Monday, November 11, 2013

මගේ කෙල්ලට බනින්නෙපා....





පියකුගේ ආයාචනයක්‌....

"ඊයෙත් දුවට හවස පන්ති තිබුණා. අදත් ගෙදර එනකොට හොඳටම හවස්‌වෙලා. දැන් හරියට මහන්සි ඇති..."

"එහෙම කියලා කොහොමද අද හෝම් වර්ක්‌ ගොඩක්‌ තියෙනවා. කෝ ගන්න ගන්න පොත..."

දුවට ඇඬිලා. ඒ මදිවට පිනිබාලා සෙම අමාරුව. ගණන් පොත උඩට කඳුළු බින්දු තුන හතරක්‌ වැටුණා. කම්මැලිවෙලා බැහැ. ඉස්‌කෝලෙ වැඩ ටික ඉවර කරන්නෙ නැතිව නිදාගන්න බෑ..." අම්මාගේ තරවටු වැඩි වෙනකොට දුව මා දිහා බැගෑපත් ලෙස බලනවා.

මගේ සිත අනුකම්පාවෙන් පිරිලා. ඒත් ඒක පෙන්වන්න ගියොත් අදට නියමිත ඉස්‌කෝලෙ වැඩ අතපසු වෙනවා. අධ්‍යාපනය නමැති අශ්ව රේස්‌ එකට ළමයි දාලා අපි උත්සාහ කරන්නේ වැඩි ලකුණු සහිතව විභාග පාස්‌කරවල ආඩම්බරකාරයො වෙන්න.

අනේ ඒත් ඒ අහිංසක පැටියන්ගේ ළමා මනසට ඔරොත්තු නොදෙන විෂය ධාරාවක්‌ හිස මත පටවල ඔවුන්ගේ ළමා ලෝකය අමු අමුවේ විනාශ කරනවට වැඩිහිටි අප දඬුවම් ලැබිය යුතුයි. හරි හැටි කෑමක්‌ බීමක්‌ නැතිව, නියමිත ප්‍රමාණයේ නින්දක්‌ නොමැතිව, අව්වට වැස්‌සට පින්නට ගොදුරුවෙලා කායික මානසික රෝගී බවට අකාලයේ ඔවුන් පත් කරන්නේ අපි දැනුවත්ව වීමයි බරපතළ ෙ€දවාචකය.

"අනේ අම්මේ ඇඟට අමාරුයි..."

"ඉන්නකෝ මම පෙනඩෝල් එකක්‌ දෙන්නම්, කම්මැලි නැතුව පොත්වල වැඩ ටික අවසන් කරන්න ඕනෑ..."

"ඔහොම කම්මැලිවෙලා කොහොමද ශිෂ්‍යත්වෙට ලියන්නේ...."

"මේ කෙල්ල අපි දෙන්නා අතරට ආවේ අපි දෙමාපියෝ තත්ත්වයට උසස්‌ කරගෙන. අපි ලබාගත් ඒ පූජනීය තනතුරුවල ගෞරවය

රැකගෙන ඒ ළමයා උගත් මානවිකාවක්‌ කළ යුතුමයි. ඒත් මේ තරම් පීඩනයක්‌ එයාලට දෙන්න සිදු වුණේ කාගේ වරදකින්ද?"

"වරද කාගේ වුණත් කමක්‌ නෑ කෙල්ලට බනින්නෙපා. හිත සුවපත් වෙන වදන්වලින් සංග්‍රහ කරලම මේ පාඩම් ටිකට සම්බන්ධ කර ගනිමු. ආදරණීය වචන ඩිංගකින් ඔය මිලාන සිත විකසිත කරවන්න හැකිවෙයි. සැර වැර කරල දෙන පීඩනය තුළින් තව තවත් අපහසුතා වැඩි වෙනවා. මේ පුංචි හිතේ ලස්‌සන ටික ඒ විදියම තියෙන්න ඉඩ ඇරලා පොතට පතට ළංකර ගන්න මහන්සි ගනිමු."

පන්තියේ ඉන්න ළමයි අතරින් දක්‍ෂතම ළමයා හැටියට අපේ දුව තියන්න පුළුවන්නම් ඒක අපි කාටත් ආඩම්බරයක්‌. එහෙම බැරිවුණත් අපේ කෙල්ල දක්‍ෂතම ළමයි අතරම ඉන්නවනේ. මේ තරගකාරී අධ්‍යාපන රැල්ලේ පළවෙනියා කරන්න හිතාගෙන ළමයින්ට දුක්‌ දෙන එක මහා පාපයක්‌.

විෂය කරුණුවලට තැන දීලා ඒ මතම වෙහෙසට පත්වූ ළපටි සිතේ "මම පළවෙනියා" කියන ආඩම්බරකම තැන්පත් වුණත් කරුණාව, මෛත්‍රිය, ආදරය, සෙනෙහස වැනි හෘදයාංගම වූ පොහොසත් මානව ධර්ම කෙල්ලගේ හිතට නොදැනේවි. අපි මැරිල ගිය කාලෙක මේ මනුස්‌ස ලෝකේ ලොකු සල්ලි ගොඩක අමනුස්‌ස ගති එක්‌ක අපේ දරුවෝ විඳවන එකද අපි එයාලට ඉතිරි කරන්නේ.

වික්‍රමසිංහ අතපත්තු

තලවත්තේගෙදර


http://www.divaina.com/2013/11/11/gurusitha02.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි