Wednesday, July 17, 2013

අතේ ගෙන යා හැකි පුස්තකාලයක්


විශ්ව සාහිත්‍යය කියවීම සඳහා අප විසින් ලොව පුරා පළවන සියලු පොත් මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැත. එය ප්‍රායෝගික වන්නේත් නැත. ඒ සඳහා විසඳුමක් සඳහා පුස්තකාල බිහිවූයේ පොත් ලිවීම ආරම්භ වූ කාලයේ සිටම ය.
පුස්තකාලයක් යනු දැනුම එක්රැස් කර ඇති තැනක් නම් මිනිසා ගේ පැරණිතම පුස්තකාලය ලෙස දැනට පිළිගෙන ඇත්තේ මීට අවුරුදු 5000 කට පෙර මෙසපොතේමියාවේ මැටි තහඩු 30,000 ක් එකතු කර තිබූ පොත්ගුලයි. ඉන් පසු ඇලෙක්සැන්ඩ්‍රියාවේ සහ නාලන්දාවේ පුස්තකාලය පිළිබඳ බොහෝ විට සඳහන් වුණත් තක්ෂශිලාවේ ඊට පෙර පුස්තකාලයක් තිබෙන්නට ඇත. වතිකානුවේ ද එදා සිට ම පුස්තකාලයක් පවතින්නට ඇත.
නවීන මහජන පුස්තකාලයක් ලෝකයේ බිහිවී ඇත්තේ 1425 දී එංගලන්තයේදී ය. අද ලෝකය පුරා මිලියන ගණනක් පුස්තකාල විසිරී ඇත. ඒවා බොහොමයක් නොමිලේ හෝ ඉතා සුළු වාර්ෂික ගෙවීමක් සමඟ කෝටි සංඛ්‍යාත ජනතාවකට භාවිතයට අවස්ථාව උදා කර ඇත.
අපේ රටේ නටබුන් ලෙස ඉතිරි වී ඇත්තේ තන්තිරිමලේ සහ පොළොන්නරුවේ පොත්ගුල් වුවත් මුල් ම පුස්තකාලය ලෙස මානෑවේ විමලරත්න හිමියන් කියා සිටින්නේ යක්ෂ ගෝත්‍රික භික්ෂුන් වහන්සේලා විසින් පවත්වාගෙන යන ලද නීලගිරියේ මුණමුර පුස්තක ලෙනයි.
එදා සිට අද වන තෙක් ඇලෙක්සන්ඩ්‍රියාව, නිලගිරිය, නාලන්දාව සිට යාපනය දක්වා පුස්තකාල ගිනි තැබීම හැමදාමත් සිදුවුවත්, අද ඩිජිටල් තාක්ෂණයේ පිහිටෙන් ගිනි තැබිය නොහැකි පුස්තකාල බිහි වී ඇත. එහෙත් පසුගිය දා අපෙන් වෙන් වූ රේ බ්‍රැඩ්බරි පැවසුවේ සංස්කෘතියක් විනාශ කිරීමට පොත් ගිනි තැබුම අවශ්‍ය නැති බවයි. මිනිසා ගේ කියවීමේ පුරුද්ද නැති කිරීම ඒ සඳහා සෑහෙන බවයි.
ඈත අතීතයේ පොත් කියවීමට උනන්දුවක්, ආසාවක් තිබීම සේම වාසනාවත් තිබිය යුතු විය. පොත් කියවීම තමන්ගේ කුලයට ගෝත්‍රයට පන්තියට සීමා කර වැට කඩුලු බැඳීමක් එදා සිදුවිය. එහෙත් අද පොතක් කියවීමට කැමති කෙනකුට පුස්තකාලයක් සොයා ගැනීම එතරම් අපහසු නැත. මැණික පය හැපුනත් අසුලා නොගන්නා සේ පුස්තකාල වල පොත් පුස් කන අතර අද අපේ වැඩිමනත් තරුණ පිරිස ටියුෂන් කඩ වලත්, රූපවාහිනියේත්, දුරකථනයේත් වහලුන් බවට පත්වී සිටි ම රටේ ම අවාසනාවකි.
පුස්තකාලයත් දැන් ඩිජිටල් තාක්ෂණයේ පිහිටෙන් ඉතාමත් දියුණු අඩියකට පත් ව ඇත. වි-පොත් ලෙස ගබඩා කළ හැකි නිසා අද පුස්තකාලයක තබා ගත හැකි පොත් අසීමිත ය. දැන් බොහෝ පුස්තකාල විද්‍යුත් පුස්තකාල බවට හැරෙමින් පවතී. අපේ රටේ වුවද බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයේ වි- පොත් 50,000 කට වැඩි ප්‍රමාණයක් කියවීමට අවස්ථාව ලබා දී ඇත. අද තරුණ පරපුර අත ඇති බොහෝ දුරකථන වලින් වුවද මේ පොත් ලබාගෙන කියවිය හැකිය. ඊට වඩා පහසුවට කියවීමට නම් දුරකථනයකට වඩා අඩු මුදලකට කින්ඩ්ල් හෝ නූක් හෝ වෙනත් විද්‍යුත් පොත් කියවන උපකරණයක් මිලදී ගත හැකි ය. එසේ ම නිවසේ ඇති පරිගණකයෙන් පොත් කියවිය හැකි ය.
පුස්තකාල හැරුණු විට ඇමසන් වැනි අඩවි වල ද නොමිලේ කියවීම සඳහා වි-පොත් විශාල සංඛ්‍යාවක් ඇත. එහෙත් මේ පොත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ඉංගි‍්‍රසි බසින් වීම නිසා ඉංගි‍්‍රසි බස කෙසේ හෝ හුරු කර ගැනීමෙන් අපට විශ්ව ගම්මානයට පහසුවෙන් ඇතුළු වීමට හැකි වන්නේ ය.
අන්තර්ජාලයට නොමිලේ කියවන්නට සිංහල නවකතාවක් බිහිවූයේ 2003 වසරේදී ය. සිංහල පොත් සඳහා ද දැන් නොමිලේ කියවිය හැකි අන්තර්ජාල පුස්තකාලයක් බිහි වී ඇත. ඒ පොත්පත්.කොම් නමින් ය. එසේ ම දැන් නැණසල හරහා පාසල් දරුවන්ටත් විද්‍යුත් පොත් නොමිලේ කියවන්නට අවස්ථාව ලැබෙනු ඇත.
මේ සියලු නවීන පහසුකම් තිබුණත් තවමත් අපට අපේ සාම්ප්‍රදායික පුස්තකාල නැතිවම බැරිය. තවමත් අප නැවුම් කඩදාසි සහ තීන්ත සුවඳ ඇති පොතක් දිග හැරගෙන පිටු පෙරළමින් එය කියවන්නට අප ආසා නිසා ය. එසේම දැනට පළ වී ඇති පොත් නොමිලේ අන්තර්ජාලයට ඇතුළු වීම වළක්වන්නට සමාජ ද්‍රෝහී බලවේග ක්‍රියාත්මක වන නිසා ය.
එදා පුස්තකාල පරිහරණය කළ හැකි වූයේ ආගමික පූජකවරුන්ටත්, සමාජයේ ඉහළ පන්තිය නියෝජනය කළ අයටත් පමණක් විය. ඉන් පසු නාගරික ජනතාවට ඒ අවස්ථාව හිමි වුවත් තවමත් ගම්බද ජනතාවට පොත් කියවීමට ඇති පහසුකම් ඉතා සීමිත ය.
විද්‍යුත් පොත් මඟින් මේ තබා ඇති පියවර නිසා, අනාගතයේ යම් දවසක මෙලොව ජීවත් වන සියල්ලන්ට ම, කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා විශ්වයේ ඕනෑම තැනක පළ වන ඕනෑම පොතක් තමන්ගේ නිවසේ සිටම කියවන්නට හැකි වනවා ඇත. එවිට සෑම කෙනකුට ම තමන්ගේ පුද්ගලික පුස්තකාලයක්, පුද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවා ගත හැකි වන අතරම එය වෙනත් කිසි කෙනකුට උදුරා ගැනීමට හෝ, විනාශ කිරීමට හෝ වාරණයකට ලක් කිරීමට නොහැකි වනවාත් ඇත. ඒ සියලු විද්‍යුත් පොත් සහ ප්‍රකාශන රැඳී ඇත්තේ අවකාශයේ (ජතධභඤ ඵබධපචඨඥ) හරහා ය. දැනටමත් තම තමන් තෝරා ගත් පොත් පත් පමණක් නොව සින්දු, චිත්‍රපට, නාට්‍ය පිටපත් ආදි මේ සියල්ල වලාකුළුවල ගබඩා කරන්නට අපට වරම් ඇත.
කාලිදාසයන් එදා මැවූ මේඝදූතය අද සැබෑවක් වී ඇත. වලාකුළු අද එක කාව්‍යයක් නො ව ලොව බිහි වූ සියලු සාහිත්‍ය නිර්මාණ ලොව පුරා බෙදා හැරීමේ පහසුකම් අපට ලබා දී ඇත.
නවීන තාක්ෂණය මඟින් මෙසේ සාහිත්‍ය නිර්මාණ පමණක් නොව ශාස්ත්‍රීය ග්‍රන්ථ පවා බදාගෙන නොසිට බෙදා ගැනීමට වරම් ලැබුවත්, එදා පුස්තකාල ගිනි තැබු ලෙසින් ම අද ප්‍රකාශන අයිති නීති මඟින් සහ වෙනත් වාරණ ක්‍රම මඟින් ඒ සත්කාරය වළක්වන්නට වෙළෙඳ ප්‍රජාව උත්සාහ කරමින් සිටිනා අතර ම ඉදිරියටත් උත්සාහ කරනු ඇත. ඒ ගැනත් අපි අවදියෙන් සිටිය යුතු වෙමු.
අපට අවස්ථාව නොලැබුණත්, අපේ දරුවන්ට අතේ ගෙන යා හැකි පුස්තකාලයක ප්‍රයෝජන ගන්නට වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි