Tuesday, July 30, 2013

පහදා දෙනු මැනවි

හැඟීම් දියුණුවීමට නම් හොඳ පතපොත කියවිය යුතුයි

එක් කුඩා දරුවකු තම පියාගෙන් දියුණුවේ දොරටු මොනවා දැයි විමසුවා.‍ සිය පුතු ගේ උනන්දුව ගැන සතුටට පත් පියා,
“පුතුනි, ඔබ ගේ ප්‍රශ්නයට මට වඩා හොඳින් පිළිතුරු දන්නේ බුදුරජාණන් වහන්සේ ය. අපි උන්වහන්සේගෙන් විමසා දැනගනිමු” යි තථාගතයන් වහන්සේ වෙත පැමිණියා.
“භාග්‍යවතුනි, මා පුතු දියුණුවේ දොරටු කවරේදැයි විමසන්නේ ය. පහදා දෙනු මැනවි’ යි ඉල්ලා සිටියා.
“මේ දරුවා අත‍ීත භවයක දී ද මේ පැනයම විමසා ඇතැ'යි දේශනා කළ බුදුරජාණන් වහන්සේ දියුණුවේ දොරටු හයක් පිළිබඳව විස්තර කළා. ‘ශ්‍රැත’ බව ඉන් එක් දොරටුවක්. එනම් අසා දැන ගැනීමෙන් ලැබුවා ව‍ූ දැනුමයි. ඇසීමෙන් බොහෝ දැනුම ධාරණය කරගත් පුද්ගලයා බහුශ්‍රැතයෙක් බවට පත්වුණා. අතීතයේ එය දුෂ්කර කාර්යයක් වුව ද , ලේඛනය, මුද්‍රණ ශිල්පය දියුණු වීමත් සමඟ අපේ මුතුන් මිත්තෝ බොහෝ කොට කියවීමෙන් බහුශ්‍රැතයන් වුණා. තාක්ෂණයේ දියුණුව නිසා අද අපේ දරුවන්ට අන්තර්ජාලයේ සැරි සැරීමට පවා අවකාශය උදා වී තිබෙනවා. යහපතට මෙන් ම අයහපතට ද හරවා ගත හැකි අන්තර්ජාලය යහපත් කියවීමක් බවට පත් කරගන්නා පුද්ගලයාට ලෝකය ගැන බොහෝ තොරතුරු පහසුවෙන් ගවේෂණය කළ හැකි වෙනවා.
තාක්ෂණය වේගයෙන් අප කරා පැමිණිය ද මිනිසකු සම්පූර්ණ කරන්නේ කියවීමෙන් බව අපි අමතක නොකළ යුතු කරුණක්. දරුවකු පාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණ ඔහු දැනුමෙන්, කුසලතාවන්ගෙන් මෙන් ම ආකල්පයන්ගෙන් ද පරිපූර්ණ කිරීමයි. දැනුම පමණක් දියුණු වී හැඟීම් දුර්වල වූයේ නම් ඒ පුද්ගලයා බුද්ධිමතෙක් මිස සැබෑ මනුෂ්‍යයකු බවට පත් නොවෙයි. යහපත් මිනිසකු වීමට නම්, මිනිසා පාලනය වීමට නම්, ඔහුගේ ආවේදන ක්ෂේත්‍රය දියුණු විය යුතුයි. දැනුම මෙන් ම, ආවේදනයන් එනම් හැඟීම් දියුණුවීමට නම් අපි හොඳ පොත පත කියවිය යුතුයි.
මෙසේ සිතමු. න්‍යෂ්ටික අවි නිපදවන්නට තරම් දැනුමෙන් පොහොසත් මිනිසා එය මිනිසා ගේ ම විනාශය පිණිස භාවිත කරනවා නම් ඔහු‍ හැඟීමෙන් තොර පුද්ගලයෙක් වනවා. දරුවකු ගේ දැනුම මෙන් ම ආකල්ප ද දියුණු කළ යුතු වන්නේ ඒ නිසයි. අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට පෙළ පොතේදී විවිධ කෘතීන්ගෙන් උපුටා ගත් කොටස් නිර්දේශ කෙරෙනවා. අපේ දරුවො නිර්දේශිත ‍කොටසට පමණක් අවධානය යොමු කරන්නේ විභාගය ඉලක්ක කරගනිමින්. එහෙත් නිර්දේශ පත්‍රයට පමණක් සීමා වීමෙන් දරුවාගේ ලෝකය පුළුල් නොවන බව වටහා ගත යුතු වෙනවා‍. මේ නිසා දරුවා නිවැරැදි දිශාවට යොමු කිරීම, අතිරේක පොතපතට උනන්දු කරවීම ගුරුවර වැඩිහිටියන් ගේ වගකීමක් බව වටහාගත යුතුයි.
වසර බොහෝ ගණනක් ඉක්ම ගියත් හෙළයේ මහා ගත්කරු ලෙස අදටත් විරුදාවලී ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ නම් වූ ලේඛකයා. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය නොලදත් අදත් විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් පරිශීලනය කරන්නේ එතුමා ගේ පොතපත. එතුමා පොත පත රචනා කළේ බොහෝ කොට කියවීමෙන් ලැබූ ඥානයෙන්. බලංගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය හිමියන් උසස් විභාගවලට පෙනී නොසිටියත් උන්වහන්සේ මහා දැනුම් කෝෂයක් ලෙස ප්‍රචලිතයි. භාෂා ගණනාවක් දැන උගත් උන්වහන්සේ දැනුමෙන් පරිපූර්ණ වූයේ කියවා ධාරණය කර ගැනීමෙන්්‍.
වැඩිහිටියන්ට ජීවන සටන ගෙන යන්නට වෙහෙසෙනවා හැර, දරුවන්ට විභාගය සමත් වෙන්නට ඇවැසි කරුණු කට පාඩම් කරනවා හැර පොතක් පතක් කියවන්නට තරම් කාලයක් නැති බවට බොහෝ දෙනා මැසිවිලි නැගුවත් එහි සත්‍යතාව පිළිබඳ ඇත්තේ ගැටලුවක්්‍. සාමාන්‍යයෙන් පොදු වාහනයක රැකියාවට, පාසලට යන එන බොහෝ දෙනකු ගේ දෛනික කාලයෙන් පැය තුන හතරකටත් වඩා ගෙවෙන්නේ මහ මඟ. බස්රියේ, දුම්රියේ යන ගමන අලසකමින්, නිදි කිරා වැටෙමින්, එසේත් නැතිනම් ඕපාදූප බිණිමින් ගෙවා දමනවාට වඩා රසවත්, හරවත් පොතක් කියවීමට වෙන් කළ හැකි නොවේද?
ශාස්ත්‍රීය පොතකට අවධානය යොමු කිරීම අසීරු වුණ ද හොඳ කෙටිකතාවක්, නවකතාවක්, පරිවර්තනයක්, දහම් පඬුරක් කියවීම අසීරු නොවේ. කවියකට, කෙටිකතාවකට, දහම් පණිවුඩයකට ඔබේ ජීවිතයට සුවිශේෂී වෙනසක් ඇති කරන්නට පුළුවන්. ජීවිතය ගැන අපූරු අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. චරිත කතාවකට ඔබ ගේ ජීවිතයම යහපත් වෙනසකට පරිවර්තනය කළ හැකියි. බුද්ධ චරිතය ම උදාහරණ කොට ගන්න. අභියෝග ජය ගන්නා හැටි, අනේක විධ නින්දා අපහාස හමුවේ ජීවිතයට නොසැලී මුහුණ දෙන හැටි තථාගතයන් වහන්සේ ගේ චරිතය අපට ඉතා අපූරුවට කියා දෙනවා ඔබට දැනේ.
අතට ලැබෙන කුමක් හෝ පත්කර කැබැල්ලක්, කඩදාසි කොළයක් කියවීමට සුදුසු බව හැ‍ඟේ නම් එය කියවා මිස ඉවත දැමීම මා ගේ පුරුද්දක් නොවේ. දායක මහතකු විසින් දිනක් මා වෙත පූජා කරන ලද පිරිකරක් ආවරණය කර තිබූ පත්තර පිටුවක් මට කියවන්නට ලැබුණේ අහම්බයෙන්. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා තම පුතුගේ මුල් ගුරුවරයාට යවන ලද ලිපියක් එහි වූවා. අපහසුවෙන් වුව ද තම පුතුට උගන්වන ලෙස ඉල්ලූ වටිනා කරුණු රැසක් එහි සටහන්ව තිබුණා. එය මගේ ජීවිතයට ද වටිනා අලුත් අත් දැකීමක් වුණා. කුඩා කල සිටම කියවීම පුරුදුදක් බවට පත් කර ගත්තේ නම් වැඩිහිටියකු වී ද එය අපේ ජීවිතයෙන් දුරස් කළ නොහැකි පුරුද්දක් බවට පත්වෙනවා. එයම අපි දැනුමෙන්, මෙන් ම හැඟීමෙන් ද පිරිපුන් මිනිසුන් බවට පත් කරන්න‍ට උපකාරී වෙනවා.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි