ලංකාවේ ළාබාලම ‘ඩ්‍රම්ස්’ වාදකයා
උදේශ කරුණානායක

“මම පුංචිම කාලේ ඉඳලම සංගීතයට ආසයි. මොකද මගේ පියාත් එකම සොයුරාත් සංගීතයට හුඟක් ම කැමැතියි. මගේ සොයුරා රුක්ෂාන් කරුණානායක. ඔහුගේ තමයි ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ සංගීත කණ්ඩායම.
මේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා ලෙසයි මම දැනට කටයුතු කරන්නේ. මම ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ සංගීත කණ්ඩායමේ පළමුවන සංගීත ප්‍රසංගයේ දී ක්ලැරන්ස් විජේවර්ධනගේ ‘සිහින ලොවක්’ ගීතයට ඩ්‍රම්ස් වාදනය කළා. එය තමයි මගේ මුල්ම ප්‍රසංග අත්දැකීම. ඒ වගේ ම මගේ සොයුරා රුක්ෂාන් සංගීතය අධ්‍යක්ෂණය කළ නලින් ජයවර්ධනගේ “පාට පාට සමනලයින්” සංයුක්ත තැටියේ ‘තරු කැට යුවළක්’ ගීතයට ඩ්‍රම්ස් වාදනය කළේ මම.

මේ වනවිට මම බොහෝ ප්‍රසංගවල ඩ්‍රම්ස් වාදනය කර තිබෙනවා. ඒ වගේ ම රූපවාහිනී වැඩසටහන් සඳහාත් මගේ දායකත්වය ලබාදී තිබෙනවා. ඒ අතර ‘ශනිදා ආයුබෝවන්’, ‘ආදරණීය යෞවනය’, ‘හලෝ ශ්‍රී ලංකා’, ‘වෙනස’, වැඩසටහන් විශේෂයි. මම හුඟාක්ම ප්‍රිය කරන ගායක ගායිකාවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතර ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, අනිල් භාරතී, ඉන්ද්‍රානි පෙරේරා වැනි ප්‍රවීණයන් විශේෂයි.
මේ වනවිට මම ගීත පටිගත කිරීම් 50 කට පමණ ඩ්‍රම්ස් වාදනයෙන් සහාය වී තිබෙනවා. ඒ අතර ‘චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස්’ සංගීත කණ්ඩායමේ ප්‍රථම සංයුක්ත තැටිය ‘පියාණනී’ ගීත 10 කට ඩ්‍රම්ස් වාදනය කළා. ඒ වගේ ම භද්‍රජි මහින්ද ජයතිලකගේ ‘ගමෙන් ආ කෙල්ලේ’ සංයුක්ත තැටියේ ‘බට්ටිත්තා, ‘අපි රාග වයනවා’, ‘බලන්න අරුණ සමඟ’ සහ ‘මරියා’ යන ගීත වලට ඩ්‍රම්ස් වාදනය කළා.
මේ විදියට ජනප්‍රිය ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත පටිගත කිරීම්වලට මම ඩ්‍රම්ස් වාදනයෙන් සහාය වෙනවා. ඒ වගේ ම ඩ්‍රම්ස් වාදනය කියන්නේ හරිම සුන්දර කලාවක්. ඒ කලාවේ නිරත වෙන්නට මම කැමැතියි. මගේ අනාගත බලාපොරොත්තුවත් ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියෙක් වීමයි. ඒ සඳහා මගේ පියා ලලිත් කරුණානායකත් මව ගංගානි කරුණානායකත් නිරන්තරයෙන් ම මට දිරි දෙනවා. ඒ වගේ ම එකම සොයුරා රුක්ෂාන් කරුණාරත්නත් මට සෙවණැල්ලක් සේ මඟ පෙන්වනවා.
විශේෂයෙන් ම මම අධ්‍යාපනය ලබන ගම්පහ සුමේධ විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය වගේ ම මගේ පාසලේ මිතුරු මිතුරියන් ගෙන් ලැබෙන සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මට හැමදාමත් ශක්තියක්.
අංක 104/ 7, පල්ලිය පාර, ගම්පහ උදේශගේ ලිපිනයයි.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි