමණ වන තෙක් දත් ඇතිවීමේ හැකියාවක් නෑ. ඒ; මෙම දරුවන්ගේ මුඛයේ දත් ඇතිවීමට අස්ථියක් නැතිවීමයි; අස්ථිය බෙදී තිබීමයි.
ඒ හේතුව නිසා දරුවාට ස්ථිර දත් ඒම සඳහා වයස අවුරුදු 9, 10 පමණ වන විට මුඛයේ අස්ථි බද්ධයක් සිදුකළ යුතුයි; අඩු අස්ථි පිරවිය යුතුයි. මෙය සිදු කරන්නේ දරුවාගේම ශරීරයෙන් අස්ථි කොටස් ලබාගෙන දරුවාගේ මුඛයට බද්ධ කිරීමෙනුයි.
එම අස්ථි බද්ධය නියමාකාරයෙන් සිදුකළ පසුව දරුවාගේ ස්ථිර දත් නිවැරැදිව ඒමට පටන් ගන්නවා. එවැනි දරුවන්ට ශල්‍යකර්ම කීපයක්ම සිදුකළ යුතු වෙනවා. ශල්‍යකර්මවලදී ඇතිවන කැළැල් සහ වර්ධනයේ ඇතිවන බාධාවන් නිසා මෙම දරුවාගේ උඩු හනුව වැඩීමට බාධා ඇති වෙනවා. ඒ හේතුවෙන් මෙම දරුවාගේ මුහුණේ විකෘති පෙනුමක් ඇති වෙනවා.
ඒ තත්ත්වය සැකසිය නොහැකි ද?
මෙහිදී ඇතිවන විකෘති පෙනුමත් සාර්ථකව සකස් කළ හැකියි. මේ සඳහා ක්‍රම කීපයක්ම භාවිත වෙනවා. උඩු හනුව කපා ඉදිරියට ගැනීම ඉන් එක් ක්‍රමයක්. එසේම යටි හනුව ඇතුළතින් අඟලක් පමණ කපා ඇතුළතට දැමීම අනෙක් ක්‍රමයයි.
එවිට හනු දෙක සමාන මට්ටමකට ගත හැකියි. නමුත් තවත් පහසු ක්‍රමයක් තිබෙනවා. එය හඳුන්වන්නේ Osteo distraction අස්ථි ජනනය ලෙසයි. මෙහිදී සිදු කරන්නේ මිලිමීටරයක් පමණ අස්ථිය ඇදීමයි. මෙය පැරණි ක්‍රමයක්.
මුඛ විකලාංග ඇතිවන්නේ ඇයි?
ඉහතින් සඳහන් කළාක් මෙන් එවැනි තත්ත්වයන් බොහොමයකට නිවැරැදි හේතු දැක්විය නොහැකි වුණත්, හේතු දැක්විය හැකි ඒවා පිළිබඳව සැලකීමේදී ප්‍රධාන සාධක කීපයක් ඒ සඳහා හේතු වන බව පෙනී යනවා. ජපානය ලංකාව වැනි රටවල එවැනි මුඛ විකෘතිතා ඇතිවීමේ හැකියාව වැඩි බව පෙනී යනවා.
මුඛයේ විකෘතිතා ඇතිව දරුවන් ඉපදීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ මවුකුස තුළ දරුවකුගේ අවයව නිර්මාණය වීමේ දී ඇතිවන යම් යම් බාධාවනුයි. මුහුණ නිර්මාණය වීමේ දී නිවැරැදි ආකාරයට මුහුණේ පේශීමය කොටස් සම්බන්ධ නොවීම මෙයට ප්‍රධාන හේතුවක්.
ලේ නෑයන් අතර සිදුවන විවාහය, ඇතැම් ඖෂධවල බලපෑම, මවු කුස තුළ දරුවා නිර්මාණය වන විට මව ජීවත්වන අවට පරිසරයේ සිදුවන පාරිසරික බලපෑම් ආදිය ද මුඛයේ විකලාංග සහිතව දරුවන් ඉපදීමට හේතු වන බව පෙනී ගොස් තිබෙනවා.
එසේ ඇතිවන විකෘතිතාවයන්ට කිසියම් ජානමය බලපෑමක් ද තිබිය හැකියි. එසේ වුවත් එක් දරුවකු එලෙස මුඛයේ විකෘතියක් සහිතව ඉපදුණා යැයි කියා තවත් දරුවන් නොපතන තරුණ විවාහක මවුපියන් සිටිනවා. එය ඉතාම වැරදි තීරණයක්.
දරුවන් අතර ඇතිවන දන්ත විකලාංග මොනවා ද?
දරුවන් අතර ඇති මූලිකම දන්ත විකලාංගය වන්නේ දත් ඉතා අපිළිවෙළට පිහිටීමයි. සාමාන්‍ය දරුවන්ගේ දත් ඉතා පිළිවෙළට පිහිටනවා. එම සාමාන්‍ය තත්ත්වයට අමතරව උඩු ඇන්දේ දත් මුඛය ඇතුළතින් තල්ලේත් ඇතිවීමේ හැකියාව තිබෙනවා. දත්වල ඇතිවන එම විකෘති පිහිටීම ඉතා සරල ප්‍රතිකාරවලින් සකස් කළ හැකියි.
පාසල්වල දන්ත සායනවලදී එලෙස අපිළිවෙළට දත් පිහිටි දරුවන් හඳුනාගනු ලබනවා. ප්ලාස්ටික් හැන්දක් සැපීම වැනි ඉතාම සරල ප්‍රතිකාර වලින් එම විකෘතීන් නිවැරදි කිරීමේ හැකියාව තිබෙනවා.
දත් ඇන්ද ඉදිරියට නෙරා ඒමත් දන්ත විකෘතිතාවයක්ද?
ඔව්. දත් ඇන්ද ඉදිරියට නෙරා ඒමට බොහෝ පාසල් දරුවන් අතර දක්නට ලැබෙන දන්ත විකෘතිතාවයක්. එය දරුවන් විශාල සංඛ්‍යාවකගේ මානසික මට්ටම පහත වැටීමට බලපාන ගැටලුවක් බවට පත්වී තිබෙනවා. නමුත් ඒ තත්ත්වයද ඉතාම පහසුවෙන් සකස් කළ හැකියි.
වෙනත් දන්ත විකෘතිතා මොනවාද?
දත් පොකුරු පොකුරු පිහිටීම, මුඛයේ හනුව ඉදිරියට පැමිණ දත් පෙළ පිටුපසට යාම තවත් විකෘතිතා දෙකක්. ඒ විකෘතිතා සෑම එකක්ම සුවපත් කිරීමේ හැකියාව තිබෙන අතර ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.
දත්වල තිබෙන විකෘතිතා සැකසීමට කිසියම් වයස් සීමාවක් තිබෙනවාද?
දන්ත විලකාංග සැකසීම සඳහා කිසිදු වයස් සීමාවක් බලපාන්නේ නෑ. වයස අවුරුදු 60, 70 පමණ වයස්ගත පුද්ගලයන් පවා තමන්ගේ දන්ත විකෘතිතා නිවැරදි කරගත් අවස්ථාවන් ඕනෑ තරම් තිබෙනවා.
ඇතැමෙකුට තමන්ගේ දන්ත විකෘතිතාව එතරම් ගැටලුවක් නොවුණත්, රූපවාහිනී නිවේදක කටයුතු කරන අයෙකුට, රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට තමන් තුළ ඇති පුංචි දන්ත විකෘතිතාවයක් වුවත් විශාල ගැටලුවක් වීමට ඉඩ තිබෙනවා.
එම අවශ්‍යතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මුඛයේ සහ දත්වල විකෘතිතා ඇති උදවිය තම අඩුපාඩුව නිසා සෑම වැඩකදීම පසුගාමී බවක් පෙන්නුම් කරනවා. නමුත් මෙම විකලාංගය සකසාගත් පසුව ඉතා හොඳ මානසික ශක්තියකින් යුතුව ඔවුන් ඉදිරියට යනවා.
ඉහත සඳහන් කළ ආකාරයට මෙම දන්ත විකෘතිතා සඳහා ලබාදෙන ප්‍රතිකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ ඒ පුද්ගලයා වෙනුවෙන් එම ප්‍රතිකාර සැලසුම් කළ යුතු වෙනවා.
මල් කම්බි (Braces) යනු මොනවාද?
මල් කම්බි යනු දන්ත විකෘතිතා නිවැරදි කිරීම සඳහා භාවිතා කරන කම්බිවලින් නිර්මාණය කළ උපකරණයක්. ‍ෙමය සාමාන්‍යයෙන් යොදන්නේ දත්වලට පිටතින්. මෙහිදී දිව තිබෙන පැත්තෙන් පමණක් කම්බි යොදා පිටතට ‍ෙනාපෙනෙන ආකාරයට ද එම උපකරණය සකස් කිරීමේ හැකියාව තිබෙනවා. එසේම දතේ වර්ණයෙන්ම සැකසූ උපකරණ ද අද තිබෙනවා.
දත්වල විකෘතිතා ඉවත් කිරීමට වයස බලපෑමක් නොවුණත්, මූලික කාරණා කීපයක් සම්පූර්ණ විය යුතුයි. ඉන් පළමුවැන්න රෝගියාගේ විදුරුමස්වල තත්ත්වය හොඳින් පැවතීමයි. දෙවැන්න දන්ත ව්‍යසනවලින්, දත්වල ඇතිවන කුහරවලින් දත් ආරක්ෂා වී තිබීමයි. එසේම රෝගියාගේ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් පාලනය වී තිබිය යුතුයි.
දත්වල සහ හනුවල විකෘතිතා සකස් කළ විට ඒවා සදාකාලිකවම පවතිනවාද?
නැහැ. එසේ පවතින්නේ නෑ. කලක් ගත වන විට සැකසූ ආකාරයේ කිසියම් වෙනස්වීමක් සිදුවෙනවා. ඒ වෙනස්වීම සියයට 30ක් පමණ විය හැකියි. උපතින් ඇතිවන හෝ වෙනත් හේතුවක් නිසා හෝ ඇතිවන දත්වල විකෘතිතාවන්ට ප්‍රතිකාර කර සකසන්නේ සොබාදහමට විරුද්ධව යමිනුයි. ඒ නිසා නිවැරදි කරන විකෘතිතා නැවත මුල් තත්ත්වයට සුළු මට්ටමකින් හෝ පැමිණීමේ හැකියාව තිබෙනවා.
අපගේ දත් මුල් නැවෙන සුලුයි. ඇදෙන සුලුයි. ස්වභාවිකව ඇතිවන විකෘතිතා වෙනස් තත්ත්වයකට පත්කළත් එම දත උත්සාහ කරන්නේ මුල් තත්ත්වයට පත්වීමටයි. එයයි දතේ ස්වභාවය. නමුත් දන්ත විකෘතිතාවට ප්‍රතිකාර ආරම්භ කළ අවස්ථාවේදීම එම නිවැරදි කළ විකෘතිතා දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමයක් එදිනම සැලසුම් කරනවා. ඒ මඟින් සැකසූ විකෘතිය දීර්ඝ කාලයක් පවත්වාගෙන යා හැකියි.
දත්වල සහ මුඛයේ ඇතිවන විකෘතියක් එම පුද්ගලයාගේ මානසික තත්ත්වයට කෙතරම් බලපෑම් කිරීමට සමත්ද?
ඇතැම් තරුණ තරුණියන් තමන්ගේ මුඛයේ සහ දත්වල ඇති විකෘතිතා නිසා ජීවිතය නැතිකර ගැනීමට උත්සාහගත් අවස්ථාවන් පවා තිබෙනවා. ඒ ඔවුන් තම විකෘතිය නිසා සමාජයට ඉදිරිපත් වීමට ඇති ලැජ්ජාව නිසයි. නමුත් ඉතාම පහසුවෙන් සාමාන්‍ය පෙනුමක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මුඛය සහ දත්වල තිබෙන විකෘතිතා නිසා තවදුරටත් ජීවිතය දෙස අසුබවාදීව බැලීමට අවශ්‍ය නෑ.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ උපතින් ලද විකෘතිතා කලක් ගතවී හෝ නිවැරදි කරගත් විට එතෙක් කල් මුළුගැන්වී සිටි ඔවුන් ඉතා ඉක්මනින් ජීවිතයට සාර්ථකව මුහුණදීමට ජීවිතය ජයගැනීමට පෙලඹෙන බවයි. එවැනි විකෘති තත්ත්වයන් නිවැරදි කරගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දුන් වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පවා සමාජයේ සිටිනවා.
විකෘතිතා නිවැරදි කිරීමට කරනු ලබන ප්‍රතිකාර වේදනාකාරීද?
ඇතැම් දන්ත සහ මුඛ විකෘතිතා නිවැරදි කිරීමට රෝගියා සිහිනැති කළ යුතු වෙනවා. එසේම ප්‍රතිකාර කිරීමේදී සුළු වේදනාවක් ද ඇතිවිය හැකියි. නමුත් එය එතරම් සැලකිය යුතු වන්නේ නෑ. දත්වලට යොදන මල් කම්බි හෝ වෙනත් උපකරණයක් නිසා දින දෙක තුනක් අපහසුවක් දැනුණත් එයට ඉතාම ඉක්මනින් කට හුරු වෙනවා.
ඒ නිසා එම ප්‍රතිකාරවලට බිය විය යුතු වන්නේ නෑ. මෙවැනි දන්ත විකෘතිතා නිවැරදි කිරීමට ප්‍රතිකාර ලබාගත යුත්තේ ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති පළපුරුදු‍ වෛද්‍යවරුන්ගෙන් පමණයි. අත්දැකීම් අඩු පළපුරුද්ද අඩු වෛද්‍යවරු විසින් මෙවැනි විකෘතිතාවන් සැකසීමට යාමේදී රෝගියාගේ දත් ඇන්දට තිබුණාටත් වඩා ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා.
කුඩා කළ ඇඟිලි ඉරීම නිසා පසුකාලීනව දත්වල ඇතිවන විකෘතිය බොහෝ දෙනකුට විශාල ගැටලුවක්. ඒ තත්ත්වය ද ඉතාම සුළු ප්‍රතිකාර ක්‍රම මඟින් සුවපත් කරගැනීමේ හැකියාව තිබෙනවා.
කිරි දත් නොඒමත් දන්ත විකලාංගයක්ද?
ඔව්. කිරිදත් නොඒමත් දන්ත විකලාංගයක්. කිරිදත් එන්නේ නැතිනම් බොහෝවිට ස්ථිර දත් ද එන්නේ නෑ. ඇතැමුන්ගේ එක් කිරිදතක් හෝ එන්නේ නෑ. මෙම තත්ත්වයට ද ඉතාම සාර්ථක ප්‍රතිකාර තිබෙනවා.
දත් අතර ඇති ‘හිදැස්’ වැසිය හැකිද?
එයත් එක්තරා දන්ත විකලාංගයක්. එයටත් සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. හිදැස ඇත්තේ ඉදිරිපස දත් දෙකක් අතර නම් පිටුපස ඇති දත් කිසියම් කාලයක් පුරා ඉදිරියට ඇදීමෙන් ඉදිරි දත් අතර තිබෙන හිදැස වැසීමේ හැකියාව තිබෙනවා. එසේ නැතිනම් කෘත්‍රිමව නිපදවන ලද දතක් හිදැස තිබෙන ස්ථානයට තබා දෙපස දත් දෙකට එය අලවනවා.
එවැනි ඇතැම් ප්‍රතිකාර කළ යුතු වන්නේ රෝගියාට වයස අවුරුදු 18 ඉක්මවූ පසුවයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි