Tuesday, November 12, 2013

පාසල් නිල ඇඳුම හිරට ඇඳගන ආවා කියලා.....



පාසල් ළමයින්ට නොමිලේ නිල ඇඳුම් ලබා දෙන්නේ ෆැෂන් කරන්න නොවේ




අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක කියයි
පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දෙන්නේ මෝස්තර කරන්න නොවන බවත්, දෙමාපියන් ළමයින්ට සුදුසු විදිහට පාසල් නිල ඇඳුම් මසා දිය යුතු බව අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කැර සිටියේ ඊයේ (11) ඔරුගොඩවත්ත ආහාර දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදී 2014 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් බෙදා හැරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින්ය.
තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය. පසුගිය දවසක අපි දැක්කා පාසල් නිල ඇඳුම හිරට ඇඳගන ආවා කියලා ගුරුවරයෙක් දරුවකුගේ කලිසමක් කපලා තිබුණා. ඒ නිසා සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. තමන්ගේ දරුවාගේ නිල ඇඳුම නිල ඇඳුමක් විදිහට සූදානම් කරන්න කියලා. දරුවන්ට අවශ්‍යය මෝස්තර ටික පාසල් කාලයෙන් පසුව කරන්න. නමුත් පාසල් කාලය තුළ දරුවාට පාසල් දරුවෙක් විදිහට සුදුසු ගැලපෙන ආකාරයට නිල ඇඳුම මසා දෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
දරුවන් අතින් යම් කිසි වරදක් වෙනවා නම් ඒ වරදට ඉස්සෙල්ලම දඬුවම ලබා දෙන්න පුළුවන් ගෙදරින්. ගෙදරින් දරුවාගේ ඇඳුම ගැන සොයලා බලලා පාසල් යනවා නම් පාසලේදී දරුවන් අපහසුතාවට පත් වන්නේ නෑ. ඒ වගේම ළමයකුට, ළමයකු වගේ සලකන්නත්, ඒ ළමයින්ට ළමා කාලය ලබා දෙන්නත් දෙමාපියන් කටයුතු කරන්න ඕනෑ.
නොවැම්බර් මස 31 වැනි දින වන විට ගමන්වාර තුන්සීයකින් ලංකාව පුරා විසිරී තිබෙන පාසල් 9731 සඳහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීමට සැලසුම් කැර තිබෙනවා. ඒ වගේම පාසල් නිල ඇඳුම් ලබාදීමේ ජාතික උත්සවය දෙසැම්බර් මස 02 වැනි දින පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ලංකාවේ සියලුම පාසල් දූ දරුවන්ට නිවාඩුවට ගෙදර යනකොට තමන්ගේ නිල ඇඳුම් රෙදි ගෙදර අරන් ගිහින් ලබන වසර සඳහා පාසල් පැමිණෙන විට අලුත් නිල ඇඳුමින් පාසල් පැමිණෙන්න හැකි වෙනවා.
මෙවර පාසල් නිල ඇඳුම් සඳහා රෙදි නිෂ්පාදනය කරනු ලැබූවේ 100%ක්ම ලංකා‍ෙවන්, පසුගිය වර්ෂයේ 50%ක් විදෙස් රටවලින් ආනයනය කරන්න සිද්ධ වුණා. නමුත් මේ වසරේදී දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කරමින් පාසල් දරුවන්ට අවශ්‍යය සියලුම රෙදිපිළි ලංකාවේ කර්මාන්තකරුවන්ගෙන් ලබාගැනීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක්. මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පොත් බෙදාහැරීමේ කටයුතු ද ආරම්භ කරලා තියෙනවා. පොත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට 60%ක් පමණ අවසන් වෙලා තියෙනවා. තුන්වන පාසල් වාරය අවසන් වීමට පෙර පාසල් දරුවන්ට පෙළ පොත් ලබාදීම සිදු කරනවා.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි