Saturday, November 30, 2013

ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

රාජකීය විදුහලේ කලබලකාරී පරිසරයක් නිර්මාණය වන්නේ උදේ විදුහල පටන් ගැනීමට පෙරය. ළමෝ කලබලයෙන් පන්ති කාමරවලට යති.  එය 1967 වර්ෂයේ තවත් දිනයකි. අපොස සාමාන්‍ය පෙළ පන්තිවලට ගණිතය උගන්වන මහරගම ගුරු අභ්‍යාස විදුහලේ පුහුණුව ලැබු ආර්. අයි. ටී. අලස් පොත අස්සන් කොට ගුරු කාමරයට වෙනදා වගේම ගියේ කාල සටහන අනුව පන්තියකට යා යුත්තේ දෙවැනි කාල පරිච්ඡේදයේ නිසාය.
එවක රාජකීය විදුහලේ විදුහල්පති වූයේ බෝගොඩ ප්‍රේමරත්න මහතාය. ඔහු අලස්ට කතා කළේ කෙටි නමකිනි. ආර්. අයි. ටී. අලස් කියන නම කෙටි වූයේ Mr. Rita යනුවෙනි.
රාජකීය විදුහලේ කාර්යාල කාර්ය සහායකයා ගුරු කාමරයට යමින් සිටි අලස් සර්ට තුණ්ඩුවක් ගෙනාවේය. තුණ්ඩුව Mr. Rita ටය. එය එවා තිබුණේ විදුහල්පතිය. අධ්‍යාපන ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, ලේකම් එම්. ජේ. පෙරේරා සහ අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි යන තිදෙනාට අලස් මුණ ගැසෙන්නට අවශ්‍ය බව විදුහල්පතිගේ තුණ්ඩුවේ සටහන් විය.
ඊරියගොල්ල ගුරුවරුන්ගෙන් පළිගත් ඇමැතිවරයකු හැටියට ප්‍රකටය. ඔහු හමුවන්නට කළ දැන්වීමෙන් අලස් කලබලයට පත්විය. අලස් වෘත්තීය සමිති කාරයෙකි. ඔහු විසින්ම ආරම්භ කළ ද්විතීයික පුහුණු ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රථම සභාපතිවරයා ද ඔහුය. ඊරියගොල්ල ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා විරෝධය පළවිය. අලස් ද වෘත්තීය සමිතිය තුළ ධවල පත්‍රිකාව දැඩි විවේචනයට ලක් කළේය. ඇමැතිවරයා මුණ ගැසෙන්නට අවශ්‍ය බව කියා විදුහල්පති එවු තුණ්ඩුවෙන් අලස් කලබල වූයේ එනිසාය..
ධවල පත්‍රිකාව විවේචනයට ලක්කළ නිසා රාජකීය විදුහලෙන් වෙනත් තැනකට මාරු කරන්නට අධ්‍යාපන ඇමැති තීරණය කළා විය හැකිය. තුණ්ඩුව රැගෙන විදුහල්පති බෝගොඩ ප්‍රේමරත්න හමුවූ අලස් එක්වරම කීවේ “විනාශයි” යන්නය. බෝගොඩගේ ප්‍රතිචාරය වූයේ සිනහවක් පමණි.
අලස් එකල අවුරුදු තිස් පහ නොඉක්මවූ තරුණයෙකි. ඒ නිසා ඔහු අමාත්‍යාංශයේ ප්‍රධානීන් තිදෙනා මුණ ගැසෙන්නට ගියේ කෝට් එකක් හා ටයි එකක් පැලඳ නොව කලිසම හා කමිසයෙන් සැරසිලාය. රාජකීය විදුහලින් දේශපාලන මාරුවක් ලැබෙන්නට සිටියදී මොන ටයි කෝට් දැයි අලස්ට සිතෙන්නට ඇත.
“මට ඇමැතිතුමා හම්බවෙන්න ඕන” අලස් පියන්ට කීය. අලස් දෙස දැඩි උනන්දුවකින් බැලු පියන් සහෝදරයා “නෑ. නෑ. ඇමැති හම්බවෙන්න බෑ” යයි ගුගුලේය.
“මට ඇමැති හම්බවෙන්න ඕන නෑ. ඇමැතිතුමාටයි මා හම්බ වෙන්න අවශ්‍ය” අලස් එසේ කියා තමන් කවුදැයි පියන්ට හඳුන්වා දුන්නේය. පියන් අලස් ඇමැතිතුමා ළඟට කැඳවාගෙන ගියේය.
ඇමති මැද වාඩිවී සිටී. ඔහුගේ දකුණුපස ලේකම් එම්. ජේ. පෙරේරා ය. වම්පස අධ්‍යාපන ලේකම් හෙට්ටිආරච්චිය. ඊරියගොල්ල කෙළින්ම මාතෘකාවට බැස්සේය.
“අපි අලුතින් විදුහලක් පටන් ගන්නවා. ඔයා තමයි ඒකෙ විදුහල්පති. ඒ නිසා ග්‍රෙගරි පාරට යන්න, එතැන ඉඩම් කෑල්ලක් තියෙනවා. අප හිතාගෙන ඉන්නේ ඒ ඉඩමේ ගොඩනැගිල්ලක් හදන්න. ඒ නිසා ඉඩම පවරාගන්න ඕනැ” ඊරියගොල්ල කීවේය.
“ගරු ඇමැතිතුමනි! සමාවෙන්න. විදුහල්පති තනතුරකට මට සුදුසුකම් නැහැ. මම උප ගුරුවරයෙක් විතරයි. පාසල් පරිපාලනය ගැන මට අත්දැකීම් නෑ” අලස් කීවේය.
“ඔබ මෙතැනට ගෙන්නුවේ විදුහල්පතිකම දෙන්නයි. ඔබේ දක්ෂතා අපි දන්නවා. මේක භාර ගන්න ඕනෑ” ඇමැති එසේ කියන විට විදුහල්පතිකම භාර නොගත්තොත් සිදුවිය හැකි දේ ගැන අලස්ට සිහි විය.
“ඇමැතිතුමනි, මං මේ ගැන විදුහල්පතිට දැනුම් දෙන්න ඕන. ඒකට මට වේලාවක් ඕන.” අලස් කීවේය.
“හරි ටැක්සියක් අරන් ගිහින් විදුහල්පතිට කියල ඒකෙන්ම එනවා” ඊරියගොල්ල අණ කළේය.
ඉගැන්වීමටත් පාලනයටත් දක්ෂයකු සොයමින් සිටි ඊරියගොල්ලට අලස්ගේ නම යෝජනා කර ඇත්තේ බෝගොඩ ප්‍රේමරත්න මහතාම බව අලස් ඔහු හමුවී කළ කතාවෙන් හෙළි විය.
ඉඩම් පවරා ගත්තේය. කැලෑවට ගොස් තිබුණ කූඹි කැලේ එළි පහළ වී දින 14 ක් ඇතුළත 80 x 20 ගොඩනැගිල්ල හැදුණේය. එසේ හැදු ගොඩනැඟිල්ලේ 1967 වසරේ ඩී. එස්. සේනානායක විදුහල බිහි විය. අලස්ගේ නමත් සමඟ ඩී. එස්. සේනානායක විදුහලත් සේනානායක විදුහල සමඟ අලස්ගේ නමත් එකට කියැවුණේ ඉන් පසුවය.
අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ පියා, මව, පුතා යන වචන හඳුන්වා දුන්නේ අලස්ය. විදුහල්පති ලියුම්වලට අස්සන් කළේ “විදුහල්පති පියා” යනුවෙනි. ගුරුවරියන් අස්සන් කළේ ගුරු මෑණි ලෙසිනි. ගුරුවරුන් ගුරු පියා ලෙසිනි.
මේ සටහන මෙසේ කෙටියෙන් අවසන් කළ නොහැක. එය අලස් ලියු ජීවිත කතාවටත් වඩා දීර්ඝ විය හැකිය. ඔහුට පක්ෂ දේශපාලනයක් තිබුණේ නැත. ජාත්‍යන්තර පාසල් සංකල්පය යටතේ ද ඔහු ඉහළ පෙළේ පාසල් පද්ධතියක් නිර්මාණය කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස ද ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටු කෙළේය. ඔහු සිය මාර්ගෝපදේශකත්වය යටතේ සමාජයට දායාද කළ විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දක්වන බුද්ධිමතුන් රැසක් වෙති.
අපෙන් සදහටම සමුගත් අලස් විදුහල්පතිතුමා ඩී. එස්. විදුහලේ දී නිතර ගායනා කළ කවියකින් මේ සටහන නිමා කරමු.
හාවුන්ට මුවන්ට පැන යන්නමයි හිත
ඌරන්ට මීයන්ට හාරන්නමයි හිත
මාලුන්ට කිඹුලන්ට පීනන්මයි හිත
අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි