Saturday, November 30, 2013

අම්මට පාඩම් උගන්වන්න ලකුණු 0ක් ගත් පුතෙක්

අම්මට පාඩම් උගන්වන්න ලකුණු 0ක් ගත් පුතෙක්

ශිෂ්‍යත්ව විභාගයට කියන්නේ අම්මලාගේ විභාගය කියාය. දරුවෝ විභාගයට පෙනී සිටිය ද විභාගයට වෙහෙසෙන්නේ තාත්තලාත් දරුවෝත් නොව අම්මලාය. දරුවන් විභාගය නිසා වෙහෙසවන්න එපා යැයි හඬනඟා පැවසුව ද මේ සත්‍ය කතාව එය නෑසෙන අම්මලාට හොඳ පාඩමක්. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අපට මේ සිදුවීම අනාවරණය කළේ ශිෂ්‍යත්ව විභාගයට කුඩා දරුවන් මෙහෙයවන සමස්ත අම්මලාටම ආදර්ශයක් වශයෙනි.
මේ අම්මා ද තම දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කළේ දරුවාට කුඩා කළ සිටම අසීමිත බරක් පටවමිනි. පාසල් ගියදා පටන් පන්තිවලට කැඳවාගෙන ගියේ ද ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගෙනය. දරුවා ඇත්තටම දක්ෂය. ඒ දක්ෂකම ඔහු තුළ උපතින්ම උරුම වුවත් දරුවාගේ දක්ෂ අදක්ෂ බව මවට වැදගත් නැත. මවගේ බලාපොරොත්තුව සෙසු මවුවරුන් මෙන් තම දරුවාට පන්ති හරහා ශිෂ්‍යත්වය සමත්කර වන්නටය.
ශිෂ්‍යත්වයට පෙරම දරුවාට ශිෂ්‍යත්වය එපා විය. එය නොපෙන්වූ දරුවා මවට ද හිතින් බැණ වදිමින් විභාගයට මුහුණ දුන්නේ කරකියාගත හැකි දෙයක් නොමැති තැනය.
ශිෂ්‍යත්ව විභාග නියමිත දින ආරම්භ විය. අම්මා සුබ නැකතින් තම දරුවා විභාග ශාලාවට කැඳවාගෙන ගියේ අසීමිත බලාපොරොත්තු රැසක් සිත තුළ රඳවාගෙනය.
ප්‍රශ්න පත්‍රය අතට ගත් දරුවා එක හුස්මට පිළිතුරු සපයාගෙන ගියේය. ඇත්තටම ඔහුට ප්‍රශ්න පත්‍රය කජු කන්නාක් මෙන් ලෙහෙසිය. වෙලාවටත් පෙර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා නිම කළ ඔහු නැවතත් ප්‍රශ්න පත්‍රය දෙස බලාගෙන කල්පනා කරන්නට විය. තමාට වද දුන් අම්මාට හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය හොඳම අවස්ථාවක් බව එවේලේ ඔහුට සිතෙන්නට විය. තමා සාර්ථකව ලියූ පිළිතුරු ඔහු පෑනක් ගෙන සියල්ල කපා දැමීය. නැවතත් වැරදි තැන්වල ඉරි ගසමින් වැරදි පිළිතුරු පත්‍රය පුරාම ලිවීය.
විභාගය අවසන් විය. තවත් සති කිහිපයකින් ප්‍රතිඵල නිකුත් විය. ඒ අම්මාගේ බලාපොරොත්තු කඩකරමින් තම දරුවාට ශිෂ්‍යත්ව විභාගයට ලැබුණේ ලකුණු බිංදුවකි. සිදුවූ දේ දන්නේ දරුවා පමණි.
‍මේ අතර මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයෙන් විමර්ශන ආරම්භ කෙරිණි. දරුවා ගෙන්වා විමර්ශන ඒකකයෙන් ප්‍රශ්න කැරිණි. දරුවාගේ සාර්ථක පිළිතුරු ඒ ආකාරයෙන්ම තිබුණා නම් ඔහුට ලැබෙන්නට තිබූ ලකුණු ප්‍රමාණය 190 ඉක්මවයි. එසේ නම් මේ දක්ෂ දරුවා ලකුණු 0 කරා ගියේ කුමන අරමුණකින්ද?
විමර්ශන නිලධාරීන්ට දරුවා සත්‍යය හෙළි කළේය. “... මම මෙහෙම කළේ අම්මගෙන් පළිගන්න” ඔහු සත්‍ය අනාවරණය කළේ ඒ ආකාරයෙනි. දරුවාට විභාගයෙන් වැඩක් නැත. විභාගය වැදගත් වූයේ ඔහුට නොව අම්මාටය. අම්මාට වැදගත් වූ විභාගය වෙනුවෙන් දස වද, බැණුම් අසන්නට ලැබුණේ තමාට නිසා සිතේ වූ කේන්තිය ඔහු පිරිමසා ගත්තේ ප්‍රශ්න පත්‍රයෙනි.
මේ සත්‍ය සිදුවීමකි. මෙය ඉතා මෑතකදී ශිෂ්‍යත්ව විභාගය ‍ෙවනුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය විසින් පැවැත්වූ අමිහිරි විමර්ශනයකි.
මේ දරුවා තම දක්ෂතාව, ජයග්‍රහණය පසෙකට ලා පාඩමක් කියාදුන්නේ සමස්ත මවුපියන්ටය. ශිෂ්‍යත්ව විභාගය කිසිසේත් දරුවන්ට අනවශ්‍ය බරක් පැටවිය යුතු නොවේ. ශිෂ්‍යත්ව විභාගය පමණක් නොව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ද දරුවන් යොමු කළ යුත්තේ එය නිදහස් චින්තනයෙන් පිළිතුරු සැපයීමට ඉඩ කඩ සලසා දෙමිනි.
විභාගයේ දී දරුවන්ට අනවශ්‍ය බරක් පැටවුවහොත් සිදුවන්නේ එයට මුහුණ දීමට පෙරම එය දරුවන්ට අමිහිරි වීමය.
උගත් මවුපියනි, ජීවිතයේ එකම දෙය විභාගය පමණක් නොවෙයි. එසේම අධ්‍යාපනයේ පදනම ද විභාගය නොවෙයි. ඔබේ දරුවාගේ දක්ෂතාවට මුල්තැන දෙන්න. දක්ෂතාවයෙන් හැකියාවෙන් විභාගයට මුහුණ දෙන්නට ඉඩ හරින්න. ඒ සඳහා අවශ්‍ය පසුබිම පමණක් ඔබේ දරුවාට ලබා දෙන්න. අනවශ්‍ය වචන වලින් දරුවාව පිඩාවට ලක් නොකරන්න.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සිළුමිණ පුවත්පතට ලබාදුන් තොරතුරු ඇසුරෙන් සැකසිණි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි