Monday, November 25, 2013

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  අමාරු යැයි හිතන්න එපා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව ගුරු අත්පොත් හා පෙළපොත් අධ්‍යයනය කරමින් ‍මා මේ කියන ආකාරයට විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.
අනාගතයට සාර්ථකව මුහුණ දීම සඳහාත් රැකියා වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නව දැනුම ලබාගැනීම සඳහාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරීම පාසල් දරු දැරියන්ට ඉතා වැදගත්ය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ප්‍රශ්න පත්‍ර 2කින් සමන්විත වේ. 1 වන පත්‍රය සඳහා බහුවරණ ප්‍රශ්න 40ක් ඇති අතර ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40කි. මේ සඳහා කාලය පැය 1ක් ලැබේ. පළමු පත්‍රය සඳහා මුළු විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි සැකසේ.
II ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විත වන අතර එයින් පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු අතර තවත් ප්‍රශ්න 4ක් තෝරා ගැනීමට ඔබට සිදුවෙයි. ඒ අනුව II පත්‍රයට ප්‍රශ්න 7න් 5කට පැය 2ක කාලයක් තුළදී පිළිතුරු සැපයිය යුතුය. මෙහි අනිවාර්ය‍ය පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 10කින් සමන්විත වේ. ඒ සඳහා 1 වන කොටසට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හිමිවේ.
අනෙකුත් ප්‍රශ්න 4 සඳහා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හිමිවේ. මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සඳහා ලකුණු 40කුත් II පත්‍රය සඳහා ලකුණු 60කුත් ලැබෙන අතර මේ දෙකේ එකතුවෙන් අවසන් ලකුණු ගණනය කෙරේ.
II පත්‍රයේ පිළිතුරු පත් ඇගැයීමේ දී පොදුවේ දැකිය හැකි කරුණක් වන්නේ දරුවන් පිළිතුර දැනගෙන සිටිය ද නිවැරැදිව පිළිතුරු ලිවීමට නොදැනීම නිසා බොහෝවිට ලකුණු ගිලිහී යන බවයි.
II පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට පෙර ඔබ මුළු විෂය නිර්දේශයේ ම අඩංගු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුය. මෙහි කෙටි ප්‍රශ්න 10ට දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙටි හා නිශ්චිත පිළිතුරු පමණි. දීර්ඝ පිළිතුරු සැපයීමෙන් ලකුණු ගිලිහී යනවා පමණක් නොව කාලය ද නිරපරාදේ විනාශ වී යයි. පළමු ප්‍රශ්නයේ සරල ප්‍රශ්න ඇතුළත් වුවත් බොහෝ දරුවන් මේ ප්‍රශ්නයට ද ප්‍රමාණවත් ලකුණු ලබා නොගනී. එසේ වන්නේ නොසැලකිලිමත් බව හා නිශ්චිතව පිළිතුර ලිවීම නිසා ය. එක් කෙටි ප්‍රශ්නයක (a) , (b) යනුවෙන් ප්‍රශ්න‍ කොටස් 2ක් ඇත්නම් පිළිතුරු ලිවී‍ෙ‍ම් දී (a), (b) ලෙස පිළිතුර ද වෙන් වෙන්ව ලිවීමට මතක තබාගත යුතුය.
බොහෝ ශිෂ්‍යයන්ගේ ගැටලුවක් වන්නේ ප්‍රශ්නය පිළිතුරු ලිවීමට පෙර හොඳින් කියවා නොබැලීමයි.
උදා: Bits 7 කින් නිරූපණය කළ හැකි Symbols ගණන කීයද? ගණනය කිරීම් පෙන්වන්න.
මෙහිදී ඇතැම් දරුවන් 128 යනුවෙන් පමණක් පිළිතුරු ලියයි. ප්‍රශ්නයට අනුව ගණනය කරන ආකාරය 27 (2 හි 7 වන බලය) සහ Symbols ගණන 128 ලෙස පිළිතුරට ඇතුළත් විය යුතුය.
ඉමල්කා දිසානායක
දේවි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා
සන්නිවේදන තාක්ෂණ විෂය බාර ආචාරිණී
graphic and animation software ඇතුළත් ඒකකය දරුවන් වැඩි අවධානයක් යොමු නොකරන කොටසකි. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර පිළිබඳ අවධානය යොමු කළ විට පළමු ප්‍රශ්න 10න් එකක් එම කොටසින් දී ඇත. මේ නිසා අමාරු ඒකක යැයි අත නොහැර සෑම ඒකකයක් පිළිබඳවම අවධානයක් යොමුකර පාඩම් කරන්නට ‍මතක තබා ගන්න.
විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට II පත්‍රයේ පළමු ප්‍රශ්නය සඳහා ලකුණු ලබාගැනීම ඉතා පහසු වෙයි.
ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සැලකිමේ දී Spreadsheets සහ Algorithms යන පාඩම්වලින් සෑම වසරකම ප්‍රශ්න 2ක් ඇතුළත් වී ඇත.
Spreadsheets පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අදාළ cell එකෙහි ඇතුළත් කරන formula / function එක පමණක් පිළිතුර සඳහා ලිවීමට මතක තබාගත යුතුයි.
උදා: D6 Cell එක තුළ ලිවිය යුතු Function එක = Sum (D1 : D5) නම්, D6 = Sum (D1 : D5) ලෙස පිළිතුර ලිවීම ඇතැම් දරුවන් කරන වරදකි. එසේ ලිවීමෙන් සම්පූර්ණ ලකුණු අහිමි වී යයි.
එසේම formula / function ලිවීමේදී ‘=’ ලකුණ යෙදීමට මතක තබා ගන්න. cell references ලිවීමේ දී Absolute references (උදා: B $ 6) ලියන අවස්ථා සහ ආකාර දැන සිටිය යුතුය.
Algorithm පිළිබඳ ප්‍රශ්නය දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාව මැන බලන ප්‍රශ්නයකි. මෙය බො‍හෝ දරුවන් අමාරු ප්‍රශ්නයක් සේ සලකා කලින්ම අතහැරීමට තීරණය කළ ද මෙය පහසුවෙන් ලකුණු ලබාගත හැකි ප්‍රශ්නයකි.
Flowcharts / Pseudo Codes වල භාවිතා වන Variable names සඳහන් කිරීමේදී Capital lettersSimple letters වල අක්ෂර වින්‍යාසය නිවැරැදිව ලිවීමට මතක තබාගන්න.
උදා: House = house.
එසේම Flow charts අඳින විට නිවැරැදි සංකේත භාවිත කළ යුතුයි.
මෙවැනි ප්‍රශ්නවලට බිය නොවී දී ඇති සිද්ධිය හොඳින් තේරුම්ගෙන පිළිතුරු ලිවීමෙන් පහසුවෙන් ලකුණු ලබාගත හැකිය.
අවසාන ඒකකය වන ‘තොරතුරු තාක්ෂණය සමාජයේ භාවිතය’ ද සෑම වසරකම ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන ඒකකයකි. මෙම ප්‍රශ්නය සාමාන්‍ය දැනීමෙන් පිළිතුරු සැපයිය හැකි පහසු ප්‍රශ්නයක් සේ පෙනුණ ද ප්‍රශ්නයට විශේෂිත පිළිතුරු බලාපොරොත්තු වන බව දරුවන් මතක තබාගත යුතුය. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී හොඳින් කියවා අවබෝධ කරගෙන, තමා ලියන පිළිතුර ප්‍රශ්නයට අදාළ දැයි තහවුරු කරගෙන පිළිතුර ලිවිය යුතුයි. එසේම විශේෂිත පද (උදා : firewall) පැහැදිලි කිරීම් වලදී එය නිවැරැදිව අවශ්‍ය Key Words යොදා නිර්වචනය කළ යුතු අතර මේවාට බොහෝ විට කොටස් ලකුණු හිමි නොවේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ.
මෙම විෂයේ ප්‍රායෝගික කොටසේ විවිධ මෘදුකාංග භාවිතය පිළිබඳ අන්තර්ගතවේ. මෙහිදී විවිධ කාර්යයන් කිරීමට වි‍ෙශ්ෂිත වූ මෘදුකාංග වර්ගය කුමක්ද යන්න දැනගත යුතු අතර ඒවායේ වෙළෙඳ නාමයන් වැදගත් නොවේ. පිළිතුරු ලිවීමේ දී දරුවන් වෙළෙඳ නාමයන් සඳහන් නොකළ යුතුය.
උදා:- documents සැකසීම සඳහා word processing softwaredatabase නිර්මාණය කිරීමට database management Systems යන මෘදුකාංග භාවිතා කරන බව දරුවන් දැනගත යුතුයි. විශේෂිත මෘදුකාංගයක් ආධාරයෙන් යම් කාර්යයක් කිරීමේ පියවර මතක තබා ගැනීම දරුවන්ගෙන් බලාපොරොත්තු නොවේ.
විභාගයට දින කිහිපයක් ඇති බැවින් පසුගිය ප්‍රශ්න පත්‍රවලට නැවත පිළිතුරු ලිවීමෙන් විෂය කෙරෙහි ඔබ තුළ හොඳ විශ්වාසයක් ගොඩනඟාගත හැකිය.
ඔබට මඟහැරී ඇති පාඩම් ඇත්නම් ඒවා පාඩම් කිරීමට දැනටමත් ඇති කාලය ප්‍රමාණවත්ය. මේ කාලය අපතේ නොහරින්න. සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වන්න.
පසුගිය වසර පහ තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්න සකස් කරන රටාව ගැන ඔබට හොඳ අවබෝධයක් ලබාගත හැකිය.
නැවතත් මතක් කළ යුතු කරුණක් වන්නේ විශේෂයෙන්ම සියලුම ප්‍රශ්න හා උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගෙන ඒ අනුව පිළිතුරු ලිවීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන්ට ඒ සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමටත් මේ කියූ උපදෙස් හොඳින් පිළිපදින්න.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි