V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Monday, February 29, 2016

දිවියා සහ වසු­පැ­ටියා


දව­සක් වසු පැටි­යෙක් තනි­යම තණ­කොළ කකා ඇවි­ද­ගෙන ගියා. මේ යන අත­ර­තු­රේදී ලොකු වතුර පිපා­ස­යක් දැනිල ළඟ තිබුණු දිය­ක­ඩි­ත්ත­කින් වතුර බොන්ට ලෑස්ති වුණා. මෙහෙම වතුර බොන්ට දිය­ක­ඩි­ත්තට එන සතුන් අල්ලා­ගෙන කෑම දිවි­යාගේ සිරි­තකි.
මේ වහු­පැ­ටි­යත් එහෙම හැංගිලා හිටපු දිවි­ය­කුට අසු­වුණා. වසු පැටියා හොඳ­ටම බය­වෙලා දිවි­යට කිය­නවා.
“අනේ! මේ මොක­ටද මාව අල්ල­ගන්නෙ? ඔයාගෙ බඩ­පි­රෙන තර­මට මගේ මස් නෑ. මම ළපටි මස් තියෙන කෙනෙක්. මගේ මස් රස නෑ. මාව අත­හ­රින්ට.” වසු­පැ­ටියා දිවි­යට පින්සෙණ්ඩු වුණා.
“ටික දව­ස­කින් මම ලොකු වේවි වැඩි­යෙන් තණ­කොළ කෑවාම. මම එහෙම ලොකු වුණාම ඔබට කෑම සඳහා මෙතැ­න­ටම එනවා. එත­කොට ඔයාට හිත පුරාම මගෙ මස් කෑමට පුළු­වන්.” මේ විදි­හට වසු­පැ­ටියා දුක කිය­න­කොට දිවි­යට දුක හිතුණා.
“ඔයා ඔය කියන්නෙ ඇත්ත­මද?” දිවියා අහ­නවා.
“ඔයා ලොකු වුණාම මගෙ ගොදු­රට එනව ද?”
“මට මෙත­රම් උප­කා­ර­යක් කරපු ඔබ අම­තක කරන්නෙ නෑ. සත්තයි මම මෙතැ­න­ටම එනවා ඔබගෙ ගොදුර සඳහා” වසු­පැ­ටියා කිව්වා.
“හා හොඳයි මට අද ලොකු බඩ­ගි­න්නක් නෑ. ඔබේ ඉල්ලී­මට මම ඉඩ දෙනවා. හැබැයි, වසු පැටියෝ කියපු වචනෙ වෙනස් කරන්ට එපා!” දිවියා කිය­නවා.
හැබැයි මේ දිවියා ගිවි­සුම් ලකු­ණක් හැටි­යට වසු­පැ­ටි­යගෙ කනෙන් කුඩා කොට­සක් කඩා ගත්තා.
ඔහොම ටික කල­කින් වසු­පැ­ටියා වැඩුණු ගොන් නාම්බෙක් වුණා. ඌට ශක්ති­මත් අං තට්ටු­ව­කුත් තිබුණා. එක දව­සක් දිවි­යාට ගොන් නාම්බා මුණ ගැහුණා. දිවි­යට තරහ ගිහින් “උඹ ඔය වච­නය ඉෂ්ට කරපු හැටි ද? හොඳයි, අද මම උඹව කනවා” කියල ගොන් නාම්බාට පනින්න ලෑස්ති වුණා.
“මගේ වචනෙ ඉෂ්ට කරන්ට තමා මෙතැ­නට ආවේ. ඉතින් ඉස්සර වෙලා ඔයා කැලේට ගිහින් කබ­රැස්ස වැලක් ගෙනල්ලා මා බඳින්ට. නැත්නම් මං බය­වෙලා දුවන්ට පුළු­වන්”
ඉතින් දිවි­යත් කැලේ තිබුණු කබ­රැස්සා වැලක් ඇද­ගෙන ඇවිල්ලා ගොන් නාම්බාගෙ කරේ එක කෙළ­ව­රක් ගැට­ග­හල අනිත් කෙළ­වර දිවි­යගෙ කරේ ගැට ගහ­ගත්තා.
ගොන් නාම්බා කිය­නවා “මා දිව්වත් ඔබට මා අල්ලා ගන්ට පහ­සු­යිනේ.”
මෙහෙම කියපු ගොන් නාම්බා වලි­ගය කෙළින් කර­ගෙන දුවන්ට වුණා. වැලේ අනිත් කෙළ­වරේ ඉන්න දිවි­යත් ගොන් නාම්බා පස්සෙ ඇදි ඇදී ගස් ගල්වල හැපි හැපී යනවා. ඒ යන ගමන් දිවි­යට හිතෙ­නවා “මම මේ ගොන් නාම්බට රැව­ටුණා” කියලා දිවියා කවි­යක් කිය­නවා.
පොඩි­කොට නොකෑ කොට
ලොකු කොට කන්ට බැරි කොට
මා අත වරද කොට
ගස්ස ගස්සා නාදු කන් කොට

මේක ඇහුණ ගොන් නාම්බා කිය­නවා
බාලෙදි නොහැකි කොට
ගැලවී ගියා දඟ කොට
දැන් හැකි නිසා මට
තෝත් ඇද­ගෙන යනවා නිර­යට
ගොන් නාම්බා කවිය කියල වේග­යෙන් දුවන්ට පටන් ගත්තා. ටික වේලා­ව­කින් දිවියා ගල්මු­ල්වල හැපි­ලාම තුවාල වුණා.
ගොන් නාම්බා මඟ නැව­තිලා හිත­නවා කුඩා කල මාව අල්ලා­ගෙන කෑවෙ නැහැනෙ. ලොකු වුණාම කන්ට පොරොන්දු වෙලා මාව අත­හැ­රි­යනෙ. එහෙම හිතල ගොන් නාම්බා කබ­රොස්ස වැලේ කෙළ­වර දිවි­යගෙ කරෙන් ගල­වල නිද­හස් කළා. දිවියා අමා­රු­වෙන් ගාට ගාට කැලේ ඇතු­ළට ඇවි­ද­ගෙන ගියා.
(ජන­ක­තා­වක් ඇසු­රෙනි.)

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
3 ශ්‍රේණිය ‘බී’,
කේරි විදු­හල, කොළඹ - 08

http://silumina.lk/2016/02/28/_art.asp?fn=au160228

ආචාර්ය අජන්තා රණසිංහයන්ට සමුදෙන්නට,ඔබත් දහවල් 12 ට, ගුවන් විදුලියට එන්න..

‘රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟකළ ආදරයයි....’
ආදරය යනු මිනිස් සිත තුළ පැන නගින අතිශය චමත්කාර ජනක සිතුවිල්ලකි.
ආදරයෙන් පසු ඇතිවන සංයෝගයද, සංයෝගයෙන් පසු ඇතිවන ආදරයද වශයෙන් වූ ආදරයේ මේ දෙයාකාරය විවිධ සමාජ වටිනාකම් හා හර පද්ධතීන් හමුවේ දෝලනය වන මොහොතක වඩාත් අසරණභාවයට පත් වන සංවේදී සිතක් පන්හිඳක තුඩගින් ලියැවෙන වදන් මාලාවකට ගොනු කළ හැක්කේ ද චමත්කාර ජනක සිතුවිලි වලින් පිරි සංවේදී හදවතක් ඇත්තෙකුට පමණි.
ගී පදමාලාවක් තුලින් තුරුණු සිත ප්‍රීතියත් ශෝකයත් අතර වූ හුදෙකලා නිම්නයකට රැගෙන ගිය ඒ සංවේදී හදවතේ හිමිකරුවා අන් කවරෙකු හෝ නොව අජන්තා රණසිංහයන් මය.
එවන් වූ සුන්දර මිනිසෙකු අද තම අවසන් සුසුම වාතලයට මුසුකළ පුවත සිහළ බස දත් සුවහසක් මිනිසුන්ගේ හදවත් සෝ සයුරේ ගිල්වා ලන ශෝකී සැඩපහරක් වන්නේද ඒ නිසාවෙන්මය.
අද කොළඹ ජාතික රෝහලේ දී ජීවන ගීතය ලියා නිම කරද්දී හැත්තෑපස් වෙනි වියේ පසු වූ අජන්තා රණසිංහයන් ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ උපදේශකයකු වශයෙන් ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය ට මහඟු සේවාවක් කළ නවකතා හා කෙටි කතා ඇතුළු විවිධ කෘතීන් රචනා කළ ගත් කතුවරයෙකි.
ගී උල්පත
සිංහල ගීත සාහිත්‍යය තුළ අමරණීය සලකුණක් තැබූ අජන්තා රණසිංහයන්ගේ ගීත අතර ‘විකසිත පෙම් පොකුරු පියුම්’, ‘රන් කෙන්ඳෙන් බැඳ’, ‘පුංචි දවස්වල නින්දට යද්දී’, ‘රෑ පැල් රකින’, ‘රෑ දුරු රට’, ‘රත්තරන් පෙම් පුරාණේ’ වැනි ගී පද රචනාවන් රාශියකි. විශාරද අමරදේවයන් ගැයූ විකසිත පෙම් ගීතයත්, එච් ආර් ජෝතිපාලයන් ගැයූ රත්තරන් පෙම් පුරාණේ ගීතයත් ළමුන් සඳහා රචිත ‘කුරුම්බැට්ටි මැෂිමේ’ගීතයත් සිංහල ගී රසිකයන් අතර එකිනෙකට වෙනස් වූ ස්ථරයන් වෙත ඒකාකාර වින්දනයක් ලබා දීමට සමත් විය.
රාගය, භීතිය, වීරත්වය හා ශෝකය ආදී වූ කිනම් භාවයක් හෝ රසයකට පෙරලා ගී පද රචනාවක් ඔස්සේ සහෘද සිත් සතන් නිවාලන්නට හැකි අසිරිමත් මිනිසුන් සුලභ නොවේ. අජන්තා එවැනි අසිරිමත් මිනිසෙකි.
විශාරද අමරදේවයන් ගයන ‘බොල් වී අහුරු’ගීතය තුළින් ප්‍රේමයෙන් පරාජිත වූවෙකු මෙලොව සනාතන දහම වෙත නැඹුරු කොට සිත නිවාලන්නට දෙසු බණ පදයක සිසිලස රැගෙන එනවා මිස ඔහු උන්මත්තකයෙකු කරවා සිපිරිගෙට ගෙනයන භාවොද්දීපනයක් සිදු කරන්නෙ නැත.
සනත් නන්දසිරි ගැයූ ‘පෙමාතුර හැඟුම්’ ගීතය ඔස්සේ හුදෙකලා තුරුණු සිතක බුර බුරා නැගෙන රාගී සිතුවිළි සැඩපහර නිසල විල් තෙරක් බවට හරවා ශෘංගාර රසයක් ජනිත කරවයි. සිංහල චිත්‍රපට ගීතාවලියේ දී අජන්තා තැබූ සලකුණ තවත් සියවස් ගණනාවක් යන තුරු නොමැකී යන බවට නම් කිසිදු සැකයක් නැත.
අනුපමේය කුසලතාව
ගත් කතුවරයෙකු ලෙස අජන්තා රණසිංහයන් ලියා පළ කළ ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්‘, ‘ක්‍රිස්තුනි කරුණා කළ මැනව‘ වැනි නවකථා මෙන්ම ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද? කෙටිකතාව මගින් ප්‍රකට වන්නේ ද ඔහු සතු වූ අනුපමේය කුසලතාවයි. වරෙක ගීත එකතුවක් මගින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍ර වුයේ ද එයම බවට තවත් සාක්ෂි කුමටද?.
අජන්තා රණසිංහයන්ගේ වියෝවෙන් ශ්‍රී ලංකා ගීත සාහිත්‍යය තුළ රික්තයක් ඇති නොවන්නට නම් සිංහල භාෂාව හා සාහිත්‍යය පිලිබඳ කැමැති දැනුමැති අනාගත පරපුරක් බිහි කිරීම හැර අන් විකල්පයක් නැත.

https://www.facebook.com/SLBC-ගී-Presentation-1448363295460967 

Friday, February 26, 2016

රාවණා රජුගේ මතකය නැති වුණේ කොහොමද?

විජයාවතරණයට පෙර පටන් මේ දිවයිනේ මිනිසුන් සිටි බවට මෑත දශක කිහිපය තුළ කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලින් ඕනෑවටත් වඩා තහවුරු වී ඇත. විජයාවතරණය ලක්දිව ජනාවාසකරණයේ ආරම්භය නොවෙතත් එය උතුරු ඉන්දීය සබඳතා ඍජුවම මේ දිවයිනට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස කෙනකුට තර්ක කළ හැකිය. මෙම උතුරු ඉන්දීය සබඳතා විජයාවතරණයේ සිට වැඩි වශයෙන් මේ දිවයිනට බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි. පූර්ව 3 වැනි සියවසේ මහින්දාගමනය හැඳින්විය හැකිය.

මෙම දිවයිනේ ඉතිහාසය විජයාවතරණයට පෙර පටන් ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත්තේ මහාවංසය විසින් විජයාවතරණයට පෙර ඉතිහාසය මකා දමා ඇති බවයි. ඊට ප්‍රධාන මාතෘකාව කොට ගන්නේ රාවණා කතා ප්‍රවෘත්තියයි. මහානාම හිමි මහාවංසය ලියනු ලැබුවේ ක්‍රි. ව. 5 වැනි සියවසේදී පමණ බවට සාමාන්‍ය විද්වතුන්ගේ පිළිගැනීම වේ. උන්වහන්සේ මහාවංසය සඳහා පාදක කරගන්නා පැරැණිතම කාලපරිච්ඡේදය වන්නේ "තථාගතාභිගමන" නම් බුදුන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූ තැන් පටන්ය. මෙම කාරණාව මහානාම හිමියන් විසින් ලියනු ලබන්නේ තථාගතාභිගමනය සිදු වී වසර 1,100කට පසුව වීම කෙරේ සැලකිලිමත් විය යුතුය.
මහාවංසය ලිවීමෙන් මහානාම හිමියන් අදහස් කළේ ලංකා ඉතිහාසය ලියා තැබීම නොවන බව පැහැදිලිය. උන්වහන්සේගේ අභිප්‍රාය වූයේ ලක්දිව රජවරුන් බුදු සමයට කරන ලද සේවාව පිළිබඳව විස්තර කිරීම පමණි. එබැවින් මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේදී අප මහාවංසයට ලොකු බලපෑමක් කිරීම යුක්තිසහගත නොවේ.

මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය සෙවීමේදී මහාවංසයෙන් ප්‍රයෝජනයක් නොලැබෙන බව පැහැදිලිය. තවද ලංකාවේ ඉතිහාසය සෙවීමේදී ක්‍රි. පූර්ව 6 වැනි සියවසේ සිට මෑතකාලය දක්වා ලියැවුණු ග්‍රන්ථවලින්ද ඉහත සමය කිසිසේත් ආවරණය නොවේ. එබැවින් මහාවංසයට එහා ගිය ඉතිහාසය සෙවීමේ කාර්ය ඉතිහාසඥයාට කළ නොහැකිය. ඒ සඳහා ලෝකයේ මෑත කාලීන දශක කීපයක පටන් ඉතා විශිෂ්ටත්වයට පත්වූ විෂයක් ඇත්තේය. එය පුරාවිද්‍යාවයි.

මහාවංසයෙන් ඔබ්බට ගිය මේ දිවයිනේ ඉතිහාසය සෙවීමේ පර්යේෂණ ආරම්භ වන්නේ විසි වන සියවසේ මුල් භාගයේ පමණ සිට යැයි කීම නිවැරැදිය. ඒ සඳහා අපට හඳුන්වා දිය හැකි ප්‍රබලතම පුද්ගල චරිතය නම් මහාචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන්ය. එතුමා මේ දිවයිනේ සත්ත්ව හා මානව ප්‍රජාවේ ආරම්භය සෙවීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අග්‍රගණ්‍ය විද්වතෙකි. එතුමාගේම අඩි පාරේ යමින් මෙම විෂයට අනූපමේය සේවයක් කළ අනෙක් පුද්ගලයා වන්නේ දැරණියගල සූරීන්ගේ පුත් ආචාර්ය එස්. යූ. දැරණියගල සූරීන්ය. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් අති විශාල පර්යේෂණ රාශියක් සිදු කරමින් මෙම කාල පරිච්ඡේදය පිළිබඳව විද්වත් පරම්පරාවක් බිහි කිරීමට පුරෝගාමී වූ මෙතුමා මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය අතැඹුලක් සේ පැහැදිලි කළේය. එම මඟම යමින් මෑත කාලයේ මෙම ක්‍ෂේත්‍රයට අනූපමේය සේවයක් කළ ආචාර්ය නිමල් පෙරේරා සූරීන්ද මේ දිවයිනේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් අනුස්මරණීය සේවයක් කළ විද්වතෙකි.

මෙවැනි ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයන් මහාවංසයට ඔබ්බෙහි වූ ඉතිහාසය මොනවට පැහැදිලි කරමින් අදින් වසර 50,000 දක්වා වූ අෑත කාලපරිච්ඡේදයකට අයත් ප්‍රාග් ඓතිහාසික මානව සාක්‍ෂි මේ දිවයිනෙන් මතුකර ගෙන ඇත. මේ සම්බන්ධ නිදර්ශන ඕනෑ තරම් පාහියංගල, බට‍ෙදාඹ ලෙන ආදී ස්ථානවලින් ලැබී ඇත.
තත්ත්වය එසේ වුවත් මෑත කාලයේ ඉතා ප්‍රබල ලෙස ඉතිහාසඥයන් යැයි කියා ගන්නා පිරිසක් බරපතළ ලෙස රාවණා යුගයක් ගැන කතා කරයි. ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සිදු කළ ඉහත විස්තර කළ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයන් හා ලෝක මට්ටමේ පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මානව ශිෂ්ටාචාරයේ මුල් යුගය පහත දැක්වෙන ලෙසටද බෙදා දක්වා ඇත. එනම්, 1. පූර්වශිලා යුගය, 2. මධ්‍ය ශිලා යුගය, 3. නව ශිලා යුගය ආදී වශයෙනි.

මෙම යුගයන් තුනට අයත් සාක්‍ෂි අඩු වැඩි වශයෙන් ලංකාවෙන්ද ලැබී ඇති අතර නවශිලා යුගයත් සමඟම ආරම්භ වන තවත් යුගයක් පිළිබඳව මෑත කාලයේ පුරාවිද්‍යා පර්යේෂණ රාශියක් සිදුවේ. එනම් මහශිලා යුගයයි. මේ පිළිබඳව සාක්‍ෂි ඉබ්බන්කටුව, හල්දුම්මුල්ල, යටිගල්පොත්ත, මහගල්වැව ආදී කොට ඇති ස්ථාන රාශියකින්ම ලැබී ඇති අතර මෙම යුගය පිළිබඳව ලංකාවේ පුරාවිද්‍යාඥයෝ පර්යේෂණ කටයුතු පවත්වති. මෑත කාලීනව වූ පර්යේෂණ නිසා ක්‍රිස්තු පූර්ව 1,300 දක්වා අෑත කාලපරිච්ඡේදයකට එනම් අදින් වසර 3,300කටත් වඩා අෑත කාලපරිච්ඡේදයක සිට මේ දිවයිනේ තිබූ මානව ශිෂ්ටාචාරයන් පිළිබඳ තොරතුරු පැහැදිලි වෙමින් පවතී.
නමුත් මෙම විශිෂ්ට ගණයේ පුරාවිද්‍යාඥයන් කිසිම කෙනකු ඉතිහාසඥයන් පවසන රාවණා යුගයට අදාළව කිසිදු තොරතුරක් තම පර්යේෂණවලින් හෙළි කරගෙන නැත. අති නවීන පර්යේෂණ ක්‍රම උපයෝගි කරගෙන සිදු කරනු ලබන පුරාවිද්‍යා පර්යේෂණයන්ටද හසු නොවන මෙම රාවණා ශිෂ්ටාචාරය ලංකාවේ පැවැතියේද යන්න ඊළඟට විමසිය යුතුය.

මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය හැදෑරීමට අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාවේ පිහිට පැතිය යුතුමය. පුදුමය වන්නේ ලංකාවේ මෙතෙක් මහාවංසයෙන් ඔබ්බට ගිය ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කළ කිසිම පුරාවිද්‍යාඥයෙක් රාවණා යුගයට අයත් කිසිදු සාක්‍ෂියක් සොයා නොගැනීමයි. එය පුරාවිද්‍යාවේ වරදක්ද එසේත් නැතිනම් පර්යේෂණවල අඩු පාඩුවක්දැයි අප නොදනිමු. තවද ලංකාවේ කිසිදු පුරාවිද්‍යාඥයෙක් මෙම රාවණා ප්‍රවාදය පිළිගන්නේද නැත. පුරාවිද්‍යාවෙන් යමක් තහවුරු වීමට නම ඒ සඳහා සාක්‍ෂි තිබිය යුතුය. සාක්‍ෂි නොතිබූ පළියට එය නොපිළිගැනීමට තරම් පුරාවිද්‍යාඥයා ඉක්මන් වන්නේද නැත. නමුත් ගැටලුව වන්නේ මේ තරම් සුවිසල් අධිරාජ්‍යයක් ලංකාවේ තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් ඉතිරි නොකර විනාශ වූයේ කෙසේද? එහෙත් තමා මේ ලියන කියන කාරණා තමාගේ හිතලු ලෙස ප්‍රකාශ නොකර පිළිගත හැකි මූලාශ්‍ර සහිතව කියන්නේ නම් එම ලිපිවල වටිනාකමක් ඇත්තේය.
පුරාණ තල්පත්වල තිබුණා යැයි කියන සමහර කාරණා අපට පිළිගත හැකිද? එම පුරාණ තල්පත් ලියැවී නැති කාලය පිළිබඳව සහ ඒවායේ ඇති කරුණු කෙරේ අපට කෙතෙක් දුරට එකඟ විය හැකිද? මේ ආදී කාරණා කෙරේ කිසිදු වග විභාගයකින් තොරව රාවණා අධිරාජ්‍යයක් ගැන ජනතාව මුළා කරමින් කරනු ලබන හිතලු මත පදනම් වූ මෙම පර්යේෂණ තුළින් සිදුවන්නේ බොරුව සමාජගත වීමයි. මෙසේ බොරුව සමාජ ගත කරන පිරිස් රාවණා රාජධානියේ අගනුවර කිහිපයක් ගැන කියයි. ඉන් එක් ස්ථානයක් නම් සීගිරියයි. සීගිරි ගල මත රාවණා රජු වාසය කළ බව කියයි. සීගිරිය ක්‍රි. පූර්ව තුන් වැනි සියවසේ පටන් බෞද්ධ භික්‍ෂුන්ගේ ආරාමික ස්ථානයක් ලෙසට තිබී ඇත. ඉන්පසුව ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේදී කාශ්‍යප රජු බලකොටුවක් තනා ගෙන වසර 18ක් එහි සිට රට පාලනය කළ බවට වංස කතා ප්‍රමුඛ සාහිත්‍ය මූලාශ්‍රවලින් තහවුරු වී ඇති කරුණකි.
මේ පිළිබඳව වසර ගණනාවක් පර්යේෂණ කළ ලංකාවේ විශිෂ්ටතම පුරාවිද්‍යාඥයා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පවා තම පුරාවිද්‍යා පර්යේෂණ තුළින් ඉහත කාරණා සනාථ කර ඇත. නමුත් එබඳු පුරාවිද්‍යාඥයකුටවත් හසු නොවුණු රාවණා අග නගරයක් සීගිරියෙන් මේ කියන ලද ඉතිහාසඥයන් සොයා ගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්‍ෂි මොනවාද යන්න පෙරළා අපට විමසන්නට සිදුවේ. වසර 50,000 දක්වා අෑත අතීතයට ගිය මානව සාධක ලැබෙන ලංකාවෙන් සීගිරියෙහි ඔය කියන ලද කාලපරිච්ඡේදයට අයත් සාධක හමු නොවන්නේ මන්ද?

රාවණා මිථ්‍යාව ගැන කරුණු දක්වන සමහර විද්වතුන් ලංකාවේ රාවණා රජුගේ නම සඳහන් සෙල් ලිපිද ලැබෙන්නේ යැයි පවසයි. ඊට අනුව "රාවණ" ලෙස සමහර ලිපි කියවන ඔවුන් එහි රාවණා ගැන සඳහන් වන්නේ යැයි කියයි. මෙය පිළිගත හැකිද? සමහර පූර්ව බ්‍රාහ්මී ලිපිවල "බඹදත" යන නම සඳහන් අවස්ථා ඇත. එම බඹදත යන වචනය මුල් කර ගෙන කෙනකුට ඔහු ඉන්දියාවේ සිටි බ්‍රහ්මදත්ත බවට තර්ක කළ හැකිය.

වාල්මිකී නම් ඉන්දීය ප¾ඩිවරයා වීර කාව්‍යයක් කිරීමේ අදහසින් රාම, රාවණා චරිත ඇතුළත් කරමින් ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවසේදී ලියන ලද ග්‍රන්ථය රාමායණය ලෙස සැලැකේ. මෙම රාමායණයේ සඳහන් පුද්ගල චරිත ස්ථාන නාම වාල්මිකී ප¾ඩිවරයාට අවශ්‍ය ලෙස පෙළ ගැස්සුවා විනා ඒවා ඒ වන විට තිබූ සත්‍ය ස්ථාන හා පුද්ගල නාම ලෙස පිළිගැනීමට තරම් අප හට ඉක්මන් විය නොහැකිය. ඉන්දීය රාම චරිතය ඉස්මතු වන ආකාරයෙන් ලියූ මෙම වීර කාව්‍යයේ එන සෙසු චරිත සියල්ල රාමට පරාජය වේ. රාම යනු හින්දු සාහිත්‍යයේ එන විෂ්ණුගේ දස අවතාරවලින් එකකි. ලෝකය අභාග්‍යයට පත් අවස්ථාවේදී විෂ්ණු විවිධ ස්වරූපවලින් පැමිණ ලෝකය බේරා ගනී. රාවණා රජු ලෙස සැලකෙන චරිතය විනාශ කර රාම ජය ලබන්නේ ඒ නිසාය.

මෙම කතා ප්‍රවෘත්තියට පදනම් වන "ලංකා පුරය" අපගේ දිවයින ලෙසද අද පමණක් නොව අතීතයේ පවා මේ දිවයිනේ සිටි මිනිසුන් පිළිගත් බවට සීතාඑළිය. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී ස්ථාන සඳහා භාවිත කළ නම්වලින් කෙනකුට තර්ක කළ හැකිය. වාල්මිකී ලියූ වීරකාව්‍ය එකල ලංකාවේද ප්‍රචලිත විය. එබැවින් එකලද මෙම රාවණා ප්‍රවාදය පිළිගත් පිරිස් මේ දිවයිනේ සිට ඇත. අදද ලංකාවේ සිටින්නේ එම පරම්පරාවේම පිරිස්ය. ඔවුන්ද මෙම රාවණා ප්‍රබන්ධය හෙවත් බොරුව සමාජ ගත කරමින් සිටී. ඉතා විශිෂ්ට ශේ්‍රෂ්ඨ රාවණා රාජධානියක් ගැන කියමින් ජනතාව මොහොතකට හෝ අමුතුම ලෝකයකට ගෙන යයි.
මේ සියල්ල අමතක කර අවසානයේ අප නැවත රාවණා ගැන සොයන ඒ ගැන කියන විද්වත් පිරිස වෙත යොමුවෙමු. අපි ඔවුන්ට අභියෝග කරමු.
1. රාවණා රජු මේ දිවයිනේ රජ කළ කාලය පිළිබඳව සඳහනක් දෙන්න. (පොදු අදහසක් විය යුතුය)
2. එම කාලය පුරාවිද්‍යා දත්තයන් මඟින් තහවුරු කරන්න.

3. රාවණා ලංකාවේ සිටි බවට පිළිගත හැකි පුරාවිද්‍යා සාක්‍ෂියක් ඉදිරිපත් කරන්න.
වැයිහේනේ බුද්ධි නාගොඩවිතාන
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - ගාල්ල.

http://mawbima.lk/95-90274-news-detail.html

flying Colors චිත්‍ර ප්‍රදර්ශනය ගෙනෙන හෂිනි හිමාෂා

“හැඟීම් ප්‍රකාශනය චිත්‍ර කලාවේ මූලික ලක්ෂණයක්. සමකාලීන සමාජ අත්දැකීම් විෂය කරගන්නා විට එය වඩාත් සියුම් හා තීව්‍රාකාරයෙන් ඉදිරිපත් කළ හැකියි.” flying Colors මැයෙන් තම ප්‍රථම ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට සූදානම් වන යොවුන් චිත්‍ර ශිල්පිනියක වන හෂිනි හිමාෂා එසේ පවසයි.
මෙය පෙබරවාරි 26 දා පෙ. ව. 9.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඇරඹෙයි. එම ප්‍රදර්ශනය 28 වැනි දින දක්වා පෙ. ව. 9.00 සිට ප. ව. 9.00 දක්වා පැවැත්වෙයි. රේඛා චිත්‍ර, සාම්ප්‍රදායික චිත්‍ර සහ නූතන චිත්‍ර රැසකින් මෙය සමන්විත වෙයි. සිසු අවධියෙහි පටන් වත්මන වන විට ඇය දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගෙන තිබේ. අපි ඒ පිළිබඳ ඇගෙන් ඇසුවෙමු.
“1997 ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය ලැබුවා. 2006 චෙකොස්ලොවේකියාවේ ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගයෙන් Rose of the lidice – Super gold Medal එක මට හිමිවුණා. එහෙත් එම ජයග්‍රහණ ලැබූ පමණින් චිත්‍ර කලාවේ පරතෙරට පැමිණ ඇතැයි මා සිතන්නේ නෑ. වැඩිදුරටත් අධ්‍යයනය කරමින් අභ්‍යාසයෙහි යෙදෙමින් මගේ ම අනන්‍යතාව ඇති චිත්‍ර නිර්මාණය කිරීම මගේ අරමුණයි.” හෂිනි හිමාෂා පවසයි.
ලයනල් රණවීර සහ චන්ද්‍රගුප්ත තේනුවර යටතේ චිත්‍ර ශිල්පය හදාරා ඇති ඇය 2013 සිට TD Rrinters Sri Lanka ආයතනයෙහි ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය ලෙස කටයුතු කරයි. “වේදනාව මත බලාපොරොත්තු” නම් නිර්මාණය ඇගේ සිතුවම් අතර කැපී පෙනෙන නිර්මාණයකි. ආචාර්ය චාල්ස් දයානන්ද සහ නයනානන්ද විජේකුලතිලක යනාදී චිත්‍ර ශිල්පීන් ‍එම චිත්‍රය ඇතුළු චිත්‍ර කිහිපයක ම හෂිනි හිමාෂාට ආවේණික වූ ශෛලියක් ඇති බව පවසා ඇත. “මේ චිත්‍රයට විෂය වුණේ දැඩි සේ රෝගාතුරව සිටියදීත් ජීවිතය කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටි මගේ අම්මා. වේදනාව මැඬගෙන ජීවිතය පිළිබඳ දැල්වුණු බලාපොරොත්තුව රේඛා සහ වර්ණ භාවිතයෙන් ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළා” හෂිනි හිමාෂා පවසයි.
ඇගේ එක් සිතුවමක කහ, රතු සහ කළු වර්ණ පසුබිමෙහි රේඛා චිත්‍රයක මිනිස් මුහුණු තුනක් පෙනේ. සෙසු මුහුණු සුපසන්ව පවතිද්දී එක් මුහුණක ඇත්තේ ද්වේශ සහගත බැල්මකි. ඒ මුහුණ අනෙක් මුහුණු දෙස බලා සිටී. “මේ චිත්‍රයෙන් මා පිළිබිඹු කිරීමට උත්සාහ කළේ මිනිස් සමාජයෙහි විවිධත්වයයි. ඔවුන්ගේ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරයයි” හෂිනි හිමාෂා පවසයි.
ඇතැම් චිත්‍ර ශිල්පීන් සමකාලීන දේශපාලන හා සමාජ සංසිද්ධීන් සිතුවමට නැඟීම සඳහා උනන්දු වෙනවා. එය යහපත් ලක්ෂණයක්. චිත්‍ර ශිල්පය හදාරන්නියක හැටියට මටත් එවැනි අරමුණක් තිබෙනවා. එහෙත් එය ප්‍රමාණාත්මක නොවී කලාත්මක නිර්මාණයක් විය යුතුයි. කලාවේ සීමාව බිඳගෙන එය කළ නොහැකියි.” හෂිනි හිමාෂා චිත්‍ර කලාවෙහි ඉදිරි ගමනක් යෑමේ හැකියාව ඇති නිර්මාණශීලී යෞවනියකි. ඇගේ නිර්මාණ දිවියට අපේ සුබ පැතුම්.
තිඹිරියාගම බණ්ඩාර

http://www.dinamina.lk/

කැළෑ පොජ්ජේ පටඅරිනා ~ "කථාදමන යමකේ" (SLBC Dambana Radio)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ “ දඹාන රේඩියෝ“ ආරම්භකර පසුගිය 22ට වසර 06ක් සැපිරුණ අතර, මේ ගුවන් විදුලි සේවයේ ශ්‍රාවක අසන්නන් විසින් උපන් දින සැමරුමක් දඹාන ආදිවාසී කොටබකිනිය ගම්මානයේ දී සංවිධානකර කැවුම්, කොකිස්, අතිරස, හැලප ආදී රසකැවිලි පොදි බැඳගෙන දඹාන කොට බකිනිය ගම්මානයට බස් රථවලින් උදෑසන පැමිණියේය.
මහඔය, හසලක, උඩත්තව, දිඹුලාගල, හේනානිගල, මීගහකිවුල, කැටවත්ත යන ගම්මාන වල ශ්‍රාවක අසන්නන් මෙලෙස කැවුම්, කිරිබත්, කෙසෙල්, හැලප රැගෙන දඹාන කොටබකිනිය ගම්මානයට බස් රථ වලින් පැමිණි අය වෙති.
“ දඹාන රේඩියෝ“ වේ උපදේශක ලෙස වන්නිලා ඇත්තන් ක්‍රියා කරන අතර, සිකුරාදා දිනයේ වැඩසටහන් සියල්ල ආදිවාසී භාෂාවෙන් විකාශනය කෙරේ. ශ්‍රාවකයන් සංවිධාන කළ උපන්දින සැමරුම සඳහා ආදිවාසී නායක විශ්ව කිර්ති, වනස්පති වන්නිලා ඇත්තන් හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා අතිරේක අධ්‍යක්ෂ නිමල් ප්‍රේමසිරි මහතා සහභාගී වූහ.
එහි දී වැදිගෝත්‍රයේ සම්ප්‍රදායන්ට අනුව ඉදිකළ නව ගුවන්විදුලි විකාශන මැදිරියක් විවෘත කිරීම ද ආදිවාසී නායක වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මුං කිරිබතක් උයා කිරිබත් කැට කපා ශ්‍රාවකයන් ආදිවාසී නායකයා හට හා ප්‍රාදේශීය සේවා අතිරේක අධ්‍යක්ෂවරයා හට කැවීම සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ FM නාලිකා සැමට ආදර්ශයක් දෙමින් මේ උපන්දිනය සැමරූ අතර, නාලිකාව විසින් ශ්‍රාවකයන් හට මුදල් තෑගි බෝග ලබාදීම වෙනුවට ශ්‍රාවකයන් විසින් නාලිකාව ඇගයීම සිදු කෙරුණු අතර, දඹාන රේඩියෝව අසන ශ්‍රාවකයන් හට ආදිවාසී වන්නිලා අත්තන් විසින් හිටපු ආදිවාසී නායක තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවක් සහිත සිහිවටනයක් කල්‍යාණ ඇසුරට උපහාරයක් ලෙස පරිත්‍යාග කරනු ලැබීය. දඹාන FM ගුවන් විදුලියේ ශ්‍රාවක සමාජය විසින් නර්ථන අංග හා ගායනා අංග රැසක් ආදිවාසී ගම්මානයේ මොරබැද්දේ දී සංවිධානකර තිබුණි.
සභාව ඇමතූ ආදිවාසී නායක “ හැල හැප්පිලි රැසක් මැද ජීවිකාව ගෙන යන අතරතුර ප්‍රජා ගුවන් විදුලි සංකල්පය අප රටෙන් තුරන්ව යන කාලෙක රේඩියෝ දඹාන නමින් ගිරාදුරුකෝට්ටේ තිබුණ ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ කරපු වේලාවේ මේක නඟාහිටුවන්න පුළුවන් ද කියලා ගුවන් විදුලියේ ජයවික්‍රම මහත්තයා ඇවිල්ලා මගෙන් ඇහුවේ. ඒ වෙලාවේ දී මම ඒකට එච්චර කැමති වුණෙත් නෑ. අවසානේ කැමති වෙලා ආරම්භ කළා. ආරම්භ කරපු දවසෙම තමයි මම එවකට හිටපු සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරේ මේකෙ නම වෙනස් කරලා දෙන්න කියන එක. මොකද මේක යන මාවත පිළිබඳ මම දැනගෙන හිටියේ නෑ. නමුත් ඒයාලා නම වෙනස් කරන්න කැමති වුණේ නෑ. දඹාන FM කියලාම මගේ පරම්පරාවට සේවයක් වන විදියට හා බින්තැන්න පළාතට සේවයක් වන විදියට මේ නාලිකාව ක්‍රියාත්මක කරගෙන ගියා.
මේ වන විට අවුරුදු 06ක් සම්පූර්ණ කරමින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ රටේ ගුවන් විදුලි ගොඩක් තියෙනවා. බොහෝ ගුවන් විදුලි අපේ ගුවන් විදුලිය අහන්න කියලා බඩු මල්ලක් දෙනවා. සල්ලි මල්ලක් දෙනවා. එහෙම ක්‍රමවේදයක් තමයි දැන් අපේ රටේ ඇති වෙලා තියෙන්නේ. මම හිතන විදියට ගුවන් විදුලියක් කියන්නේ සිංදු කියන්ඩ, නටන්ඩ, බඩු මුට්ටු තෑගි බෝග දෙන්ඩ නෙවෙයි ඒකෙන් ජනතාවට සේවයක් වෙන්ඩ ඕන කියලයි මගේ නම් අදහස. මේ බොහෝ පිරිසක් ඇවිත් ඉන්න එකෙන්ම මට තේරෙනවා ඒකෙන් කරපු සේවාව කොච්චරද කියලා. මේ පුංචි ගුවන් විදුලියෙන් කරපු ලොකුම සේවාව තමයි හසලක උඩැත්තව, මැදකැලේ ගම්මානයට යන්ඩ මාර්ගයක් හදපු එක. මේ ගුවන්විදුලිය අපේ පරම්පරාවේ අය විතරක් නෙවෙයි අවට අයත් ප්‍රයෝජනයට ගන්නවා කියන එක මම දැක්කා. ඒ නිසා මේ ගුවන් විදුලිය හරහා විශාල සේවාවක් ප්‍රයෝජනයක් ඉදිරියේදීත් ගන්ඩ පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
මගේ පරපුර ගැන කියනකොට මේක ඇහෙන්නේ ලංකාවේ සීමිත ප්‍රදේශයකට. ලංකාවේ දිස්ත්‍රික්ක 06ක ගමම්මාන 62ක පමණ අපේ ජනතාව විහිදිලා ඉන්නවා. ගුවන් විදුලිය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කෙනෙක් මේ අවස්ථාව සඳහා පැමිණිලා ඉන්නවා. මම එතුමන්ගෙන් හා සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා ඒ ගම්මාන 62 ටම මේ ගුවන් විදුලිය ඇහෙන මට්ටමට දියුණු කරලා දෙන්න කියලා. ඒ අනුව ඒ ගම්මාන 62ම සම්බන්ධීකරණය වෙන්න පුළුවන්කම, ඒ අයගේ ගැටලු සම්බන්ධයෙන් දැනුවත් වෙන්න, භාෂාව ඉගෙන ගන්න හැකියාව ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ ගුවන් විදුලිය අහලා අපේ පරම්පරාවේ විදියට මේ දරුවො වැඩිහිටියෝ “ මාමකැච්චක් හොඳමයි“ කියා හරි කියන්ඩ ඉගෙන ගෙන තියෙනවා. ඒක මට ලොකු සතුටක්. අද වෙනකෙට ගොඩක් දරුවො මෙහාට එනවා මේ භාෂාව සංස්කෘතිය හදාරන්ඩ. ඒ එන හැමෝටම ගුවන් විදුලිය ලොකු පිටිවහලක් වෙනවා. ඒ වගේම ගෙදර ඉදලා අපේ භාෂාව ඉගෙන ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ගුවන් විදුලියෙන් එක මිටකට අපේ පරම්පරාවේ අය ගොනුකර ගන්න හැකි වෙලා තියෙනවා. සමස්ත ගම්මාන වලට මේක ඇහෙනවානම් මට පුළුවන් මෙතන ඉදලා ඒ ගම්මාන වල ගැටලු ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ඒවාට විසඳුම් දෙන්න. මම අවසාන වශයෙන් ඉල්ලන්නේ මේක දැකලා සතුටු වෙලා අපට මේක දියුණු කරගන්න තවත් උදවුකරන්න කියලයි“ යැයි පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවේගම, අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත දඹාන කථාමෙන යමකෙ හෙවත් දඹාන රේඩියෝව දඹාන ගම්මානයේ ආදිවාසී නිවේදකයන් 3ක්, ස්ථිර නිවේදකයන් 4ක් හා ස්වෙච්ඡා නිවේදකයන් 8 දෙනකුගෙන් හා නාලිකා ප්‍රධානි අරුණසිරි ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
සටහන හා ඡායාරූප
මාපාකඩවැව සමූහ - එච්. එම්. ආර්. කරුණාවීර 
http://www.dinamina.lk/

2MASS J16281370-2431391 වීඩියෝ සහිතයි

අලුත් ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වෙයි
වැඩෙමින් පවතින තරුණ තරුවක් වටා පිහිටි දූවිලි වළාවන් වර්ධනය වන ආකාරයෙන් නව ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වන ආකාරය හොදින් අධ්‍යයනය කිරිමට හැකියාව ලැබී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් පෙන්වාදෙන්නේ මෙය අධ්‍යයනය හේතුවෙන් සෞරග්‍ර‍හ මණ්ඩලය බිහිවීම පිළිබද මෙතෙක් පැවති මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.
තාරුකාව වටා තැටියක් මෙන් පාවෙමින් පවතින දුහුවිලි හා වායු අංශු සිසිල් වෙමින් නව ග්‍ර‍හ මණ්ඩලය නිර්මාණය වෙමින් පවතින බව ඔවුහු කියති. මේ සූර්යයා වටා නිර්මාණය වෙමින් පවතින ග්‍ර‍හක තැටිය තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියේය.
මෙය විද්‍යාඥයන් විසින් 2MASS J16281370-2431391 ලෙස නම් කර තිබේ.  එහි ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක සිට සෙල්සියස් අංශක 266ක් දක්වා විචල්‍යය වන බව විද්‍යාඥයන් විසින් ගණනය කැර ඇත.
අලෝක වර්ෂ 400ක් පමණ ඈතින් පිහිටා ඇති නිර්මාණය වෙමින් පවතින මේ නව ග්‍ර‍හ මණ්ඩලය මුලින් ම නිරීක්ෂණය කර ඇත්තේ ස්පාඤ්ඤයේ පිහිටි ඉරාම් දුරේක්ෂයෙනි



http://www.lankadeepa.lk/index.php/articles/382961

හදිසියේ අතුරුදන් වූ අයිස් මිනිසා

දඩයම් කරමින් අදින් වසර 15,000ට පමණ පෙර යුරෝපයේ ජීවත් වූ නොදන්නා මිනිස් කොට්ඨාශයක් පිළිබද කරුණු අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ කියති.
ඔවුන්ගේ අස්ථි හා දත් පරීක්ෂාකරමින් ඩී.එන්.ඒ ගැලපීමේ දී මේ මිනිසුන් යුරෝපයේ සිට අයිස් යුගය අවසන්වීමේ දී අතුරුදන් වන්නට ඇතැයි ගවේෂකයන්ගේ මතය වී ඇත. ඔවුන් පවසන්නේ මේ මිනිසුන්ගේ ජාන නූතන ආසියානු, ඇමෙරිකානු, ඔස්ට්‍රේලියානු හෝ යුරෝපීය ජන කොටස් සමග නොගැලපෙන බවයි. ඔවුන් අප්‍රිකාවෙන් සංක්‍ර‍මණය නොවූ ජන කොට්ඨාශයක් ද යන්න පිළිබදව ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත.
පර්යේෂණය සිදුකර ඇත්තේ ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ මානව ඉතිහාස විද්‍යාව පිළිබද පර්යේෂකයන් පිරිසක් විසිනි. අප්‍රිකානු සම්භවයක් නොමැති මේ ජනතාව වසර 50,000ට පමණ පෙර නැගෙනහිර ආසියාව හා ඕස්ට්‍රේලියාව කරා ගමන් ගන්නට ඇති බවත් පර්යේෂකයෝ සැකකරති.
මෙම පර්යේෂණය මෙහෙයවන ටියුබින්ජන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොසිමෝ පොස්ත් පවසන්නේ මේ මිනිසුන් අදින් වසර 14,500ට පෙරාතුව අතුරුදන්ව ඇත්තේ පුදුම සහගත ලෙස බවයි.
30E135AE00000578-3432060-New_analysis_of_remains_of_ancient_Europeans_from_as_far_back_as-a-1_1454625139364 30E135C100000578-3432060-DNA_was_extracted_from_the_teeth_and_bones_of_ancient_human_rema-a-3_1454625139763
http://www.lankadeepa.lk/index.php/articles/385036

තවත් ගූගල් ලූන් බැලුනයක් ලක් ගුවනට

ලබන සතියේ තවත් ගූගල් ලූන් බැලූනයක් ශ්‍රී ලංකා ගුවනට යොමු කරන බව ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ විද්‍යායතනයේ කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පවසයි.
මෙරට විවිධ ප්‍රදේශවල පවතින අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට බලපාන සාධක ගූගල් ලූන් බැලූන මගින් විසඳනු ඇතැයි ඔහු කියයි.
කඳුකරය ආශ්‍රිත ගම්මානවලට පවා තාක්ෂණික පහසුකම් සලසා ගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බවද ගූගල් ලූන් මධ්‍යස්ථානය කියයි.

‘බ්ලැක්හැම් විජේවර්ධන’


කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර 53 වැනි ‘බ්ලැක්හැම් විජේවර්ධන’ අනුස්මරණ කුසලාන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 26 සහ 27 දෙදින කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහ ක‍්‍රිකට් තරග වලදී තර්ස්ටන් විදුහල තරග 5 ක්ද, ඉසිපතන විදුහල තරග 4 ක්ද ජය ලබා ඇති අතර තරග 42 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. තර්ස්ටන් විදුහල 1992 වසරේද, ඉසිපතන විදුහල 1999 වසරේද අවසන් වරට ජය ලබා තිබේ.

ඉසිපතනය - ජයග‍්‍රහණ 4 යි
තර්ස්ටන් - ජයග‍්‍රහණ 5 යි
විසඳුම් නැති තරග - 42 යි

මෙවර තර්ස්ටන් විදුහල් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක‍්‍රීඩක චරණ නානායක්කාරද, ඉසිපතන විදුහලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ආරම්භක පිතිකරු සාලින්ද උෂාන්ද, කටයුතු කරති.

බංග්ලාදේශයේදී පසුගියදා පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ඉසිපතන විදුහලේ සාලින්ද උෂාන් සහ විෂාද් රන්දික මෙන්ම තර්ස්ටන් විදුහලේ චරණ නානායක්කාර මෙම තරගයට ක‍්‍රීඩා කිරීම නිසා මෙවර මහ ක‍්‍රිකට් තරගය වඩාත් තරගකාරීවනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.
ඉසිපතන විදුහල මේ වන විට ‘සිංගර්’ ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටින අතර තර්ස්ටන් විදුහල පෙර අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණියේය.

‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන තර්ස්ටන් විදුහල මෙම තරග වාරයේ තරග 16 කදී වෙස්ලි, කොළඹ මහානාම, පානදුර රාජකීය, මරදාන සහිරා, මීගමුව මාරිස්ටෙලා සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් හයට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීය. කොළඹ නාලන්දා විදුහල හමුවේ පමණක් පරාජයට පත්විය.
සජිත් ගුණතිලක ලකුණු 581 ක්ද, චරණ නානායක්කාර ලකු-ණු 503 ක්ද, රැස්කරමින් මෙවර තර්ස්ටන් විදුහල් පිලේ ප‍්‍රබලතම පිතිකරුවෝ බවට පත්ව සිටිති. සාලින්ද සමරනායක ලකුණු 402 ක් රැස්කර සිටියි.
වමතින් දඟ පන්දු යවන ඩිලාන් මධුසංඛ කඩුලූ 59 ක් දවා ගනිමින් මෙවර තර්ස්ටන් විදුහලේ ප‍්‍රබලතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. තුෂාල් මධුසංඛ සහ නවීන් ගුණවර්ධන කඩුලූ 40 බැගින් දවා ගැනීමට සමත්ව සිටිති.
‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක‍්‍රීඩා කරන ඉසිපතන විදුහල මෙම තරග වාරයේ තරග 19 කට සහභාගි වී අම්බලන්ගොඩ ධර්මාශෝක, කළුතර සිරිකුරුස සහ අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත් විය. ඉසිපතන විදුහල මෙම තරග වාරයේ පරාජය නොවීම කැපී පෙනේ.  
සංජුල අබේවික‍්‍රම ලකුණු 1300 ක් ද, ප‍්‍රමෝද් මධුවන්ත ලකුණු 1040 ක් ද, රැස්කරමින් ඉසිපතන විදුහල් පිලේ ඉහළතම ලකුණු ලාභීන් බවට පත්ව සිටිති.
අයන සිරිවර්ධන ලකුණු 635 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටියි. පසුගිය සති අන්තයේදී පැවැති සිංගර් කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය පිලට එරෙහිව ලකුණු 199 ක් ලබාගැනීමට විශාද් රන්දික සමත් විය.
වමතින් දඟ පන්දු යවන ළහිරු ඩිල්ෂාන් කඩුලූ 76 ක් දවා ගනිමින් මෙවර ඉසිපතන විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. ප‍්‍රමෝද් මධුවන්ත කඩුලූ 72 ක් සහ තිවංක සංජුල කඩුලූ 63 ක් දවා ගනිමින් මෙවර ඉසිපතන විදුහල් පන්දු යැවීමේ බලෑනිය ශක්තිමත් කරති.
දෙවිදුහල් අතර වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මාර්තු මස 13 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.



තර්ස්ටන් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: අයේෂ් වීරරත්න, කසුන් අබේරත්න, ලක්‍ෂ්මන් ගුණතිලක මහතා (නියෝජ්‍ය විදුහල්පති), චරණ නානායක්කාර (නායක), ඊ. එම්. එස්. ඒකනායක මහතා (විදුහල්පති), සජිත් ගුණතිලක (උප නායක), ලෙස්ලි හරිස්චන්ද්‍ර මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), සුනෙත් ගුණතිලක මහතා (පුහුණුකරු) සහ නිපුන් ලක්‍ෂාන්
පසු පෙළ වමේ සිට: සාලින්ද සමරනායක, ප‍්‍රගීෂ මෙන්ඩිස්, තිසෙර ඩිෂාන්, ඉමේෂ් විරංග, යෙෂාන් වික‍්‍රමාරච්චි, ඉසිත විජේසුන්දර, ඩිලාන් මධුසංඛ, නවීන් ගුණවර්ධන, නවෝද් සමරකෝන්, තුෂාල් මධුසංඛ සහ පන්සිළු දේශාන්




ඉසිපතන විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ජයතු නිලවීර මහතා (සහාය පුහුණුකරු), සංජුල අබේවික‍්‍රම, ආර්. ඒ. ඒ. රණසිංහ මහතා (කණ්ඩායම් බාර ආචාර්ය), ප‍්‍රමෝද් මධුවන්ත, ප්‍රෙම්සිරි ඈපා මහතා (විදුහල්පති), සාලින්ද උෂාන් (නායක), ඞී. එච්. ප‍්‍රියංකර මහතා (නියෝජ්‍ය විදුහල්පති), විෂාද් රන්දික, සනත් ඉලේපෙරුම මහතා සහ ප‍්‍රදීප් නිශාන්ත මහතා (ප‍්‍රධාන පුහුණුකරු)
පසු පෙළ වමේ සිට: පැතුම් නිශ්ශංක, මධූෂික සදරුවන්, හර්ෂ රත්නායක, හේෂාන් ධනුෂ්ක, නිරංජන් වන්නිආරච්චි, ළහිරු ඩිල්ෂාන්, අයන සිරිවර්ධන, සංජුල බණ්ඩාර, කලික් අමනත්, කලන පෙරේරා, ඉවන්ක සංජුල සහ දිල්සර සමින්ද


 යොහාන් භාසුර 
- See more at: http://kelimandala.lankadeepa.lk

Monday, February 22, 2016

අඳුරු දිවියේ කඳුළු මැදින් රිදී ගෙනා දිරිය දියණිය

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පැවැති 12 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගාවලියට සහභාගී වූ අනුරාධපුරයේ, මිහින්තලය මහා විද්‍යාලයේ කේ.එම්.උදේශනී නිරංජනී දෙවැනි ස්ථානය අත්කර ගනිමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙනදීමට සමත්වුවාය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝමීටර් 40 කාන්තා කණ්ඩායම් තරගයට එක්වූ ඇය ලසන්ති ක්‍රිෂ්ණා ගුණතිලක, ශ්‍රියාලතා වික්‍රමසිංහ සහ සුදාරිකා ප්‍රියදර්ශනී සමග එක්ව උපන් බිමට කීර්තියක් අත්කර දුන්නේ අගහිඟකම් සහ දුක් කම්කටොලු රැසක් මැදිනි.
මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්වත්ත වැල්ලමොරාන පදිංචි 18 හැවිරිදි උදේශනී නිරංජනී මෙවර කාන්තා පාපැදි සංචිතයට ‍තෝරාගෙන සිටිය ද සිය පෞද්ගලික වියදම් සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට තරම් වත්කමක් නොතිබිණි. මේ සඳහා ඇයට රුපියල් විසිදහසක මුදලක් ලබාදීම ඇගේ පියා කේ.එම් කපිල කුමාරසිංහ මහතාට දුෂ්කර කාර්යයක් විය. එහෙත් මවු සෙනෙහස පවා අහිමි සිය දියණියගේ දස්කම් මැනවින් අවබෝධ කරගෙන සිටින කුමාරසිංහ මහතා ඒ සිහිනය කෙසේ හෝ සැබෑ කළ යුතු බවට අදිටන් කරගත් අතර අවසානයේ ඔවුන් දැනට ජීවත්ව සිටින නිවසේ ඔප්පුව උකසට තබා අවශ්‍ය මුදල දියණියට ලබාදුන්නේය. ඇය රිදී පදක්කම දිනාගැනීමට සමත්වීමෙන් වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා ඔහු බවට කිසිදු සැකයක් නොමැත.
පාපැදි තරග ඉසව්ව නිමාවීමෙන් පසුව යළි මෙරටට පැමිණිමෙන් පසුව මේ ජයග්‍රහණය පිළිබඳ ඇය මෙසේ අදහස් පළ කළාය.
'මගේ අම්මා අපෙන් සමු අරගෙන දැනට අවුරුදු 11 ක්. එදා ඉඳලා මාව බලාගන්නේ , මගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ක්‍රීඩා කටයුතුවලටත් දිරිය දුන්නේ මගේ ආරණීය තාත්තා.' ඇය කියා සිටියාය.
'මම 2014 දී මිහින්තලය බක්මහ උළෙලේ පාපැදි ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මම අධ්‍යාපනය ලැබූ මිහින්තලය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර අජිත් සේනාධීර මහතා මගේ දස්කම් දැකලා මාව පාපැදි ක්‍රීඩාවට යොමු කරන්න ගොඩක් මහන්සි වුණා. ඊට පස්සේ මම තරග කිහිපයකටම සහභාගී වෙලා පදක්කම් 21 ක් මේ වෙද්දී දිනාගෙන තියෙනවා. රන් පදක්කම්13කුත් දිනාගත්තා.
2014 දී කොරියාවේ පැවති තරගයකට සහභාගි වෙලා මම දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට තාත්තා මාව යැව්වේ කුඹුර උකස් කරලා දීපු ගත්තු මුදලිනුයි. මේ පාර සාග් යන්න මාව තෝරාගත්තත් පෞද්ගලික වියදම්වලට අවශ්‍ය මුදල් තිබුණේ නෑ. ඒත් තාත්තා කිවුවා පුතේ මම ගේ උකසට තියලා හරි ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. ඉතින් මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණා.
ඉන්දියාවේ ක්‍රීඩිකාව මේ තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27 ක් විතර වෙනවා. නමුත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක්‍රීඩා සමාජය ලබාදුන්නු රුපියල් 75000 ක් පමණ වටිනා පාපැදියක්. ඒ පාපැදියේ සමහර කොටස් වෙන වෙන අයගෙන් පාපැදිවලින් ඉල්ලගත්තා. මේ හැම අභියෝගයකටම මුහුණ දීලා ‍අපේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩිකාවන් එක්ක තරගාවලියේ දෙවැනි තැන දිනාගන්න මට පුළුවන් වුණා.'
'හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හය හමාරක් විතර ඕන. ඒක ඉතිං හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලුත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. මම හැමදාම ඒ 9 මාර්ගයේ පුහුණු වීම් කරනවා. හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරත්තු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියටත් තරග කරලා ඉදිරි ස්ථානයක් ලබා ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න තියන එකම බාධකය මුදල් නැතිකම තමයි' ඇය එසේ කියන්නීය.
මිහින්තලය පදිංචි මෙම ක්‍රීඩිකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දී ඇති බව දැනගත් උතුරුමැද පළාත් ක්‍රීඩා අමාත්‍ය හා මිහින්තලා ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකෝන් මහතා පසුගියදා එම නිවසට පැමිණි අතර එහි දී ඇයට සුබපතමින් කියා සිටියේ රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා පාපැදියක් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවය.
එමෙන්ම ඉදිරියේදී උපහාර උළෙලක් පවත්වා රිදී පදක්කමක් දිනා රටට කීර්තියක් අත්කර දීම අගයමින් ඇයට රුපියල් 50 000 ක මුදලක් පිරිනැමීමට කටයුතු යොදන බව ද අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය.
ඡායාරූප - අනුරාධපුර මධ්‍යම විශේෂ

http://www.dinamina.lk

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය

කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි දී ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අතින් ජයග්‍රාහී ප්‍රජාපතී නිවාසයේ ක්‍රීඩා නායිකාව ශූරතාව ලබාගත් අයුරු. කොළඹ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක, විදුහල්පතිනි තුෂාරී ද සිල්වා මහත්ම මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූපය - චින්තක කුමාරසිංහ
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගියදා (12) බෞද්ධාලෝක මාවත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. ආදි ශිෂ්‍ය ගුවන් කොමදෝරු සම්පත් තුයියකොත්ත මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක් වූ අතර ආරාධිතයන් උත්සව භූමිය‍ වෙත කැඳවාගෙන ගිය අයුරු. විදුහල්පති ඊ.එම්.එස්. ඒකනායක, ක්‍රීඩා බාර නියෝජ්‍ය විදුහල්පති ලක්ෂ්මන් ගුණතිලක, විද්‍යාලයීය ක්‍රීඩා පරීක්ෂක සමිත අබේසුන්දර මහත්වරු ද මෙහි වෙති. ජායාරූපය-කොළඹ සංචාරක
ඇල්පිටිය නවදගල මහා විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙල ඉකුත්දා එම විද්‍යාලිය ක්‍රීඩාං ගනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ලකුණු 468 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත් හංස නිවාසයේ නායිකාව, ගීතා කුමාරසිංහ මහත්මිය අතින් ශුරතාව ලබාගත් අයුරු. ඡායාරූපය - ඇල්පිටිය සමූහ

දශක ගණනාවකට පසු යාපනයට සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාවක්




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ සමස්ත ලංකා 19න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව යාපනය සාන්ත හෙන්රි විදුහල දිනා ගත්තේය. දශක ගණනාවකට පසුව උතුරු පළාතේ පාසලකට ප්‍රධාන පෙළේ ක්‍රීඩා ශූරතාවක් හිමිවූ පළමු අවස්ථාව මෙය වන අතර හිටපු ශූරයන්වන කොළඹ සහිරා විදුහල ගෝල් 3-1ක් ලෙස යාපනය සාන්ත හෙන්රි කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීම විශේෂත්වයකි.
සහිරා විදුහල 19න් පහළ පාපන්දු ශූරතාව වසර 3ක් පිට පිට දිනාගත් ප්‍රබලතම කණ්ඩායමක් වුවද, මෙවර යාපනය සාන්ත හෙන්රි විදුහල හමුවේ දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළේය. රීඩ් මාවත තුරඟ තරග පිටියේ පැවැති තරගයේ පළමු භාගයේදී දෙපලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක පසුවූ අතර යාපනය විදුහලට එම ගෝලය සහිරා ක්‍රීඩක එම්.මුෂිරෆ්ගේ දුර්වලතාවකින් ‘ඕන් ගෝලයක්’ ලෙස හිමිවුණි.
යාපනය සාන්ත හෙන්රි ක්‍රීඩකයෝ තරගයේ 67වැනි හා 73වැනි මිනිත්තුවලදී ගෝල් ලබාගත් අතර ජී. අන්තෝනි රාජ් හා ඒ.බී.අනෝජන් එම ජයග්‍රාහී ගෝල් දෙක වාර්තා කළේය. අනෝජන් පාසල් ක්‍රීඩකයෙකු වුවද අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජයට එක්වී ප්‍රධාන පෙලේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට ද ක්‍රීඩා කරමින් සිටී. සොලිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනෙකු සාන්ත හෙන්රි විදුහලට ක්‍රීඩා කිරීම වාසි ගෙන දුන්නේය.
කෙසේ වුවද කොළඹ සහිරා විදුහලට පළමු භාගයේදී ලැබුණු ගෝල් අවස්ථා 4ක් හා දෙවැනි භාගයේදී ලැබුණු පහසු අවස්ථා 2ක් මඟ හැරී යෑම අවාසනාව ගෙන දුන්නේය. යාපනය පිලේ ආරක්ෂක කළාපයේ ක්‍රීඩකයන් ඉතා දක්ෂ ලෙස හා උපක්‍රමශීලීව ක්‍රීඩා කිරීමෙන් සහිරා බලාපොරොත්තු සුන්වී ගියේය.
පසුගිය වසරේදී යාපනය පාපන්දු ලීගයට අන්තර් ලීග් කනිෂ්ඨ පාපන්දු ශූරතාව හිමි වූ අතර එයට පාසල් ක්‍රීඩකයන් කිහිප දෙනකු ද එක්ව සිටියහ. එම කණ්ඩායම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උපකාර සහිතව මේ දිනවල චෙන්නායි නුවර පාපන්දු තරග සංචාරයක නිරතව සිටී. මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට යාපනය ප්‍රදේශයේ ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රීඩා කරමින් සිටිති.
මේ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත හෙන්රි විදුහලේ ඒ.බී.අනෝජන් හා දක්ෂතම ගෝල් රකින්නා ලෙස එම විදුහලේම යූ. අමල්රාජ් සම්මාන දිනා ගත්හ. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ යාපනය සාන්ත හෙන්රි විදුහල වෙතින් ගෝල් 8-0ක පරාජයක් කළුතර සිරි කුරුස විදුහලට හා සහිරා විදුහල වෙතින් ගෝල් 2-0ක පරාජයක් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලට අත්විය.
තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් කළුතර සිරි කුරුස විදුහල ගෝල් 1-0කින් කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල පරාජය කළේය. වාර්ෂිකව සංවිධානය කෙරෙන සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියට මෙවර කණ්ඩායම් 24ක් එක්ව සිටියේය. 

http://www.dinamina.lk

Sunday, February 21, 2016

පාසල් ආරාධිත අමුත්තන්ට ප්‍රමිතියක් අවශ්‍ය නැද්ද? (දේශපාලනයක් නොවේ) --- අකමෑතිනම් නොකියවා යන්න

මීට කලකට ඉහතදී ආණමඩුව නවගත්තේගම ගුරුවරියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට නැවත එම විද්‍යාලයේම ක්‍රීඩා උත්සවයක් සඳහා ආරාධනා කිරීම රටේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් වී තිබේ.
කෙසේ වුව ද මේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම හෙළි කිරීමට අකමැති වූ උසස් නිලධාරියකුගෙන් අප විමසීමක් කළ විට ඔහු කියා සිටියේ මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඇති වර්තමාන නීතිමය තත්ත්වයන් ගැන තමන්ට අවබෝධයක් නැති නමුත් මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඇත්තේ වයඹ පළාත් සභාවට බවය. 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිශිෂ්ටයට අනුව මධ්‍යම රජයේ හා පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශ වගකීම් සම්බන්ධයෙන් ඇති බලතල දක්වා ඇති බවද ඔහු කීය. ඒ අනුව මෙකී කාරණා සම්බන්ධයෙන් පළාත් සභාව තීන්දු තීරණ ගත යුතු බවද හෙතෙම කීය.
කෙසේ වුව ද මේ සිදුවීම අනුමත කළ නොහැකි දෙයක් බව කියූ ඔහු කියා සිටියේ එය සදාචාර විරෝධී බව ය. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් වැඩි වගකීම ඇත්තේ පළාත් සභාවට බවය. පළාත් සභාව පවසන්නේ මෙකී කරුණු සම්බන්ධයෙන් වගකීම ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බවය. මේ දෙතුන් පිරිස එකතු වී මෙවැනි ක්‍රියා නැවැත්වීමට කටයුතු කළ යුතු බව වියතුන්ගේ අදහසය.

හැම සිද්ධියකටම චක්‍රලේඛ නිකුත් කරන්න බෑ

අධ්‍යාපන ඇමැති අකිල වි‍රාජ් කාරියවසම්

* ගුරුවරියක් දණ ගස්සවා රටම ආන්දෝලනයකට ලක් කළ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු එම විද්‍යාලයේම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවා තිබෙනවා. යහපාලන ආණ්ඩුවක් යටතේ ජනතාව මෙවැනි දේ බලාපොරොත්තු වෙන්නේ නෑ නේද?
මේ සිදුවීම් දෙකම රටේ ආන්දෝලනයකට ලක් වූ සිද්ධියි. මුල්ම සිදුවීමෙන් පසු මෙවැන්නක් කිරීම කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නොවේ. විදුහල්පතිවරයා සම්පූර්ණයෙන්ම මේ සිදුවීමට වගකිව යුතුයි. මේ විද්‍යාලය පළාත් සභාවට අයිති පාසලක්. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත යුත්තේ පළාත් සභාවයි.
* ඔබ අධ්‍යාපන ඇමැතිවරයා. මෙවැනි ජාතික ගැටලුවකට මැදිහත්වී සෘජු විසඳුමක් ලබාදීමේ හැකියාව පළාත් සභාවේ බලය විසින් අහෝසි කර තිබෙනවාද?
මෙහෙමයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. මෙතැනදී පළාත් සභා පාසල් සම්බන්ධයෙන් පාලන කටයුතු විනය කටයුතු ආදිය පිළිබඳ වගකිව යුත්තේ පළාත් සභාවයි. අපි බලාගෙන ඉන්නවා මේ සිදුවීමේදී අදාළ බලධාරින් හැසිරෙන ආකාරය පිළිබඳව.
අනෙක් අතට විදුහල්පතිවරු කියන්නේ යම් අධ්‍යාපන මට්ටමක් ලබපු අය. විභාග සමත් කරලා ඉහළට ගිය අය. මේ අයට ඥානයක් තියෙන්න ඕනෙ මෙවැනි ප්‍රාථමික ක්‍රියා සිදුනොවන විදියට වගබලා ගැනීමට.
* මෙවැනි දේ වැළැක්වීමට චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යංශයට බැරිද?
සිදුවීමෙන් සිදුවීමට චක්‍රලේඛ නිකුත් කරන්න බෑ. පවතින නීති රීති වගේම ආචාරධර්මවලට යටත්ව කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක්. පසුගිය කාලෙම විදුහල්පතිවරුන්ගේ බොහෝ පත්වීම් සිදුවී තිබෙන්නේ දේශපාලන බලපෑම් මත.
වැඩබලන අයව විදුහල්පතිවරු කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවලින් විදුහල්පතිවරු පත්කර තිබෙනවා. නැවත ඒ දේවල් වෙන්න ඉඩ තියන්නේ නෑ.
පසුගිය දවසක විදුහල්පතිවරුන්ට පත්වීම් දීමේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණා. ඔවුන් පත්කිරිමේ චක්‍රලේඛය කලින්ද, ගෙන්නා ගෙන මම කියෙව්වා. ඒකේ පුදුම විදියේ ලකුණු දීමේ ක්‍රියාපටිපාටියක් තිබුණා. අධ්‍යාපන සුදුසුකම්වලට, ඒ කියන්නෙ උපාධියකට වෙන් කරලා තිබුණේ ලකුණු පහයි. ඉතිරි 95ම වෙන වෙන කරණාවලට. ලකුණු වැඩිපුරම දිය යුතු තැනට ලකුණු 5ක් ලබාදීම පුදුම වැඩක් නෙමෙයිද? මම එවලේම සම්මුඛ පරීක්ෂණ දිනය අවලංගු කළා. මේක හදලා තිබුණෙ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවා ඒකකයෙන්. මම දැන් මේ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා තිබෙනවා. ඔවුන්ගේ අලුත් තීරණය එනතුරුයි බලා ඉන්නේ.
* කොහොම නමුත් සමස්ත ලංකාවේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික වගකීමක් ඔබට තිබෙනවා නේද? කොහොමද ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වන්නේ?
පළාත් සභා කළ යුතු දේ පළාත් සභා කළ යුතුයි. අපි අතර වගකීම ඉටුකරනවා. ඉදිරියේදී පළාත් අධ්‍යාපන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමටත් අපි පියවර ගන්නවා.

මේ සම්බන්ධයෙන් නීති පනවන්න ඕනෑ

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ

* දේශපාලන අධිකාරිය හා අධ්‍යාපන ක්ෂේත්‍රය අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් අනාගත දරුපරපුරට බලපාන්නේ කිනම් අයුරින්ද?
දරුවකු උසස් පුරවැසියකු බවට පත් කිරීමට ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. මූලිකවම බලපාන්නනේ ගෙදර. ඊළඟට පාසල. පාසල කියන්නේ විශ්ව සංකල්පයක්. ලෝකයට වැඩදායි පුද්ගලයකු බිහි කරන්නේ පාසලයි. දරුවා බොහෝ දේ අනුකරණය කරන්න ඉගෙන ගන්නේ පාසලෙන්. අධ්‍යාපනය වගේම බොහෝ වටිනාකම් ඉගෙන ගන්නේ පාසලෙන්. ඒ නිසා පාසල කියන්නේ පරමාදර්ශී ආයතනයක්.
මූලික මිනිස් අයිතීන්, එකිනෙකාට ගෞරව කිරීම්, රටේ නීතියට අනුව ජීවත්වීම යනාදී සියලු දේ මූලිකම ඉගෙන ගන්නේ පාසලෙන්. එවැනි ස්ථානයක ගුරුවරියක දණ ගැස්සවූ දේශපාලකයෙක් නැවත එම විද්‍යාලයේම ආරාධිත අමුත්තකු ලෙස කැඳවීම ඛේදවාචකයක්.
මේ ගෙන්වන අය විශේෂිත පුද්ගලයන් වෙන්න ඕනේ. ඔවුන් දරුවන්ගේ වීරයෝ බවට පත් විය යුතු වෙන්න ඕනෑ. එවැනි අය ආරාධිතයෝ වුණොත් තමයි දරුවන්ගේ පෞරුෂ වර්ධනයට එය හේතුවක් වෙන්නේ.
* මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?
මෙතැනදී එක් එක් ආයතන එකිනෙකාට වගකීම් පවරමින් ඉදලා හරියන්නේ නෑ. මම නම් කියන්නේ ජනාධිපති කොමිසමක් හෝ පත් කරලා මේ දේවල් නැවත නොවෙන්න නීති රීති සකසන්න ඕනේ. බොහෝ වෙලාවට අපේ රටේ වැඩි අවධානය යොමු වන්නේ විෂය නිර්දේශවලට පමණයි.
නමුත් මේ දේවල් සම්බන්ධයෙනුත් නීති රීති, ජාතික ප්‍රතිපත්ති සෑදිය යුතුයි. විශේෂයෙන්ම ආණ්ඩුවට වගේම අධ්‍යාපන අමත්‍යාංශයට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තියෙනවා. හෙට දවසේ නැවත මෙවැනි දේවල් නොවෙන්න කටයුතු යෙදීම ඒ අයගේ වගකීමක්.

දුෂ්ට චරිතවලට අනුබල දෙන්න හොඳ නැහැ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ආර්. ඒ. ඩබ්. රණසිංහ

* අධ්‍යාපන ක්ෂේත්‍රයේ වරින්වර විවිධාකාර ආන්දෝලනාත්මක සිදුවීම් වෙනවා. එහිදී දේශපාලකයන්ගේ මැදිහත්වීම වැඩියි. මොකද ඔබ මේ ගැන හිතන්නේ?
ඥානයෙන් හා උගත්කමින් අඩු අය තමන්ට නැති ශක්තිය පෙන්වන්න යන්නේ ශරීර ශක්තියෙන්. එවැනි අඳබාල පුද්ගලයන්ට දේශපාලන බලය ලැබුණාම ඔවුන්ගේ මන්දබුද්ධික ස්වභාවයන් ආවේගශීලීව පිටවෙන්නේ සමාජය වෙතටයි. මේ නිසා තමයි ඔය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ගුරුතුමියව දණ ගැස්සුවේ. මගේ අණසක පිළිගත යුතුයි යන ඔටුනු නොපළන් මෝඩ රජවරුන්ගේ ක්‍රියා කලාපවල ස්වභාවය තමයි ඒ.
කොහොම වුණත් යම් වැරැද්දක් කළ පුද්ගලයකුට නිවැරැදි වෙන්න අවස්ථාව තියෙනවා. ප්‍රසිද්ධියේ සමාජයෙන් සමාව අරගෙන නැවත එවැනි වරදක් සිදු නොවන බවට යම් වරදකරුවකු පොරොන්දු වුවහොත් ශීලාචාර සමාජයට ඔහුව නැවත පිළිගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නෑ.
එහෙත් එසේ නොවන නොහික්මුණු දේශපාලකයන් පාසලකට ගෙන ඒමෙන් සිදුවන්නේ දුෂ්චරිතයන්ට අනුබල දීමයි. ඒ වගේම පවතින ක්‍රමය පිළිබඳ ශීලාචාර සමාජයට කලකිරීමක් ඇතිවෙනවා.
* මේ තත්ත්වය වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
මේ ප්‍රාථමික ක්‍රියා නැවැත්වීමට වහාම පියවර ගන්න ඕනෑ. ආචාර ධර්ම හෝ සාරධර්ම මත මෙවැනි ක්‍රියා වැළැක්වන්නේ නැත්නම් චක්‍රලේඛයකින් හෝ ඒවා වැළැක්වීමට පියවර ගත යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි.

සිදුනොවිය යුතු දෙයක්

වයඹ පළාත් සභා අධ්‍යාපන ඇමැති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ

* මේ සිදුවීම ගැන ඔබේ අදහස මොකක්ද?
මෙය සිදු නොවිය යුතුව තිබුණා. විදුහල්පතිවරයා ආරාධනා කිරීම වගේම හිටපු මන්ත්‍රීවරයා මෙතැනට පැමිණීමත් වරදක් විදියටයි මා දකින්නේ.
කොහොම නමුත් මට ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් කීප දෙනකුටම මීට ආරාධනා කර තිබුණා. මටත් අන් අයටත් වෙනත් වැඩ යෙදී තිබුණ නිසා යන්න බැරි වුණා. ඒ නිසා ඔහු නිකම්ම ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පත්වෙලා. ගුරුවරිය දණ ගැස්සවූ සිදුවීමත් සමඟ තමන්ට නැතිවූ සබඳතා යළි ගොඩනඟා ගන්න ඔහු එතැනට එන්න ඇති. ඒත් විදුහල්පතිතුමා දැනගන්න ඕනෙ මෙවැනි පුද්ගලයෙක් කැඳවන්නේ නැතිව ඉන්න.
මෙවැනි කටයුතුවලට ආරාධනා කරන්නේ පාසල් සංවර්ධන කමිටුවයි. එතැනදී මූලිකවම විදුහල්පතිතුමාට බලය තිබෙනවා. ඒත් කමිටුවේ යම් යම් යෝජනාත් සලකා බැලෙනවා. මේ හිටපු මන්ත්‍රීවරයා පාසලේ සංවර්ධන කටයුතුවලට හුඟක් දායක වෙලා තියෙනවා. මොකද ඔහුගේ දරුවන්ද මේ පාසලට එන නිසා. තවමත් ඔහුගේ දරුවෙක් මෙහි ඉගෙනුම ලබනවා. ඒ නිසා කමිටුවත් ආරාධනා කරන්න ඇති.
කොහොම නමුත් පාසලකට ආරාධනා කළ යුත්තේ කිනම් පුද්ගලයන්ටද යන්න ගැන මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අපට චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ. තූර්යවාදක කණ්ඩායම ගැන විතරයි සඳහන් කරලා තියෙන්නේ.
එහි තූර්ය වාදක කණ්ඩායමට පිළිගත හැකි පුද්ගලයන් ගැන පමණක් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමැති, කතානායක, ප්‍රධාන අමාත්‍ය, අධ්‍යාපන අධ්‍යක්ෂ වගේ තනතුරු කීපයක් පමණයි තූර්ය වාදක ‍කණ්ඩායම මගින් පිළිගත හැකිවන්නේ.
* සම්ප්‍රදායන් හා ආචාර ධර්ම රකින්නේ නැති තත්ත්වයක් යටතේ මෙවැනි දේ පිළිබඳ චක්‍රලේඛයක් හෝ නිකුත් කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය එවැන්නක් කළොත් හොඳයි. එවැනි දෙයකට එක පළාතකට පමණක් තනි තීරණයක් ගන්න අසීරුයි. එහෙම නැතිනම් ගුරු සංගමය හෝ විදුහල්පති සංගමය හෝ සංගමයක් අධිකරණය හමුවට ගිහින් නීතිමය නියෝගයක් ගෙනාවොත් අපිට පුළුවන් එම නියෝග ක්‍රියාත්මක කරන්න.
කොහොම වුණත් වැරැදිකරුවකුට යම් දඬුවමක් ලැබුණාට පස්සෙ දිගින් දිගටම ඒ පස්සෙ එලවීමත් ඒ තැනැත්තාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙන්න පුළුවන්. වැරැදිවලට දඬුවම් ලබපු විදුහල්පතිවරුත් ඉන්නවා. පාර්ලිමේන්තු මැති අමැතිවරුත් ඉන්නවා. ඒත් ඒ සිද්ධියට දඬුවම් ලබා හෝ නීතිමය ක්‍රියාමාර්ග අවසන් වුණාම ඔවුන් නැවත රාජකාරී කටයුතුවලත් යෙදෙනවා. ඒ නිසා මේවා නීතියෙන්ම කරන්නත් අමාරුයි. අපේ සදාචාරය හා අවබෝධය තමා වඩා වැදගත්.

දේශපාලන පත්වීම් නැවැත්විය යුතුයි

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු

* හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් ගුරුවරියක් දණ ගැස්සවූ සිද්ධිය මේ රටේ මහත් ආන්දෝලනයට ලක්වුණා. එහෙත් ඒ මන්ත්‍රීවරයා එම විද්‍යාලයේ ම ප්‍රධාන අමුත්තා ලෙස පසු ගියදා ක්‍රීඩා උත්සවයට සහභාගී වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ?
පාසලක යම් උත්සවයක් තිබෙන අවස්ථාවක ඒ උත්සවයට අමුත්තන්ට ආරාධනා කරන්නේ විදුහල්පතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක්. එහිදී කමිටුවේ සාමාජිකයන්ට පුළුවන් විවිධ අයව යෝජනා කරන්න. ඒත් වැරැදි අයකුව යෝජනා වුණොත් විදුහල්පතිවරයාට හැකියාවක් තියෙන්න ඕනෙ ඒ වැරැද්ද නිවැරැදි කරන්න.
* මෙතැනදී වැරැද්ද නිවැරැදි වෙලා නෑ. ඇයි ඒ?
මෙහෙම වෙන්නේ දේශපාලන හිතවත්කම් මත විදුහල්පතිවරු පත් කිරීම නිසයි. සුදුසුකම් මත යම් ප්‍රතිපත්තියක් මත විදුහල්පතිවරු පත් කරන්න කියලා අපි අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා. මේ වෙනකොට පළාතේ මහජන නියෝජිතයන් එහෙම සම්මත කරගත් මාරු ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නෑ. දේශපාලන සම්බන්ධකම් මත තමයි මාරුවීම් පවා සිද්ධ වෙන්නේ. දේශපාලන පත්වීම්, මාරුවීම් වෙනකොට විදුහල්පතිවරුන්ට වැඩ කරන්න වෙන්නේ ඒ ඒ දේශපාලකයන් කියන විදියටයි. ඒ නිසා දේශපාලන මැදිහත්වීම්වලින් තොර නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇතිව අධ්‍යාපනය ක්ෂේත්‍රයේ කටයුතු සිද්ධ වෙන්න ඕනෑ.
* විදුහල්පති සංගමය මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයක් තියෙනවාද?
මේ සිද්ධ වුණේ වැරැද්දක්. ගුරුතුමිය දණ ගැස්සුවා මෙන්ම මේ වැරැද්දත් බරපතළයි. ආරාධනා කිරීම ත් ආරාධනාව පිළිගැනීමත් වැරැද්දක්. මෙහි අතීත සිදුවීමෙන් එම ගුරුතුමිය වගේම ඒ දවස්වල සිටි විදුහල්පති ‍ඇතුළු ගුරු මණ්ඩලයත් විශේෂයෙන්ම දරු පිරිසත් මහත් අසීරුතාවට පත්වුණා. එවැනි සමාජ විරෝධී දෙයක් සිද්ධ වී තිබෙද්දිත් මේ සිද්ධ වුණේ වැරැද්දක්. මේ පිළිබඳ විරෝධය දක්වමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපි සංගමය විදියට පළාත් අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යැව්වා. අධ්‍යාපන ඇමැතිවරයා මේවන කොට මේ විදුහල්පතිවරයාව කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා තිබෙනවා.
* මේ විදුහල්පතිවරයා චක්‍රලේඛ පවා උල්ලංඝනය කර තිබෙනවා නේද?
ඔව්. අපි ඒ බවත් ඇමැතිවරයාට දන්වා තිබෙනවා. සාමාන්‍යෙයන් පාසල් තූර්ය වාදන කණ්ඩායම වාදනය කරන්නනේ ජනපති, අගමැති, අධ්‍යාපන ඇමැති වගේ විශේෂිත පුද්ගලයන් එනවිට පමණයි. ඒත් මේ හිටපු මන්ත්‍රීවරයා කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙනයි. එහෙම ප්‍රභූ පිළිගැනීමක් කරන්න නීතියෙනුත් අයිතියක් නෑ.
මේ සිදුවීම නිසා පාසලේ දරුවන් හා ගුරු මණ්ඩලය මහත් අසීරුතාවට පත්වෙලා තියෙනවා. ආරාධනා ලැබී ඇවිත් සිටි වෙනත් පාසල්වල විදුහල්පතිවරු මේ අවස්ථාවට සහභාගී නොවී නැඟිට ගිහින් තිබෙනවා.
* මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න නම් මොනවාද කළ යුත්තේ?
රාජ්‍ය මට්ටමින් ප්‍රතිපත්ති හදන්න වෙනවා. අපි මේ වන විටත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා අධිකරණයෙන් වැරැදිකරුවන් වූ අයට, විවිධ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයන්ට පාසල්වලට ආරාධනා කරන්න ඉඩ දෙන්න එපා කියලා.

සම්පූර්ණ වැරැද්ද විදුහල්පතිවරයාගේ

ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින්

* ගුරුවරියක් දණ ගැස්සු පළාත් සභා මන්ත්‍රීම එම පාසලේම උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ කොහොමද?
ඒක තමයි අපි කියන්නෙත්. යහපාලනය පවතිනව නම් මේව වෙන්න බැහැ. මේ පළාත් සභා මන්ත්‍රීට විරුද්ධව පුත්තලම මහාධිකරණයේ නඩු පවරලා, වසර දෙකක සිරදඬුවමක් දුන්නා වසර අටකට අත්හිටුවල. ගුරුවරියට ලක්ෂ 3 ක වන්දි මුදලක් ගෙවන්නත් නියම වුණා. ගුරුවරිය එම මුදලින් ශිෂ්‍යත්ව අරමුදලක් හැදුවා “අහිංසාව” කියල.
සමස්ත ගුරු පරපුරම පාරට බැහැල එදා ඒ ගුරුවරිය වෙනුවෙන් පෙනී හිටල කරපු සටනෙන් පස්සෙ තමයි ජයග්‍රහණය කළේ. මේ පාසලේ විදුහල්පතිවරයා තමයි මොහුට ආරාධනා කරලා තියෙන්නෙ. මේක මේ රටේ සමස්ත ගුරු පරපුරටම කරපු කැළලක්. සම්පූර්ණ වැරැද්ද විදුහල්පතිවරයාගෙ. මෙවැනි විදුහල්පතිවරුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
* විදුහල්පතිවරයා එහෙම දෙයකට පෙලඹෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ.
මෙවැනි විදුහල්පතිවරු නිසා තමයි පාසල් අධ්‍යාපනය කඩා වැටෙන්නෙ. දේශපාලනඥයන් ඉස්සරහ දණින් වැටෙන මොවුන් ළමයින්ට දෙන ආදර්ශය මොකක්ද? මෙවැනි දීන විදුහල්පතිවරු මේ පද්ධතියටම කැළලක්. පාලකයන් සමඟ අපි ගැටෙනව වගේම මෙවැනි අය සමඟත් අපි ගැටෙනවා. පාසල් පද්ධතියම මෙවැනි වැඩවලින් නිදහස් කරගත යුතුයි.
* ඔබ සංගමයක් හැටියට මේ සඳහා මැදිහත් වුණාද?
ගුරු සංගම් කතා කරනතුරු අධ්‍යාපන බලධාරීන් නිහඬව හිටියේ. තවම වැඩ තහනම් කරල නැහැ. කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුවීමක් දීල විතරයි තියෙන්නෙ.
* යහපාලනය තුළත් නිලධාරීන් මෙවැනි කටයුතු සඳහා පෙලඹෙන්නෙ ඇයි?
මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළේ මෙවැනි දේ සිදු නොවීමට. දූෂණය, හොරකම් පිළිබඳ ආණ්ඩුව තවමත් දක්වන සහනශීලී පිළිවෙත නිසා රාජ්‍ය නිලධාරීන් හිතනව ඇති තවමත් මෙවැනි දේ සඳහා ඉඩකඩ ඇති කියල. අපි ඒ හින්දා මේ ආණ්ඩුවට කියනව වැරදි කරන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියල.
සංවාද සටහන

සුමේධා නවරත්න

දුමින්ද සම්පත්

http://dinamina.lk/