විභාග, විභාග, විභාග, කොයි කාටත් විභාග ය. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වාත්, විශ්වවිද්‍යාලවලත් විභාග ය. ඒ සියල්ලෙන් සමත් වී රැකියා ලබා ගැනීමට තවත් තරග විභාගයන් ය. ඉන් පසු කඩඉම් විභාග හා උසස්වීම් සඳහා විභාග ය. ඇතැමුන් පාඩම් කරති. ඒ බවත් කියති. ඇතැමුන් බොරු කියති. විශ්වවිද්‍යාල බසින් එය අනුන් අල කිරීමකි. තවත් සමහරු පාඩම් කිරීමට උදලු දමති. මේ සියල්ල විශ්වවිද්‍යාලයේ පමණක් නොව පාසල් පද්ධතියේත් සිවිල් සමාජයේත් දක්නට ඇත.
භාග්‍යා උසස් පෙළ විභාගය ලියා ඇත. ප්‍රතිඵල බලා එනතුරු මව නිවසේ බලා සිටී. මෝටර් රථය නිවසට පැමිණ භාග්‍යාත් නාලකත් බස්සා නැවත යන්නට විය. භාග්‍යාගේ මුහුණ ආලෝකවත් නැත. තත්ත්වය භයානක ය. ඇය විභාගය අසමත් ය. උසස් පෙළ සිංහල සාහිත්‍ය නව විෂය නිර්දේශයට නිර්දිෂ්ට කෙටිකතාවක් වන පියසීලි විජේමාන්න මහැදුරුවරියගේ “අපේක්ෂා” කෙටිකතාව ආරම්භ වන්නේ එකී ප්‍රවෘත්තියෙනි.
මහැදුරු පියසීලි විජේමාන්නගේ “එක්ටැම්ගෙය” කෙටිකතා සංග්‍රහයේ එන අපේක්ෂා කෙටිකතාව හුදෙක් විභාගයක් පදනම් කරගත් කෙටිකතාවක් යැයි ලඝු කළ හැකි නොවන බව මුලින් ම සඳහන් කළ යුතු ය. භාග්‍යා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුගේ දියණියකි. ඔවුන් නැවතී සිටින්නේ ද විශ්වවිද්‍යාල භූමියක පිහිටි නිල නිවාසයක ය. ඒ ආසන්නයේ පිහිටි අනෙක් නිල නිවාසයන්හි සාමාජිකයන් කීප දෙනකුගේ දරුවන් ද භාග්‍යා සමඟ ම විභාගයට පෙනී සිටියෝ ය. කෙටිකතාව දිවෙන්නේ භාග්‍යාගේ මවගේ ආත්ම කථනයකිනි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි.
“මුන්ට මොනවයින් අඩුපාඩුවක් කළා ද? ටියුෂන්වලට කොච්චරනම් සල්ලි යන්න ඇද්ද? සබ්ජෙක්ට්ස් හතරට ගුරුවරු හතර දෙනෙකුගෙන් ටියුෂන් ගත්තා.”
කෙටිකතාව ලියැවෙන්නේ 1995 පමණ කාලයේ ය. මේ වන විට සමාජයේ ඉහළ පැලැන්තිය නියෝජනය කරන භාග්‍යාගේ පවුල් පරිසරයට අනුව ඇයව අධ්‍යාපනයෙන් ඉදිරියට යැවීම උදෙසා ඔවුන්ගේ මාපියන්ට කළ හැකි උසස් ම කාර්යය වූයේ පෞද්ගලික ගුරුවරු ලවා අධ්‍යාපනය ලබාදීම ය. එදා යුගයේ පාසල් සිසුනට පෞද්ගලික පන්ති එතරම් හුරු පුරුදු නැත. පෞද්ගලික පන්ති යන්නේ සමාජයේ ඉහළ පැලැන්තියේ දරුවන් පමණි. අද තත්ත්වය ඊට වෙනස් ය.
භාග්‍යාගේ මවට දුව අසමත් වීම පිළිබඳ දුක, තරහ මෙන්ම කලකිරීම ද මුසු වූ මූසල හැඟීමක් ඇතිවිය.
“මෙලහකට ඩොක්ට වීරසිංහගෙ චතුර ඉහළින්ම පාස් ඇති. දැන් අනුෂා එයි භාග්‍යාගෙ රිසල්ට් කොහොම ද? කියල අහගෙන. ඇයි සපුතන්ත්‍රිගෙ දීපිකා?
පියසීලි විජේමාන්න සිය නිවසේ නොමැති මෙවැනි දරුවන්ගේ තත්ත්වයක් අවට වාසය කළ දරුවන්ගෙන් ආරෝපණය කරගත්තා ය. වසර ගණනාවක් පේරාදෙණිය සරසවියේ පිහිටි ඔගස්ටා කඳු ගැටයේ විශ්වවිද්‍යාල නිල නිවාසයක පදිංචි ව සිටි පියසීලි විජේමාන්න මහැදුරුවරිය ඒ ආසන්නයේ තමන් මෙන් ම වාසය කළ තවත් නිවෙස් දහහතරක පමණ පිරිස හොඳින් ඇසුරු කළා ය.
ඒ නිවෙස්වල මේ කාලය වන විට උසස්පෙළ ලියා ප්‍රතිඵල ලබාගත් දරුවන් කීප දෙනකු සිටියේ ය. ඔවුන් අතර ඇතැමෙක් විභාගය සමත් වුවත් ඇතැමෙක් සමත් වූයේ නැත. මේ තත්ත්වය යටතේ ඔවුනොවුන්ගේ දෙමාපියන්ගේ මනසේ ඇති වූ චිත්ත පීඩාවන් මහැදුරුවරියට නොකීව ද නොවැටහුණා නොවේ.
“අනේ ඔය කොයි කොයි උනුත් ෆේල් නම් හොඳයි. මගෙ කෙල්ල පාස්වුණා නම් මට අනික් වුන් පාස් වුණත් එකයි නැතත් එකයි.”
භාග්‍යාගේ මවට මෙන් එදා ඔගස්ටා කඳු ගැටයේ වාසය කළ සැබෑ චරිතවලටත් සිතෙන්නට ඇත.
භාග්‍යාගේ මව යනු එකල මහැදුරුවරිය ඇසුරු කළ එකී නිවෙස් දහහතරෙන් දුටු එක් කාන්තාවක නොව එකී සියලු කාන්තාවන්ගේ ගති ගුණයන්ගේ පොදු චරිතයයි. ඔගස්ටා කඳු වැටියේ මහැදුරුතුමිය වාසය කළ කාලය ඉතා සොඳුරු ය.
“මට හැඬෙයි. මම නැගිට්ටෙමි. මිදුලට බැස්සෙමි. ගේට්ටුවෙන් පිට වූයෙමි. නිවස ඉදිරියේ පටු මගට පැමිණියෙමි. මේ නිවස පිහිටා ඇත්තේ විශ්වවිද්‍යාල භූමියේ වූ ඔගස්ටා කන්ද නමින් හැඳින්වෙන කුඩා කඳු ගැටයකය.... පහළ ඉතා ඈතට විහිදෙන මිටියාවතකි.
භාග්‍යාගේ මව පරිසරයේ සොඳුරු බව මෙනෙහි කරමින් තනි ව තමා සමඟ ම කතා කරයි.
“අර ගහේ අත්තක කොනේ වහල ඉන්න කුරුල්ලගෙ ලස්සන! ඒ කුරුල්ලා මොකෙද්ද? අත්ත සෙලවෙන තාලෙට ඌත් නැළවෙනවා. චිහ්! ලැජ්ජාව!
කුමන දෙයක් කතා කළත් ඇයට සිය සිතේ ප්‍රශ්නය අමතක කළ නොහැකිය. ඇය නිතර සිතන්නේ මේ කඳු මුදුනේ සිටින පැලැන්තියේ අනෙක් දරුවන්ගේ ප්‍රතිඵල පිළිබඳ ව ය. ඇතැමුන් සමත් වී ඇත. දුව අසමත් ය.
“මහා මාර්ගයේ සිට කන්ද පාමුලින් උඩහට අඩි පාරක් වැටී ඇත. එය කෙළවර වන්නේ ඌරාවල, බෝවලවත්ත, දංගොල්ල පාර, දන්ත වෛද්‍ය පීඨය, විශ්වවිද්‍යාල පාර, ඔගස්ටා කන්ද යන ස්ථාන කරා දිවෙන පාරවල් හයක් යාවෙන මංසන්ධිය සහිත වට රවුම ඇති තැනට ය.
වටරවුමේ සිටින ඕනෑම කෙනකුට මේ ඕනෑම මාවතක ගමන් කළ හැකිය. ඊට තහනමක් නැත. ඉහළ පැලැන්තිය සිටින ඔගස්ටා කඳු වැටියට, දන්ත වෛද්‍ය පීඨයට, විශ්වවිද්‍යාලයට එසේ බැරිනම් වෙනත් මාර්ග තෝරා ගැනීමට නැතුවා නොවේ. භාග්‍යාගේ මව වෙහෙසෙන්නේ දියණිය විශ්වවිද්‍යාල මාවතේම හැරීමට ය.
මේ සැබෑ පරිසරයේ මහැදුරුවරිය දුටු එක්තරා කාන්තාවකි. ඇය මේ නිවෙස්වල රෙදි සෝදා දී, රෙදි මැද දී හෝ දරුවකු පාසල වෙත කැඳවාගෙන යාමෙන් හෝ ඉවුම් පිහුම් කටයුත්තකින් හෝ උපකාර කර යම් මුදලක් සොයා ගත්තා ය. රේල් පාර අසළ කටුමැටි නිවසේ පදිංචිව සිටි ඇගේ පවුලේ උදවිය මහැදුරුවරිය නාඳුනනවා නොවේ. ඇගේ දියණිය යන්නේ සරසවි උයන පාසලට ය. සැමියා මත්පැන් පෙරන්නෙකි. කෙසේ වෙතත් කෙටිකතාවේ හාමිනාගේ චරිතය නිර්මාණය වන්නෙ මේ කාන්තාවගේ චරිතයෙනි. ඇගේ දියණිය සැබෑ ලෝකයේ කුමන චරිතයක් වුවත් කෙටිකතාවේ සියලු අපේක්ෂා මුදුන් පමුණුවා ගත් අපේක්ෂා වූවා ය.
අපේක්ෂා විභාගය සමත් ය. ඈ විශ්වවිද්‍යාල වරම් ලැබීමට නිස්සේ ය. ඇය කුඩා කාලයේ සිට උදව් පදව් කළ භාග්‍යාගේ මව හෙවත් හාමුට ඒ බව කීමට හාමිනා දිව ආවා ය. භාග්‍යාගේ මවට අපේක්ෂා සමත්වීම තවත් දරාගත නොහැකි ය. ඒ අතර භාග්‍යාගේ අභාග්‍ය සම්පන්න ඉරණම සිහි වේ. මේ තත්ත්වය යටතේ හාමිනා පවසන්නේ අපේක්ෂා සමත් වුණේ ඇයගේ හපන්කමකින් නොව හාමු ලබා දුන් ආධාර උපකාරවලින් බව ය. දිනෙක ආභ්‍යාස පොත්, පැන් පැන්සල්, බෑග් ආදිය ද මුදල් ද ඇය හාමිනාට ලබා දෙන්නේ දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් ය. ඒ අතර ඇතැම් දිනෙක ලැබෙන උපදේශ ඉතා වටින්නේ ය.
“කෙල්ලෙ වරෙං උඹට ගණන් ටිකක් කියල දෙන්න”
“මෙන්න කෙල්ලෙ උඹට කතන්දර පොතක්”
“මේං කෙල්ලෙ ඔය තම්බපු බිත්තරේ කාපං”
ඇතැම් දිනෙක ඈ අපේක්ෂාට බැන්නේ පාසල් නොයා සිටින විටෙක දී ය. හාමිනාට මේ සියල්ල මතක ය. අපේක්ෂාට ද ඒ සියල්ල මතක ය. භාග්‍යාගේ මවට ද ඒ සියල්ලත් ඒ යටින් දිව ගිය ආත්මීය සිතුවිලි ධාරාවනුත් හොඳින් මතක ය.
“මා අපේක්ෂාට ඒ දිනවල නොයෙක් දෑ දුන්නේ, බැන්නේ අණ කළේ, අපේ තත්ත්වය පිළිබඳ හද තුළ උදාරම් හැඟීමෙනි. එසේ මහන්තත්ත්වය පෙන්වීමෙන් මට මහත් තෘප්තියක් ලැබිණි.”
තත්ත්වය එසේ වුවත් ඇගෙන් ලත් දෙයින් අපේක්ෂා වැඩ ගෙන තිබේ. භාග්‍යාට එසේ නොහැකි විය. හාමිනා සිය දියණියගේ සමත්වීමේ ආරංචිය කියා ආපසු යන්න හැරුණි. ඈ සමඟ භාග්‍යාගේ මව ද පසු ගමන් කළා ය. ඒ යන්නේ අඩි පාර දිගේ ය. ඈ කිසි දිනෙක නොගිය අඩි පාර දෙසට ඈ යන්නී ය. ඈ කඳුගැටය බැස අඩි පාර දිගේ ගමන් කරන විට එතැනට අපේක්ෂා ද දිව එන්නී ය. ඒ තමා ලැබු ජයග්‍රහණයේ සොම්නස ද කැටුව ය. මේ හාමුට ඒ සොම්නස නොලැබුණ ද ඒ වගක් ඇයවත් හාමිනාවත් නොදන්නීය. කෙනෙක් කඳුගැටය බැස යන විට තවකෙක් කඳු ගැටය තරණය කරන්නේ ය.
“අපේක්ෂා පඩිය මත වැටී මගේ පා අල්ලා වැන්දා ය. මට සෙනෙහස පිරි මහත් ආවේගයකින් ඇගේ හිස අතගෑවෙමි.”
“හාමිනා චීත්ත පොටින් තම දෑස් පිස දමනු මගේ බොඳ වූ දෙනෙත්හි ගැටුණි.”
මේ වෙනකකු නොව “ඔය කොයි කොයි උනුත් පේල් නම් හොඳයි” කී කාන්තාව ම ය. මේ පරිවර්තනය සැබෑ දීර්ඝකාලීන එකක් නම් කොතරම් වටී ද?
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි