Tuesday, July 30, 2013

'සූත්තර පුංචා'

පොත් කියවන සහ නොකියවන දරුවන්ගේ වෙනස පෙර පාසලේදීම දැනගන්ඩ පුළුවන්

අද දරුවන් සඳහා වෙනමම සාහිත්‍යයක් බිහිවී තිබේ. ‍එසේම දරුවන් සඳහාම ලියන ලේඛකයෝද අද බොහෝය. කෙසේ වුවද ඇතැම් දරුවන් තවමත් පතපොත කියවීම සඳහා එතරම්ම රුචිකත්වයක් නොදක්වන්නේ දරුවාට යෙදීමට සිදුව ඇති බාහිර වැඩ කොටස අධික වීම නිසා විය හැකිය.
කෙසේ වුවද පාසල් විෂයෙන් පරිබාහිරව ‍පතපොතට වැඩි නැඹුරුවක් සහිත දරුවන්ගේ සහ පතපොත කියවීම කෙරෙහි එතරම් නැඹුරුවක් නොමැති දරුවන් අතර වෙනස පන්ති කාමරයේදී බොහෝ සෙයින් කැපී පෙනේ.
''පාසල් වියේ දරුවන් බාහිර පතපොත කියවීමට නැඹුරුවක් නැති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රූපවාහිනියට ඇබ්බැහි වීමයි. එදා දරුවන් පතපොත කියවා චිත්ත රූප මවා ගත්තා. එහෙත් අද දරුවා ඒ වෙනුවට හැම දෙයක්ම ක්ෂණිකව ග්‍රහණය කරගන්න කැමතියි. පොතක් බලා හිතේ චිත්‍ර රූප මවා ගන්නවාට වඩා ලෙහෙසියෙන්ම දකින දේ දරුවා වැලඳගන්නවා.
මෙය දරුවා‍ මවු කුස සිටින දා සිටම එන දෙයක්. මොකද අද මවුවරුන්ට ද වේගයෙන් දුවන දිවිල්ලට හසු වීම නිසා පතක් පොතක් බලන්න වෙලාවක් නැහැ. ප්‍රවෘත්ති දැන ගැනීමේ ආශාව නිසා දුවන ගමන් හෝ පුවත් පතක් පමණක් බලනවා. ඒ හැරුණුවිට දරුවා පතපොතකට යොමු කරවීමට වැඩිහිටියන්ට කාල වේලාවක් නැහැ.ඒ නිසා දරුවන්වෙතින් අද ‍පතපොත කියවීමේ ආභාෂය ගිලිහී ගිහින්." දරුවන් අතර කල්ගෙවන බාලාංශ පන්ති ගුරුවරියකගේ අදහස් එසේය.
දරු සුරතට පතපොත යොමු කරන්නේ කෙසේද යන්න ගැන අදහස් පළ කරමින් ගෙදර විශේෂාංගය හා අද එක්වන්නේ පුවත් පත් කලාවේදිනියක මෙන්ම දරුවන් වෙනුවෙන් ලේඛනයේ යෙදෙමින් චිත්‍ර ශිල්පිනියක ද ලෙස ළමා හදවත් ඇද බැඳගත් ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මියයි‍. දරුවන් ඇය හඳුන්වන්නේ සිබිල් නැන්දා ලෙසය.
''දරුවන්ට පතපොත අතට හුරු කරවිය යුත්තේ බහ තෝරන අවදියේ සිටමයි. අකුරු නොදන්නා පුංචි දරුවාට පවා පිංතූර පොතක් පෙන්නා කියවීම හුරු කරවිය හැකියි. පිංතූරයෙන් කියන දේ දරුවාට පැහැදිලි කර දිය යුත්තේ වැඩිහිටියායි. මෙහිදී මවට ලොකු වගකීමක් තියෙනවා. පියවරෙන් පියවර චි‍ත්‍රය දරුවාට පහදා දීම මවට කළ හැකියි. ඉන්පසු දරුවාට කතාව කියවා දීම කළ හැකියි.
මේ ලෙස පියවරෙන් පියවර දරුවාට කියවීම පුරුදු කළහොත් පෙර පාසල් අවදිය වෙද්දී දරුවාට කියවීමේ හැකියාව ලැබෙන්න පුළුවන්. කුඩා දරුවෙකුගේ අතට පොතක් දීමේදී හිත ඇදී යන චිත්‍ර තිබීමද වැදගත්‍. චිත්‍ර මගින් දරුවාට ප්‍රසන්න ලෝකයක් මවා පෙන්විය යුතුයි. බිය වෙන පිංතූර දීම හොඳ නැහැ. රෙඩ් රයිඩින් හුඩ් වැනි බටහිර ලෝකයේ එකල ඉතා ප්‍රසිද්ධ කතා දැන් දරුවන්ට කියවීමට දෙන්නේ නැහැ. එහි එන වෘකයා ආච්චි මරා කෑම වැනි කතා දැන් දරුවන්ට දෙන්නේ නැහැ. දරුවන් සතුන්ට ආදරෙයි. පුංචි හිත් අහිංසකයි. අද දරුවන් අතට දෙන්නේ සතුන් ගැන ඇති ඒ ආදරය වැඩි දියුණුකරවන තේමා රැගත් පතපොතයි.
දරුවා ලෝකයට ආධුනි‍කයෙක්. බලන්න චිත්‍රයක් බලාගෙන අඳින්න දුන්නොත් දරුවා ඕනැ ඕනෑ පාටින් තමන්ට හිත යන විදිහට ඒ චිත්‍රය පාට කරකනවා. අලියෙක් අඳින්න දුන්නොත් දරුවා අලියා රෝස පාටින් පාට කරනවා. ලොකු වුණාම හරි වැරැද්ද තෝරා ගන්නා තුරු දරුවාට ඕනෑ විදිහට අඳින්න දෙන්න ඕනෑ.වෙනත් රටවල කුඩා වයසේ දරුවන්ට පිංතූර මගින් තමයි කතාව කියන්නේ.
මගේ කුඩ හොරා කතාව ජපානයේ දරුවන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඒ දරුවන් පිංතූරවලින් කතාව ව‍ටහා ගෙන කියවන්න පටන් ගත්තා. මේ නිසා දරුවන්ට කියවන්න දෙන්න ඕනෑ වැඩිහිටියන් කැමැති පොත් නොවෙයි දරුවන් කැමැති පොතුයි.
ඒ වගේම කුඩා දරුවන් අද්භූත කතා තමන්ට නොපෙනෙන දේ ගැන කතා අහන්න කැමැතියි. සුරංගනා කතා නිසා දරුවන්ගේ කල්පනා ශක්තිය දියුණු වෙනවා. දුවන රැවුල දරුවන් අතර බොහෝ ජනප්‍රියයි.
සුරංගනා කතාවල එන ඉර හඳ තාරුකා ගැන කතා කියවන්න දරුවන් කැමැතියි. අපේ ඉස්සර දරුවන් හඳමාමාගෙන් කිරියි පැණියි ඉල්ලනවා. හඳමාමා සමඟ කෙරෙන කතා ගැන මොන තරම් නම් කතා අප දරුවන් අතර ජනප්‍රියද? යක්ෂ කතා පවා දරුවන් ප්‍රිය කරනවා. එහෙත් යකුන් මිනිසුන් මරා කෑ කතා වෙනුවට මිනිස්සු යකුන් බිය කළ කතායි මම ලියන්නේ.
සාමාන්‍යයෙන් හිවලා කියන්නේ කපටි සතෙක් ලෙසයි අප දකින්නේ. බොහෝ කතාවල අප අසන්නේ හිවලා මිනිසුන් රැවටූ කතායි. එහෙත් මගේ ‍'හොයිටි නම් හිවලා' කතාවේ එන්නේ හිවලා රැවටූ කාන්තාවන් පිරිසක් ගැන කතාවක්. එහි එන විදිහට ගම හාමිනේලා තමයි කපටි. ලෝකයේ මෙතෙක් එවැනි විදිහට කතාවක් ලියවෙලා නැහැ.
ඒ ‍වගේ අමුතු කතා තියනවා නම් විනෝදමත්. අඬන වධවෙන කතාවලට වඩා දරුවන් මෙවැනි කතාවලට හරි කැමැතියි‍. අනෙක ඉර හඳ ගස්වැල් මල් සත්තු දරුවන් හා ඉතා සමීපයි. ඔවුන් මේවාට ආශා කරනවා . දරුවනට යම් අදහසක් දීමේ දී ඔහු ආසා කරන මෙවැනි දේ එක්කර ගැනීමෙන් දරුවා පතපොතට වැඩියෙන් නැඹුරු වෙනවා‍.
මං හැට ගණන්වලදී සිළුමිණට 'සූත්තර පුංචා' ලියද්දි සරසවි ආචාර්යවරුන් පිරිසක් එයට විරුද්ධ වුණා. මෙහි එන පුංචි කොලු පැ‍ටියා හරිම දඟයි. තමන්ට එන කරදරවලින් කොහොමහරි බේරිලා යනවා.
මෙය ළමයින්ට ඔබින්නේ නැහැ කියමින් ඔවුන් විරුද්ධ වුණා. මං ඇහුවේ ඔබතුමන්ලාට ළමා වියක් තිබුණාද කියලයි. දඟකාරකම දරුවාගේ අයිතියක්. නිරෝගී දරුවා දඟකාරයි. අපි හැමෝම කුඩා කල දඟකාරයි. ඒ දඟකාරකමට හොඳින් ආදරයෙන් කරුණු පහදා දෙනවා මිස දඬුවම් කිරීම වැරැදියි. රෝල් ඩාල් ගේ පොත්වලට දරුවන් ඔච්චර කැමැති ඇයි? ඒ දරුවන්ගේ දඟකාරකම් නිසයි. අපේ රටේ නම් එවැනි පොතක් තහනම් කරයි. අන්න ඒ විදිහට තමයි දරුවන්ගේ හිත දිනා ගෙන පතපොතට අත හුරුකර විය යුත්තේ.
අනෙක තමයි දරුවන්ට පොතක් අතට දීමේදී ඒ පොතේ ඇති චිත්‍ර ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඇතැම් වැඩිහිටි චිත්‍ර ළමා මනසට ඔබින්නේ නැහැ. ළමයාට ඒ චිත්‍ර රුචි නැහැ.
ළමා පොතක චිත්‍ර අඳිද්දී ළමයාට ගැලපෙන ලෙසින් චිත්‍ර ඉදිරිපත් විය යුතුයි. දරුවන්ගේ ලෝකය අමුතුයි. චෙක් රට ජපානය චීනය වැනි රටවල ළමා පොත්වල එන චිත්‍ර සාමාන්‍ය චිත්‍ර නොවෙයි.
ළමා ලෝකයට ගැලපෙන චිත්‍රයි. දරුවන් උදෙසා පතපොත අතට දෙද්දී ළමා මනසට ඇතුළු වන පතපොත අතට දිය යුතුයි. දරුවන් පතපොත ග්‍රහණය කරගන්නේ එවිටයි. ළමා ලෝකයක් යනු රස වින්දනයෙන් පිරුණු තැනක්.
දරුවකුට ළමා කතා පොතක් අතට දෙද්දී දරුවකු වශයෙන් රස විඳිය හැකි පොතක් අතට දීම වැඩිහිටියන් සතුයි. නොඑසේ නම් දරුවාට පතපොත එපාවිය හැකියි.
කුඩා කල සිටම දරුවාට කියවා රස විඳිය හැකි පතපොත අතට දීමෙන් ඔහුගේ පතපොත කෙරෙහි ඇති රුචිකත්වය දිනෙන් දින දියුණු විය හැකියි.
අද කතා බහ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක හා ළමා ග්‍රන්ථ කතුවරියක වන සිබිල් වෙත්තසිංහ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි