ශිෂ්‍යත්වයෙන් පසු මානසික රෝග සායනවලට යන අපේ පැටවු "හැමෝම පාස්........මං ෆේල්...........
"හැමෝම පාස්........මං ෆේල්...........
හිටිවනම රෑ ඇඳේ ඉඳගෙන හීනෙන් කියාගෙන කියාගෙන ගියේ පුංචි දරුවෙක්. වාට්‌ටුවේ නේවාසික ප්‍රතිකාර ලබන මේ පුංචි දරුවා රෑට එහෙම කියවන්නේ ඇයි දැයි මවගෙන් විමසුවා.
"ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිත් ටික දවසක් ගියාට පස්‌සේ එයා ඔය වගේ රෑට බය වෙලා කෑ ගහනවා. මෙයා හොඳට වැඩ කරපු දරුවෙක්. අපටත් තිබුණ බලාපොරොත්තුව විභාගේ පාස් වෙයි කියලා."
විභාගයක් අසමත් වූ සැනින් පුංචි දරුවෙක් රෝගියෙක් බවට පත්වේ නම් එය සිදුවිය හැකි සිදුවිය යුතු තත්ත්වයක්‌ද?
"මට ආයේ ඉස්‌කෝලේ යන්න බෑ. මැඩම් කිව්වා විභාගෙ ෆේල් වෙලා මේ පැත්ත පළාතේ එන්න එපා කියලා.
"ඒ විහිලුවට වෙන්න ඇති"
ඒ විහිලුවට වුණත් යන්න බෑ. මම හොඳට වැඩ කරන නිසා කවදාවත් ෆේල් වෙන්නේ නෑ කියලා මැඩම් හැමදාම කිව්වා. මට ආයේ ඉස්‌කෝලේ යන්න බෑ.
ඒ තවත් පහේ දරුවෙකි.
"අපි මැරිලා ආයෙත් ඉපදෙනවද අම්මේ."
ඔව් පුතේ ඇයි ?"
ඒ ඉපදිලාත් ආයේ ශිෂ්‍යත්වය ලියන්න වෙනවද?
මේ දරුවන්ට ශිෂ්‍යත්වය නමැති ප්‍රාථමික අංශයේ විභාගය ජීවිතයේ කඩඉමක් බව ඒත්තු ගන්වා මානසික පීඩනයක් ලබා දුන්නේ කවුද?
ඉස්‌සර මම හැම වැඩකටම ඉදිරිපත් වෙනවා. ගිය අවුරුද්දේ ශිෂ්‍යත්වය ෆේල් වුණාට පස්‌සේ මොනම දේකටවත් යන්න හිතෙන්නේ නෑ. හැම වැඩකදීම හිතෙන්නේ බැරිවෙයි කියා.
දැනට හයේ පන්තියේ ඉගෙනුම ලබන දරුවෝද එසේ පවසති.
දරුවෝ එසේ පවසද්දී දෙමවුපියෝ මෙසේ පැවසූහ.
"ප්‍රතිඵල අහපු මොහොතේ නම් දරුවොත් මරලා මටත් මැරෙන්නම හිතුනා."
මගේ මුළු කාලයම යෙදෙව්වේ මේ දරුවාගේ විභාගය වෙනුවෙන්. උදේ හවස දැඟලුවේ වැඩ කරවන්න. ඒත් ඵලක් නෑ. මේකා කරගත්තේ නෑනේ.
අපේ කරුමේ, විභාගේ පාස් වුණා නම්, සේරම හරියන්න තිබුණා."
ඉල්ලන හැමදේම දුන්නා. තියෙන හොඳම පන්තිවලට දැම්මා ඒත් මේකා ෆේල්.
පහේ දරුවන්ගේ අම්මලා තාත්තලා මෙවන් මෘග අදහස් දක්‌වනු ඇතැයි සිතන්නේ කවරෙක්‌ද? එහෙත් සැබෑ සත්‍ය එයයි. මේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ බොහෝ මවුවරුන්ගේ පියවරුන්ගේ සිත්හි ජනිතව ඇත්තේ එපමණම කෲර වූ මිලේච්ඡ වූ අදහස්‌ය. සිතිවිලිය.
පුංචි දරුවන් ජයග්‍රහණය හා පරාජය සමව දරාගත යුතුය. ජයග්‍රහණය සහ පරාජය එකසේ විඳදරා ගැනීමට නොහැකි වන තැන නිර්මාණය වන්නේ, අනුන්ගේ සතුටට ජයග්‍රහණයට ඊර්ෂ්‍යා කරන අයෙකි. එක්‌කෝ කිසිවක් විඳදරා ගත නොහැකි දුර්වල රෝගියෙකි. එක්‌කෝ සියල්ල අතහැර දමා ඔහේ ජීවත්වීමට සිතන නිකමෙකි.
සැබැවින්ම මෙම තත්ත්වය නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ බොහෝමයක් දෙමවුපියෝ සහ බොහොමයක් ගුරුවරුය. ඇත්ත ඇති සැටියෙන් නොදකින, පොළොවේ පය නොගැසූ මනෝ ලෝකයක් මවා එහි රජවී වැජඹීමට වෙර දරණ දෙමවුපියෝය. ගුරුවරුය.
දරුවා යනු සියල්ලටම එකසේ සමත් හෝ අති දක්‌ෂ හෝ සියල්ල කළ හැකි අයෙකු නොවේ. තවත් දරුවෙකුගේ හැකියාව එපරිදිම තවත් දරුවෙකුට නැති බව වටහා නොගන්නා මේ අතිධාවන මං තීරුවේ දුවන බොහොමයක් වැඩිහිටියෝ තුනේ පන්තියේ පටන්ම දරුවාගේ මනස විකෘති කිරීමේ මහා සංග්‍රාමයට අත තබති. මනස විකෘති කරති. පොතෙහිම පන්ෙච්න්ද්‍රියම ගිල්ලවා, සෙසු නිර්මාණ කුසලතා ක්‍රීඩා කුසලතා වියළා දමති. එහෙව් කල දරුවන් මානසික රෝගීන් නොවී රැකෙත්ද?
මෙම සංග්‍රාමයෙන් බැහැරව සිටින්නේ නම්, නිදහසේ දරුවන්ට සුවසේ වැඩෙන්නට ඉඩ ප්‍රස්‌ථාව සලසා දෙන්නේ නම් ඒ දැතේ ඇඟිලි තරමට සීමාවූ දෙමාපිය ගුරුවරු පිරිසක් පමණකි.
කාලය ගතව තිබුණද මෙනෙහි කොට පසු තැවෙන්නට සිදුවූ සිදුවීම් එමටය.
දරුවන්ගේ ජයග්‍රහණය අපේක්‍ෂා කිරීම මේ මිහිපිට සෑම මවකගේම පියෙකුගේම ගුරුවරයකුගේම හෘදයාංගම ඒකායන ප්‍රාර්ථනය විය යුතුය. එහෙත් අද පුංචි දරුවන්ගෙන් යදින්නේ වැඩිහිටියන්ට ඉටුකර ගත නොහැකිවූ ලබා ගත නොහැකි වූ ඔවුහු උත්සාහ නොකළ ජයග්‍රහණයන්ය.
ඉකුත් ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී නිකුත්වූ 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල හමුවේ ඇතැම් (බොහෝ) වැඩිහිටියෝ ළමා දිනය සැමරුවේ යස අපූරුවටය. ප්‍රතිඵල නිකුත්වන මොහොත තෙක් ඉන්ටර්නෙට් කැෆේ ගානේ කාර්යාලවල පරිගණක ඉදිරියේ පාසල් ගේට්‌ටු ගානේ ජංගම දුරකථනයේ දැස මානාගෙන හුන් රෞද්‍ර දෙමවුපියෝ කඩු කිණිසිවන් වෛරී ගෙරවුම් සහිත සිතිවිලි සමඟ දරුවා සොයා ගියේ දරුවා අසමත් බව දැනගත් සැනිණි.
Not Qualifiea යන වැකිය දුටු සැනින් ඔවුහු රා බී මත්වූ ගජුන් සේ වීය. ඇතැම් ගුරුවරුද ඊට නොදෙවෙනි විය. "මගේ නම්බුව කෑවා." ඔවුහු කෑමෝර දුන්හ.
පහ ශ්‍රේණියේ දරුවෝ කඩපිල් ගානේ මං මාවත් ගානේ, වීථි ගානේ බස් රථ ගානේ ඉකිබින්දේ මිනී මැරුමක් සිදුකර මහා වරදකට හසුවූවන් සේය. ඔවුහු ඉකි ගසමින් කදුළුවැල් දිගහරිමින් ලෝක ළමා දිනය සැමරූහ.
එදින මෘග දෙමාපියෝ අසමත් දරුවන් කැටුව ගියේ අමාරුවෙන් බෙල්ලේ දම්වැල දමා බලහත්කාරයෙන් කූඩුවට දක්‌කාගෙන යන බලුකුක්‌කන් රැලක් පරිද්දෙනි.
මෙහෙව් මවුපිය රැලක් දක්‌කාගෙන යන අනාගතය "සැබැවින්ම ආශ්චර්යවත්" එකක් වන බව නම්, නොඅනුමානය.
එතකින් නතර නොවිනි. මේ සටහන තබන දින වන විට ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී මාස දෙකක් ඉක්‌ම ගොසිනි. වට පිටාවෙන්ම ලත් තොරතුරු මත රෝහල් කිහිපයකටම ගොස් විපරම් කිරීමටත් යක්‍ෂ වෙස් ඇති හදවත් සහිත මවුවරු පියවරු යෑයි කියන ගැහැනු පිරිමි සමඟත් කතා බහ කරන්නට අවස්‌ථාව ලදිමි. ඒ අත්විඳි සත්‍යය සමග තබන සටහනකි මේ.
බොහොමයක් රෝහල්වල ඕ. පී. ඩී. එකෙන් බෙහෙත් රැගෙන යන්නට පැමිණ සිටි පිරිස් අතර වයස අවුරුදු 10-11 දරුවෝ වූහ. ඔවුහු ඔහේ බලාගත් වනම සිටියහ. සමහරු ඔක්‌කාරයට එන බව කියමින් දැඟලූහ. තවත් තැනක දරුවන්ට සහලෝලා උණය. ඇඟ සීතල කරලාය. වෙව්ලනවාය. තවත් දරුවෝ හිසරුදාවෙන් කෑ ගැසූහ. (එකම රෝහලේ නොවේ දිස්‌ත්‍රික්‌ක කිහිපයක රෝහල් රැසකය.
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා මේ දරුවන් යොමු කරනු ලැබුයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙතය. රෝගය මානසික ආතතියයි. එය විශාදයයි. විශාදය (Depression) හැදෙන්නේ හෙම්බිරිස්‌සාව හෝ කැස්‌ස වාගේ නොවේ හදිසි අනතුරක් වාගේ සැනින් නොවේ.
මතු දිනෙක අවශ්‍යතාවයට එකින් එක කැටයක එකතු කරන කාසි වගේය. ගඩොලින් ගඩොල එකතු කරලා හදන ශක්‌තිමත් ගොඩනැඟිල්ලක් සේය.
විෂාධය ලෙඩක් විදිහට පිටතට පෙනෙන්නේ නැත. නමුත් පුංචි දරුවෝ සැහැල්ලුවෙන් සතුටින්, ක්‍රියාශීලීව එදිනෙදා කටයුතු නොකරන බව දුටු විට වැඩිහිටියෝ තේරුම් ගත යුතුයි මේ දරුවා මානසික ආතතියකින් පෙළෙන බව.
මෙහිදී තේරුම් ගත යුතු අත්‍යාවශ්‍යම කාරණය එවැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට පසුබිම කාලයක් පුරා සකස් කළේ වැඩිහිටියන් වන අප විසින්ම බව තේරුම් ගැනීමය.
දෙමවුපිය උවමනාවන් මත, මෙලොව එළිය දුටු මේ කිරිසප්පයින්ට වැඩිහිටියන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දිය හැකිද?
දැන් දැන් මේ පිළිබඳව විද්වත් අවධානයත්, බලධරයන්ගේ අනුහසත් ලැබිය යුත්තේමය.
දෙමවුපියන්ට ඇත්තේ, ජනප්‍රිය හෝ ජාතික හෝ උසස් පාසලකට දරුවා යෑවීමේ සහ එමගින් තමන්ට තම පවුලට ලැබෙන "නම්බුව" පුම්බා ගැනීමේ අතිශය වූ උවමනාවකි. එහි එක් අතෙක සාධාරණයක් ඇත්තේ ගමේ පාසල තුට්‌ටුවකට නොවටින තැනට ඇද දමා ඇති බැවිනි.
ගමේ පාසල නඟා සිටුවා දරුවාගේ මනස රැකගන්න දැන් කාලයයි.
එසේ නොවන කල දෙමවුපියන්ගේ කෲර තර්ජනයන්ට ලක්‌ව මානසික පීඩාවන්ට ගොදුරුවූ අනාගතය "ආශ්චර්යමත් මානසික රෝගීන් රැසක් සමඟ පෙරට ඇදෙනු ඇත.
ඊයේ අද සහ හෙට අසමත්වූ පහේ දරුවන් අතුරින් බොහොමයක් දෙනා රෝහල් මනෝ වෛද්‍ය සායනයේ පෝළිම්වල නියපොතු සපමින් සිටිනු ඇත.
ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් අතුරින් අප හා අදහස් ගෙන ආවේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සවීන්ද්‍ර ඩයස් මහතාය.
තරගකාරී සමාජ රටාවක් එක්‌ක අද දෙමවුපියෝ මමයි මගේ ළමයයි විතරයි වටින්නේ කියන මතයකට ඇවිත් එතනදී දරුවාට ආදරය රැකවරණය පෝෂණය ලබා දීම දෙවනුවට තබා ළමයාගේ බුද්ධිය වර්ධනය කරන්න මහා වෙහෙසක් ගන්නා සැටියක් දක්‌නට ලැබෙනවා.
වත්මන් දෙමවුපියෝ ගුණධර්ම, ආචාර් ධර්ම විනය, අන්‍යන් සමඟ සබැඳියාව ඉගෙනගත් අය නොවෙයි. මේ අය ගුණධර්ම යහපුරුදු සංයමය ඉගෙන නොගෙන දරුවන්ට කියා දෙන්නේ කොහොමද? යමක් කියාදෙන්න එය ඊට පෙර තමා දැන සිටිය යුතුයි.
මේ විනාශයට මුල එයයි. දෙමවුපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ විභාග ප්‍රතිඵලය සමත්වීම පමණයි.
ඒ උදෙසා වත්මන් දෙමවුපියෝ දරුවන්ට වැරදි උපදෙස් දෙනවා. කොපි කරන්න කියා දෙනවා දක්‍ෂ දරුවන් තලා පෙලා දමන්න කියා දෙනවා. හොර වැඩ කියා දෙනවා.
කෙටියෙන්ම කියනවා නම් පහේ පන්තියේ දරුවා යනු මිනිසෙකු පිsට නැගි අසරුවෙකි වැනියි.
මෙවන් තත්ත්වයක් මත දරුවාට ඉදිරියේදී මතක ශක්‌තිය ක්‍රම ක්‍රමයෙන් හීන වී යනවා. අලස දරුවෙකු බවට පත් වෙනවා. නිතර බිය සුළු අයෙකු වෙනවා. කිසිදු අභියෝගයකට මුහුණ දීමට ඉදිරිපත් නොවන තත්ත්වයට පත් වෙනවා.
එය දරුවාට කරන මහා අපරාධයක් ·
දරුවන් පොතට පතට පමණක් සීමා නොකර ක්‍රීඩා, සෞන්දර්යය ඇතුළු යහළු මිත්‍රාදීන් ඇසුර ඇතුළු විවේකයෙන් නිදහසෙන් වැඩෙන, ආදරය කරුණාව පෝෂණය නිති ලබන්නකු බවට පත් කිරීම ඉතා හොඳ නැණැති දෙමව්පියන්ගේ වගකීමක්.
උපේක්‍ෂා වීරසේකර |
|
|
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි