Sunday, November 3, 2013

කුරුලු පන්ති - කුරුල්ලන්ට වැඩ - කුරුලු ගුරුතුමා....?????

කුරුලු පන්ති දමා
කුරුල්ලන්ට වැඩ දාන්න කියාදෙන කුරුලු ගුරුතුමා

අප මේ කතා කරන්නේ ගුරුවරයෙක්‌ ගැනය. විශේෂ ගුරුවරයෙක්‌ ගැනය. මේ ගුරුවරයාගේ විශේෂත්වය වන්නේ ඔහු කුරුලු ගුරුවරයෙක්‌ වීමය. කොටින්ම කියතොත් කුරුල්ලන්ට පුහුණුව ලබාදෙන කුරුලු පුහුණුකරුවෙක්‌ වීමය.

ලංකාවේ දැනට සිටින අංක එකේ කුරුලු මාස්‌ටර් මොහුය. ඒ ගැන විවාදයක්‌ නැත. දෙහිවල සත්වෝද්‍යානයේ කුරුල්ලන් පුහුණු කිරීමේ තනතුර සඳහා අයදුම්පත් කැඳවූ අවස්‌ථාවේ ලැබී තිබුණේ එකම එක අයදුම්පතක්‌ පමණය. ඒ විජය ඉලංගකෝන් නැමැති මේ අපූරු මිනිසාගේ අයදුම්පතය.

පසුගියදා අපි මේ අපූරු කුරුලු ගුරුවරයා සහ කුරුලු ගෝලයන් සොයාගෙන ගියෙමු. ඒ යනවිටත් කුරුලු මාස්‌ටර් කුරුල්ලන් සමඟ ඔහුගේ ලෝකයේ තනිවී සිටියේය.

මොහොතකින් දැහැනෙන් බිඳුණු හේ අප පිළිගත්තේය. අනතුරුව සිය කතාව ඇරඹුවේය.

මේ තමයි මගේ ජීවිතේ. මුන්ගෙන් තොර ලෝකයක්‌ මට නැහැ. මගේ ජීවිතේ අවුරුදු 50 ක්‌ විතර ගෙවුණේ මේගොල්ලො එක්‌ක.

මේ ජිමී, අර පෝලී. අතන ඉන්නේ කුකූ සහ කිකී. අර ඈත ඉන්න ලොකු කුරුල්ලා පෙලිකන් කෙනෙක්‌. මේ හැමෝම මගේ දරුවෝ වගෙයි. ඒ කුරුලු මාස්‌ටර්ගේ කුරුලු යාළුවන්ය. කතා ඇති බලන්නකෝ මේ ගොල්ලන්ගේ වැඩ ටිකක්‌.

"ළමයිනේ පන්තිය පටන් ගන්න හදන්නේ. හැමෝම ඇවිත් තම තමන්ගේ ස්‌ථානවලින්ඉඳගන්න." ඒ කුරුලු ගුරුතුමාගේ කටහඬය. ඒ විධානයත් සමඟම කූඩුවලින් එළියට ආ කුරුල්ලන් තමන්ට හිමි ස්‌ථානවල ලැගුම් ගත්තේය. කීකරු කුඩා දරු පැටව් සේ කුරුල්ලන් ඇවිත් වාඩිවුණ අපූරුව අප මවිත කළේය.

පංතිය දෙසින් පොඩි කෑගැහිල්ලකි. "ළමයිනේ කිවුවනේද මම කෑගහන්න එපා කියලා. හොඳ ළමයි ටික වගේ සද්ද නැතිව ඉන්න." එකෙක්‌වත් සද්ද නැත. විනය ගරුක දරු පැටව් සහිත පාසලක්‌ සේය. ගුරුතුමා කතා කරගෙන ගියේය.

"ළමයිනේ මුලින්ම මොකක්‌ද අපි කරන්න ඕනෑ. ජාතික කොඩිය ඔසවන එක නේද?" සියල්ලෝම ඔව් කියන්නාක්‌ මෙන් ඔළුව සෙලවූහ. කවුද අද කොඩිය ඔසවන්නේ. පෝලී, පෝලී එන්න ඇවිත් ජාතික කොඩිය ඔසවන්න කියූ සැනින් එක්‌ කුරුල්ලකු ඉදිරියට ඇවිත් කොඩිය ඔසවා යළි නියමිත ස්‌ථානයට ගියේය. අපි විස්‌මය පිරුණු දැසින් බලා සිටියෙමු. ගුරුතුමා දිගටම පන්තිය පවත්වාගෙන ගියේය.

දැන් අපි ගණිත පාඩම පටන්ගමු නේද? කවුද අද ගණිත ගැටලු විසඳන්නේ. පංතියේ ගණන්කාරයා ජිමීනේ, එන්න ජිමී ඉස්‌සරහට. මෙන්න තවත් කුරුල්ලෙක්‌a උන්තැනින් පියවර කිහිපයක්‌ ඉදිරියට තැබීය.

ජිමී ලැහැස්‌තිද ගණිත ගැටලු විසඳන්න. ජිමී ඔලුව වැනුවේ ඔව් මං ලැහැස්‌තියි කියන්නාක්‌ මෙන්ය.

මේසය මත විවිධ ඉලක්‌කම් ලියූ තහඩු කෑලි කිහිපයක්‌ ඇත. ජිමී පසෙකින් සිටී. 5 න් 3 ක්‌ අඩු කළාම කීයද? ජිමී උත්තරය මේ මහත්වරුන්ට පෙන්වන්න. තප්පර ගණනක්‌ ගතවීමට මත්තෙන් ජිමී අංක දෙකේ ඉලක්‌කම ලියා ඇති තහඩුව හොටෙන් ගෙන පියවර කිහිපයක්‌ ඉදිරියට ආවේය.

මම කුරුලු මාස්‌ටර් දිහා බැලුවෙමි.

"ඔය පටන් ගත්තා විතරයි. තව ගොඩාක්‌ දේවල්වලට මෙයා දක්‍ෂයි. ඔන්චිලි පදින්න, ඉනිමග දිගේ යනවා වගේ වැඩවලටත් මෙයා දක්‍ෂයි."

"තව ජීමී ගැන විශේෂයෙන්ම කිවයුතු දෙයක්‌ තියෙනවා. ඉන්දියාවේ මධුමේෂ්වරි මීවච්චි කියන දෙවිකෙනෙකුගේ අතේ ඉන්නේ ජිමීගේ වර්ගයේ ගිරවෙක්‌ කියලා කතාවක්‌ තියෙනවා. ඒ එක්‌කම ඔහු දේව රූපයක්‌ අපට පෙන්නුවේය. එහි දෙවියන්ගේ අතේ වසා සිටින ගිරවාගේ සහ ජිමී අතර කිසිදු වෙනස්‌කමක්‌ නැත. ජිමීත් අපිරිසිදුවට ඉන්න කැමති නැහැ. කෑමවේල හරි අපිරිසිදුවට තිබුණොත් ඌ දවසම බඩගින්නේ ඉන්නවා. ඒ තරම් ඌ පිරිසිදුකම ගැන සැලකිලිමත්. ඒ වගේම හරිම බුද්ධිමත්.

එක්‌වරම කුරුලු මාස්‌ටර්ගේ කතාව නැවතුණේය. ඔහුගේ දෙනෙත් බොඳව යනු බලා සිටියෙමු. මොහොතකින් හෙතෙම වචන ගළපමින් කතා කළේය.

සමාවෙන්න මට ඇලේක්‌ස්‌ව මතක්‌ වුණා. ජීමීට ඉස්‌සෙල්ලා ඇලෙක්‌ස්‌ කියලා ගිරවෙක්‌ මා ළඟ හිටියා. ඇලෙක්‌ස්‌ මාව දාලා ගියා. මට සැරින් සැරේ ඇලෙක්‌ස්‌ මතක්‌ වෙනවා. ඒකයි කඳුළු ආවේ. ඇලෙක්‌ස්‌ කියන්නෙත් හරිම බුද්ධිමත් ගිරවෙක්‌. බුදුන්ට මල් පූජා කරන්න කීවම බුද්ධරූපය ළඟින් මලක්‌ තියලා එනවා. අපේ රටේ ජනාධිපතිවරුන්ගේ පිංතූර තියලා වර්තමාන ජනාධිපතිතුමා තෝරන්න කීවම ඒක තෝරගෙන එන්න තරම් ඌට මතකයක්‌ තිබුණා. ඔහු කියාගෙන යන්නේය.

මෙන්න ඉන්නවා පංතියේ ලොකුම ගිරවා. නම පෝලි. මෙයත් හොඳ වැඩකාරයෙක්‌. පෝලි මේ මහත්වරුන්ට සැලියුට්‌ එකක්‌ ගහන්න. පෝලි ඉදිරියට පැමිණ හිස ඔසවා අපට ආචාර කළේය.

"මේ පෝලි තමයි ලෝකයේ ඉන්න සැලියුට්‌ ගහන්න දන්න එකම කුරුල්ලා."

පෝලි අපේ අලුත්ම සෙල්ලමක්‌ මේ මහත්වරුන්ට පෙන්වමු නේද" පෝලි කුරුලු මාස්‌ටර් දිහා බලා ඉන්නේ මම ලැහැස්‌තියි කියන්නාක්‌ මෙනි. මේ අලුත් සෙල්ලම කුමක්‌දැයි දැන ගැනීමට උපන් කුකුසින් අපි බලාගෙන සිටියෙමු.

ලී වලින් සෑදූ දිග කඩුවක්‌ මාස්‌ටර්ගේ මුව තුළය. එය වැටෙන්නට නොදී අමාරුවෙන් මුව තුළ රඳවාගෙන සිටී. එකවරම කඩුව මත පෝලි ඉඳගනී. මුව තුළ රඳවාගෙන සිටින කඩුව වැටෙන්නට නොදී මාස්‌ටර්ටත් අපහසුතාවක්‌ නොවන අයුරින් එහි සමබරතාවයත් ආරක්‍ෂා කර ගනිමින් පෝලි කඩුව මත හිඳී. තව සුවිශේෂී හැකියාවන් රැසක්‌ පෝලි සතු බව මාස්‌ටර් පවසයි.

කුරුලු පංතියේ තවත් අමුතුම ජෝඩුවකි. එකෙක්‌ කළුය. අනිකා සුදුය. දෙන්නා ඉඳිකටුවයි නූලයි වගේය. කෑම කන්නේ එකට. ඇවිදින්නේ එකටය. කොටින්ම කියතොත් එකෙක්‌ පිටුපස බැලුවොත් ඒ සැණින් අනෙකාත් පිටුපස බලන්නේය.

"මේ දෙන්නා ඇයි මේ තරම් ළංවෙලා ඉන්නේ" මම ඉලංගකෝන් කුරුලු ගුරුතුමාගෙන් විමසුවෙමි.

"මේ දෙන්නා රටවල් දෙකක කුරුල්ලෝ දෙන්නෙක්‌. ඒ දවස්‌වල දෙන්නට දෙන්නා තරහයි. මට ඕන වුණා මේ දෙන්නව යාළු කරන්න. මට ඒකට සතියක්‌වත් ගතවුණේ නැහැ. පොඩි පුහුණුවීම් ටිකක්‌ කළේ. දැන් බලන්කො දෙන්නා ආදරයෙන් ඉන්න අපූරුව"

කුරුලු පංතියේ තවත් අය වැඩ පෙන්වන්නට බලාගෙන හිඳිති. බයිසිකල් පදින්න, කරත්ත තල්ලු කරන්න උන් සූදානම්ය. නමුත් කාලය හරස්‌වී ඇත. පංතිය අවසන් කරන්න වෙලාව හරිය. දැන් හොඳ ළමයි ටික වගේ ආයුබෝවන් කියලා තම තමන්ගේ තැන්වලට ගන්න. පාසල නිමවී නිවෙස්‌ බලා යන සිසුන් පිරිසක්‌ මෙන් කුරුල්ලන් තම තමන්ගේ කූඩු තුළට රිංගුවේය. කුරුලු ගුරුතුමා කුරුලු පන්තිය නිම කළේය.

සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි දෙහිවල සත්තු වත්තට ගියොත් ඔබටත් කුරුලු මාස්‌ටර්ගේ හා කුරුලු ගෝලයන්ගේ අපූරු වැඩටිකක්‌ බලාගත හැකිsය. අප මේ මිනිසාට සමුදුන්නේ යළිත් හමුවන බලාපොරොත්තුව හිතේ රඳවාගෙනය.

ගයාන් සමරසිංහ
පිංතූර - සමන් අබේසිරිවර්ධන
 


http://www.divaina.com/2013/11/03/feature04.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි